Colombo Today Local News

මුළු ලොවම මවිත කළ විජයග්‍රහණයේ 07 වන සැමරුම – හිටපු ජනපතිගේ නිවේදනය

mahinda_army

දශක 3ක් තිස්සේ පැවැති ත්‍රස්තවාදය පරාජය කර හෙටට යෙදෙන 07 වන සැමරුම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

රණවිරුවන් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව භාවිතා කරමින් සිටින ව්‍යාජ හා දුර්වල හේතු ගැන නඩු අසන මහේස්ත්‍රාත්වරුන්ද විවෘත උසාවියේදීම මවිතය ප්‍රකාශ කර ඇතැයිද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
එම නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.
මුළු ලොවම මවිත කළ විජයග්‍රහණයේ 07 වන සැමරුම

2016 මැයි 19 වන දා අපි අපේ විරෝධාර සන්නද්ධ හමුදා දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය පරාජය කරමින් ලැබූ විජයග්‍රහනයේ 07 වන සංවත්සරය සමරමු. ඇමරිකා එක්සත් ජනපදයේ FBI ආයතනය විසින් ලොව බලගතුම හා දරුණුම ත්‍රස්තවාදී සංවිධානය හැටියට නිල වශයෙන් නම් කොට තිබූ කොටි සංවිධානය පරාජය කරමින් අපේ හමුදාව ලැබූ මේ ජයග්‍රහනය එදා මුළු ලොවම මවිත කලේය. ලෝකයේ ත්‍රස්තවාදයෙන් පීඩා විදින සියළුම රටවල් වලට ආදර්ශයක් සපයා ඇති මේ ජයග්‍රහනය ලැබීමට අපගේ විරෝධාර හමුදාවන් වලට දේශපාලන නායකත්වය දීමට හැකි වීම දෛවය විසින් මට පිරිනැමූ මහඟු වරප්‍රසාදයක් හැටියට මම සලකමි.

අපගේ සන්නද්ධ හමුදාවන් ලැබූ මේ අභිමානවත් ජයග්‍රහනයේ 07 වන සැමරුම 2006 ට පෙර පරාජිත, අදුරු යුගයට සමාන තත්වයක් යටතේ සමරන්නට සිදු වීම ගැන මම බෙහෙවින්ම කණගාටු වෙමි. අද බලය හොබවන ආන්ඩුව යුද්ධය ජයගැනීම වරදක්ය, වැනි හැඟීමක් අපේ සන්නද්ධ හමුදා වලට ඒත්තු ගැනීවීමට උත්සාහ කරමින් සිටි. භයානක කොටි ත්‍රස්තවාදීන් රැදවුම් භාරයෙන් නිදහස් කරනු ලබන අතර සන්නද්ධ හමුදා සාමාජිකයින් විවිධ හේතුන් පෙන්වමින් හිරබාරයට ගෙන ඇප නොදී දිගටම බන්ධනාගාර ගත කර සිටින තත්වයක් අද උදා වී ඇත. යුද්ධය ජයගැනීමෙන් පසු අපි කොටි සාමාජිකයින්ගෙන් පලි ගැනීමට උත්සාහ නොකලෙමු. කොටි සන්නද්ධ අංශයේ සාමාජිකයින් එකලොස් දහසකට වැඩි පිරිසක් අපේ ආණ්ඩුව විසින් පුනරුත්තාපනය කර නිදහස් කරනු ලැබුවේය.

විවිධ අපරාධ වලට නඩු පැවරීමේ අදහසින් රැඳවුම් භාරයේ තබාගෙන සිටියේ භයානක ත්‍රස්තවාදී නායකයන් 300කට අඩු පිරිසකි. අපේ රණවිරුවන් බන්ධනාගාර ගතකරන අතර නිදොස් කොට නිදහස් කරනු ලබන්නේ මේ ඉතිරි වී සිටි භයානක ත්‍රස්තවාදීන්ය. මේ සියල්ල සිදු වන්නේද යුද්ධය අවසන් අදියරට පැමිනෙත්ම මෙහෙයුම නවත්වා වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි නායකත්වය බේරා ගැනීමට උත්සාහ කල ජාත්‍යන්තර බලවතුන් සමඟ වත්මන් ආණ්ඩුව එකඟතාවයක් ඇති කරගෙන තිබෙන පසුබිමකය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නවුන්සිලය තුල ඒකාබද්ධ යෝජනාවක් සම්මත කර ගනිමින් ඇතිකරගෙන තිබෙන මේ එකඟතාවයට අනුව අපේ විරෝධාර රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ අධිකරණයක් පිහිටුවා එයට විදේශිය විනිශ්චයකාරවරුන්, පරිචෝදකයන් හා විමර්ශන නිලධාරීන් සහභාගී කරවා ගැනීමටත්, යුධ අපරාධ සිදු කල බවට සැක කරන නමුත් උසාවියට ඉදිරිපත් කිරීමට තරම් සාක්‍ෂි නැති සන්නද්ධ හමුදා සාමාජිකයන් පරිපාලනමය ක්‍රියාදාමයකින් සේවයෙන් ඉවත් කිරීමටත් ආණ්ඩුව එකඟ වී ඇත. එපමණක්ද නොව අපගේ රණවිරුවන්ට එරෙහිව පිහිටුවන මේ යුද අපරාධ යාන්ත්‍රනයේ සියළුම වියදම් ඍජුවම බටහිර රටවලින් ලබා ගැනීමට ඉඩදීමටද ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව තුළ ලිඛිතවම එකඟ වී ඇත.

ආණ්ඩුව මේ ආකාරයට අපේ සන්නද්ධ හමුදා දඩයම් කරන අතර මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට මඟ පෑදූ දේශීය හා ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග රට දෙකඩ කිරීමේ ව්‍යාපෘතියේ දිගටම නියැලී සිටි. උතුරු නැගෙනහිර පලාත් වලින් අපගේ සන්නද්ධ හමුදා ඉවත් කර ගැනීමට අද හැම පැත්තෙන්ම බලපෑම් එල්ල වෙමින් පවතී. උතුරේ දේශපාලඥයින් යුද හමුදා කඳවුරු වලට බලහත්කාරයෙන් ඇතුල් වී සන්නද්ධ හමුදාවන්වල ජීව ගුණය බිද දැමීමේ අටියෙන් ඔවුන්ට අවමන් කරමින් සිටි. 2002 සටන් විරාමයෙන් පසු කොටි සංවිධානයද ඊට සමාන ක්‍රියාකාරම්වල යෙදුන බව අපට මතකය. උතුරු නැගෙනහිර පලාත්වල ෆෙඩරල් රාජ්‍යයක් ඉල්ලමින් උතුරු පළාත් සභාව තුළ යෝජනා සම්මත වේ. මේ අපේ මව්බිමේ අඳුරුම මොහොතක් බවට සැකයක් නැත.

මේ තීරණාත්මක අවස්ථාවේදී මේ රටට සාමය ලබා දීම සඳහා තම ජීවිත පරිත්‍යාග කල විරෝධාර රණවිරුවන් සිහිපත් කිරීමටත්, මව්බිම වෙනුවෙන් කල ඒ යුද්ධයේදී අත් පා අහිමි වී අබාධිත තත්වයට පත් වූ රණවිරුවන්ට සහයෝගය දැක්වීමටත් මැයි මස 19 වන දා එකතු වන මෙන් මම මුළු ජාතියෙන්ම ඉල්ලා සිටිමි. යුද ජයග්‍රහනය සැමරීම සඳහා මේ වසරේදී හමුදා පෙරට්ටුවක් වෙනුවට සංස්කෘතික සන්දර්ශනයක් පැවත්විමෙන් සංහිඳියාව ඇති වන බව ආණ්ඩුව කියයි. නමුත් උතුරු නැගෙනහිර ජීවත් වන දෙමළ හා මුස්ලිම් ජනතාවත් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහනයෙන් මුදවා ගනු ලැබුවේ මේ යුද ජයග්‍රහනයෙන්ම බව කවුරුත් මේ අවස්ථාවේදී සිහිපත් කල යුතුය.

අද කොටි හමුදාවට බඳවා ගැනීම සඳහා උතුරේ දෙමළ ළමුන් පැහැරගෙන යනු ලබන්නේ නැත. එමෙන්ම ඒ ප්‍රදේශ වල මුස්ලිම් ජනතාවද කොටි භීෂණයෙන් තොරව අද යහතින් ජීවත් වේ. ඒ යුද්ධය දෙමළ ජනතාවට එරෙහිව කරන ලද යුද්ධයක් හැටියට ඇතැම් බෙදුම්වාදී පිරිස් හුවා දැක්වීමට උත්සාහ දැරුවද, එය හුදෙක්ම ත්‍රස්තවාදී සංවිධානයකට එරෙහි යුද්ධයක් විය. ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසු මගේ ආණ්ඩුව උතුරු නැගෙනහිර ඡන්ද පවත්වා යළි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමටත්, එම ප්‍රදේශවල අතපසු වූ සංවර්ධනය කඩිනම් කිරීමටත් පියවර ගත්තේය.

මුළු ලොවම මවිත කළ ඒ යුද ජයග්‍රහණයේ 07 වන සංවත්සරය අවස්ථාවේදී අපේ රණවිරුවන්ට එරෙහිව ක්‍රියාත්මක කර තිබෙන දඩයම නතර කරන මෙන්ද දැනට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර තිබෙන රණවිරුවන් නිදහස් කරන මෙන්ද මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමි. ඒ රණවිරුවන් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව භාවිතා කරමින් සිටින ව්‍යාජ හා දුර්වල හේතු ගැන ඒ නඩු අසන මහේස්ත්‍රාත්වරුන්ද විවෘත උසාවියේදීම මවිතය ප්‍රකාශ කර ඇත. රට ජාතිය වෙනුවෙන් මේ තරම් සේවයක් කළ පිරිසකට මේ තරම් අසාධාරණ ලෙස සලකා ඇති අවස්ථාවක් මේ රටේ ජීවමාන මතකයේ තවත් නැත.

Related posts

“දිවුරුම් දුන්නේ රට වෙනුවෙන් මිස ජන කොට්ඨාසයක් වෙනුවෙන් නොවේ, පාස්කු ප්‍රහාරයට ගෑවුනු සැමට දඬුවම්” – අධිකරණ ඇමති අලි සබ්‍රි

colombotoday

ආණ්ඩුවේ සහයට ගෝලීය ද්‍රවිඩ සංසදයත් එයි. දේශීය යාන්ත්‍රණයට කාගේත් සහය ඉල්ලයි.

colombotoday

පිළිකා රෝගීන් අනතුරේ? ඖෂධ විසිහතරක හිඟයක්

colombotoday

සිරිපා කරුණා සමය අදින් ඇරඹෙයි

colombotoday

කොල්ලුපිටිය OIC ඇතුළු පොලිස් නිලධාරීන් 30ක් නිරෝධායනයට

colombotoday

ඉරාජ් නිකුත් කර ඇත්තේ නිර්ලජ්ජිත වීඩියෝවක්. මේවා කරන්නේ පහත් මානසික තත්ව ඇති පුද්ගලයන් – ඇමති නවීන්

colombotoday