ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව මුළුමුනින්ම දෙමළ ජාතිවාදී අභිලාෂ සැපිරීම පිණිස ඉදිරිපත් වූවක් බව පෙන්වා දෙමින් ආචාර්ය චන්න ජයසුමන මහතා සිය facebook ගිණුමේ පල කර තිබු ලිපිය පහත දැක්වේ.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව 2017 සැප්තැම්බර් 21 දින අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන් 21 දෙනෙකි. වාර්තාවේ මාතෘකා 12 ඔස්සේ කරුණු දක්වා ඇත. සිංහල පිටපතේ පිටු 85 කි. යහපාලන රජය ඉදිරිපත් කරන නව ව්‍යවස්ථාවේ හෝ ව්‍යවස්ථා සංශෝධනයේ හැඩරුව පිලිබඳ මෙම වාර්තාව මගින් අවබෝධයක් ලැබිය හැකිය. වාර්තාවේ 12 වන පරිච්ජේදය වෙන් කර ඇත්තේ මෙහෙයුම් කමිටු සාමාජිකයන් සිය පක්ෂයේ අදහස දක්වමින් ඉදිරිපත් කර තිබූ ලිපි කිහිපයක් වෙනුවෙනි. එක්සත් ජාතික පක්ෂය හැරුණු විට මෙහෙයුම් කමිටුව නියෝජනය කළ සියලු පක්ෂ තම පක්ෂයේ අදහස් වෙන් වෙන් වශයෙන් දක්වා තිබීමත් ශ්‍රීලනිප, ඒකාබද්ධ විපක්ෂය, ජවිපෙ, ජාහෙඋ දක්වා තිබූ අදහස් එතරම් තැකීමකට ලක් නොකර අතුරු වාර්තාව ඉදිරිපත් කර තිබීමත් නිසා මේ වාර්තාව එක්සත් ජාතික පක්ෂයේ අදහස ලෙස සැලකීම වැරදි නොවේ. එහි දක්වා ඇති කරුණුවලට අනුකුලතාවක් දක්වා ඇත්තේ දෙමළ ජාතික සන්ධානය සහ ජයම්පති වික්‍රමරත්න මහතා පමණි. රිෂාඩ් බද්යුදීන් මහතාගේ සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය, රාවුෆ් හකීම් මහතාගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, මනෝ ගනේෂන් මහතාගේ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සහ ඩග්ලස් දේවානන්ද මහතාගේ ඊපීඩීපී ය මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවේ ඇතැම් කරුණු සමග එකඟ නැත.
මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව කියවා බලන ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් තේරුම් යන දෙයක් නම් රටේ ඒකීය බව නැති කිරීමට ඍජුව සහ වක්‍රව එහි උත්සාහ දරා ඇති බවයි. දකුණේ ජනතාව ෆෙඩරල් වචනයටත් උතුරේ ජනතාව ඒකීය වචනයටත් බියක් දක්වන බව ජනාධිපතිතුමා පවසා ඇති බවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යනු ජනතාව බියක් දැක්විය යුතු ලේඛනයක් නොවන බවත් එහි දක්වා ඇත. අපි ෆෙඩරල් වචනයට මෙන්ම ඒ වචනය පිටුපස සිටින අයට ද බිය වෙමු. ඒ ඔවුන්ගේ කල් ක්‍රියාව දන්නා හෙයිනි. එහෙත් උතුරේ ජනතාව ඒකීය වචනයට බිය වී ඇත්තේ කොතැනක කවරක් හෙයින්ද යන වග පැහැදිලි නැත. සිංහලයන් රැවටීම සඳහා මෙහිදී කපටි වංචනික පිළිවෙතක් අනුගමනය කර ඇත. එනම් ඉංග්‍රීසි භාෂාවේ unitary state (යුනිටරි ස්ටේට්) යන වචනය ශ්‍රී ලංකාව අරභයා සුදුසු නැති බවත් ඒ වෙනුවට ඒකීය/ ඔරුමිත්ත නාඩු ලෙසම ඉංග්‍රීසියෙන් යෙදීම සුදුසු ලෙසත් දක්වා ඇත. ඒ අනුව ඉංග්‍රීසි පිටපතේ දක්වා ඇත්තේ “Sri Lanka (Ceylon) is a free, sovereign and independent Republic which is an aekiya rajyaya / orumiththa nadu” ලෙසය. එවිට සිංහලයන් සිතිය යුත්තේ රට ඒකීය ලෙසය. එහෙත් දෙමළෙන් ඔරුමිත්ත නාඩු යනු “එකතු වීමෙන් නිර්මාණය වූ රට” යන්නයි. Unitary state යන වචන දෙකෙන් කියැවෙන රාජ්‍ය ස්වභාවය ගැන සම්මුතියක් ලෝකයේ ඇත. මේ උත්සාහ දරන්නේ “Aekiya” යනුවෙන් නව රාජ්‍ය විශේෂයක් බිහි කිරීමට යි. එය “Unitary state” ලෙස හැදින්වෙන රාජ්‍යයක් නොව වෙනත් රාජ්‍ය විශේෂයක්ය. මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව තව දුරටත් අධ්‍යයනය කල විට පෙනී යන්නේ “Aekiya” ලෙස මෙහි හැදින්වෙන්නේ ෆෙඩරල් රාජ්‍යයක් මිස අන් යමක් නොවන බවයි. මාස 17ක් 73 වරක් රැස් වී මෙහෙයුම් කමිටුව සිංහලයන් රැවටීමට සොයා ගෙන ඇති මහා සොයා ගැනීම මෙයයි. ඔවුන් සිතන්නේ සිංහලයන් යනු කවර ආකාරයේ මෝඩයන් පිරිසක් කියාද?
1987 වසරේ දී හඳුන්වා දුන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මෙරට ඒකීය බව නැති වී පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් වීම නැවතුනේ ප්‍රධාන කරුණු දෙකක් නිසාය. ඉන් පළමු වැන්න ජනාධිපතිවරයා පත් කරන [පළාත් මහ ඇමතිට ඉහලින් සිටින] විධායක බලය සහිත ආණ්ඩුකාරවරයකු සිටීම යි. දෙවැන්න “සමගාමී ලැයිස්තුවක්” ව්‍යවස්ථාවට ඇතුලත් වීමයි. එතෙක් සෑම විෂයයක් ගැනම මධ්‍යම රජය සතු වූ රාජ්‍ය බලය සංවෘත ලැයිස්තුව( මධ්‍යම රජයට පමණක් හිමි වන), පළාත් සභා ලැයිස්තුව (පළාත් සභාවට පමණ හිමි වන ) සහ සමගාමී ලැයිස්තුව (මධ්‍යම රජයටත් පළාත් සභාවලටත් මැදිහත් විය හැකි) ලෙස කොටස් 3 කට බෙදී වෙන් විය. සැලසුම් කිරීම, අධ්‍යාපනය,කෘෂිකර්මය, වාරිමාර්ග, සෞඛ්‍යය ඇතුළු වැදගත් විෂය 36ක් සමගාමී ලැයිස්තුවට ඇතුල් වීම නිසා පළාත් සභා පුර්ණ ෆෙඩරල් රාජ්‍ය වීම යම් තරමකට මග හැරිණි.
මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව මගින් දිගින් දිගටම යෝජනා කරන්නේ ආණ්ඩුකාරවරයාගේ බලය කපා හැරීමටත් සමගාමී ලැයිස්තුව අහෝසි කිරීමටත්ය. කොටින්ම දැන් තිබෙන ව්‍යවස්ථාවට මේ වෙනස්කම් දෙක කර ගත්තානම් ශ්‍රී ලංකාව පුර්ණ ෆෙඩරල් රාජ්‍යයකි.
මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පුරා දිව යන්නේ බලය බෙදීමේ ප්‍රධාන ඒකකය පළාත විය යුතු බවත් පළාතට සෑම විටම ප්‍රමුඛත්වය දිය යුතු බවත් ය. මෙය බැදී ඇත්තේ දෙමළ ජාතිවාදී උගතුන් හඳුන්වා දුන් අභිලාෂයක් මතය. ක්‍රමිකව වර්ධනය වී 1976 මැයි 14 වැනි දින යාපනය වඩුක්‌කොඩේ සම්මේලනයෙන් එලි දැක්වුණු “උතුරු-නැගෙනහිර පළාත් දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික නිජබිම වේ” යන්න එම අභිලාෂය යි. එම ප්‍රදේශයේ දෙමළ ජනතාව ජාතියක් බවත්, එම ජාතියට ස්‌වයංනිර්ණ අයිතිය ඇති බවත් ඒ හා බැදී ඇත. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික නිජබිමක් බව පැවසීමට කිසිදු ඓතිහාසික, පුරා විද්‍යාත්මක, වාග් විද්‍යාත්මක හෝ ජෛව විද්‍යාත්මක සාධකයක් නැත.දෙමළ ජාතිවාදී උගතුන් සහ දේශපාලකයන් මහත් අභිරුචියෙන් ගෙනහැර දක්වන සාධක හුදු හිතළු මිස සනාථ කළ හැකි දේ නොවේ.
අතීතයේ මෙරට රුහුණු, මායා සහ පිහිටි රට ලෙස ප්‍රධාන පාලන කලාප 3 ක් විය. මෙරටට පළාත් ක්‍රමය හඳුන්වා දුන්නේ 1833 කොල්බෘක්-කැමරන් නිර්දේශ හේතුවෙනි. උතුර, දකුණ, නැගෙනහිර, බටහිර සහ මධ්‍යම ලෙස පළාත් 5 ක් ඒ ඔස්සේ බිහි විය. එදා උතුරු පළාතට නුවර කලාවිය ද ඇතුල් විය. එනම් අද අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩි කොටසකි. එදා නැගෙනහිරට බින්තැන්න සහ තමන්කඩුව ද අයත් විය. එනම් අද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සහ ඌව පළාතේ වැඩි කොටසකි. වයඹ නමින් පළාතක් ඇති වූයේ 1845 දී ය. නුවර කලාවිය සහ තමන්කඩුව එක් කර උතුරුමැද පළාත බිහි වුයේ 1873 වසරේදී ය. එනම් එවකට තිබුණු උතුරු පළාතෙන් නුවර කලාවිය ඉවත් වී අද තිබෙන උතුරු පළාත බිහි වුයේ ද 1873 වසරේදී ය. ඌව පළාත බිහි වුයේ 1886 වසරේදී ය. එනම් එතෙක් නැගෙනහිර පළාතට අයත් වූ බින්තැන්න ඌව පළාතට එක්වීමත් සමග අද දක්නට ලැබෙන නැගෙනහිර පළාත බිහි වූයේ ද 1886 වසරේදී ය. අද දක්නට ලැබෙන පළාත් බෙදීම සම්පුර්ණ වුයේ 1889 වසරේ දී සබරගමුව පළාත බිහිවීමත් සමගය. මේ අනුව පෙනී යන්නේ අද දක්නට ලැබෙන උතුරු පළාතට 1976 වඩුක්‌කොඩේ සම්මේලනය පවත්වන විට තිබී ඇත්තේ වසර 103 ක ඉතිහාසයක් බවත් නැගෙනහිර පළාතට තිබී ඇත්තේ වසර 90 ක ඉතිහාසයක් බවත් ය.
ඉංග්‍රීසින් හඳුන්වා දුන් “පළාත්” ඔවුන්ගේ පහසුව සහ බලය පවත්වා ගැනීම මිස භූගෝලීය, දේශගුණික, සමාජයීය ආර්ථික හෝ සංස්කෘතික සාධක මත පදනම් නොවීය. මේ නිසා 1955 වසරේ දී පළාත වෙනුවට දිස්ත්‍රික්කය රටේ ප්‍රධාන පරිපාලන ඒකකය බවට පත් කරනු ලැබීය. එවකට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 21ක් විය. කෙසේ වෙතත් දෙමළ ජාතිවාදී උගතුන්ගේ සහ දේශපාලනඥයන්ගේ බලපෑමට නතු වූ ජේ. ආර්. ජයවර්ධන මහතා 1978 දී “පළාත” නැවතත් රටේ ප්‍රධාන පරිපාලන ඒකකය බවට පත් කළේය. ඒ පිටුපස තිබුණු අවශ්‍යතාව වූයේ උතුරු-නැගෙනහිර පළාත් දෙමළ ජනතාවගේ නිජබිම බව තහවුරු කිරීමයි. එපමණක් නොව උතුරු පළාතට 1978 දී මුලතිවු ලෙසත් 1984 දී කිලිනොච්චි ලෙසත් නව දිස්ත්‍රික්ක 2 ක් ලබා දීමට ද ජයවර්ධන ජනාධිපතිතුමා ක්‍රියා කළේය. 1978 දී යළි මතු කරගත් “පළාත” 1987 දී ඉන්දු ලංකා ගිවිසුම මගින් සිය ගණනක් මල මිනී උඩින් කල එලි බැස්සවීමට ජාතිවාදීන්ට හැකි විය. කෙසේ වෙතත් වර්ධරාජා පෙරුමාල් ගේ නොඉවසිලිවන්තබව නිසාත් ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය නිසාත් දෙමළ ජාතිවාදී උගතුන් සහ දේශපාලනඥයන්ට ෆෙඩරලය අභිෂේක කර ගැනීමට නොහැකි විය.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව මගින් සිදු කර ඇත්තේ දෙමළ ජාතිවාදී උගතුන් නිර්මාණය කළ “උතුරු-නැගෙනහිර පළාත් දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික නිජබිම වේ” යන මූල ධර්මය තව දුරටත් ඉදිරියට ගෙන යෑම සදහා උල්පන්දම් දීමකි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින්ම “පළාත”ට අසාමාන්‍ය රැකවරණයක් තහවුරු කිරීම මිස වෙනත් කිසිදු නව යෝජනාවක් මෙම අතුරු වාර්තාවේ නොදැක්වේ. මෙහි දක්වා ඇති සෑම කරුණකින්ම ඍජුව සහ වක්‍රව සිදු කරන්නේ “පළාත” ශක්තිමත් කිරීම යි. එනම් දෙමළ ජාතිවාදී උගතුන්ගේ හිතලුවක් උදෙසා මුළු රටක් නොමග යැවීමයි.
– ආචාර්ය චන්න ජයසුමන FB