Colombo Today Local News

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය රැකගත යුතු ජාතික සම්පතක් වන්නේ ඇයි ?

මොකක්ද මේ ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීරණය..??

ලෝකයේ ගැබුරුතම ස්වාභාවික වරායන් අතර පළමු පහේ රැදී සිටින ත්‍රීකුණාමල චීන වරාය ආසන්නයේ වයඹ දිගට වන්නට අක්කර 850ක විශාල ප්‍රදේශයක පුරා පැතිරුණු.. සොලිඩ් රිවට් තාක්ෂණයෙන් ඉදිකෙරුණු.. එකක ධාරිතාව ටොන් 12,500ක් වන තෙල් ටැංකි 99 කින් සමන්විත ගබඩා සංකීරණය ගැන තමයි මේ කථාව.. මේ ටැංකි සංකීරණයේ කොටස් 2ක් තියෙනව.. ඉහළ කොටස සහ පහළ කොටස කියලා.. ඉහළ කොටස ටැංකි 14කින්ද පහළ කොටස ටැංකි 85කින්ද සමන්විත වෙනවා..

මේ තෙල් ටැංකි ත්‍රීකුණාමලයේ හැදුවෙ කවුද..?? ඇයි හැදුවෙ..??

හැදුවෙ.. බ්‍රිතාන්‍ය අධිරාජවාදීන්..
මොකටද.. පළමු ලෝක යුද්ධයෙන් පසු හඳුනාගත් ලෝක පරිමාණ බල ව්‍යාපෘතියේ හඳුනාගත් දෝශ වලට පිලියම් සෙවීමේ වැඩ පිලිවෙල යටතේ මූලික අවශ්‍යතාවයක් අනුව.. පටන් ගත්තෙ 1924 දි.. වැඩ අවසන් උනේ 1930 දශකය මුලදි.. ඒ අනුව ඔවුන් ටැංකි 101කින් මුලදී සමන්විත වූ මේ අපූරු සංකීරණය නිර්මාණය කරනවා..

ඉතින් ඒකෙන් බ්‍රිතාන්‍ය අධිරාජවාදීන්ට වැඩක් උනාද..??

ඔව්.. දෙවන ලෝක යුද්ධයේදී අදහස් කල ලෙසම සතුරු පාර්ශව වලට එරෙහි ප්‍රහාරවලට අවශ්‍ය ඉන්දන සදහා මේ සංකීරණය සහ වරාය යොදා ගත්තා.. එය කොතරම්ද කිව්වොත් සතුරු පාර්ශවික ජපන් ගුවන් හමුදාවේ ඉලක්කයක් බවටත් මේ ටැංකි සංකීරණය ලක් උනා.. 1942 අප්‍රේල් 09 වෙනිදා එල්ල වූ කමිකාසේ පන්නයෙ (a kamikaze attack) ගුවන් යානයෙන්ම කඩා වැදී ප්‍රහාර එල්ල කල විනාශ කරමින් මැරෙන ජපන් ගුවන් ප්‍රහාරයකින් අංක 91 දරණ ටැංකිය විනාශ උනා.. එම ටැංකිය විනාශ වී දින 7ක් ගිනිගත් බව කියනවා

 එතකොට දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ..??

ලංකාවට නාමික නිදහස1948 දි ලැබුනත් මේ තෙල් ටැංකිවල අයිතිය බ්‍රිතාන්‍යය යටතේම පැවතුනා 1964 වෙනකල්..

1964 දි මොකද වෙන්නෙ..??

ලෝකයේ පළමු අග්‍රාමාත්‍යවරිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය බලයට පත්වෙන්නෙ 1960 වසරෙ දි.. ජාතික ආර්ථිකයක් ගැන විශ්වාස කල ඇගේ ආණ්ඩුව 1962 වසරේ ලංකා ඛණිජ තෙල් සංස්ථාව පිහිටුවන්නෙ ලංකාවෙ ඉන්දන වෙළදාම ජනසතු කිරීමේ අරමුණෙන්.. ඒ යටතේ මේ තෙල් ටැංකි සංකීරණය රජයට පවර ගන්නවා 1964 දි.. ඒ පවරා ගැනීම සදහා ස්ටර්ලින් පවුම් දෙලක්ෂ පනස් දහසක් ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් බ්‍රිතාන්‍ය රජයට ගෙවනවා.. ඒ අනුව මේ තෙල් ටැංකි සංකීරණයේ අයිතිය ලංකා ඛණිජ තෙල් සංස්ථාව සතු විය යුතු වුවද.. කුමක් හෝ හේතුවකට එසේ වන්නෙ නෑ.. ඒ වෙනුවට පවරා ගත් දින සිටම මේ තෙල් ටැංකි සංකීරණය පවතින්නෙ මහා භාණ්ඩාගාරය යටතේ තමයි..

ඊට පස්සෙ ඛණිජ තෙල් සංස්ථාව මේ ටැංකි පාවිච්චි කරනවාද..??

නෑ.. මේ ටැංකි ඛණිජ තෙල් සංස්ථාව මිලදී ගන්නෙ අනාගත ප්‍රයෝජනය සදහයි.. සංස්ථාව මුල සිටම ක්‍රියාත්මක උනේ කොළඹ ආශ්‍රිතව.. ඒකට හේතුව එවකට ලංකාවේ තෙල් අවශ්‍යතාව අද වගේ මහා පරිමාණව නොතිබීම සහ එම කුඩා ප්‍රමාණ දුම්රියෙන් ප්‍රවාහනය කිරීම වාසිදායක වූ නිසයි.. 1971දි රෝයල් සිලෝන් එයර් ෆෝස් ගුවන් යනයක් කඩා වැටිලා තවත් ටැංකියක් විනාශ වෙනවා.. කොහොම උනත් 1964 න් පස්සෙ ආපහු මේ තෙල් ටැංකි ගැන ආපහු ලොකුවට කථා වෙන්නෙ 1987 දි..

 1987 දි මොකද වෙන්නෙ..??

1977 දි බලයට ඇවිත් ඇමරිකානු ගැති ප්‍රතිපත්තියක වැඩ කරන්න ගිහිපු ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාට අවසානයේ සිදු වෙන්නෙ සෝවියට් කඳවුරේ ප්‍රබලයෙක් වෙච්ච අසල්වැසි ඉන්දියාව ඉස්සරහා දන නමන්න.. ලංකාවෙ නොනිල පාලනය අතට ගන්න ඉන්දියානු අගමැති රජිව් ගාන්ධි 1987 වසරේ ජූලි 29 වෙනිදා කොළඹදි ඉන්දු ලංකා ගිවිසුම ගහන්නෙ බලහත්කාරීව ලංකා ආණ්ඩුව තම දෙපා මුල දන ගස්වා.. ඒ ගිවිසුමේ ත්‍රීකුණාමල තෙල් ටැංකි ගැනත් සදහන් වෙනවා..

ඉන්දු ලංකා ගිවිසුමේ මේ තෙල් ටැංකි ගැන සදහන් වූයේ ඇයි..?? සදහන් වූයේ මොනවාද..??

1987 දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මේ තෙල් ටැංකිි සංකීර්ණය ඇමෙරිකාවට බදු දෙන්න උත්සහ කරනවා.. එයින් කලබල වුනු රජිව් ගාන්ධි ජේ ආර්ට එවනවා තර්ජනාත්මක ලිපියක්.. පසුව බලහත්කාරයෙන් ලංකාවෙ අත්සන ගත්ත ඉන්දු ලංකා ගිවිසුමේ මේ තෙල් ටැංකි සංකීර්ණය ගැන සටහන් වෙන්න ජේ ආර්ගෙ මේ ඔලමොට්ටල ක්‍රියාව සෘජුව බලපානවා.. මේ ගිවිසුම ප්‍රකාරව ත්‍රීකුණාමලය තෙල් ටැංකි ආශ්‍රිත සියළු සංවර්ධන කටයුතු ඉන්දියාව සමඟ ඒකාබද්ධව සිදු කල යුතුයි.. එසේම ඉන්දියාවෙ අවසරය නොමැතිව තෙල් ටැංකිි සංකීර්ණය පිළිබදව තීන්දු ගැනීමද ලංකා රජයට තහනම් කරනවා.. මේ ගිවිසුමේ බලහත්කාරීකම මොනවාට පෙන්වන තැනක් තමයි ගිවිසුමේ මේ කොටස..

ඊට පස්සෙ ඉන්දියාව තෙල් ටැංකි සදහා ක්‍රියාකාරීව මැදිහත් වෙනවද..??

නෑ.. ඇත්තටම ඉන්දියාවට ඕනැ වෙන්නෙ යුධමය තත්වයකදී තමන්ගේ හතුරු පාර්ශවයක් අතට මේ තෙල් ටැංකි සංකීර්ණය යෑම වැලැක්වීම.. ත්‍රීකුණාමල තෙල් ටැංකි පාවිච්චි කිරීමේ අවශ්‍යතාවයක් ඉන්දියාවට එකල පැන නැගී තිබුනේ නෑ.. අනිත් අතින් මෙම ගිවිසුමට අනුව ඉන්දියානු පාර්ශවයෙන් ඉටු විය යුතු වගකීම් කිසිවක් සම්පූරණ කරන්න ඉන්දියාව අසමත් වූ නිසා ගිවිසුමේ වලංගුභාවයද ප්‍රශ්ණකාරීයි.. කොහොම උනත් 2003 දී ඉන්දියානු ඔයිල් සමාගම (IOC) ත්‍රීකුණාමලයට එනතෙක් 1987 ඉදන් ඉන්දියානු මැදිහත් වීමක් උනේ නෑ.. මේ කාලයේ ත්‍රීකුණාමලයේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ අවධානමත් එහෙම වෙන්න බලපාන්න ඇති..

2003 දි කොහොමද IOC එක කරලියට එන්නෙ..??

නූතන ලංකාවෙ ‘විකිණුම් කුමාරයා’ ලෙස ප්‍රසිද්ධියක් උසුලන රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් එජාප ආණ්ඩුවක් බිහි වෙනවා 2001 වසරෙදි.. බලයට ආපු ගමන් වික්‍රමසිංහ ගේ විකිණිය හැකි සියළු දේ විකිණීමේ ප්‍රතිපත්තිය යටතේ මේ ටැංකි සංකීරණය සිංගප්පූරු සමාගමකට බදු දීමේ උත්සහය ගන්නෙ 2002 දි.. ඉන්දියාවෙන් එල්ල වූ විරෝධය නිසා එම උත්සහය උපන් ගෙයිම මිය යනවා.. ඒ වෙනුවට ඉන්දියන් ඔයිල් සමාගම 2003 දි ත්‍රීකුණාමලයට වැද්දවා ගැනීමට වික්‍රමසිංහ පියවර ගන්නවා..

2003 IOC ගිවිසුම අනුව මොකද උනේ..??

2003 පෙබරවාරි 07 දින IOC සමාගම වික්‍රමසිංහ ආණ්ඩුව සමග ගිවිසුමකට එළඹුණා.. ඒක අවබෝධතා ගිවිසුමක් පමණයි.. ඒ ගිවිසුමට අනුව ඝන මීටර් 12,500ක් ගබඩා කරන්න පුළුවන් තෙල් ටැංකියක වසරක කුලිය වුණේ ඇමරිකන් ඩොලර් 1,000යි.. අවුරුද්දටම රුපියල් නම් ලක්ෂයයි.. ටැංකි 99ට ඩොලර් 99,000ක් සමග අනෙකුත් පහසුකම් සමගින් තව ඩොලර් 1,000ක් තමයි අපට ලැබුණේ.. තෙල් මෙටි‍්‍රක් ටොන් 12,00,000 ගබඩා කරන්න පුළුවන් මෙම තෙල් ටැංකි සංකීර්ණයේ වාර්ෂික කුලිය වුනේ රුපියල් කෝටියක් තරම් සොච්චමයි.. ඒත් එක්කම මේ ගිවිසුමේ වලංගුභාවය ගැනත් ප්‍රශ්ණ ආවා..

මොකද්ද මේ IOC ගිවිසුමේ වලංගුභාවය ගැන අවුල…??

2003 අත්සන් කළ මෙම ගිවිසුමේ 1.2 වගන්තියට අනුව මාස 06ක් ඇතුලත විධිමත් බදු ගිවිසුමකට එළඹෙන්න ඕනේ.. නමුත් එහෙම දෙයක් වුණේ නැහැ.. ඒ නිසා දැන් ඉන්දියානු අයි. ඕ.සී. සමාගම සමග අත්සන් කළ අවබෝධතා ගිවිසුම වලංගු නැහැ.. නමුත් මේ වෙනකල් ඉන්දියානු සමාගම තෙල් ටැංකි 14ක් භාවිතා කරනවා.. ඒ අය ආණ්ඩුවට කුලියත් ගෙවනවා.. ආණ්ඩුව ඒ කුලිය අරගෙනත් තියෙනවා.. මේ කටයුතු සිද්ධ වෙන්නේ කොහෙත්ම නීත්‍යනුකූල ආකාරයෙන් නෙමෙයි.. නොදැනුවත්කම නිසත් නෙමෙයි.. ඒ අනුව ආණ්ඩුව හා ඉන්දියාව බොහෝම අවබෝධයෙන් හා දැනුම්වත්ව තමයි මේ ‘ප‍්‍රයෝගකාරී ක‍්‍රියාව’ කරගෙන යන්නේ..

දැන් මොකක්ද මේ ගිවිසුම් නිසා වෙච්ච අවුල..??

අවුල් ගොඩයි.. ආසන්නම උදාහරණයක් තියෙනවා හරි අපූරු..
2016/05/24 දවසෙ හිටපු තෙල් ඇමති වීරක්කොඩි දානවා කැබිනට් පත්‍රිකාවක් වහාම ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි 16ක් ප්‍රයෝජනයට ගන්න මාස 3ක් ඇතුලත.. මොකද තෙල් ඉල්ලුම ඉහළ යෑම සමඟ සංස්ථාවට අළුත් ගබඩා පහසුකම් අත්‍යාවශ්‍ය වෙලා තියෙන නිසා.. ඉතින් ඒ කැබිනට් තීරණය අනුව සංස්ථාවෙ ඉංජිනේරු අංශ සාමාජිකයො පිරිසක් ත්‍රීකුණාමලයට යනවා මූලික වැඩ අරඹන්න.. නමුත් ඔවුන් මුහුණ දෙන්නෙ අමුතු අකරතැබ්බයකට.. IOC ආරක්ෂකයන් විසින් අත්අඩංගුවට ගන්නවා.. අනවසරෙන් ඔවුන්ගෙ දේපලකට ඇතුල් උනයි කියලා හිටං.. IOC කියනවා ඔවුන්ට ලංකා ආණ්ඩුවවත් ඒකෙ තීරණවත් අදාල නෑ ඔවුන් අනුගමනය කරන්නෙ ඉන්දියානු රජයේ තීරණ පමණයි කියලා.. අවසානෙ වෙන්නෙ ලංකා ආණ්ඩුව තම කැබිනට් පත්‍රිකාවත් ඉල්ලා අස්කරන් ඉන්දියානු සමාගමක් ඉස්සරහත් නිවට නියාළු වීම සහ තෙල් ටැංකි සියල්ලම ඉන්දියාවට දී දැමීමේ අමන ක්‍රියාවලියකට යොමු වීමයි..

 ඇයි ඉන්දියාවට ටැංකි සංකීරණයම දීම අමනකමක් වෙන්නෙ..??

හරිම සරලයි.. ලංකාවෙ තෙල් අවශ්‍යතාවය දින දින ඉහළ යනවා.. ගබඩා පහසුකම් සංස්ථාවට මදි වෙනවා.. ඒ නිසා අළුතින් ටැංකි ඉදිකරනවට වඩා අඩු වියදමකින් ත්‍රීකුණාමල වරායත් මේ තෙල් ටැංකි භාවිතා කරන්නත් හැකියාව තියෙනවා.. ඒ වගේම ත්‍රීකුණාමල කේන්ද්‍ර කර ගෙන කුරුණෑගලින් උතුරු ප්‍රදේශවලට තෙල් බෙදාහැරීම් කරොත් අවම වශයෙන් රුපියල් කෝටි 70ක් සංස්ථාවට වාර්ශිකව ඉතිරි කරන්න පුළුවන් බවත් සාධක සහිතව ඔප්පු කරලා තියෙනවා..

එච්චරයිද..??

අපෝ නෑ.. වැදගත්ම කථාව තවම කිව්වෙ නෑ..

 ඒ මොකක්ද..??

දැනට ඛණිජ තෙල් සංස්ථාව ප්‍රධාන වශයෙන් භාවිතා කරන ප්‍රධාන ගබඩා සංකීරණ වන කොළොන්නාව නිමාවේ සහ මුතුරාජවෙල ගබඩා සංකීරණ දෙකේම ගබඩා ධාරිතාවය තියෙන්නෙ මෙට්‍රික් ටොන් 450,000ක් පමණ තමයි.. ඒ ප්‍රමාණය ලංකාවෙ වත්මන් අවශ්‍යතාවය එක්ක ගත්තම සෑහෙන්නෙ සති 3කටත් අඩු කාලයකට.. ඉදිරියේදී ඉල්ලුම ඉහළ යෑමත් සමඟ සංචිත ප්‍රමාණවත් වන දින ගණන තවත් අඩු වෙනවා.. ඒ අතින් බැලුවම යම්කිසි හේතුවක් නිසා දින කිහිපයකට ජාත්‍යන්තරයෙන් තෙල් ලබා ගැනීමට නොහැකි උනොත් රටම අඩපන වීමේ අවධානමක් තියෙනවා.. ඒ නිසා අත්‍යාවශ්‍යයෙන් ඉහළ දැමිය යුතු ගබඩා ධාරිතාවය සපයා ගන්න පහසුවෙන් අළුත්වැඩියා කර දීර්ඝකාලීනව පරිහරණය කල හැකි මේ ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සංකීරණය සම්පතක් වන්නෙ ඒ නිසයි..

එසේ ත්‍රීකුණාමල ටැංකි සංකීරණය නැවත ප්‍රයෝජනයට ගැනීමෙන් වෙනත් වාසි නැද්ද..??

ඇයි නැත්තෙ.. ලෝක මට්ටමෙන් ගත්තම ලෝකයේම ආර්ථිකයට තෙල් මිල උච්චාවචනය ඉතා නරක විදිහට බලපාමින් තියෙනවා.. තෙල් සංචිත හිඟ වෙනවාත් සමඟ ඉදිරියේදි ඒක තවත් බරපතල වෙන්න තියෙන ඉඩකඩත් ඉහළයි.. ත්‍රීකුණාමලයේ ටැංකි 99යේම ටොන් මිලියන 1.2ක ධාරිතාවය පාවිච්චි කරොත් ජාතික ඉන්දන සංචිත රටේ අවශ්‍යතාවයට අඩුම තරමින් මාස 3කට සරිලන්න ඉහළ දැමීමේ හැකියාව තියෙනවා.. එහෙම කලොත් කෙටිකාලීන මිල ඉහළ යෑම්වල බලපෑමෙන් රටේ ආර්ථිකයට හානි වීම වලක්ව ගන්න පුළුවන්.. තෙල් මිල පහළ ගිය කාල වකවානුවල වැඩිපුර තෙල් තොග මිලදී ගෙන එහි වාසියත් රටට දෙන්න පුළුවන්.. ඒ වගේම ගබඩා ධාරිතාවය ඉහළ දැමීමෙන් පිරිපහදු හරහා කෙරෙන තෙල් සැපයුම ඉහළ දමා එහි ආර්ථික වාසියත් රටට ලබා දෙන්න පුළුවන්.. ඒක වෙනත් රටකට පවරා දී ලැබෙන කුලී මුදලට වඩා ඉතා විශාල වටිනාකමක් රටටම ලැබෙන පියවරක් වෙන බව නම් සහතිකයි..

ඇයි ඉතින් ඔච්චර වාසි නම් පහුගිය ආණ්ඩුවවත් ඔය වැඩේට අත නොගැහැව්වෙ..??

හේතු තියෙනවා.. එකක් ඒ ආණ්ඩුවේ මුල් කොටසෙ ත්‍රීකුණාමලය තිබුනෙ අවධානම් කලාපයක.. දෙවන කොටසෙදි ආණ්ඩුව කලේ යුද්ධය නිසා මග හැරුණු යටිතල පහසුකම් අදට ගැලපෙන ලෙසට සීග්‍රයෙන් වැඩි දියුණු කිරීමේ වැඩ පිලිවෙලට මුල්තැන දීම.. ඒ වගේම අමතක කරන්න එපා යුද්ධය අවසානයේ සිට 2014 අගභාගය වෙනකල් ලෝක වෙළඳ පොලේ තෙල් මිල තිබුනෙ මෑත ඉතිහාසයේ ඉහළම මිල ගණන් අතර උච්චාවචනය වෙමින්.. ඒ කාලෙ අමතර තෙල් සංචිත මිලට ගැනීමෙනුත් අවාසියක් මිස වාසියක් අත්කර දෙන්නට හැකියාවක් නෑ..

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ..??

යම්කිසි ක්‍රමයකින් රටට ලැබුනු අනගි සම්පතක් තමයි මේ තෙල් ගබඩා සංකීරණය.. ඒකෙ උපරිම ප්‍රයෝජනය ලැබෙන්න ඕනැ විදේශිකයන්ට නොව මේ රටේ ජීවත් වන ස්වදේශික ජනතාවටයි.. ඒ නිසා ඉතා ලඟ සහ පටු වාසි අපේක්ෂාවෙන් මේ සම්පත ඉන්දියාවට හෝ වෙනත් විදේශ රටකට දීර්ඝකාලීනව විකිණීම කෙසේ හෝ වැලැක්විය යුතු ජාතික අපරාදයක් වගේම හෙණ ඉල්ලිය යුතු නරුම වැඩක් බව අවසාන වශයෙන් කියන්න ඕනැ..

”…පාලක බ්‍රෝකර්වරුන්ගේ විකුණං කෑමේ උත්සහය තීරණාත්මකව පරදවා මතු පරපුරේ ප්‍රයෝජනය සදහා මේ සම්පත ආරක්ෂා කිරීම සියළු පුරවැසියන්ගේ යුතුකමක් නොව වගකීමක් බව සලකන්න..”

 විශ්ව චින්තන

Related posts

නව අධ්‍යාපන ලේකම්වරිය ධුරයේ වැඩ අරඹයි

Admin

කරච්චි යන ගමන් අද උදේ මත්තලට ගොඩබැස්වූ ලෝකෙ ලොකුම යකඩ කුරුල්ලා (Video)

colombotoday

සජබ කොළඹ දිස්ත්‍රික් සංවිධායක එජාපයට එක්වෙයි

Admin

මුස්ලිම් දේහයක් පුච්චද්දී මිලියන දෙකක මුස්ලිම්වරුන්ගේ හැගීම් පිච්චෙනවා – අලි සබ්‍රි නැවතත් සටනට

colombotoday

දේශපාලන පෙරළියක් සූදානම්.. කළකිරුණු ශ්‍රීලනිප ඇමතිලා 6ක් විපක්ෂයට !!

colombotoday

ඉස්ලාමාබාද් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත වේ

colombotoday