දෙවැනි ලෝක යුද්ධයෙන් දරුණු ලෙස හානියට ලක් වූ ජපානය යුද්ධය අවසන් වූ පසු ශීඝ්‍ර දියුණුවක් ලබාගත් අතර දශක කිහිපයක් තුළ ලෝකයේ බලවත්ම ආර්ථිකයක් බවට පත්විය. විනාශ වූ තම රට යළි ගොඩගැනීම සඳහා ජපන් ජාතිකයන් තුළ වූ සැබෑ අවශ්‍යතාව හා ඒ වෙනුවෙන් පුරවැසියන් වශයෙන් ඔවුන් තුළ කැපවීම එදා සමස්ත ලෝකයටම ආදර්ශයක් විය. කුමන දේශපාලන පක්ෂයක් බලයට ආවත් ජපානයේ ජාතික ඉලක්ක හා සැලැසුම් දශක ගණනාවක් පුරා වෙනස් නොවුණු අතර රජයත් ව්‍යාපාරිකයනුත් සාමාන්‍ය ජනතාවත් ලෝකයේ අනෙකුත් කිසිදු රටකට දෙවැනි නොවෙමුය යන දැඩි අධිෂ්ඨානයකින් රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක වූහ.
වසර 30ක කුරිරු ත්‍රස්තවාදයක් 2009දී නිම කළ ලංකාවටද තිබුණේ එදා ජපානයට තිබුණාක් වැනි අභියෝගයකි. යුද්ධය පැවැති දශක 3ක් පමණ කාලය තුළ ලෝකයේ පමණක් නොව ආසියාවේ බොහෝ රටවල් අප පසුකොට ඉදිරියට ගොස් තිබිණි. ඒ නිසා අහිමි වූ කාලය අපතේ නොයවන්නට නම් අප විසින් කඩිනමින් කළ යුතු වැඩකටයුතු රාශියක් තිබිණි. ඒ සඳහා පැහැදිලි දර්ශනයක් හා ජනතා කැපවීම අත්‍යවශ්‍ය විය.
යුද්ධයෙන් පසු මුල් වසර කිහිපය තුළ ලංකාව පැහැදිලි ඉදිරි ගමනක් අරඹා ඇති ලකුණු දක්නට ලැබිණි. රටට අවශ්‍ය යටිතල පහසුකම් කඩිනමින් ඉදිවන්නට පටන් ගත් අතර ආර්ථික සංවර්ධන වේගය ඉහළ මට්ටමක පැවැතිණි. දේශීය හා විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසයද ඉහළ මට්ටමක පැවැතිණි. අයෝජකයන්ගේ විශ්වාසයේ කැඩපත ලෙස ව්‍යාපාර ලෝකයේ පිළිගන්නා කොටස් වෙළෙඳපොළේ ශීඝ්‍ර වර්ධනයක් ඇති වී කොළඹ කොටස් වෙළෙඳපොළ ආසියාවේ තිරසරම කොටස් වෙළෙඳපොළ ලෙස නම් කරනු ලැබීය. කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණු වන නගරය ලෙස සම්මානයක් ලැබීය. රැකියා වියුක්තිය 4.3%දක්වා අඩුවී තිබිණි.
කෘෂිකර්මාන්තයේ විශාල දියුණුවක් ඇති වී ආහාර වර්ග රැසකින් රට ස්වයංපෝෂිත වූ අතර 2014 අවසන් වන විට රටේ සහල් අතිරික්තයක් පවා ඇති වී තිබිණි. අවාසනාවකට මෙන් රටේ ඉදිරි ගමන සම්බන්ධයෙන් වූ මේ ධනාත්මක ප්‍රවණතාව දිගටම පවත්වාගෙන යන්නට අපට නොහැකි වී ඇත.
පසුගිය රජයේ අවසාන වසර 3 තුළ රටේ දළ සංවර්ධන වේගය 7%ට ආසන්න විය. එහෙත් 2015 සිට එය පහළට එන්නට පටන් ගෙන ඇත. 2015දී ආර්ථික සංවර්ධන වේගය 5%ට අඩු විය. 2016දී එය 4.5%ට අඩු විය. ශ්‍රී ලංකාවේ 2017 වසරේ අත්කරගත් 3.1%ක වර්ධන වේගය වසර 16කට පසු එනම් 2001ට පසු අත්කරගත් අඩුම වර්ධන වේගයයි.
යුද්ධය දරුණුවටම පැවැති කාලයකවත් ආර්ථික වර්ධනය මේ ආකාරයට අඩාල නොවිණි.
මීට ඉහත අඩුම වර්ධන වේගය වාර්තා වූයේ 2001දීය. ඒ කාලයේ රට පාලනය කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියයි.
2018 වසරේ මුල් කාර්තුවේදී ආර්ථික වර්ධන වේගය තවත් අඩු වී ඇති බවක් පෙනේ. මේ තත්ත්වය සාමාන්‍ය ජනතාවට බලපාන්නේ කෙසේද? 2014 අවසන් වන විට 3.3%ක පමණ තිබුණු උද්ධමනය දිගින් දිගටම වැඩි වී 2017 අවසන් වන විට එය 8%කට පමණ ආසන්න වී තිබිණි. මෙයින් පෙන්නුම් කරන්නේ සාමාන්‍ය ජනතාවගේ ජීවන වියදම දිගින් දිගටම ඉහළ යන බවයි.
2014 තිබුණාට වඩා රුපියලේ අගය 20%කින් පමණ බාල්දු වී ඇත. එහි ප්‍රතිඵලය වන්නේ සාමාන්‍ය ජනතාව භාවිත කරන සියලුම ආනයනික භාණ්ඩවල මිල ඉහළ යෑමය. මේ තත්ත්වය ඉදිරියට තවත් දරුණු වනු ඇත.
කෘෂිකර්මාන්තයේ පිරිහීමද ඉතා කනගාටුදායකය. මන්ද ලංකාව වැනි රටක රටේ වැඩ කරන ජනතාවගෙන් 27%ක් රැකියා කරන්නේ කෘෂිකර්මාන්තය ආශ්‍රිතව නිසා කෘෂිකර්මාන්තය රටට ඉතා වැදගත් බැවිනි. සාමාන්‍ය පවුලක ආදායමෙන් 30%කට වඩා වැය වන්නේ ආහාර පානවලටය. ලංකාවේ නිදහසින් පසු රජයන් කිහිපයක් හැරුණු විට අන් සෑම රජයක්ම වාගේ කෘෂිකර්මාන්තය දියුණු කරන්නට උත්සාහ කළේ ඒ නිසාය.
කනගාටුවකට මෙන් බලයට පැමිණි දා සිට වත්මන් රජය නම් කෘෂිකර්මාන්තයට දුන්නේ කුඩම්මාගේ සැලකිල්ලකි. මුලින්ම කළේ වසර ගණනාවක් පුරා දුන් පොහොර සහනාධාරය කපා දැමීමය. විකල්ප විසඳුමක් සෙවීමට කල් නොදී හිටි අඩියේ යම් රසායනික පොහොර වර්ග තහනම් කරන ලදී. වී වගා කරන ඉඩම් ප්‍රමාණය වැඩියි කියා කෘෂිකර්ම ඇමැතිවරයාම කර්මාන්තයට අපහාස කරනු අසන්නට ලැබිණි. මේවායේ ප්‍රතිඵල අපිට අද දක්නට ඇත.
2016 කෘෂිකර්මාන්තය 3.8%කිනුත් 2017දී තවත් 0.8%කිනුත් කඩා වැටිණි. පසුගිය දශකය තුළ අඩුම වී නිෂ්පාදනය වාර්තා කරමින් වසරක් තුළ වී නිෂ්පාදනය මෙටි්‍රක් ටොන් 2.4ක් දක්වා සියයට 46.1කින් පහත වැටිණි. 2016/17 මහ සහ 2017 යල කන්න දෙකෙහිම වී නිෂ්පාදනය පිළිවෙළින් සියයට 49.2කින් සහ සියයට 40.1කින් මෙටි්‍රක් ටොන් මිලියන 1.47ක් සහ මෙටි්‍රක් ටොන් මිලියන 0.91කින් පහළ ගොස් තිබිණි. 2016/17 මහ සහ 2017 යල කන්න දෙකෙහි වාර්ෂික වී නිෂ්පාදනය සහල් මෙටි්‍රක් ටොන් මිලියන 1.7කට සමාන වූ අතර එය ප්‍රමාණවත් වුණේ මාස අටකට ආසන්න කාලයක දේශීය පරිභෝජනය සඳහා පමණි. එහි ප්‍රතිඵලය වූයේ සහල් ආනයනයට රටට විශාල වියදමක් දරන්නට සිදුවීම හා වෙළෙඳපොළේ සහල් මිල ඉහළ යෑමයි.
මේ ආකාරයට ජනතාව මත බර පටවමින් දේශීය වෙළෙඳපොළේ කෘෂි භාණ්ඩ සියල්ලේම වගේ මිල ඉහළ ගොස් ඇත.
සෑම ආර්ථික දර්ශකයකින්ම පෙන්වන්නේ අඳුරු චිත්‍රයකි. මහ බැංකු වාර්තා අධ්‍යයනය කිරීමෙන් පෙනී යන්නේ පසුගිය වසර තුළ සමාජ දර්ශක පැත්තෙන්ද කිසිදු ප්‍රගතියක් නැති බවයි. ජාතික මහාමාර්ග පද්ධතියට එදා සැලැසුම් කර තිබුණාට අමතරව තවමත් එක කිලෝමීටරයක් එකතු වී නැත. ප්‍රවාහන පහසුකම්වල කිසිදු වෙනසක්, ප්‍රගතියක් නැත.
ලෙඩුන් ප්‍රමාණයට සාපේක්ෂව ඉස්පිරිතාල ඇඳන් වැඩිවෙලා නැත. ලෙඩුන් ප්‍රමාණයට සාපේක්ෂව ෙදාස්තරවරුන් හා හෙදියන් ප්‍රමාණය සුළු ප්‍රතිශතයකින් අඩු වී ඇත. පාසලක් අලුතින් සෑදී නැත. විශ්වවිද්‍යාල ගොඩනැඟිල්ලක් අලුතින් සෑදී නැත. ළමයින් ප්‍රමාණයට සාපේක්ෂව පාසල් ගුරුවරු ප්‍රමාණය සුළු ප්‍රතිශතයකින් අඩු වී ඇත.
අධ්‍යාපනයට තාමත් වියදම් කරන්නේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 1.9%ක් පමණි. එදා මැතිවරණ කාලයේ පොරොන්දු වූ ආකාරයට දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් ලැබී නැත. සෞඛ්‍යයට තාමත් වියදම් කරන්නේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 1.5%ක් පමණි. එදා පොරොන්දු වූ ආකාරයට දළ ජාතික නිෂ්පාදිතයෙන් 3%ක් ලැබී නැත.
රට තුළ මුදල් සංසරණය විශාල වශයෙන් අඩුවී ඇති බව කඩයකට, ආපන ශාලාවකට, සාප්පුවකට, නිවාඩු නිකේතනයකට යන ඕනෑම කෙනකුට දක්නට ලැබේ. ඒ සෑම තැනකම වෙළෙ¼දාම අඩු වී ඇත. වෙනකක් පවා ත්‍රීවීලර් එළවන රියැදුරන් පවා කියන්නේ වෙනදා තරම් මගීන් ත්‍රීවීලර් භාවිත නොකරන බවය.
රැකියා විරහිත තරුණ තරුණියන්ගේ ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. වයස අවුරුදු 20-30 අතර තරුණ තරුණියන්ගෙන් 16%කට රැකියා නැත. ඉන් තරුණයන්ගෙන් තත්ත්වය වඩාත් බරපතළ වන අතර තරුණියන්ගෙන් 25%ක් පමණ රැකියා විරහිත භාවයෙන් පෙළෙති. මින් දශක කිහිපයකට පෙර අප දකින්නට පුරුදුව සිටියාක් මෙන් රැකියා ඉල්ලා තරුණ තරුණියන් උද්ඝෝෂණ කරනු යළි දක්නට ලැබේ.
මේ සෑම කරුණකින්ම පෙනෙන්නේ රට තුළ විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බවය. වසර 30කට පසු අප රටට හිමි වූ දේශය ගොඩනැඟීමේ ස්වර්ණමය අවස්ථාව අපට යළි අහිමි වෙමින් පවතින බවය.
මේ මොනවා වුණත් හැමදාමත් හෙට දෙන්නම් අනිද්දා දෙන්නම් කියන අගමැතිතුමාගේ කයිවාරුව නම් කෙළවරක් නැත. පසුගිය අවුරුදු 3 පුරාම කීවාක් මෙන් එතුමා අදත් වේදිකාවල කියන්නේ ඊළඟ වසරේ සිට රට සුඛිත මුදිත වන බවය. 2001 බලයට ආ විටත් කිව්වේ එවැනිම සුරංගනා කතා බව අපට අමතක නැත. සම්පූර්ණ නිල කාලය නිම කරන්නට පෙර 2004දී ජනතාව එතුමා සහ එතුමාගේ රජය ගෙදර යැව්වේ එදා දුන් පොරොන්දු ද කිසිවක් ක්‍රියාවෙන් ඉටු නොවුණු බැවිනි.
අවාසනාවකට මෙන් මෙවර ජනතාවට අසාර්ථක ආණ්ඩුවක් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළින් ගෙදර යැවීමට ඉඩක් නැත. ඒ අද ජනාධිපතිවරයා පවා වගකීමෙන් නිදහස් වන්නට උත්සාහ කරන දින 100 වැඩසටහන යටතේ 2015දී ගෙන ආ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් වත්මන් පාර්ලිමේන්තුව වසර 4 1/2කට විසිරවිය නොහැකිය කියා ව්‍යවස්ථා ගැටයක් ගසා ඇති බැවිනි.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර ගැනීමට පාක්ෂිකයන් කෙතරම් දත් මිටි කෑවත් එය ඉටු කරගත නොහැක්කේ මීට වසර ගණනාවකට පෙර එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ වගන්ති කිහිපයක් තමුන්ට අවශ්‍ය ලෙස වෙනස් කරවාගෙන එතුමා විසින් ගසන ලද ගැටයක් නිසාය. කොපමණ වාරයක් ඡන්ද පැරැදුණත් නායකයා වෙනස් නොවන ඛේදනීය යථාර්ථයට මුහුණ දීමට එක්සත් ජාතික පාක්ෂිකයන්ට එදා සිට සිදු වී ඇත්තේ ඒ අනුවය.
ආණ්ඩුව කෙතරම් වැඩේ අනාගත්තත් පාර්ලිමේන්තුව විසිරවන්නට බැරි වන ලෙසට මෙවර රටේ ව්‍යවස්ථාවටම ගැටයක් ගසා ඇත. යහපාලනය ඇට්ටකුණා වී ඇතැයි යහපාලන ජනාධිපතිම කීවත් ආණ්ඩුව වෙනස් නොවන්නේ එබැවිනි.
එදා කපටිකමට අසු වුණේ තනි පක්ෂයක පාක්ෂිකයන්ය. අද කපටිකමට අසු වී සිටින්නේ මුළු මහත් රටේම ජනතාවය.
අවසන් විසඳුම සොයා අගතියට පත් ජනතාව පාරට බසින තෙක් නොසිට මේ උගුලෙන් ගැලවෙන්නට ඇති එකම මඟ පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 225න් 2/3ක්ම එකතුව පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යන ලෙස ඉල්ලා සිටීමය. රට ගැන නොහිතන බඩ ගැන පමණක් සිතන වැඩි පිරිසක් සිටින වත්මන් පාර්ලිමේන්තුවෙන් එවැන්නක් බලාපොරොත්තු විය හැකිද?
අහක යන පවකට තමන් කර ගැසූ බවක් මෑතක සිට ජනතාවට අඟවන්නට උත්සාහ කරන බවක් පෙනෙන වත්මන් ජනාධිපතිතුමා අනුන්ට ෙදාස් තබමින් පමණක් නොසිට වූ වරද නිවැරැදි කිරීමට දැන්වත් පෙරමුණ ගනීවිද?
ආචාර්ය නාලක ගොඩහේවා