ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි 99 න් 74 ක් ඉන්දියාවට බදු දීමට ශ්‍රී ලංකා රජය එකඟ වී ඇත.
එහෙත් ඉන්දියාවට හිමිවන්නේ සියයට 50 ක කොටස් ප්‍රමාණයක් පමණි.
ත්‍රිකුණාමලය තෙල් සංකීර්ණයේ ඉතිරිව ඇති තෙල් ටැංකි 10 ක් ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව සතුවන අතර තෙල් ටැංකි 14 ක් ඉන්දීය තෙල් සමාගම පාලනය කරයි. මෙම තෙල් ටැංකි ඉන්දියාවට බදු දීම සඳහා වූ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්‌ඩලයට ඉදිරිපත් කර තිබේ.
මෙම ත්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දියාවට බදු දීම ගැන රජයේ අමාත්‍යවරුන් දෙදෙනකු විරෝධතා දක්‌වා ඇතත් ඒ ගැන තැකීමක් දක්‌වා නැති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතාද ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වා සිටියේය.
“ආණ්ඩුව ක‍්‍රියාත්මක කරමින් තිබෙන විකිණීමේ ක්‍රියාවලියේ ප‍්‍රධානතම ගොදුරක් බවට ත‍්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පත්වීමට නියමිතව තිබෙනවා. ත‍්‍රීකුණාමලයේ චීන වරාය ආශ‍්‍රිතව තෙල් ටැංකි 102ක් තිබුණා. ඉන් 03කට හානි වී තිබෙනවා. තෙල් ටැංකි 99ක් සක‍්‍රිය තත්වයේ පවතිනවා. මෙය 1930 දශකයේ බ්‍රිතාන්‍ය පාලනය විසින් ඉදිකරනු ලැබුවා. ඒ, අග්නිදිග ආසියාවේ ගැඹුරුතම වරාය ලෙස ත‍්‍රීමලය වරාය පැවති නිසා අග්නිදිග ආසියාවේ තෙල් වෙළඳපොළ ඉලක්ක කරගෙනයි. 1948 බ්‍රිතාන්‍යයින් ලංකාවෙන් ගියත් තෙල් ටැංකි සංකීර්ණය ලංකාවට පැවරුවේ නැහැ. 1957දී ලංකාවේ රජය පවුම් 2,50,000ක් බ්‍රිතාන්‍යයට ගෙවා නැවත එවා ලංකාවට පවරා ගත්තා.
ආසන්න වශයෙන් මෙම එක් ටැංකියකට තෙල් මෙට්‍රික් ටොන් 10,000ක් ගබඩා කළ හැකියි. සියල්ල ගතහොත් තෙල් මෙ.ටො. දශ ලක්ෂයක් මෙම සංකීර්නයේ ගබඩා කළ හැකියි. මුතුරාජවෙලත් කොලොන්නාවේත් ගබඩා කළ හැකි වන්නේ තෙල් මෙ.ටො. ලක්ෂ 04ක් පමණයි. ඒ නිසා මෙම ටැංකි සංකීර්ණය තෙල් වෙළඳපොළ ඉලක්ක කරගෙන භාවිත කළ හැකිව තිබෙනවා. නමුත් රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව හැමදාමත් කටයුතු කරමින් සිටින්නේ ජාතික සම්පත් විකිණීමේ දිශාවටයි. ඒ අනුව 2003 වසරේදී රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුව සමයේ මෙම තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියවේ අයි.ඕ.සී සමාගමට බදු දීමට අදාළ ගිවිසුමක් අත්සන් කළා. එතැන් සිට මෙම තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු අයි.ඕ.සී සමාගම විසින් මෙහෙයවනු ලැබුවා. 2005 – 2009 කාලය තුළ ලංකා ඛනිජ තෙල් සංස්ථාව, අයි.ඕ.සී සමාගම භාරයේ තිබූ තෙල් ටැංකි වෙනුවෙන් රුපියල් මිලියන 692ක බද්දක් ගෙවා තිබෙනවා. මෙහි ටැංකි පද්ධතිය උඩබිම් ප‍්‍රදේශයේ 85ක් සහ පහළ බිම් ප‍්‍රදේශයේ 14ක් වශයෙන් පවතිනවා. දැනට භාවිතයේ පවතින්නේ ක‍්‍රියාත්මක මුළු ටැංකි 99න් මෙම ටැංකි 14 පමණයි. යුද්ධය පැවති කාලයේ උතුරු ප‍්‍රදේශයට තෙල් සැපයුම් කරගත හැකි වූයේ නැව් මාර්ගයෙනුයි. එම නිසා එම නැව්වලට තෙල් ලබා ගත්තේ අයි.ඕ.සී සමාගමට බදු දෙන ලද තෙල් ටැංකිවලිනුයි. ඒ අනුව 2005-2009 කාලයේ තෙල් ලබාගැනීමෙ වෙනුවෙන් අයි.ඕ.සී සමාගමට රුපියල් මිලියන 692ක බද්දක් ගෙව්වා. ඒත් ඒ කාලය වෙනුවෙන් ආණ්ඩුවට බදු වශයෙන් ලැබුණේ ඩොලර් ලක්ෂ 05යි. එනම් රුපිල් මිලියන 75ක් පමණයි. ඒ අපි ඒ අවුරුදු පහ වෙනුවෙන් රුපියල් මිලියන 692ක් ගෙව්වා. ඒක හරියට තමන්ගේ ගේ රුපියල් ලක්ෂයකට කුලියට දීලා, ඒ ගෙදරින් කාමරයක් ලක්ෂ 10කට ගන්නවා වගේ වැඩක්.
රනිල් වික‍්‍රමසිංහලා හැමදාමත් කටයුතු කළේ අපේ රටේ ජාතික සම්පත් ආරක්ෂා කිරීමේ දිශාවට නෙමෙයි, ජාතික සම්පත් විකිණීමේ දිශාවටයි. ආණ්ඩුව මෙම තෙල් ටැංකි සංකීර්ණය පැවරීමට අදාළ බදු ගිවිසුම නීත්‍යානුකූලද නැද්ද යන කාරණය දිගින් දිගට පැනනැගෙමින් තිබුණා. 2016.04.28 වැනිදා චන්දිම වීරක්කොඩි ඛනිජතෙල් අමාත්‍යවරයා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ කැබිනට් පත‍්‍රිකාවේ ඔහු මෙසේ කිවුවා. “2003 පෙබ. 07වැනි දින ශ‍්‍රී ලංකා රජය හා ඉන්දියානු තෙල් සමාගම අතර ගිවිසුමක් අත්සන් කරන ලදී. එම ගිවිසුම ප‍්‍රකාරව මෙම ටැංකි සංකීර්ණය හා ඉඩම් ලංකා ඉන්දියානු තෙල් සමාගමට වසර 35ක කාලයක් සඳහා බදු දෙන ලදී. නමුත් මුල් ගිවිසුමේ දිනයේ සිට මාස 06ක් ඇතුළත විධිමත් බදු ගිවිසුමට එළඹිය යුතුයි. කෙසේ වුවත් මේ වන තෙක් එවැනි ගිවිසුමක් අත්සන් කර නැත.” ඒ නිසා පැරණි අවබෝධතා ගිවිසුම තවදුරටත් වලංගු නැති බව ඔහු කියනවා. ඒ අනුව එහි යෝජනා කිහිපයක් ඇතුළත් වෙනවා.
පහළ කොටසේ ටැංකි 16ක් සහ ඊට අදාළ ඉඩම්වල අයිතිය ඛනිජ තෙල් සංස්ථාවට පවරන ලෙසට ඉල්ලා සිටිනවා.
ඉහත පැවරීමේ ක‍්‍රියාවලිය කඩිනමින් සිදුකර ගැනීම සඳහා ඉඩම් දෙපාර්තමේන්තුවට සහ කඩවත් සතර ප‍්‍රාදේශීය ලේකම්ට නියෝග කරන ලෙස ඉල්ලා සිටිනවා.
ඉතාම කෙටි කාලයක් තුළ පැවරීම සිදුකරගැනීම සඳහා අවශ්‍ය බලපත‍්‍ර ලබාගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියට, දුම්රිය දෙපාර්තමේන්තුවට, වරාය අධිකාරියට, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලෙස ඉල්ලා සිටිනවා.
ත‍්‍රීමලය වරායේ ඉහළ කොටසේ පිහිටා ඇති ඉතිරි ටැංකි 69ට අදාළව ව්‍යාපාරික සැලැස්මක් සකස් කරන ලෙසට ඒකාබද්ධ කාර්යසාධන බලකායට කරන ලද නියෝග කරන ලෙසද එය ඉල්ලා සිටිනවා.
මෙම කැබිනට් පත‍්‍රිකාවට 2016 ජුනි 01වැනි දින අනුමැතිය ලැබෙනවා. 2-4 යෝජනා එලෙසම අනුමත කරන අතර පළමුවැන්නට මුදල් අමාත්‍යාංශයේ නිර්දේශ පරිදි ඛනිජ තෙල් සංස්ථාවට දිගු කාලීන බදු පදනම යටතේ ලබාදීමට අනුමැතිය පළවුණා. මෙම තෙල් ටැංකි සංකීර්ණය අයි.ඕ.සී එකට අයිති නැති බව මෙම කැබිනට් පත‍්‍රිකාව අනුව සහ කැබිනට් අනුමැතිය අනුව පැහැදිලියි. මෙම අනුමැතියෙන් පසුව සියල්ල විකිණීමට කටයුතු කරන රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යවරයා කැබිනට් පත‍්‍රිකාවක් දානවා. 2016 ජුනි 06වැනිදා ත‍්‍රීමලය තෙල් ටැංකි සංකීර්ණයේ ඉහළ කොටසේ මෙහෙයුම් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියානු තෙල් සමාගම විසින් පිහිටුවනු ලබන හවුල් ව්‍යාපාරය වෙත භාරදීමට යෝජනා කරනවා. 2016.05.24 දින පැවති කැබිනට් මණ්ඩලයේ එලඹුණු තීරණ අවලංගු කිරීමට ඉන් යෝජනා කරනවා. මෙම විෂය අග‍්‍රාමාත්‍යවරයාගේ නෙමෙයි. නමුත් ඔහු කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරනවා. ඔවුන් මතුරමින් සිටින්නේ එකාබද්ධ ව්‍යාපාර කතාවයි. නැවත විදුලි බල අමාත්‍යවරයා සහ ඛනිජ තෙල් අමාත්‍යවරයා මෙම ටැංකි 16 ආපසු පවරන ලෙසට නැවත කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරනවා. එයටත් 2016.12.06 අනුමැතිය ලැබෙනවා.
මෙම සම්පත අයි.ඕ.සී සමාගමට අයිතියක් නොමැති බවට තහවුරු වී තිබියෙදී රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යවරයා නැවත කැබිනට් පත‍්‍රිකා දමා එය ඉන්දියානු සමාගමට පැවරීමට උත්සාහ දරමින් සිටිනවා. අපට ලැබුණු තොරතුරකට අනුව මෙම අප්‍රේල් මාසය ඇතුළත මලික් සමරවික‍්‍රම ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ඉන්දියාවට යාමට නියමිතව තිබෙනවා. එහිදී ඉන්දියාව සමග එකඟතාවයකට පැමිණ මෙම ටැංකි සංකීර්ණය ඉන්දියානු තෙල් සමාගමට පැවරීමට නියමිතයි. 2003 පැවරීම අභියෝගයට ලක්වී ඇති නිසා දැන් ඔවුන් සැලසුම් කරමින් සිටින්නේ එයටයි.
මේ ආණ්ඩුව රාජ්‍ය සම්පත්, ස්වභාවික සම්පත් විදේශීය සමාගම් වෙත පැවරීම සඳහා දරන ප‍්‍රයත්නයේ නවතම ගොදුර බවට පත්වී තිබෙන්නේ මෙම තෙල් ටැංකි සංකීර්ණයයි.
තෙල් සංස්ථාවේ වාර්තාවකට අනුව තෙල් ටැංකි සංකීර්ණය උපයෝගී කරගෙන අනුරාධපුරය, පොළොන්නරුව, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වවුනියාව, අම්පාර, ත‍්‍රීකුණාමලය. මඩකලපුව යන දිස්ත‍්‍රික්කවල තෙල් බෙදාහැරීමේ කටයුතු කළ හැකියි. දැනටත් අප එම ප‍්‍රදේශවලට තෙල් ගෙනයන්නේ කොලොන්නාවෙන් හා මුතුරාජවෙලිනුයි. ඒ වෙනුවට තෙල් ත‍්‍රීමලය වරායට ගොඩබා මෙම ටැංකිවල ගබඩා කර බෙදාහැරියහොත් බෙදාහැරීමේ වියදම අවුරුද්දකට රුපියල් මිලියන 618කින් අඩු කළ හැකි බව එය කියනවා.
ඒ වගේම කොළඹ වරායේ තෙල් නැවක් බෑමට සති දෙකක් යනවා. නමුත් ත‍්‍රීමලය වරායේ සතියකින් එය කළ හැකියි. ඒ නිසා නැව් ගාස්තු අඩුවෙනවා. තෙල් බෑම, ගබඩා කිරීම හා බෙදාහැරීම පමණක් කළද මෙම ටැංකි සංකීර්ණයෙන් වසරකට රුපියල් මිලියන 1000ක්, කෝටි 100ක්, ලාභ ලැබිය හැකියි. ඒ ප‍්‍රතිලාභ ජනතාවට බෙදිය යුතුයි. නමුත් ආණ්ඩුව සූදානම් වන්නේ එම ලාභය අයි.ඕ.සී සමාගමට දෙන්නයි.
ජාතික සම්පත් විදේශීය සමාගම්වලට පවරා විනාශ කිරීමට ආණ්ඩුව දරන උත්සාහය පරාජයට පත් කළ යුතුයි. අපි තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති සමග මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. වෘත්තීය සමිතිත් දේශපාලන ව්‍යාපාරත් එකාබද්ධව රනිල් වික‍්‍රමසිංහගේ මේ විකිණීමේ ක‍්‍රියාවලිය පරාජයට පත් කළ යුතුව තිබෙනවා. මෙය ක‍්‍රියාත්මක වීමට ඉඩ නොදිය යුතු විනාශකාරී උත්සාහයක්. එය පරාජය කරන බව අපි ඔබට සහතික ලෙසම කියනවා.”