අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 වගන්තිය අනුව මුදල් පනතක් විශේෂයෙන්ම බදු පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ඇමති මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතුයි. ස්ථාවර නියෝග 133 අනුව ඇමති මණ්ඩල අනුමැතිය ලැබුණු බව පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතුයි. නමුත් මුදල් ඇමතිතුමාට මේක ඇමති මණ්ඩලයට ඉදිරිපත් කරන්න බෑ. ජනාධිපති කලින්ම කිව්වා මම මේ බදු පැනවීමට විරුද්ධයි කියලා. ඒ ලණුව කාලා ශ්‍රිලනිප ඇමතිවරු වැට් බද්දට එරෙහිව පොලු අමෝරා ගෙන හිටියේ. ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළා නම් ශ්‍රිලනිප ඇමතිවරුන්ගේ නම්බුව බේරා ගන්න සුළු හෝ සංශෝධනයක් කරන්න වෙනවා. ඇමති මණ්ඩලයෙන් කෙටුම්පත බේරා ගන්න තමයි ඇමති මණ්ඩලය මග හැරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ. මේ අඩුපාඩුව සිසිර ජයකොඩි මන්ත්‍රිතුමා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළා. නිසි පටිපාටිය අනුගමනය කර ඉදිරිපත් කර නැති නිසා ව්‍යවස්ථානුකූලත්වය පරික්ෂා කරන්න විධිමත්ව ඉදිරිපත් කළ පනත් කෙටුම්පතක් තමන් ඉදිරියේ නෑ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
අගමැතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණය විවේචනය කරමින් කතා කළා. එතුමා කියනවා ස්ථාවර නියෝග අනුව කටයුතු කළා ද කියා සොයා බැලීම පාර්ලිමේන්තුවේ වැඩක්. ව්‍යවස්ථාවට අනුකූල ද නැද්ද කියන එක විතරයි ශ්‍රේෂ්ඨාධිකරණයේ වගකීම කියලා. අවාසනාවට එතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78(2) වගන්තිය බලලා නෑ. පනත් කෙටුම්පතක් ස්ථාවර නියෝග අනුව ඉදිරිපත් කළ යුතුයි කියා ඒ වගන්තියේ තිබෙනවා. ඒ අනුව ස්ථාවර නියෝග අනුව පනතක් ඉදිරිපත් කරන එක ව්‍යවස්ථාපිත වගකීමක්.
අගමැති ඊයේ පාර්ලිමේන්තුවේ තවත් බෝම්බයක් අත් හැරියා. රාජපක්ෂ ආණ්ඩුව සමයේ ඇමති මණ්ඩල අනුමැතිය නැතුව පනත් සම්මත කරගෙනතිබෙනවාලු. එහෙම වුණා නම් ඒකට ශ්‍රේෂ්ඨාධිකරණයට වගකීමක් නෑ. ශ්‍රේෂ්ඨාධිකරණයට පනත් කියවමින් ඉන්න වෙලාවක් නෑ. කවුරු හරි පනත් කෙටුම්පතක් අභියෝගයට ලක් කලොත් විතරයි ඒ පිලිබඳ තීන්දුවක් දෙන්නේ. අපේ යුගයේ නිසි පටිපාටියෙන් බැහැරව පනත් ගෙනාවා නම් ඒකට වග කියන්න ඕනෑ එදා විපක්ෂය වුණු එජාපයයි. එදා තිබුණේ නිදි කිරා වැටෙන විපක්ෂයක්. ඒකයි ඒ අයට අවුරුදු 21ක් විපක්ෂයේ ඉන්න සිදු වුණේ. අද තිබෙන්නේ සක්‍රිය විපක්ෂයක්. ඒ නිසා තමයි අපට විපක්ෂයට හිමි පහසුකම් වරප්‍රසාද අහිමි කරලා තිබෙද්දිත් විපක්ෂ නායක විපක්ෂයේ සංවිධායක නිදි කිරා වැටෙද්දී අපි විපක්ෂයේ වගකීම ඉටු කරන නිසා තමයි මේ වැට් රකුසාගෙන දෙවැනි වතාවටත් ජනතාව බේරා ගැනීමට හැකිවුණේ.
ලංකාවේ නීතිය අනුව පාර්ලිමේන්තුවේ සම්මත කළ පනතක් අධිකරණයේ අභියෝගයට ලක් කළ නොහැකිවුණත් මූලික අයිතිවාසිකම් නඩු දාලා රාජපක්ෂ යුගයේ නිසි ලෙස සම්මත නොවුණු පනත් අභියෝගයට ලක් කරාවි කියලා අගමැතිතුමාට බයක් තිබෙනවා කියලා ඊයේ පාර්ලිමේන්තුවේ කිව්වා. නීතිමය තත්වය පැහැදිලි කරලා අගමැතිතුමා බිය පහ කරන්න මම උත්සාහ කළත් කතානායකතුමා මට ඒකට ඉඩ දුන්නේ නෑ. ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 17 වන වගන්තිය අනුව මූලික අයිතිවාසිකම් නඩු ගොනු කළ හැක්කේ විධායක හෝ පරිපාලන ක්‍රියාවන්ට විරුද්ධවයි. ව්‍යවස්ථාදායක හෝ අධිකරණ ක්‍රියාවන්පිලිබඳ මූලික අයිතිවාසිකම් නඩු ගොනු කරන්න බෑ. අගමැතිතුමනි, බිය නොවන්න රාජපක්ෂ යුගයේ පනත් සියල්ලම සුරක්ෂිතයි. ඔබ වැට් පනත ගැන අවධානය යොමු කරන්න කියලා අපි කියනවා.
තමන් ඉදිරියේ විධිමත්ව ඉදිරිපත් කළ පනත් කෙටුම්පතක් නැති නිසා එහි අන්තර්ගතයේ ව්‍යවස්ථානුකූලත්වය විමසා බලන්නේ නෑ කියා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණා. මේ නිසා මේ පනත් කෙටුම්පත ඒ ආකාරයෙන්ම යලි ඉදිරිපත් කළොත් අපි නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. අපි දෙපාරක් වැට් රකුසාගෙන් ජනතාව බේරා ගත්තා වගේම තුන් වන වරටත් වැට් රකුසාගේ කකුලෙන් අල්ලා ගෙන පැමිණීම ප්‍රමාද කරනවා. මේ දිනවල සිල්ලර වෙළෙන්දන්, පාරිභෝගිකයන්, ලේ මුත්‍රා පරික්ෂා කර ගන්නා රෝගින්, සැත්කම් වලට ලක් වන අය වැඩේ කරන ගමන් නොමිලේම නීති සහය ලබා දුන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා ඇතුළු නීතිඥ කණ්ඩායමටත් නඩු ගොනු කළ විමල් වීරවංශ සහ සිසිර ජයකොඩි යන මන්ත්‍රිවරුන්ටත් පිං දෙන්න අමතක කරන්න එපා.
ලෝක ඉතිහාසයේ නරකම බදු පනවන්නා විදහට සදහන් වෙන්නේ මිට වසර 2300කට කලින් මගධ රාජ්‍යෙය් සිටි ධනානන්ද රජතුමා. එතුමා දරු උපතක් වුණාම දෙමාව්පියන්ට බද්දක් ගහනවා. මරණයක් වුණාම මළ මිනය පුච්චන දෙන්නේ නෑ ආදහනය කරන දර සෑයටත් බද්දක් ගැහුවා. ඉන්දීයාවේ ප්‍රසිද්ධ චානක්‍ය කියන අර්ථ ශාස්ත්‍ර පොත ලිව්ව පඩිතුමා තමන්ගේ තාත්තා මිය ගිය වේලාවේ ගෙදර වහලේ තිබ්බ ලී අරගෙන තමයි දර සෑය හදන්නේ රජතුමාට බදු ගෙවන්න සල්ලි නැති නිසා. ඒ නිසා චානක්‍ය සහ අශෝක අධිරාජ්‍යා ගේ සීයා වන චන්ද්‍රගුප්තයි දෙන්නාට එකතු වෙලා ඒ ආණ්ඩුව පෙරළන්න පුළුවන්වෙන්නේ මේ බදු වලට ජනතාවගේ විරෝධයක් තිබුණු නිසා. මට විශ්වාසයි ධනානන්ද රජතුමා නැවත ඉපදීලා කියලා. එතුමගේ දැන් නම සිරිසේන ද රනිල් ද නැත්නම් රවීද කියලයි මට විසදා ගන්න බැරුව ඉන්නේ. අපිට ඉදිරි මාසයේ දී ඒ ප්‍රශ්නෙත් විසදා ගන්න පුළුවන්වේවි කියලා අපි විශ්වාස කරනවා.
අතුරුදහන් වූවන්ගේ කාර්යාලය හෙවත් බටහිර මර උගුල
හෙට ජාතියේ තීරණාත්මක දවසක්. හෙට දිනයේ පාර්ලිමේන්තුවේ විවාධයට අරන් සම්මත කරන්න නියමිතයි අතරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලය පිළිබද පනත් කෙටුම් පත. මේක අපේ රටේ ස්වාධිපත්තිය විනාශ කරන බටහිර රාජ්‍යන්ට හා රාජ්‍ය නොවන සංවිධාන වලට ශ්‍රි ලංකාව ඇතුලට රිංගගෙන ශ්‍රි ලංකාවේ පාලනය සහ ජාතික ආරක්ෂාවට වැදගත් තොරතුරු ඒ රට වලට ලබා ගැනීමට ලංකාව තුළ ඇටවූ උගුලක් විදිහටයි මේ පනත් කෙටුම්පත දකින්නේ. අපි දන්නවා සමහර මාධ්‍ය අපිට චෝදනා කරනවා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කළ යුතුව තිබුණා කියලා. ඇත්ත අපි අතින් ඒ වරද සිදුවෙලා තියෙනවා. අපි පමණක් නෙවෙයි ලංකාවේ මිලියන 23කට ආසන්න සමස්ථ පුරවැසියන්ටම ඒ වගකීම තියෙනවා. කිසිම පුරවැසියෙක් තමන්ට අවස්ථාව සහ හැකියාව තිබුණත් මේ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළේ නෑ. නමුත් අපිට තියෙන හොදම අවස්ථාව මගහැරි තිබුණත් ඒ එකම අවස්ථාව නෙවෙයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 (1) වගන්තිය අනුව ජනාධිපතිවරයාට පුළුවන් ඔනෑම අවස්ථාවක යම් නීතියක් හෝ සිද්ධියක් පිළිබද නීතිමය තත්වය පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා බලන්න. ජනාධිපතිතුමාට තවමත් පුළුවන් ජනතාව මේ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළේ නැතත් මෙය රටේ ව්‍යවස්ථාවට එකග නැද්ද කියලා විමසා බලන්න. ඒ අනුව අද ඒකාබද්ධ විපක්ෂයේ සියළුම මන්ත්‍රීවරු එකතු වෙලා ජනාධිපතිතුමාට ලිපියක් යවනවා ඔබතුමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 (1) වගන්තියෙන් පැවැරුණු බලතල පාවිච්චි කරලා ඔබ ඇත්තෙන්ම රටට ආදරේ නම් ඔබට මේ රටේ ස්වාධිනත්වට ජාතික ආරක්ෂව රුකගැනීමේ සුළුහෝ වුවමනාවක් තියෙනවා නම් හෙට දිනයේ මෙය පාර්ලිමේන්තුවේ සම්මත කිරීම නවත්තලා ශ්‍රේෂ්ඨාධිකරණයට මේ පනත් කෙටුම්පත යොමු කරලා මෙහි ව්‍යවස්ථානුකුලත්වය පිලිබද ශ්‍රේෂ්ඨාධිකරණය මතය විමසන්න කියලා අපි ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටිනවා. අද දින සිග්‍රගාමි තැපැලෙන් ලිඛිත ඉල්ලීමක්ද කිරීමට බලාපොරොත්තු වෙනවා.
අරවින්ද අතුකෝරල