
ඉස්ලාම් නීතියට අනුව විවාහ වූ බවත් කිසිදු දැනුම්දීමකින් තොරව බදුල්ල කාතිවරයා විසින් ඉතා අසාධාරණ ලෙස තමාව සැමියාගෙන් දික්කසාද කිරීමට කටයුතු කර ඇති බවත් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඊයේ (7) පැවැත්වූ එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් සිදුකල මහජන අදහස් විමසීම අතරතුර හෂීනා මහත්මිය පැවසීය.
ඉස්ලාම් කාන්තාවට සිදුවන අසාධාරණය පිළිබඳව කතා කිරීමට කිසිවෙකුත් නොමැති බැවින් සහ තමන්ව කිසිවෙකු ගණන් නොගන්නා බැවින් “එක රටක් එක නීතියක්” ක්‍රියාත්මක වීම ඉතාම වැදගත් බවත් හෂීනා මහත්මිය සඳහන් කරන ලදි.
තමන්ට වයස 8ක දියණියක් සිටින බවත් දිකසාද වීමට අකමැත්ත කාතිවරයාට ප්‍රකාශ කර තිබියදී, දියණියට මාසෙට රුපියල් 3000ක දීමනාවක් කාතිවරයා විසින් නියම කර තමන්ව සැමියාගෙන් දිකසාද කල බවත් ඇය සඳහන් කළාය.
කාතිවරයා විසින් දික්කසාදයේ පිටපතක් ලබා දුන් බවත් එහි කිසිම ස්ථානයක තමන් අත්සන් කර තිබුනේ නැති බවත් සැමියාගේ පියා සහ තවත් අයෙක් එහි සාක්ෂි ලෙස අත්සන් කර තිබුණු බවත් පැවසූ හෂීනා මහත්මිය ඉහල අධිකරණයකට හෝ යාමට කාති උසාවියෙන් නිකුත්කළ යුතු ලිපියවත් නිකුත් කිරීම කාති උසාවිය සිදුකරන්නේ නැති බවත් පැවසීය.
සාධාරණයක් ඉෂ්ඨ නොවුන බැවින් කොළඹට සිදුකල දැනුම්දීමකට අනුව නුවරඑළියේ කාතිවරයා ඉදිරියට තමන්ව යොමු කල බවත් එම උසාවියෙන් දියණියට මාසෙට ලබා දුන් රුපියල් 3000ක දීමනාව 5000 ක් ලෙස නියම කල බවත් තමන්ට වන්දියක් ලෙස රුපියල් 50000 ක් ගෙවන ලෙස සැමියාට නියම කල බවත් “කිරි හරකෙක්වත් ගන්න බැරි රුපියල් 50000 ද මගේ වටිනාකම” යෑයි හෂීනා මහත්මිය සංවේදී ලෙස පැවසීය.
ඌව වෙල්ලස්ස නිදහස් සටනේ මූලිකත්වය ගත්, බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ඉඩම් අයිතිය අහිමි කරනු ලැබූ පරම්පරා කිහිපයක නියෝජිතයන් අදහස් දක්වමින් රටේ ඉඩම් නීතිය මේ දක්වාත් සාධාරණ ලෙස ක්‍රියාත්මක නොවන බවත්, විදේශීය ආක්‍රමණයෙන් රට බේරා ගැනීමට මූලිකත්වය ගත් හා ඒ හේතුවෙන් දේපළ හා ජීවිත් අහිමිවූ තම පවුල් වලට නිදහසෙන් පසුව හෝ මෙතෙක් කිසිදු සාධාරණයක් ඉටුවී නොමැති බව අදහස් දැක්වූ පාර්ශව කිහිපයක් විසින් කාර්ය සාධක බලකායට පෙන්වා දෙන ලදි.
රටේ ජීවත්වෙන අනෙකුත් ජනතාවට ලැබෙන අයිතිවාසිකම් වතුකරයේ ද්‍රවිඩ ජනතාවට නොලැබෙන බවත් ඉඩම් ගැටලුව දැඩි ලෙස තිබෙන බවත් අදහස් දක්වමින් ද්‍රවිඩ සංවිධාන නියෝජිතයන් විසින් කාර්ය සාධක බලකායට පෙන්වා දෙන ලදි.
බදුල්ල දිස්ත්‍රික්කයේ අදහස් විමසීම සඳහා “එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති රාජකීය පණ්ඩිත පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි, සාමාජිකයන් වන මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ, ජේෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන, නීතිඥ සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානි වෑවල යන මහත්වරුන් සහ කාර්ය සාධක බලකායේ ලේකම් ජීවන්ති සේනානායක මෙනවිය ඇතුළු පිරිසක් සහභාගී විය.
























