Colombo Today Local News

සෞඛ්‍ය අමාත්‍යංශ අනුමැතිය නැතිව වෛද්‍යවරුන්ට වීසා නොලැබෙයි

සෞඛ්‍ය අමාත්‍යංශයේ අවසරයකින් තොරව වෛද්‍යවරුන් සඳහා වීසා නිකුත් නොකරන ලෙස තානාපති කාර්යාලවලට දැන්වීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ස්ථාවර නියෝග 27 (2) යටතේ විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

“රජය විසින් වරින් වර ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ සහ ආයතන සංග්‍රහය ලබා දී ඇති ප්‍රතිපාදන අනුව රාජ්‍ය පරිපාලන මගින් නිකුත් කරන චක්‍රලේඛවල මාර්ගෝපදේශ සහ සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කරන චක්‍රලේඛ අනුව වෛද්‍යවරුන් සඳහා විදේශගත වීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

වෛද්‍ය නිලධාරීන් දීපව්‍යාප්ත සේවයට අයත් වන විධායක මාණ්ඩලික ශ්‍රේණියට අයත් නිලධාරීන් බැවින් අග්‍රාමාත්‍යතුමාගේ අනුමැතිය ඇතිව විදේශගත විය යුතුයි. එසේ නොවන විදේශගත වීම් නීත්‍යනුකූල නොවන බැවින් විනයානුකූලව කටයුතු කර සේවය අතහැර යෑමේ නියෝගයක් නිකුත් කර අසාදු ලේඛනගත කරනවා.

එම ලේඛන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් වරින් වර ප්‍රකාශයට පත් කරන අතර එවැනි වෛද්‍ය නිලධාරීන්ගේ වෛද්‍ය සභාවේ ලියාපදිංචිය අහෝසි කිරීමේ හැකියාව තිබෙනවා. එසේ වුවහොත් විදේශ රටවල වෛද්‍ය සභාවල ලියාපදිංචි වීමේ අවසරය ලැබෙන්නේ නැහැ.

දැනට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය අනුව වෛද්‍ය නිලධාරීන් සඳහාද වසර 5ක් විදේශ රටක රැකියාවක් කිරීම සඳහා අවසර ලබා දී තිබෙනවා. එබැවින් නීත්‍යනුකූලව අවසර ලබා ගනිමින් වෛද්‍යවරුන් විදේශගතව ඇති අතර ඉදිරියේදී විදේශගත වීමට නියමිතයි. මෙම විදේශගත වීම් නිසි ක්‍රමවේදයක් ඔස්සේ සිදු කෙරෙන අතර කිසිදු දැනුම්දීමකින් තොරව සහ ඉල්ලා අස්වීමෙන් පසු විදේශගත වන වෛද්‍යවරුන් සිටිනවා. එසේ නිසි අවසරයකින් තොරව විදේශගත වන වෛද්‍යවරුන් සඳහා ඉහත පරිදි සේවය අත්හැර යෑමේ නිවේදනය නිකුත් කර අසාදු ලේඛනගත කිරීමට කටයුතු සිදු කරනවා.”

වෛද්‍ය නිලධාරීන් සඳහා විදේශ නිවාඩු අනුමත කිරීමේදී ඔවුන්ගේ රාජකාරි ආවරණය කිරීම සඳහා විධිමත් පරිදි සුදුසු අනුප්‍රාප්තික වෛද්‍යවරයෙකු නම් කිරීමෙන් පමණක් එම විදේශ නිවාඩු අනුමත කිරීමට කටයුතු කරනු ලබන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ලාෆ්ස් ගෑස් මිල රුපියල් 500කින් අඩුවෙයි

colombotoday

එට්කා සහ මෙරට ආර්ථික ඝාතකයෝ !

colombotoday

රිෂාඩ් යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

colombotoday

දෛනික විදුලි කප්පාදුව තවදුරටත්

colombotoday

ලිට්‍රෝ සමාගමෙන් මට දුන්නේ ධර්ම ප්‍රචාරක පුණ්‍යාධාරයක් – දඹර අමිල හිමියෝ කියති

colombotoday

ගාලු මැයි රැළියට නොඑන ශ්‍රීලනිප සංවිධායකයන්ට මඩු වල්ගෙන් තලන්න යයි !

colombotoday