ඇමරිකානු සහකාර රාජ්‍යලේකම්වරු දැන් මෙරටට පැමිණෙන්නේ දෙදෙනා බැගිනි. මෙයට පෙරද සහකාර රාජ්‍ය ලේකම්වරියවූ නිශා බිස්‌වාල් මෙරටට පැමිණියාය. මෙවර ඇයත් සමඟ සහකාර රාජ්‍ය ලේකම් ටොම් මලිතොවස්‌කි ඒකාබද්ධවී ශ්‍රී ලංකාවට පැමිණියහ.
මොවුන් දෙදෙනා ද්‍රවිඩ සන්ධානයේ දේශපාලනඥයන් හමුවූයේ ඇමරිකානු තානාපතිගේ නිල නිවසේයි.
ආර්. සම්පන්දන්, මාවයි සේනාධිරාජා, එම්. සුමන්තිරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන් සෙල්වම්, අඩෙයිකලානන්දන් මෙන්ම හිටපු මන්ත්‍රි සුරේශ් ප්‍රේමචන්ද්‍රන්ද එම සාකච්ඡාවට සහභාගි වූහ.
මෙහිදී ද්‍රවිඩ සිරකරුවන් මුදාහැරීම සඳහා රජයට බලපෑම් කරන්නැයි ඉල්ලීමක් කෙරුණි.
මේ ද්‍රවිඩ සිරකරුවන් යනු හිටපු කොටි ත්‍රස්‌තයන් වේ. මේ ත්‍රස්‌තයන් ලයන් එයාර් මගී යානාවට මිසයිල ප්‍රහාර එල්ල කිරීම, බස් රථවලට බෝම්බ තැබීම, අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ප්‍රහාර එල්ලකිරීම ඇතුළු බිහිසුණු ත්‍රස්‌ත ක්‍රියාවලට සම්බන්ධවූවන්වේ.
මොවුන් නිදහස් කරගැනීමට ද්‍රවිඩ සංවිධානය දැඩි උත්සාහයක් ගන්නේ මන්ද? ඒ මානව හිමිකම් චෝදනා පිළිබඳ විමර්ශනය කිරීමේ යාන්ත්‍රණයෙන් ඔවුන්ට ගලවා ගැනීම සඳහායි.
මෙම රැඳවියන්ව මුදාහරින ලැබුවොත් ඔවුන්ව යුද අපරාධ සම්බන්ධ විමර්ශනය කිරීමේ දේශීය යාත්ත්‍රණයට ඇතුලත් නොවේ.
එසේම ද්‍රවිඩ සන්ධානය ඇමරිකානු රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වා ඇත්තේ වගවීමට අදාල යාන්ත්‍රණයක් සම්බන්ධයෙනි. මේ අතර ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරියගේ අතීතයද අප විමර්ශනය කළ යුතුය. 2014 පෙබරවාරි ඇය මෙරටට පැමිණි අවස්‌ථාවේ මෙලෙස කියා සිටියේය.
“වගවීම පිළිබඳව ශ්‍රී ලංකාව අර්ථාන්විත ක්‍රියාමාර්ගයක් ගැනීමට ක්‍රියානොකළහොත් ජාත්‍යන්තර ප්‍රජාවගේ ඉවසීම සුළුවනු ඇත”.
එසේම ඇය සමඟ මෙරටට පැමිණි සහකාර රාජ්‍ය ලේකම් ටොම් මලිකොච්ස්‌කි බහරේන් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම ගැන එරටින් පිටුවහල් කිරීමටද ලක්‌වූවෙකි.
මේ තත්ත්වය වන ශ්‍රී ලංකාවට වගවීම ගැන උපදෙස්‌දීමට උත්සාහ කරන බිස්‌වාල් සහ මලිනොව්ස්‌කි ඉරාකය, ලිබියාව, යේමනය, සෝමාලියාව, නයිජීරියාව සහ සිරියාව යන රටවල ඇතිවී තිබෙන අරාජික තත්ත්වය ගැන නිහඬවී ඇත.
ඇමරිකාව මෙම රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමේ විපාක දැන් ඇස් පනාපිට දැනගැනීමට හැකිවී තිබේ.
2003 වසරේදී ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඉරාකය ආක්‍රමණය කළේය. ඉන්පසු ඇතිවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සංඛයාව මෙසේය.
සෝමාලියාව 88, යේමනය 85, ලිබියාව 29, නයිජීරියාව 91, ඉරාකය 165
මෙම පසුබිම මැද නිශා බිස්‌වාල් මෙයට පෙර පැමිණි අවස්‌ථාවේ පැවැසුවේ
“මෙරට නායකයන් ප්‍රතිචාර දැක්‌විය යුත්තේ ජනතාවටයි. එම නායකයන් අවි වලින් සන්නද්ධ ත්‍රස්‌තවාදීන්ට වගකිවයුතු නැතිබව” ඇය කියා සිටියාය.
මේ අතර ඉරාක ආක්‍රමණයට අදාළ චිල්කොට් විමර්ශන වාර්තාව ප්‍රකාශයට පත්වූයේ ජුලි 6 දායි. එය ප්‍රකාශයට පත්වී අදට දින 13 ක් ගතවී ඇත.
එහෙත් එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මුන්, මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන්, ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා මෙන්ම “වගවීම” ගැන හඬ නගන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවද නිහඬවී සිටිති.
මේ විමර්ශන වාර්තාවෙන් හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලේයාර් වගවිය යුතු බව තහවුරු කර ඇත.
එහෙත් නිශා බිස්‌වාල් සහ ටොම් මලිතොවස්‌කි ශ්‍රී ලංකාවට කියන “වගවීම” බ්‍රිතාන්‍යයට කියන්නේ නැත.
මේ අතර බ්‍රිතාන්‍යයේ නේස්‌බි සාමිවරයා පවසන්නේ ශ්‍රී ලංකාවේ යුද අපරාධ විමර්ශනයට විදේශ විනිසුරුවන් යෙදවිය යුතු බවට බ්‍රිතාන්‍ය තීරණය කිරීම හා එසේ කරන ලෙස ශ්‍රී ලංකාවට බලපෑම් කිරීම යනු බ්‍රිතාන්‍යයේ දෙබිඩි පිළිවෙත හෙලිකරන්නක් බවයි.
නෙස්‌බි සාමිවරයා මෙලෙස පවසද්දී මෙරටට පැමිණි ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ටොම් මලිතොස්‌කි කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව ස්‌ථාපිත කරන වගවීමේ යාන්ත්‍රණයට අන්තර්ජාතික මැදිහත්වීමක් අවශ්‍ය බවයි.
එහෙත් ඉරාක නීතිවිරෝධි ආක්‍රමණය ගැන වගවිය යුතුබව ඔවුන් පවසන්නේ නැත.
සාමි මන්ත්‍රි මණ්‌ලයේ පැවැති විවාදයකදී නේස්‌බි සාමිවරයා තවදුරටත් පවසා ඇත්තේ ශ්‍රී ලංකාව සම්බන්ධ ඇමරිකානු හා බ්‍රිතාන්‍ය එක්‌වී දියත් කළ යෝජනාවට පෙර ජිනීවා ප්‍රඥප්තිය ගැන අවධානයක් යොමුකර නොතිබූ බවයි.
කීර්ති වර්ණකුලසූරිය.