Colombo Today Local News

අගමැති කියා ඇත්තේ අමු බොරු… මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නැයි වාර්තාවේ කොතනකවත් නෑ

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් බරපතල වංචා පිළිබඳ කොමිෂන් සභා වාර්තාව ලෙස ප්‍රසිද්ධ කර ඇත්තේ සැබෑ වාර්තාව නොවන බවට මෙන්ම මෙය දේශපාලන උවමනාවෙන් යලි සකසන ලද වාර්තාවක් බවට අපට සාධාරණ සැකයක් තිබෙනවා යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහත ඊයේ (29දා) පැවසීය.

පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා,

“බරපතළ වංචා කොමිෂන් වාර්තාවෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දේශ කර ඇති බවට අගමැතිතුමා මේ දවස්වල වේදිකාවක් ගාණේ කියාගෙන යනවා. මම එතුමන්ට අභියෝග කරනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නට නිර්දේශ කර ඇති පිටුවේ අංකය කියන්න. මීට කලිනුත් අගමැතිතුමන් බොරුවක් කිව්වා. එතුමන් කිව්වා රාජපක්ෂ යුගයේදී බිලියන 4,000ක වංචාවක් සිදුවුණා කියා බැඳුම්කර වාර්තාවේ තිබෙන බවට. මම පිටු 946 ම කියෙව්වත් කිසිම පිටුවක එවැනි නිර්දේශයක් නැහැ. එසේනම් එය තිබෙන පිටුව කියන්න කියලා මම ජනාධිපතිතුමන්ට සහ අගමැතිතුමන්ට අභියෝග කළාට පසුව දැන් ඒ කතාව වේදිකාවේ කියන්නේ නැහැ. දැන් මේ අලුත් කතාව කියනවා. ජනාධිපතිතුමන්නම් කමක් නෑ කියමු. නීතිඥයෙකු වුණු අගමැතිතුමා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවකට ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දේශ කරන්න බැරි බව නොදැන සිටීම කනගාටුවට කරුණක්. ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දේශ කළ හැක්කේ විශේෂ ජනාධිපති කොමිසමකට. මේක කරුණු සොයා වාර්තා කරන විමර්ශන ජනාධිපති කොමිසමක්.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් බරපතල වංචා පිළිබඳ කොමිෂන් සභා වාර්තාව ලෙස ප්‍රසිද්ධ කර ඇත්තේ සැබෑ වාර්තාව නොවන බවට මෙන්ම මෙය දේශපාලන උවමනාවෙන් යලි සකසන ලද වාර්තාවක් බවට අපට සාධාරණ සැකයක් තිබෙනවා. ඇයි අපි එහෙම කියන්නේ? මේ ජනාධිපති කොමිසමේ සාමාජිකයින් පස්දෙනාගෙන් හතරදෙනෙකුම පලපුරුදු විනිසුරුවරුන්. විනිසුරුවන් නිගමනයකට එළැඹෙන ක්‍රම වේදයක් අපි නඩු තීන්දු වල දැක තිබෙනවා.

සාමාන්‍යයෙන් ඕනෑම නඩු තීන්දුවක මෙන්ම බැඳුම්කර වාර්තාවේත් තමන්ගේ නිගමනයට එළැඹීමට හේතු දක්වනවා. එහි දී නිගමනයට අදාළ සාක්ෂි උපුටා දැක්වීම සිදුකෙරෙනවා . උදාහරණයක් වශයෙන් බැඳුම්කර වාර්තාවේ සිය නිගමනයන්ට එළැඹෙන විට ඒ සදහා පාදක කරගත්ත කාරනා මොනවද කියන එක අදාල තැන්වලින් උපුටා දක්වමින් තමයි ඒ නිගමන වලට එළැඹෙන්නේ. නමුත් මේ විමර්ශන 34න් එකකවත් අදාළ නිගමනයට එළැඹීමට බල පෑ හේතු දක්වා නෑ. අපි දන්නවා උගත් නඩුකාර වරුන් කවදාකවත් සාක්ෂි නොමැතිව නිගසනයන් වලට නිර්දේශවලට නියෝග වලට එළඹෙන්නේ නෑ. අන්න ඒ නිසා තමයි අපි සාධාරණ සැකයක් ඇතිකරගන්නේ මේ තිබෙන්නේ විනිසුරු වරුන් අත්සන් කර බාරදුන් වාර්තාව නොවෙයි ජනාධිපති ලේකම් කාර්යාලයේදී යලි සකසන ලද වාර්තාවක් කියලා.

ඒ නිසා රටේ දෙවැනි පුරවැසියා ජාතියට විහිළු සපයන්නෙකු බවට පත්වුනොත් ජාතිය විහිළුවක් බවට පත්වෙනවා. ඒ නිසා ගරු අගමැතිතුමනි, ඔබතුමන් කියන්න පෙර සිතා බලන්න යැයි අපි කියනවා. අර පස්දුන් රට ගැන කියපු සිද්ධිය, තොප්පිගල විශාල කැලයක් යැයි කියපු සිද්ධියට පස්සේ දිගු කලක් ඔබ තුමන් කට වරද්දා නොගෙන සිටියත් නැවතත් ඔබතුමන්ගේ නරක කාලය උදාවෙලාදැයි අපට සිතෙනවා.” යැයි පවසා සිටියේය.

Related posts

තමිල්ණාඩුවේදී ජනපති මෛත්‍රීගේ අනුරුවක් ගිනි තබයි ! 200ක් අත්අඩංගුවේ

colombotoday

මල්ලවපිටියේ ගලි වලක ගිනි අවි සහ ආයුද තොගයක්

Admin

“ජවිපෙ සහය රනිල්ට“ පුවත ගැන ජවිපෙන් විශේෂ නිවේදනයක්

colombotoday

කොළඹ මාර්ග කිහිපයක් අවහිර වෙයි

Admin

මුදල් ඇමති ඉවත් කරන්න කීවෙත් මමයි.. සාගල, විජේදාසත් ඇමති මණ්ඩලෙන් ඉවත් කරනවා

colombotoday

වාහන මිළ ගැන මං මොකුත්ම කීවේ නෑ.. මතකත් නෑ.. මට “අදාල නෑනේ” – ජෝන් ඇමති

colombotoday