ජනාධිපති සිරිසේන මහතා පසුගියදා කැබිනට් මණ්ඩලයේදී කියා ඇති පරිදි ෂැංග්‍රිලා හෝටලයට ඉඩ දීම සඳහා හමුදා මූලස්ථානයෙන් ඉවතට ගෙන ගිය විවිධ පරිපාලන අංශ වෙනුවෙන් වාර්ෂික කුලිය රුපියල් කෝටි 500ක් නම් එම නාස්තියට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ සිරිසේන හා රනිල් හවුල් ආණ්ඩුව බව ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.
ඔහු ඒ බව පැවැසුවේ දේශප්‍රේමී වෘත්තිකයන්ගේ සංසදය විසින් විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සඳහා කොළඹදී සංවිධානය කර තිබූ වැඩමුළුවක් අමතමිනි.
පසුගියදා ජනාධිපතිවරයා ෂැංග්‍රිලා හෝටලයට හමුදා මූලස්ථානයේ ඉඩම ලබාදීම ගැන පසුගිය ආණ්ඩුවට ඇඟිල්ල දික්කරමින් චෝදනා කිහිපයක් කළබව කැබිනට් ප්‍රකාශක මහින්ද සමරසිංහ ඇමැතිවරයා කියා තිබුණා.
ඒ චෝදනා වන්නේ,
පසුගිය රජය හමුදා මූලස්ථානය අලුත් ස්ථානයකට ගෙන යෑමට තීරණය කිරීම ආරක්ෂාවට තර්ජනයක් බවත්,
ෂැංග්‍රිලා හෝටලයට ඉඩදීමේ පසුගිය ආණ්ඩුවේ වැරැදි තීරණය නිසා හමුදාවේ විවිධ අංශ ස්ථාන 15ක පමණ රඳවා තබාගැනීමට වාර්ෂික කුලිය කෝටි 500ක් පමණ වන බවත්,
ෂැංග්‍රිලා ඉඩම වසර 99ට බදු නොදී සින්නක්කර වික්ක එක රටට අවාසියක් බවත්,
පෝර්ට් සිටි ඉඩමත් සින්නක්කර දීමට නියමිතව තිබුණද වත්මන් ආණ්ඩුව ව්‍යාපෘතිය ටික කලකට නවතා එම ගිවිසුම 99 අවුරුදු බද්දකට වෙනස් කළ බවත්ය.
මෙම චෝදනාවල සාවද්‍යතාව මෙලෙස විමසා බලමු.
ඇමෙරිකාවේ පෙන්ටගනය මෙන් ත්‍රිවිධ හමුදා මූලස්ථානයක් එක් ස්ථානයක පිහිටුවීමේ සැලැස්ම මුලින්ම සකස් කරනු ලැබුවේ පසුගිය ආණ්ඩුව විසින් නොවේ. ඊට බොහෝ කාලයකට පෙරය. සැලැසුම්වලට පමණක් සීමා වී තිබූ තවත් බොහෝ ව්‍යාපෘතීන් මෙන් මෙයද ක්‍රියාවට නැංවීම ආරම්භ වූයේ මහින්ද රාජපක්ෂ යුගයේදීය. කාලාන්තරයක් තිස්සේ රටේ මෙවැනි සැලසුමක් සකස් කර තිබුණේ ආරක්ෂක කටයුතු පිළිබඳ විශේෂඥයන් විසින් කරන ලද අධ්‍යයනයන්හි ප්‍රතිඵලයක් ලෙසයි.
මේ සඳහා බත්තරමුල්ලේ අකුරෙගොඩ ඉඩම වෙන්කළේ 2005ට පෙරයි. ත්‍රිවිධ හමුදා මූලස්ථානය එහි සාදන්නට තීරණය කළේ ෂැංග්‍රිලා හෝටලයට ඉඩ ලබාදීම සඳහා යැයි පෙන්වන්නට බොළඳ උත්සාහයක යෙදෙන එක ජනාධිපතිවරයකුට සුදුසු නැහැ. ත්‍රිවිධ හමුදා මූලස්ථානය එක් තැනක පිහිටුවීම ආරක්ෂාවට තර්ජනයක් කියා මෙතෙක් කිසිම ආරක්ෂක විශේෂඥයෙක් කියා නැහැ.
පසුගිය ආණ්ඩුව සෑම ව්‍යාපෘතියක්ම කළේ මනා සැලැස්මකට අනුවයි. වැඩ බැරි වත්මන් ආණ්ඩුවත් සමඟ ඔවුන්ව සංසන්දනය නොකළ යුතුයි. හමුදා මූලස්ථානය සාදා නිම කරන්නට අවශ්‍ය මුදල් ෂැංග්‍රිලා සමාගමෙන් ලබාගෙන රුපියල් බිලියන 18ක් ලංකා බැංකුවේ ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ගිණුමක දමා තිබුණා. නමුත් වත්මන් ආණ්ඩුව බලයට ආ ගමන් මොකක්ද කළේ. ඒ බිලියන 18 ගෝඨාභය රාජපක්ෂගේ ගිණුමක දමා තිබෙනවා කියා බොරුවක් සමාජ ගත කළා.
ඉන් පසු ඒ මුදල ආරක්ෂක අමාත්‍යාංශ ගිණුමෙන් මහා භාණ්ඩාගාරයට මාරු කළා. වසරක් ඇතුළත ආණ්ඩුව අධික වියදම් නිසා මේ මුදල ආගිය අතක් නැතිව ගියා. ත්‍රිවිධ හමුදා මූලස්ථානයේ ඉදිකිරීම් වැඩ මුදල් නැතිව අඩාල වුණා. සැලසුමට අනුව ෂැංග්‍රිලා හෝටලයට ඉඩම් නිදහස් කිරීම සඳහා විවිධ හමුදා පරිපාලන අංශ කුලී ගොඩනැඟිලිවලට ගෙනියන්නට සිදු වුණා.
අපි දන්නවා කෘෂිකර්ම අමාත්‍යාංශ ‘ගොඩනැඟිල්ලේ’ හොර ගනුදෙනුව ගැනත්, මේ ආණ්ඩුව කුලී ගොඩනැඟිලිවලින් මොනතරම් වංචා කරනවාද කියා. ඉතින් 2015 අවසන් වෙන්නට තිබූ ව්‍යාපෘතිය වසර 3ක් ගත වන විටත් අවසන් කරගන්නට බැරිව දඟලන වත්මන් ආණ්ඩුව නොවේද මේ නාස්තියට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ?
ෂැංග්‍රිලා හෝටලය යුද්ධයෙන් පසු ලංකාවට ලැබුණු විශාල පරිමාණයේ ආයෝජනයයි. ෂැංග්‍රිලා හෝටලය වැනි සුප්‍රකට වෙළෙඳ නාමයක් ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ දියුණුවට විශාල රුකුලක් වන නිසා මේ සම්බන්ධව රජයේ ඒ වෙලාවේ තිබුණේ ඉතා විශාල උනන්දුවක්. මෙම ව්‍යාපාරිකයා තෝරා ගත්තේ ආරක්ෂක අමාත්‍යාංශය පිහිටා තිබූ ගාලුමුවෙදාර ඉඩමයි. මෙම ඉඩමින් ආරක්ෂක අමාත්‍යාංශය ඉවත් කොට එය බත්තරමුල්ලට ගෙන යන්නට සැලැස්මක් චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව කාලයේ පටන් තිබුණද එය ක්‍රියාත්මක නොවී තිබුණේ එයට අවශ්‍ය විශාල මූල්‍ය සම්පාදන වෙන් කිරීමේ අපහසුව නිසායි. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මහා භාණ්ඩාගාරය අක්කර 10ක ඉඩම සඳහා ඩොලර් මිලියන 125ක් ගෙවන්නට කැමැතිදැයි ෂැංග්‍රිලා සභාපතිවරයාගෙන් ඇසූ විට ඔහු එයට එකඟ වුණා. මීට අමතරව අපි අමතක කරන්න හොඳ නැහැ. ෂැංග්‍රිලා නිසා ලංකාවට ඩොලර් මිලියන 800ක පමණ ආයෝජනයක් හා රැකියා අවස්ථා 1,000කට වඩා ලැබුණු බව.
නිදහසින් පසු ලංකාවේ ආයෝජනය කළ බොහෝ විශාල පරිමාණයේ ආයෝජකයන්ට රජයේ ඉඩම් 99 අවුරුදු බද්දට ලබා දෙන ලද්දේ නොමිලේ දෙනවා හා සමාන කුඩා බදු වාරිකවලටයි. මෙය තේරුම් ගැනීමට මෑත කාලීන උදාහරණයක්ම අරන් බලමු. හම්බන්තොට වරායට අවුරුදු 99කට බදු ගිවිසුමක් අස්සන් කරන විට අක්කර 3000ක ඉඩම් චීන සමාගමට දෙන්නේ නොමිලේ. එදා ජේ.ආර්. ජයවර්ධන ගාලුමුවෙදාරට විශාල ඉඩමක් ටාජ් හෝටලයට දුන්නේ නොමිලේ.
ප්‍රේමදාස ජනාධිපතිතුමා කොටුවේ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ගොඩනැඟිල්ලට ඉඩම දුන්නේ නොමිලේ. එවැනි තත්ත්වයක් යටතේ ෂැංග්‍රිලා හෝටලයෙන් රටට වුණේ වාසියක්. හදල ඉවර වූ වරායක් අක්කර 3,000ක ඉඩම් එක්ක ඩොලර් මිලියන 1,200කට දුන්න ජනාධිපතිවරයකුට පුළුවන්ද ෂැංග්‍රිල ගනුදෙනුවට ඇඟිල්ල දික්කරන්න. අනෙක මතක තබාගන්න මෙම ඉඩමෙන් වැඩි කොටසක් භාවිත වන්නේ තට්ටු නිවාස සංකීර්ණයක් ගොඩනැඟීමටයි.
පෝර්ට් සිටි කතාවත් මේ වගේමයි. පෝර්ට් සිටිය හදන්නේ රටේ තියෙන ඉඩමක නොවෙයි මුහුද ගොඩකරලයි. ඒ මුහුද ගොඩකරන්න යන වියදමට හිලව් වෙන්න තමයි ගොඩකරන ඉඩම්වලින් යම් ප්‍රමාණයක් චීනයට දෙන්නට සාකච්ඡා වී තිබුණේ. මේ කොන්දේසි වෙනස් කරන්න ගිහින් රුපියල් බිලියන 26ක වන්දියක් ගෙවන්න සිදුවුණා වැඩ නවත්තලා කරපු පාඩුවට. පෝර්ට් සිටිය තුළ චීන සමාගම විසින් විවිධ ව්‍යාපාරවලට ඉඩම් විකුණන විට ඒවා විකුණන්නේ සින්නක්කර ඔප්පුවලට. ඉතින් මොකද්ද ඇති වැඩේ කෝටි 2600 නාස්ති කරලා ගිවිසුම 99 අවුරුදු බද්දකට වෙනස් කළා කියලා. කවදාවත් ඒ චීන සමාගම විසින් විකුණන ඉඩමක් රජයට ආපසු ගන්න පුළුවන්ද?
Mawubima