Colombo Today Local News

රසායනික පොහොර නැවත්වීමට ගත් තීරණයට ලෝක ආහාර සෞඛ්‍ය සංවිධානයෙන් ජනාධිපති ට ප්‍රසාදය.

මානව සෞඛ්‍ය සුරැකීම සඳහා ලොව පුරා රාජ්‍යයන් නිර්භීත ප්‍රතිපත්ති අනුගමනය කිරීමට පසුබට නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

එවැනි ප්‍රතිපත්ති පාරිසරික සංරක්ෂණයට සහාය විය යුතු අතර ජෛව විවිධත්වය විනාශවීම වැළැක්වීමට සහ වඩාත් තිරසර ආර්ථික අභිලාෂයන් සාක්ෂාත් කරගැනීමට ජනතාවට සහායක් විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ඊයේ (04)දින පස්වරුවේ ඉතාලියේ රෝම නගරයේ පැවති ලෝක ආහාර සුරක්ෂිතතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ 48 වන සමුළුවේ කෘෂි පරිසර විද්‍යාව පිළිබඳ සැසිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

රසායනික පොහොර භාවිතයෙන් සම්පූර්ණයෙන් ඉවත්වීමට ගත් තීරණය කෙරෙහි ලෝක ආහාර සෞඛ්‍ය සංවිධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ප්‍රසාදය පළ කරමින්, ඊට ගෞරව දැක්වීමක් ලෙස වාර්ෂිකව පැවැත්වෙන සිය සමුළුවේ පළමු සහ විශේෂ දේශනය සඳහා ඇරයුම් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

දේශගුණික විපර්යාස, මානව වර්ගයා මුහුණ දෙන බරපතළ ගැටලුවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එහි බලපෑම අවම කිරීමට සියලු රටවල් සාමූහිකව ක්‍රියා කළ යුතු බව ද එහිදී අවධාරණය කර ඇත.

කෘතිම පොහොර හා කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීමට තම රජය ගත් තීරණයෙන් සෞඛ්‍ය සම්පන්න සහ වඩාත් පරිසර හිතකාමී කෘෂිකර්මාන්ත පද්ධතියක් සඳහා සංක්‍රමණයවීමට තිබූ දිගුකාලීන අවශ්‍යතාව සපුරා ගැනීමට හැකිවනු ඇතැයි ජනාධිපතිවරයා පැවසීය.

“මෙම සංක්‍රාන්තිය අතරතුර මුල් අදියරවලදී ගැටලු පැන නගින බව අපි දනිමු. ගෘහස්ථ නිෂ්පාදනයේ සහ කාබනික විකල්ප සැපයීමේ බාධාවන් මෙන්ම තහනමෙන් පැන නගින අහිතකර මහජන මතවාද ද ඊට ඇතුළත් ය. කෙසේ වෙතත් නායකයින් වශයෙන් අප මුහුණ දෙන විවේචනාත්මක අභියෝග නොතකා තීරණාත්මක පියවර ගත යුතුය.”

වගකීම් සහිත තීරණවලට එළඹීමේ දී අප පසුබට වන්නේ නම් මෙවැනි අත්‍යාවශ්‍ය මුල පිරීම් සැමවිටම සාකච්ඡාවලට පමණක් සීමාවනු ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

කාබනික ගොවිතැන සඳහා වූ දේශීය ධාරිතාව ශක්තිමත් කිරීමට සෙසු රාජ්‍යයන්හි බහුපාර්ශ්වීය සංවිධානවල, තාක්ෂණික විශේෂඥයින් හා ආයතන මෙන්ම ව්‍යාපාර සහ ආයෝජකයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

කෘතිම පොහොර හා කෘෂි රසායන ආනයනය තහනම් කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණය හරිත ආර්ථිකයකට හා සෞඛ්‍ය සම්පන්න ජන සමාජයකට ඉවහල්වන අතර දිගුකාලීන ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අභිලාෂයන්ට සහාය දෙනු ඇතැයි ද ජනාධිපතිවරයා පවසයි.

ශ්‍රී ලංකාවේ මෙම මුලපිරීම අනිකුත් රාජ්‍යයන්ගේ සහ එම ජාතීන්ගේ පොදු යහපත පිණිස සමාන නිර්භීත ක්‍රියාමාර්ග ගැනීමට පොළඹවනු ඇතැයි ජනාධිපතිවරයා සිය විශ්වාසය පළ කළ බව සඳහන් වේ.

ලෝක ආහාර සුරක්ෂිතාව පිළිබඳ සමුළු සංවිධායක මඩුල්ල වෙනුවෙන් ලිපියක් නිකුත්කර ඇති ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය ෆර්ගස් එල්. සින්ක්ලෙයාර් මහතා ජනාධිපතිවරයා ඉදිරිපත්කළ දේශනය ඇගයීමට ලක්කර තිබේ.

“ඔබගේ නිර්භීත ප්‍රකාශය සහ ඔබ ඒ වෙනුවෙන් ඉදිරිපත් කළ පැහැදිලි තාර්කිකත්වය ගැන මම ගැඹුරින් පැහැදුනෙමි. මෙම ආරම්භක දේශනය අද වන විට කෘෂි පරිසර විද්‍යා සැසියට පමණක් නොව, සමස්ත සමුළුවේ කෘෂි පරිසර විද්‍යා වාර්තාව කෙරෙහිද ඉවහල්වනු ඇත. ඔබේ ප්‍රකාශය, ඒවා ක්‍රියාත්මක කිරීමට මඟ පෙන්වන අතර ජාතික ක්‍රියාමාර්ග සඳහා ප්‍රවණතාවක් ඇතිකරයි. ඔබේ ප්‍රකාශය ලෝක ආහාර සුරක්ෂිතතාව පිළිබඳ සමුළුවෙන් ඔබ්බට ගොස්, දේශගුණික විපර්යාසයන් දෙස ගැඹුරින් බැලීමට සහ කෘෂි පරිසර විද්‍යාත්මක මූලධර්ම මත පදනම්වූ වඩා තිරසර ආහාර පද්ධතිවෙත යොමුවීමට ප්‍රමුඛ පෙළේ පියවරක් ලෙස පිළිගනු ඇත. ශ්‍රී ලංකාව විසින් ගනු ලබන මෙම තීරණාත්මක හා ප්‍රායෝගික ක්‍රියා අන් අයට පිටිවහලක්වනු ඇත.” යනුවෙන් ආචාර්ය ෆර්ගස් එල්. සින්ක්ලෙයාර් මහතා සිය ලිපියෙන් සඳහන්කර තිබේ.

Related posts

රු. 120.00 ක පොල් ගෙඩියක් සොරා ගත් සැකකරුට රු. ලක්ෂයක ශරීර ඇපයක්.

colombotoday

හැම කැබිනට් පත්‍රිකාවක්ම අකුරක් නෑර කියවන ජනාධිපති කෙනෙක් දැක්කමයි – අගමැති අයියාගෙන් ජනපති මල්ලීට ඇගයීමක්

colombotoday

සමහරුන්ට ඕනේ සිරිකොත අල්ල ගන්න, මට ඕනේ අරලියගහ මන්දිරයට යන්න- රනිල්

colombotoday

බාල වයස්කාර දැරියන් දෙදෙනෙකු අපයෝජනය කළ අවුරුදු 15 සහ 16ක ළමුන් දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday

Tik Tok හරහා LTTEය ප්‍රවර්ධනය කළ අයෙක් අත්අඩංගුවට

colombotoday

“භාවනා කර කර පොලීසි දුවන්න බෑ” – හිටපු ඇමති රවීගෙන් පොලිසියට චෝදනා

colombotoday