Colombo Today Local News

වාහන වෙන්දේසියේ

රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත V8 ඇතුළු අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කර ඒ ආදායම් විස්තර වාර්තා ලබන මාර්තු මස 01 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට චක්‍රලේඛයක් මගින් දැනුම්දී තිබේ.

රේගු ආඥා පනතේ (අ) උපලේඛනය මගින් ප්‍රකාශිත සංයෝජිත වර්ගීකරණ ශීර්ෂ ( HS)87.03 යටතේ වර්ගීකරණය කර ඇති එන්ජින් ධාරිතාව 1800CCට වැඩි පෙට්‍රල් වාහන සහ එන්ජින් ධාරිතාවය 2300CCට වැඩි ඩීසල් වාහන (ඩබල් කැබ්, සින්ගල් කැබ්, වෑන් බස් ලොරි ට්‍රක් යනාදිය ඇතුළත් නොවේ) මෙසේ වෙන්දේසි කෙරෙන අතර වෙන්දේසි කෙරෙන වාහන කිසිදු රාජ්‍ය ආයතනයක් මිල දී ගැනීම නොකළ යුතු බව ද එම චක්‍රලේඛයේ දැක්වෙයි.

එමෙන්ම පොදු දේපළ අස්ථානගතවීම සහ අවභාවිතය වැළැක්වීමට මෙන්ම රජයේ මුදල් ඵලදායී ලෙස යොදා ගැනීම තහවුරු කිරීම සඳහා රජයේ සියලුම වාහන නිසි පරිදි උපයෝජනය කිරීම ලේඛනගත කර පවත්වාගෙන යෑම සහ වාර්තා කිරීම සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ අනිවාර්ය වගකීමක් බවද එම චක්‍රලේඛයේ දැක්වේ.

ආයතනයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වාහනවල අවශ්‍යතාව ඇගයීමෙන් පසුව ආර්ථිකමය වශයෙන් ඵලදායි නොවන සහ ආයතනයේ භාවිතය සඳහා අවශ්‍ය නොවන මෝටර් වාහන රජයේ ප්‍රසම්පාදන ක්‍රමවේදය හරහා අපහරණය කළ යුතු බවත් ඉහත දැක්වෙන මෝටර් වාහන ආයතනයේ භාවිතය සඳහා අවශ්‍ය වන්නේ නම් එම අවශ්‍යතාව සාධාරණීකරණය කරමින් භාණ්ඩාගාර ලේකම්ගේ අනුමැතිය ලබා ගැනීම සඳහා කොම්ට්‍රෝලර් ජනරාල් කාර්යාලය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු බවත් එම චක්‍රලේඛයේ වැඩි දුරටත් සඳහන් වේ.

Related posts

නව ව්‍යවස්ථාව ගැන අන්තර්ජාල ජනමත විමසුමක් එයි !

colombotoday

රටේ ව්‍යවස්ථාටවත් යටත් නැති සිංගප්පූරු පුරවැසි දූෂණ චූදිත මහෙන්ද්‍රන් මහබැංකු අධිපතිකමට එපා !

colombotoday

හරක් කටාගේ ආරක්ෂාව තර කරයි

Admin

කොරෝනා මරණ 800 දක්වා ඉහළට… 37,000ක් ආසාධිතයි !

colombotoday

ඩෙංගු රෝගීන් ඉහලට

Admin

හේමසිරිට සහ පූජිත්ට ඇප

colombotoday