Articles

බුදුරදුන්ගේ දෙවන ලංකාගමනය සිදුවූ නාගදීපය

තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනින් අති පාරිශුද්ධත්වයට පත්වූ නාගදීපය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටි බෞද්ධයින්ගේ උතුම්ම ස්ථානයයි. යාපනය නගරයෙන් කිලෝමීටර් 32ක් පමණ දුරින් පිහිටි නාගදීපය සම්පූර්ණයෙන්ම මුහුදින් වටවූ දූපතකි. මෙය බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා කතෝලික සිද්ධස්ථානවලින් යුතු බෞද්ධයින්ගෙන් තොර දූපතකි.

නාගදීප දූපත බුදුන් වැඩි අවධියේදී හඳුන්වා දී ඇත්තේ ‘මණිනාගදීප’ නමිනි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වන වසරේදී බක් මස අමාවක පොහෝදින මණි නාගදීපයට වැඩම කොට වදාළහ. ඒ චූලෝදර මහෝදර නම් වූ මාමා සහ බෑණා අතර මැණික් පුටුවක් සඳහා ඇති වූ යුද්ධය සංසිදුවීමේ අරමුණින්ය. මණි නාගදීපය හෙවත් නාගදීපය එදා පාලනය කළේ මහෝදර නම් නා රජුය. ඔහුගේ එකම දියණිය වඩුන්නාගල රජකල චූලෝදර නම් තම නැගණියගේ පුතණුවන්ට විවාහ කරදෙන ලදී. එම අවස්ථාවේදී මහෝදර රජු සතුව තිබූ පරම්පරා ගණනකින් පැවත ආ වටිනා වස්තුවක් වූ ‘මිණි පළඟ’ හෙවත් මැණික් පුටුවක් දායාදය වශයෙන් දියණියගේ විවාහ දිනයේදී පරිත්‍යාග කරන ලදී. ඉන් අනතුරුව චූලෝදර තම ස්වාමි දියණිය සමඟ සතුටින් ජීවිතය ගත කරන අතරතුරදී හදිසියේ ඇතිවන රෝගි තත්ත්වයක් හේතුවෙන් තම බිරිඳ අකල් මරණයකට ගොදුරු විය. එහෙයින් චූලෝදර නා රජු මෙන්ම මහෝදර පිය නා රජුද දඩි සේ දුකට පත්විය.

දියණියගේ අකල් මරණයෙන් දුකට පත් පිය නා රජතුමන් කල්පනා කරනුයේ තමන්ට සිටි එකම දියණියත් වටිනා මැණික් පුටුවත් දෙකම අහිමි වී ඇති බවයි. දියණිය සිහිපත්වීම සඳහා දායාදය වශයෙන් පරිත්‍යාග කරන ලද මැණික් පටුව ‍චූලෝදර බෑණනුවන්ගෙන් නැවත ඉල්ලාගත යුතු යැයි සිතූ ‍මහෝදර නා රජු තම බෑණනුවන් වෙත පණිවිඩයක් යවමින් දියණිය නොමැති නිසා ඇයව සිහිපත් වීම සඳහා විවාහ දිනයේදී දායාදය වශයෙන් ලබාදෙන ලද මැණික් පුටුව නැවත ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. චූලෝදර නා රජු එයට එකඟ නොවූහ. විවාහයේදී දායාදය ලෙස එය ලැබුණත් තම මවගේ පාර්ශවයෙන් තමාටද එහි අයිතියක් ඇතැයි ප්‍රකාශ කරමින් මහෝදර මයිලණුවන්ගේ ඉල්ලීම බැහැර කළේය. මේ කාරණාව මුල්කරගෙන දෙදෙනා අතර ඇති වූ හිත් අමනාපය අවසානයේදී යුද්ධයක් බවට පත් විය. මහෝදර නා රජුගේ හිතවතෙකු වූ කැලණියේ මණිඅක්ඛිත නා රජුට ද මෙම ආරවුල පිළිබඳව ආරංචිය ලැබීමෙන් ඔහුද සේනාව සමඟ නාගදීපයට ගොස් මහෝදර නා රජු හා එක්ව චූලෝදර නා රජුට එරෙහිව යුද වැදීමට සූදානම් විය.

අප ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ අලුයම ලොව බලා වදාරණ කල්හි ශ්‍රී ලංකාද්වීපයෙහි මණිනාග නම් දිවයිනෙහි සිදුවන මෙම සංග්‍රාමය දිවැසින් දැක සිදුවන මහා මිනිස් ඝාතනය දුරුකරලනු පිණිස මහා කරුණාවෙන් මණි නාගදීපයට වැඩම කළහ. එසේ වැඩම කොට අහසේ වැඩ සිටිමින් මුළු ලංකාද්වීපයම අන්ධකාරමත්කොට නැවත ආලෝකමත් කළේය. එයින් බියට පත් නාග ගෝත්‍රික පිරිස වටපිට බැලූවිට කිසිවෙකු දක්නට නොලැබුණු බැවින් අහස දෙස බැලූහ. එවිට ඉතාම ලස්සන පුරුෂයෙකු අහසේ සිටිනු දැක ‘මේ නම් එසේ මෙසේ අයෙකු නොවේ කිසියම් මායාකරුවෙකු විය හැකිය’ යැයි සිතා ඔහුව තම පාර්ශවයට එකතු කරගෙන යුද ජයග්‍රහණය තමා සතු කර ගන්නට නාග ගෝත්‍රිකයින් කල්පනා කළහ. ඔවුන් සියලු දෙනාම බුදුරජාණන් වහන්සේට බිමට වඩින්නට ආරාධනා කළේය. බිමට වැඩමකොට මැණික් පුටුවේ වැඩ හිඳ චූලෝදර, මහෝදර හා මණිඅක්ඛිත නා රජු ඇතුළු නාගයින්ට සමඟි සම්පන්න වීමේ අගය අලලා ධර්මය දේශනා කල සේක. දේශනාව අවසානයේ සතුටට පත්ව සමගි සම්පන්න වූ නාග‍ ගෝත්‍රිකයින් මැණික් පුටුව බුදුරජාණන් වහන්සේට පූජා කළහ. එසේ පූජා කරන ලද මැණික් පුටුවේ වැඩ උන් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ පරිභෝග කළ වස්තුවක් බවට පත් කළ මැණික් පුටුව ඔවුන් වෙත පවරා දී තමන් වහන්සේ සමඟ පැමිණි සමිදි සුමන නම් දෙවියන් රැගෙන ආ කිරිපලු නුග රුකද පූජ්‍ය වස්තුවක් බවට පත්කොට පෙරලා දෙව්රම් වෙහෙරට වැඩමකොට වදාළ සේක.

මෙසේ බුදුරජාණන් වහන්සේ දෙවන වර වැඩම කරන ලද නාගදීප පුණ්‍ය භූමිය ශ්‍රී ලංකාවේ රජකරන ලද දුටුගැමුණු, සද්ධාතිස්ස ආදී රජවරු තම තමන්ගේ පාලන කාලවලදී ආරක්ෂා කරමින් රැකබලා ගත් බව ඉතිහාසයේ සඳහන්ව ඇත.

පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි පාලන සමයේදී ලංකාවේ තිබූ බොහෝ වෙ‍ෙහර විහාර විනාශයට පත්කළහ. එම කාලසීමාවේදී නාගදීප විහාරස්ථානය ද ඔවුන්ගේ බලපෑම් හේතුවෙන් විනාශයටපත් විය. වසර 400ක් තරම් දීර්ඝ කාලයක් බෞද්ධ ජනතාවට නාගදීපය වන්දනා කිරීමට අහිමිව නාගදීපය තිබූ ස්ථානයක්වත් සොයා ගැනීමට නොහැකි තත්ත්වයට පත් විය. වර්ෂ 1931 දී අම්බලන්ගොඩ, රන්දොඹේ සෝමසිරි තිස්ස නම් මහා තෙරුන් වහන්සේ විසින් බොහෝ දුක්ගැහැට විඳ යාපනයට පැමිණ නාගදීපය සොයා ගෙන බෞද්ධයන්ට අහිමිව තිබූ උතුම් පුණ්‍ය භූමියක් වන්දනාමාන කටයුතු සඳහා නැවත එළි පෙහෙලි කර දුන්හ. උන්වහන්සේගේ ව්‍යායාමය වූයේ කාලයේ වැලිතලාවෙන් වැසී අහිමිව යන බෞද්ධ පිංබිම් සොයා ප්‍රතිසංස්කරණය කොට භික්ෂූන් වහන්සේලාට පවරා දී තවත් එවැනි තැන් සොයා යෑමයි. ඒ අනුව නාගදීප විහාරස්ථානයේ භාරකාරත්වය බලපිටිය, බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්සාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ වෙත පවරා දෙන ලදී. ඉන් අනතුරුව මහ නායක මාහිමිපාණන් වහන්සේ නාගදීප විහාරස්ථානය ආරක්ෂා කර ගනිමින් රැකබලා ගන්නා ලදී. වර්ෂ 1983 ජූලි කලබලයෙන් පසු වසර 30කට ආසන්න කාලයක් අති දුෂ්කර ජීවිතයක් ගත කරමින් නාවික හමුදාවේ සිව්පස උපස්ථානයන් ලබා ගනිමින් මහ නාහිමිපාණන් නාගදීප විහාරස්ථානය රැකබලා ගන්නා ලදී. 2003 අප්‍රේල් මස 15 වන දින උන්වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ විහාරාධිපති ධුරය සඳහා වර්තමාන විහාරාධිපති, උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක, පූජ්‍යපාද නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිපාණන් වහන්සේ පත් කරන ලදී. උන්වහන්සේගේ කෙටි කාල සීමාව තුළදී සුවිශාල වූ සංවර්ධනයක් නාගදීප විහාරස්ථානයේ සිදු කරන ලදී.

නාගදීප විහාරස්ථානයට පිවිසෙන ජැටිය, වාහල්කඩ, ඇත් පවුර, තෙමහල් ‍ධාතු මන්දිරය, කෞතුකාගාරය හා භික්ෂූන් වහන්සේලාට වැඩ සිටීම සඳහා ඉදිකර ඇති භික්ෂු විවේකාගාරය වර්තමාන නාහිමිපාණන් වහන්සේගේ අවධියේදී සිදු කරන ලද සංවර්ධන කටයුතුවලින් කිහිපයකි. මේ සෑම සංවර්ධන කටයුත්තකදීම ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෝගය විශේෂ වශයෙන් ලබා දී ඇති බව සඳහන් කළ යුතුය. මහා සංඝරත්නයට දානය පූජා කරමින් දිනපතා බුද්ධ පූජාව පවත්වමින් විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් සිදු කරන සෑම කාර්යයකදීම සම්පූර්ණ දායකත්වය ශ්‍රී ලංකා නාවික හමුදාව ලබා දෙමින් බෞද්ධ ජනතාව නොමැති ප්‍රදේශයක පිහිටි නාගදීප විහාරස්ථානය ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් සුරක්ෂිතව ආරක්ෂා කරනු ලබයි.

මෙසේ බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනින් අති පාරිශුද්ධත්වයට පත් නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයේදී වර්ෂ 2018 මාර්තු 31 වන දිනට යෙදී ඇති බක් පුන් බොහෝදා ආගමික කටයුතු රාශියක් සූදානම් කර ඇත. 31 පොහෝ දින දවස පුරා දාන, ශීල, භාවනා කටයුතුවල යෙදෙන අතර රාත්‍රී මහා පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා පසුදා 59 කට අධික මහා සංඝරත්නය කෙරෙහි පිරිනමනු ලබන මහා දානමය පිංකමකි.

වසර 45 කට පෙර අපවත්වී වදාළ නාගදීප නවෝදයේ ආදිකර්තෘ රන්දොඹේ සෝමසිරි තිස්ස මහා ස්වාමින්ද්‍රයන් වහන්සේට හා බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු මිය ගිය රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් වර්තමාන විහාරාධිපති ගරු කටයුතු නවදගල පදුමකිත්ති තිස්ස නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ 58 වන ඡන්ම දිනය නිමිති කරගෙන උන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ප්‍රාර්ථනා කිරීමට ද අපේක්ෂා ‍කෙරේ.

දියමයිලගස්වැව අරියකිත්ති තිස්ස හිමි යාපා පටුන ශාසනාරක්ෂක මණ්ඩලයේ දිස්ත්‍රික් ලේඛකාධිකාරී

Related posts

ජවිපෙ මහා පාවාදීම හෙවත් පොහොර සටනින් වී ගොවියාගේ සැබෑ ප‍්‍රශ්ණය යටපත් කිරීම

colombotoday

නාලන්දාව එකලු කළ පී.ද එස්. කුලරත්න, එල්.එච්. මෙත්තානන්ද, මහාචාර්ය ගුණපාල මලලසේකර සුසංයෝගය

colombotoday

මදි නොකියන්න අපහාස විදින කවුද මේ චීවරධාරියා…?

colombotoday

FCID, CID මෙහෙයවන අදිසි හස්ථය ගැන ජනපතිගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

colombotoday

කොරෝනාවට ගොඳුරුවීමට යන ලෝකයේ එකම සුප්‍රීම් උසාවිය?

colombotoday

ඒකාබද්ධය ඇතුළු පාර්ලිමේන්තුවම මර නින්දට යවා රණවිරුවන් කොටු කරන මර උගුල ඇටවෙයි !

colombotoday