Colombo Today Local News

පාස්කු කොමිසමෙන් හිටපු ජනපති ,රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට අපරාධ නඩු පවරන්නැයි නිර්දේශ

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව අපරාධ නඩු පැවරීම සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බව පාස්කු කොමිසම නිර්දේශ කර ඇත.

ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, හිටපු ඇමැති , සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ ඇතුළු පිරිසටද එරෙහිව අපරාධ නඩු පැවරීම සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බව එම නිර්දේශ කියා සිටී.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 2019 අප්‍රේල් මස 16 වැනිදා සිට 21 වැනිදා දක්වා ඉන්දියාවට හා සිංගප්පූරුවට යන අවස්ථාවේදී ආරක්ෂක ඇමැති ධුරය සඳහා කිසිදු වැඩබලන පත්වීමක් නොකිරීම හා ප්‍රහාරය පිළිබඳව දැනුවත්භාවයක් සහිතවම කටයුතු කිරීම මගින් චේතනාන්විතවම සහරාන්ගේ අයි. එස්. තර්ජනයට මඟපෑදූ බවත් ඉන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත් කොමිසම නිර්දේශ කර තිබේ.

මේ අතර,හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් දැක්වූ ලිහිල් ප්‍රවේශය මත එවක පැවැති රජය ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ක්‍රියාශීලී පියවර ගැනීමට අපොහොසත්වීම ප්‍රහාරයට ප්‍රධාන හේතුවක් බවද නිර්දේශ කර තිබේ.

එය පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය දක්වා ඉස්ලාම් අන්තවාදය ගොඩනැගීමට පහසුකම් සපයා ඇති බවද වාර්තාවේ දැක්වේ. හේමසිරි ප්‍රනාන්දු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස සිය රාජකාරී ඉටු කිරීමේදී ධනාත්මක හා ඵලදායී පියවර ගැනීමට අපොහොසත් වී ඇති අතර පූජිත් ජයසුන්දර, සහරාන්ගේ පසුබිම, වර්ධනය හා හැසිරීම් සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි වාර්තා සැලකිල්ලට ගනිමින් අවශ්‍ය පරිදි කටයුතු කිරීමට හා රටේ පොලිස්පතිවරයා ලෙස තීරණාත්මක පියවර ගැනීමට අපොහොසත් වී ඇති බව කොමිසම පෙන්වාදී ඇත.

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා බුද්ධි අංශය බැරෑරුම් ලෙස නොසලකා ඇති බැවින් නිලන්ත ජයවර්ධනට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධි විධාන යටතේ අපරාධ නඩු පැවරීමක් සිදු කරන ලෙස නිර්දේශ කර ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවකු සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා දුරකථනයෙන් අමතා සහනයක් ලබාගැනීමට උත්සහ කරඇති බවට රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල වී ඇති අතර ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකළ යුතු බවට කොමිසම නිර්දේශ කරඇති බව වාර්තා වෙයි. පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ කොළඹ උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මෙම සිදුවීමේ දී හුදෙක් පණිවුඩකරුවකු ලෙස පමණක් කටයුතු කරමින් සිය රාජකාරිය ඉටුකිරීමට අපොහොසත්වීම හේතුවෙන් ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ද කොමිසම නිර්දේශකර ඇත.

මේ අතර බෞද්ධ සහ වෙනත් ආගමික සංවිධාන පිළිබඳ කළ අධ්‍යයනයට අනුව බොදු බල සේනා සංවිධානය තහනම් කළ යුතු බවට කොමිසම නිර්දේශ කරඇති බවද වාර්තා වේ. එමෙන්ම ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත ප්‍රකාරව අපරාධ නඩු පැවරිය හැකි ද යන්න සලකා බැලීම සඳහා උන්වහන්සේ 2013 හා 2014 වසරවල මහරගම හා අලුත්ගම යන ප්‍රදේශවල කළ කතා නීතිපතිවරයා සලකා බැලිය යුතු බවද නිර්දේශයකි.

වහබ්වාදය හා වහබ්වාදී විද්වතුන් කරන ඉගැන්වීම් සහ ප්‍රකාශන තහනම් කළ යුතු අතර සියලුම තවුහිද් සංවිධාන, වහබ්වාදී සංවිධාන වන බැවින් ඒවා ද තහනම් කළයුතු බව කොමිසමේ නිර්දේශ අතරට ඇතුළත් වේ.

Related posts

ඥානසාර හිමිට සිරදඬුවම් ලබාදුන් විනිසුරුට උසස්වීමක්

colombotoday

විනය විරෝධීව හැසිරෙන භික්ෂූන් සසුනෙන් නෙරපන්න නෛතික බලය ඉල්ලයි

colombotoday

තිස්ස යලිත් රනිල් ලගට…?

colombotoday

පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම : පූජිත ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස්

colombotoday

ආපු ගමන් බෑ-සමන්ත විද්‍යාරත්න

Admin

කුරුණෑගල නගරාධිපතිගෙන් තවත් මොට්ට වැඩක්: රජ පීල්ල උද්‍යානයේ පෞරාණික මණ්ඩපය සහ වෘක්ෂ 32ක් බිල්ලට ගනියි.

colombotoday