Colombo Today Local News

දළදා මාලිගාවටත් ඉහළින් යන පල්ලියක් හදන්න ගිය අයට මල්වතු අනු නාහිමි කීව දේ – සම්පූර්ණ වීඩියෝව

“කැන්ඩි සිටි සෙන්ටර්” ගොඩනැගිල්ල ආසන්නයේ පිහිටා තිබෙන මුස්ලිම් පල්ලියේ ඉදි කිරීමට සූදානම් වූ කුළුණක් සම්බන්ධයෙන් පසුගිය 05 වැනි දා එම පල්ලිය ඉදිරිපිට මාර්ග ද අවහිර කරමින් සිංහලේ ජාතික බලමුළුව විරෝධතාවක් සංවිධානය කර තිබුණි. අදාළ මුස්ලිම් පල්ලියේ ඉදිකිරීමට නියමිත කුළුණ දළදා මාළිගාවේ රන් වියන සහ පත්තිරිප්පුවටත් වඩා ඉහළට ඉදි කිරීමට සූදානම් වන බව පවසමින් ඔවුන් විරෝධතාවයේ නිරත විය.

මෙම සිදුවීම පිළිබඳව පැහැදිළි කිරීම සඳහා තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පසුගිය 06 වැනි දා මල්වතු පාර්ශවයේ මහා නායක හිමිපාණන් හමුවීමට ගියේ අදාළ පල්ලියේ පූජකයින් පිරිස් ද සමගිනි.

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක හිමියන් අමාත්‍යවරයා ඇතුළු පිරිසට පැවසූවේ ආගම ඇදහීමට උස තැනක් ද මිටි තැනක් ද යන්න අදාළ නොවන නිසා අනවශ්‍ය ප්‍රශ්ණ ඇති කර ගැනීමෙන් වළකින ලෙස යි.

මෙවන් අවුල් සහගත තත්ත්වයන් ඇති කළ විට රටේ දියුණුවක් ඇති වන්නේ ද නැති බවත් ආගම් අතර නැති බේද ඇතිවන බවත් පැවසූ උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ අමාත්‍යවරයා ඉන්නේත් සිංහලයොත් සමගවන බැවින් මෙම ගැටළුව පිළිබඳ සාකච්ඡා කිරීමට පැමිණීම යහපත් කාරණාවක් වන බව යි.

එවිට අදාළ පල්ලියේ බලධාරීන් සඳහන් කළේ දළදා මාළිගාවට වඩා උසින් කුළුණක් ඉදිකිරීමේ අදහසක් තමන් සතුව නොවූ බවත් මුස්ලිම් පල්ලියක තිබිය යුතු අනන්‍යතාවය ප්‍රදර්ශනය කිරීම සඳහා මෙවැන්නක් ඉදිකිරීමට සූදානම් වූ බවත් ය.

මහානායක හිමියන් විමසා සිටියේ එවැන්නක් සිදු නොවන බවට සහතිකයක් ලබා දිය හැකි ද යනුවෙනු යි.

එවිට අදාළ පිරිස එම ඉදිකිරීමේ සිතියම් පෙන්වමින් පැහැදිළි කළේ ඉදිකිරීමට නියමිත එම කුළුණ අඩි 30ක් උසින් යුතු බවත් එය “කැන්ඩි සිටි සෙන්ටර්” ගොඩනැගිල්ලේ වහලයටත් වඩා උසින් අඩු බවත් ය.

එමෙන්ම එවැනි ඉදිකිරීමක් තිබේ දැයි විදෙස් රටවල්වලින් පැමිණෙන පුද්ගලයින් විමසිලිමත්වන බවත් එවැන්නක් තැනූ විට එම ගොඩනැගිල්ල මුස්ලිම් පල්ලියක් ලෙස හඳුණාගත හැකි බවත් අමාත්‍යවරයා ඇතුළු පිරිස මහානායක හිමි වෙත පැහැදිළි කළෝ ය.

එම අවස්ථාවේ එහි සිටි මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමිපාණන් ද මෙම සංවාදයට මැදිහත් වී පැවසූවේ මෙම මුස්ලිම් පල්ලිය ඉදිකර ඇති ඉඩම ‘පන්සලේ ඉඩමක්’ බවත් මීට වසර 100කට පමණ පෙර එම ඉඩම මුස්ලිම් පාර්ශවයක් විසින් බදු ගත් බවත් ය.

තමන්වහන්සේ මහනුවරට පැමිණියේ 1950 දී බවත් එකළ එම ගොඩනැගිල්ල අද මෙන් දියුණු තත්ත්වයේ නොතිබූ බවත් ඒ සියළු දෑ තමන්වහන්සේ දන්නා බවත් පැවසූ අතර එවකට පුරපතිවරිය වුණු චන්ද්‍රා රණරාජා මහත්මියගේ මැදිහත්වීමෙන් එම ස්ථානයේ පල්ලියක් ඉදිකළ බවත් පෙන්වා දුන්හ.

අසළ පදිංචිව සිටි මිනිසුන් ද එළවා දමා මෙම පල්ලිය ඉදිකළ බවත් එවැන්නක් සිදුකරද්දී බෞද්ධයන් එකළ  උද්ඝෝෂණය නොකර එය තැනීමට ඉඩ දුන් බවත් සිහිපත් කළ උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්නේ කිසිවෙකුගේ තහනමකින් තොරව වර්තමානයේ දී එම පල්ලියේ ඕනෑම ආගමික කටයුත්තක් සිදු කිරීමට සෑම පහසුකමක්ම පවතින වාතාවරණයක තවදුරටත් එහි ඉදිකිරීම් කරමින් ඉහළට නැංවීම පිළිබඳව ජනතා විරෝධය ඇති වී පවතින බව යි.

මෙයින් වන්නේ සංසුන්ව සිටින ජනතාව අවුස්සා ගැනීමක් බව පැවසූ අනුනායක හිමියන් විසින් අමාත්‍යවරයා ඇතුළු පිරිසට දැණුම් දුන්නේ පල්ලිය දැනට තිබෙන තත්ත්වයේ පවත්වාගනිමින් ආගමික කටයුතුවල නිරතවන ලෙස යි.

තව ද දළදා වහන්සේ වැඩ සිටින මහනුවර නගරය තුළ මුස්ලිම් පල්ලි විශාල ගණනක් ඇතත් එවන් ආකාරයට බෞද්ධ විහාරස්ථාන තිබේ දැ යි උන්වහන්සේ ප්‍රශ්ණකොට සිටියහ.

මේවා අවුස්සා ගන්ට එපා. ඔබතුමන්ලා වෙළඳාමේ තමයි මුල ඉඳන්ම ආවේ. ඒක තමයි දැනුත් කරන්නේ. ඉතින් මේවා අවුස්සා ගත්තාම වෙන්නේ ඒකටත් පාඩුව. ඊලඟට අපිට කියන්ට වෙනවා ඒ වෙළඳාම්වලටවත් යන්ට එපා; උඹලා අපේ අගුපිලේ තියෙන කඩේකින් හරි බඩු ගනිල්ලා කියලා. ඒක හින්දා හොඳට කල්පනා කරලා වැඩ කරන්ට ඕනේ. මේවා අවුස්සාගන්ට දඟලන්ට එපා.” යනුවෙන් අනුනායක හිමියන් පැවසූහ.

තවදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,

දැන් බලන්ටකෝ මිනිස්සු ඇවිල්ලා අද උපවාසයට. මේ අපි කරදර නොකළාට මිනිස්සු එහෙම ඉන්නේ නෑ. මිනිස්සු ඇවිස්සෙනවා. ඒක නිසා ඒවාට ඉඩ තියාගන්ට එපා.” යනුවෙන් ද පැවසූහ.

ඉන්පසු අබ්දුල් හලීම් අමාත්‍යවරයා පවසා සිටියේ එසේනම් නගරසභාවෙන් නිසි පරිදි අවසරය ගෙන පසුවට මෙම ඉදිකිරීම සිදුකිරීමට කටයුතු කිරීමට බලාපොරොත්තුවන බව යි.

එවිට විමලධම්ම අනුනායක හිමියන් පැවසූවේ,

නගර සභාවෙන් අවසර දුන්නත් මිනිස්සු ඒකට කැමති වෙන්නෙ නෑයනුවෙන් ය.

අනුනායක හිමි එසේ පැවසූ පසු ඉදිකිරීම නවත්වන බවට අමාත්‍යවරයා ඇතුළු පිරිස ප්‍රකාශ කළෝ ය.

පල්ලියේ ඉදිකිරීම් එකවර සිදුකොට අවසන් කළා නම් කිසිදු ප්‍රශ්ණයක් ඇති නොවන බවත් විටින් විට අඩියෙන් අඩිය විවිධ ඉදිකිරීම් සිදු කිරීම මෙම ගැටළුවලට හේතුව බවත් ඇතැම් මිනිසුන් ආගම වෙනුවෙන් මියයාමට පවා සූදානම් බවත්  අනුනායක හිමියන් පෙන්වා දුන්හ.

මහානායක හිමිවරුන්ගේ අනුශාසනාවන්ගෙන් බැහැර වී තමුන් වැඩ නොකරන බවත් සංඝයාවහන්සේගේ ප්‍රකාශයකට උඩින් නොයන බවත් අමාත්‍යවරයා සමග පැමිණි පිරිස පැවසූහ.

(www.ceylonleader.com)

Related posts

හිටපු ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති රවී සෙනෙවිරත්න CIDයට

colombotoday

විසර්ජන පනත් කෙටුමිපතට මුදල් කාරක සභාවේ අනුමැතිය

colombotoday

බජට් පාටිය අත්හිටුවන්නැයි විපක්ෂය ඉල්ලයි

colombotoday

අධිවේගයේ අනතුරකින් කතක් මරුට… 5ක් රෝහලේ..

colombotoday

ගිනිගත් නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්වරයා සැකකරුවෙකු ලෙස නම් කරයි

colombotoday

සභාපති වජිර අඹේවර්ධන. මහ ලේකම් රංගේ බණ්ඩාර. නායක ? | එජාපයේ වෙනස් වුනු තනතුරු

colombotoday