යුද හමුදාවට අයත් කොස්ගම සාලාව කදවුරේ උණ්ඩ ගබඩාවේ ඇතිවූ අභිරහස් පිපිරීමෙන් රට මෙන්ම ආරක්ෂක අංශද දැඩි තිගැස්මකට ලක්ව සිටින බව රහසක් නොවේ. අත්වැරදීමකින් හෝ සිදු නොවිය යුතු ඛේදවාචකයක් අවසානයේ මූල්‍යමය වශයෙන් තවමත් තක්සේරු නොකළ අති දැවැන්ත විනාශයක් ද එයිටත් එහා ගිය ආරක්ෂව සම්බන්ධයෙන් වූ බරපතල ප්‍රශ්නාර්ථයක් මතුව තිබෙද්දී සිදුවීම සම්බන්ධයෙන් තවමත් නිශ්චිත ඉගියක් හෝ හෙළි කිරීමට රජය අපොහොසත් ව තිබෙන පසුබිමක අදාල සිදුවීම හා පසුමිබ් කාරණා පිළිබදව ජනතාව අතර බරපතල සැක මතුවෙමින් තිබේ.
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රජය පසුගිය සමයේ අනුගමනය කළ දියාරු පිළිවෙත හා විදේශීය මැදිහත්වීම මත ත්‍රිවිධ හමුදාව ප්‍රතිසංවිධානය කිරීම සම්බන්ධයෙන් පලවන වාර්තා ද, ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස හමුදාවේ ජීව ගුණය සිද දමමින් එල්ලකරන ලද විදේශීය හා බෙදුම්වාදී බලවේගවල අනිසි අතපෙවීම් හා බලහත්කාරකම්ද, බිහිසුණු ත්‍රස්තවාදයක් පරාජයකල හමුදාව මුළුමනින්ම පාවා දෙමින් රජයේ විදේශ අමාත්‍යවරයාම රජයේ හමුදාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ කරන ද්‍රෝහී ප්‍රකාශද ඇතුළු සියළු කාරණා හේතුවෙන්, අවි ගබඩාව ගිිනිගෙන පුපුරායාමද ජාතික ආරක්ෂාව දුර්වල කිරීම සදහා ක්‍රියාත්මක වන ඒ මෙහෙයුමේ තවත් දිගුවක්දැයි යන සැකය බරපතල ලෙස ගොඩනැගෙමින් තිබේ. ආරක්ෂක ලේකම්වරයා සිද්ධිය සම්බන්ධයෙන් දක්වන පරස්පර විරෝධි හා වගකීම් විරහිත ප්‍රකශ හේතුවෙන් එම සැකය වඩාත් තිව්‍රලෙස රජයේ ක්‍රියාකලාපය දෙසට එල්ලවී තිබේ.
මේ අතර ජාතික ආරක්ෂාවේ හදවත වන්වූ අතිශය වැගදත් ආරක්ෂක මර්මස්ථානයක් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ඉහළ ආරක්ෂක විධිවිධානවල දුර්වලතාවක් පැවති බවට ප්‍රකාශවන අතර, මෙය හමුදාවේ අභිමානය, කීර්තිය පිළිබද අභියෝගාත්මක තත්ත්වයක්ද වන බැවින් සීමාවකට යටත්ව තොරතුරු හෙළි කිරීමට වගකියයුතු මාධ්‍ය කටයුතු කර තිබේ. මෙම ගබඩාවේ තිබූ අධිබල රොකට් උණ්ඩ වලින් යම් ප්‍රමාණයක් කල් ඉකුත්වී තිබුණු බැවින් ඒවා ප්‍රතිසංස්කරණයට නිර්දේශවී තිබුණද ආරක්ෂක අමාත්‍යාංශයට සම්බන්ධ අදාල ආයතන ඒ සදහා අවශ්‍ය අවධානය යොමු කර නොමැති බවත්, උණ්ඩ ගබඩා කිරීම පිළිබද ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුගමනය කර නොමැති බවත් ආරංචි මාර්ග සදහන් කරයි.
ගිනි ගැනීම සිදුවන අවස්ථාවේ කදවුරේ තිබුනේ ගිනි නිවීමේ රථ දෙකක් පමණක් බව සිද්ධියෙන් දිනකට පසු මාධ්‍ය ඇමතූ බටහිර ආරක්ෂක ආඥාපතිවරයා පවසා තිබුණු අතර සීමිත පහසුකම් යටතේ ගින්න මැඩපැවැත්වීමට හමුදාව උපරිමයෙන් උත්සහා කළ බවද සහන් කර තිබිණි. ජාතික ආරක්ෂාවේ හදවත බදු වූ මර්මස්ථානයක ආරක්ෂක කලමනාකරණය සීමිත පහසුකම් යටතේ සිදුවනවානම් එහි කොතනක හෝ බරපතල වරදක් තිබිය හැකිය. ඇමතිවරුන්ගේ සුඛ විහරණය වෙනුවෙන් කෝටි ප්‍රකෝටි ගණන් මහජන ධනය කාබාසිනියා කරන රටක, රාජ්‍ය ආරක්ෂාව පිළිබදව රජය සහ බලධාරීන් දක්වන්නේ මෙවැනි අඩු තක්සේරුවක්ද? ප්‍රතිපාදන හා සැපයුම් කප්පාදුව හරහා හමුදාවේ ශක්තිය 37%කින් අවම කරන බවට රජයේ විදේශ අමාත්‍යවරයා විසින්ම ජාත්‍යන්තරය හමුවේ දී ඇති පොරොන්දුව යතාර්ථයක් වී ඇතිද?
මේ අතර පිපිරීම සම්බන්ධ පරීක්ෂණ යුද හමුදා බුද්ධි අංශයෙන් ඉවත් කර රහස් පොලීසිය යටතට පත්කිරීම සැකයට තුඩුදෙන කාරණයක් බවට අදහස් පලවී ඇත. මේ දක්වා කරන ලද පරීක්ෂණවලදී, ගිනිගෙන පුපුරාගිය කොස්ගම උප වෙඩි වෙඩි උණ්ඩ ගබඩාවේ (sub Ammunition dump) පරිපාලනයට යොදවා ඇත්තේ ඒ සදහා විශේෂඥ පුහුණුව ලද නිලධාරීන් නොවන බවට හදුනාගෙන ඇතිබව ආරංචි මාර්ග සදහන් කරයි.
උණ්ඩ ගබඩාවල රාජකාරි සඳහා අනුයුක්ත කරන හමුදා නිලධාරින් ‘වෙඩි ද්‍රව්‍ය කාර්මික නිලධාරි (ATO -Ammunition Technical Officer) පාඨමාලාව අනිවාර්යයෙන්ම හදාරා තිබිය යුතුය. ඊට අදාළ පාඨමාලා සඳහා සැම වර්ෂයකදීම හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු ඉන්දියාවට හා පකිස්ථානයට යවයි. එසේම, උණ්ඩ ගබඩා වල සේවය සඳහා යොදවන සාමාන්‍ය සෙබළුන් අනිවාර්යයෙන්ම (AT -Ammunition Technician) පාඨමාලාව හදාරා තිබිය යුතුය. ඊට අදාල පුහුණුව සඳහා සෑම වසරකම හමුදා සෙබළුන් පිරිසක් ඉන්දියාව වෙත යවයි. එසේ විදෙස් පුහුණුව ලද නිලධාරීන් වෙනත් රාජකාරිවල යොදවා ඇතිබව අනාවරණය වේ.
ගින්නට හසුවූ කොස්ගම පිහිටි යුධ හමුදා උප උණ්ඩ ගබඩාවේ පරිපාලන කටයුතු බාරව සිටි මේජර් ජනරාල් කෙනෙත් එඩ්මා (Major General Kenneth Edema USP) වෙඩි ද්‍රව්‍ය කාර්මික ඉංජිනේරුවකු නොවේ. ඔහු හමුදාවට වාහන, ඉන්දන හා කෑමබීම සැපයුම් බාර නිලධාරියෙකි. එසේම, කොස්ගම පිහිටි යුධ හමුදා උප උණ්ඩ ගබඩාව බාරව සිටි මේජර් රොෂාන් පෙරේරාට පසුගියදා දියතලවට දඬුවම් ස්ථාන මාරුවක් ලබාදී ඇති අතර, ඒ වෙනුවට අනුයුක්ත කර සිට ඇත්තේ විදිමත් විශේෂඥ පුහුණුවක් නොමැති ලුතිනන් වරයෙකි.
මෙලෙස විධිමත් පුහුණුව ලැබූ නිලධාරීන් ඉවත් කර, ඒ පිළිබදව පුහුණුව නොලැබූ නිලධාරීන් අනුයුක්ත කළේ කුමක් සදහාද? කාගේ වුවමනාවටද? රටේ ජාතික ආරක්ෂාව කණපිට හැරවිය හැකි ප්‍රබල මර්මස්ථානයක් සම්බන්ධයෙන් බලධාරීන් අඩු තක්සේරුවකින් කටයුතු කළේ ඇයි?
අවිගබඩාව කොස්ගමින් ඉවත්කර වෙනත් ආරක්ෂිත ප්‍රදේශයකට ගෙන යෑමේ සැළසුමක් තිබූ බව ගිනිගැනීමෙන් පසු හමුදා ප්‍රකාශකවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශකර තිබිණි. නමුත් ආරක්ෂක ලේකම්වරයා ඊයේ 07 මාධ්‍ය අමතමින් ප්‍රකාශ කරතිබුනේ කොස්ගම අවිගබඩාව ඉවත් කිරීමේ සැළසුමක් තිබූ බව තමන් නොදන්නා බවයි. එය තමන් දන්නවානම් මීට කළින් ක්‍රියාමාර්ගයක් ගැනීමට තිබූ බවද ඔහු සදහන් කළේය. ආරක්ෂාව සම්බන්ධයෙන් සෘජුවම බලපාන හමුදා ක්‍රියාකාරකම් පිළිබදව ආරක්ෂක ලේකම්වරයා දන්නේ නැත.. ජාතික අරක්ෂාවට ජෝන් බාස්ලාගේ, පයිප්ප බාස්ලාගේම පිහිටය.
කළ යුතුව තිබෙන්නේ ජාතික ආරක්ෂාව පයිප්ප බටයක් එළිම තරම් සරල කාරණයක් යැයි සිතා සිටින තනතුරට වග නොකියන ආරක්ෂක ලේකම්වරයා ආරක්ෂා වී, මේ වනවිට අගමැතිවරයාගේ නිර්දේශයෙන් ජනාධිපතිවරයා විසින් සේවා දිගුවක් ලබා දී ඇති හමුදාපතිවරයා රකිමින් පහළ නිලධාරීන් දඩුකදේ ගසා අතපිසදා ගැනීම නොව, සේනාධිනායකයා දක්වා වගකීම භාරගෙන රටට ඇත්ත හෙළිකිරීමය. නමුත් යුක්තිය සාධාරණත්වය හමුවේ සුපිරි වෙනසක සැප යහමින් විදිවමින් සිටින අප ඒ පිළිබදව අංශු මාත්‍රයක් හෝ කෙසේනම් බලාපොරොත්තු තබා ගමුද.