මේ දිනවල වැඩි වශයෙන් ම ඇසෙන දේශපාලන මාතෘකා අතර සයිටම් අර්බුදය සහ 20 වැනි සංශෝධනය ප්‍රධානය. උසස් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ විජයදාස රාජපක්‍ෂ මහතා මේ අදහස් දක්‌වන්නේ එකී අර්බුදයන් හා වර්තමාන දේශපාලන වාතාවරණය ගැන ය.
ප්‍රශ්නය – පහුගිය කාලයේ ඔබ කියපු දේවලුයි මෑතකාලීනව ඔබ කරපු දේවලුයි අතර බරපතළ පරස්‌පරයක් තියෙන බව අපට පේනවා. වරක් ඔබ කිව්වා මේ රජයේ කැබිනට් මණ්‌ඩලයේ ඇමැතිවරයකු ලෙස සිටීම පවා ලඡ්ජා සහගතයි කියලා. එවිට එජාපයේ තරුණ මන්ත්‍රීවරු ඔබව තදබල දෝෂාරෝපණයන්වලට ලක් කළා. ඇමැති මණ්‌ඩලයෙන් ඉවත් වෙන්න රජයෙන් ඉවත් වෙන්න කියලා ඔබට බලපෑම් කළා. ඒවා කෙළවර පක්‌ෂයෙන් ඔබව ඇමැති ධුරවලින් පවා ඉවත් කළා. අපි අද ඒව ගැන අහන්නේ නැහැ. නමුත් ඔබ කොහොමද අද කොතැන වැඩ කරන්නේ….?
පිළිතුර – මම යම් යම් කාරණාවලදී දැඩි ස්‌ථාවරයන් වල හිටියා තමයි. මම කොයිම වෙලාවකවත් ස්‌ථාවරයන් වෙනස් කළේ නැහැ. ඒ නිසා මාව එදා මම රජයේ දරපු තනතුරුවලින් ඉවත් කරන්න පවා යම් යම් බලවේග කටයුතු කළා. හැබැයි ඒ කිසිම වෙලාවක මම මගේ ස්‌ථාවරය වෙනස් කළේ නැහැ වගේම තනතුරු ආපහු දෙන්න කියලා කාගෙවත් පස්‌සෙන් ගියෙත් නැහැ.
ඔහොම ඉන්නකොට ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් කිහිප වතාවක්‌ම මට කතා කරලා කිව්වා…. ඔබගේ සහයෝගය මේ ආණ්‌ඩුවට ඕන. කරුණාකරලා නැවතත් වගකීමක් බාර අරගෙන රට වෙනුවෙන් වැඩ කරන්න එකතු වෙන්න කියලා. ඉතින් මම කාරණා දෙකක් ගැන බරපතළ විදිහට කල්පනා කළා. එකක් තමයි විපක්‌ෂයේ කාර්යභාරය කරගෙන විපක්‌ෂයේ ඉන්නවද… නැත්තම් ආණ්‌ඩු පක්‌ෂයට ගිහිල්ලා මාව පත් කරපු කොළඹ ජනතාවට සේවයක් කරනවද කියන එක. ඇත්තටම කොළඹ දිස්‌ත්‍රික්‌කයේ අපට වැඩ කරපු ජනතාව ලොකු අමාරුවක වැටිලා හිටියේ. කොළඹට එජාපයෙන් කියලා එකම ඇමැතිවරයෙක් වත් නැහැ. ඒ නිසා ජනතාව අතරින් මට ලොකු බලපෑම්ක් තිබුණා. අන්න ඒ වගේ කාරණා කිහිපයක් මත මම තීරණය කළා නැවතත් මට වැඩ කරන්න පුළුවන් වගකීම්ක් ලැබුණොත් එක භාර අරන් වැඩ කරන්න.
ප්‍රශ්නය – එක්‌සත් ජාතික පක්‌ෂයේ පසු පෙළ මන්ත්‍රීවරු, නියෝජ්‍ය ඇමැතිවරු සමහර රාජ්‍ය ඇමැතිවරු ඔබට ඉතාමත් නරක ආකාරයේ විවේචන එල්ල කළා අපට මතකයි. සමහර ඇමැතිවරුත් එහෙමයි. අපි අහන්නේ එහෙම පිරිසක් අතරේ ඉඳගෙන ඔබට ආණ්‌ඩුවේ කටයුතු කරන එක ප්‍රශ්නයක් නෙවෙයිද…?
පිළිතුර – එදා එම අවස්‌ථාවේ ඒ විදිහට මට බරපතළ විවේචන එල්ල කරපු සෑම කෙනෙක්‌ම අද මා සමඟ ඉතාම හොඳින් ගනුදෙනු කරනවා මම මේ ඇමැතිකම්වල වගකීම් භාර ගත්තට පස්‌සේ… දැන් මට එතන කිසිම ප්‍රශ්නයක් නෑ…
ප්‍රශ්නය – මේ කෙටි කාලයේ ඒ වගේ වෙනසකට ඔවුන් පරිවර්තනය වුණේ කොහොම ද…?
පිළිතුර – ඇත්තටම යම් යම් දේවල් සම්බන්ධයෙන් ලොකු අනවබෝධයකින් තමයි එදා ඔවුන් කටයුතු කළේ. අද වෙනකොට ඔවුන් සෑහෙන දුරට ඒ කරපු දේවල් සම්බන්ධයෙන් හරි වැරැද්ද තේරුම් අරන් තියෙනවා. මම ගියේ නෑ කොතනකවත් ඔවුන්ගේ අනවබෝධය නිරවුල් කරන්න. නමුත් ඔවුන් කල් යන කොට සියල්ල නිවැරදිව තේරුම් ගැනීම සතුටක්…
ප්‍රශ්නය – ඔබ එදා රජයට එරෙහිව ගෙනාපු විවේචන රාශියක් තිබුණනේ… කොහොමද දැන් ඒ විවේචන. ඒවා අදටත් වලංගු ද..?
පිළිතුර – ඔව්… ඒ විවේචන අවලංගු වෙන්නේ නෑ ප්‍රශ්න විසඳනකන්. මේ රටේ ආණ්‌ඩුවක් දුර්වල නොවී ප්‍රශ්න විසඳගෙන ඉදිරියට යන හැටි ගැන නේ මම එදා විවේචන ඉදිරිපත් කළේ… මම මට දෙයක් ලබාගන්න කෑ ගැහුවේ නෑ නේ. ඒ අනුව මම බරපතළ විදිහට ගැඹුරින් විවේචනය කරපු මාතෘකා කිහිපයක් වගකීම් සමඟ මට පවරලා තියෙනවා ප්‍රශ්න විසඳගෙන ඉදිරියට අරගෙන යන්න. සයිටම් ප්‍රශ්නය, විශ්වවිද්‍යාල අරගල, පුරාවිද්‍යා එකේ තිබුණු ප්‍රශ්න, මේ රටේ සිනමා කර්මාන්තය සම්බන්ධයෙන් තිබුණු ප්‍රශ්න විසඳගෙන ඉදිරියට යන්න මම මේ ආපු මාස එකහමාර තුළ ලොකු වැඩ කොටසක් කළා. මේ රටේ චිත්‍රපට බෙදා බෙදාහැරීම පිළිබඳ තිබුණු අර්බුදය මම නිමා කළා. අද වන විට සයිටම් ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම ඉවර කළා. සයිටම් ප්‍රශ්නයනේ අපේ ලොකුම ගැටලුව වෙලා තිබුණෙ පහුගිය දිනවල. ඔය වගේ එකිනෙක ප්‍රශ්න නිරාකරණය කරගෙන මට ඉදිරියේදී මේ අමාත්‍යංශ සම්බන්ධයෙන් ලොකු වෙනසක් පෙන්නන්න පුළුවන් වේවි.
ප්‍රශ්නය – සයිටම් අර්බුදය විසඳුවා කියන එකෙන් ඔබ මොකක්‌ද සමාජයට කියන්න බලාපොරොත්තු වෙන්නේ..?
පිළිතුර – සයිටම් අර්බුදය නිසා අපේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය අවුරුදු තුනක් තිස්‌සේ අකර්මන්‍ය වෙලා තිබුණා. ඒක දන්නවනේ… මිනිස්‌සුන්ට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් තිබුණා. සයිටම් එකේ දරුවෝ අසරණ වෙලා හිටියා. දරුවන්ගේ දෙමව්පියෝ විශාල අර්බුදයකට මැදි වෙලා හිටියා. සයිටම් නිසා අපේ සෞඛ්‍ය ක්‌ෂේත්‍රයත් යම් තරමකට තර්ජනයකට ලක්‌වෙලා තිබුණා. අද අපි කාටවත් අසාධාරණයක් නොවන පරිදි මේ ප්‍රශ්නේ සතුටුදායක අන්දමින් විසඳලා දීලා තියෙනවා.
ප්‍රශ්නය – සයිටම් ප්‍රශ්නය විසඳුනා කියල කියන එකේ අලුත් තත්ත්වය මොකක්‌ද…?
පිළිතුර – විසිවැනි දා අපි කොතලාවල වෛද්‍ය පීඨයේ විශේෂ විධි විධාන පනත පාර්ලිමේන්තුවට ගත්තෙ. එය සම්මත උනා සයිටම් ළමයි ටික ඔක්‌කොම අපි කොතලාවල වෛද්‍ය පීඨයට අන්තර්ග්‍රහණය කරගන්නවා. නිසි පාඨමාලාවන්ට පසුව ළමයින්ට එතනින් වෛද්‍ය උපාධිය ලැබේවි.
ප්‍රශ්නය – එතකොට සයිටම් එකට මොකද වෙන්නේ..?
පිළිතුර – ළමයි අලුතෙන් බැදෙන්නේ නැති වුණාම වෛද්‍ය පීඨය විතරක් ස්‌වභාවික මරණයකට ගොදුරු වේවි. අනිත් පීඨවල වැඩකටයුතු නිසි පරිදි කෙරීගෙන යාවි. රජයට පවරගෙන තියෙන රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්‌ක ඉතුරු වැඩ කටයුතු බලා ගනීවි. එච්චරයි…
ප්‍රශ්නය – උසස් අධ්‍යාපන ඇමැතිවරයා විදියට ඔබතුමාට ලොකු වගකීමක් තිබෙනවා තරග විභාගවලින් ඉහළම ලකුණු අරගෙන ජාතික විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන තරුණ තරුණියන්ගේ උපාධියට තිබෙන වටිනාකම රැක දෙන්න. තරග විභාගවලින් වලින් යාන්තමින් සමත් වන අය අද මුදල් වියදම් කරලා පුද්ගලික විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙලා වසරින් දෙකෙන් උපාධිය අරගෙන තමන් සමඟ තරගකාරී විභාගවලට පෙනී සිට ඉහළ ලකුණු ගත් අයට වඩා ඉක්‌මනින් රජයේ රැකියාවලට යනවා. රජයේ රැකියා අද ඔවුන්ටත් ලබාදෙනවා. උදාහරණයක් වශයෙන් පසුගිය දිනවල පැවැති රේගු නිලධාරීන් බඳවා ගැනීමේ පරීක්‌ෂණවලදී මාලබේ තිබෙන එක්‌තරා පුද්ගලික විශ්වවිද්‍යාලයක උපාධියටත් මුල් තැන ලැබිලා..?
පිළිතුර – මම මේ තත්ත්වය ළඟදී පාර්ලිමේන්තුවේදීත් කිව්වා. අපි දන්නවා ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ වෛද්‍ය පීඨ හා ඉංජිනේරු උපාධි හැරුණාම 52% ක් පමණ ඉන්න කලා පීඨ හා කළමනාකරණ පීඨවල ළමයින්ගේ උපාධියේ තත්ත්වය එන්න එන්න ම පහත වැටෙනවා. සමහර පුද්ගලික ආයතනවල රැකියාවන්ට ජාතික විශ්වවිද්‍යාලයක විශේෂ උපාධිධාරියෝ නොගෙන ජාත්‍යන්තර පාසලක ඉගෙන ගන්න ඕලෙවල් ඒලෙවල් ළමයි ගන්නවා.
ඒකට හේතු ගණනාවක් තියෙනවා. එකක් ඉංග්‍රීසි දැනුම ජාත්‍යන්තර පාසල්වල ළමයින්ගේ ඉහළයි. විශ්වවිද්‍යාලවල ළමයි ඉංග්‍රීසි තියා සිංහල වත් ඉගෙන ගන්නෙ නෑ. දවස් තුන්සිය හැට පහේම මහපාරේ උද්ඝෝෂණවල. සමහරු සමහර දේශපාලන පක්‌ෂවල අතකොලු වෙලා. අනිත් කාරණය තමයි මේ විද්‍යාලවල උගන්වන පාඨමාලා ඉතාම පරණයි. යල් පැනලා ගිහින්. ඉතින් ජාත්‍යන්තර පාසල්වල හා පුද්ගලික විශ්වවිද්‍යාලවල ළමයින්ට මුල් තැන ලැබෙනවා කියන එක අමුතු කතාවක් නෙවෙයි… ඉස්‌සරහට ඕක තව වැඩිවෙයි. එහෙම නොවෙන්න ජාතික විශ්වවිද්‍යාල පද්ධතියත් දියුණු කරන්න ඕන. පාඨමාලා නූතන ලෝකයට ගැලපෙන පරිදි සකස් වෙන්න ඕන. ඉදිරියේදී අපි බලමු…
ප්‍රශ්නය – ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය අකර්මන්‍ය කර රටට ජාතියට ජනතාවට කරදරයක් හිරිහැරයක් වන ආකාරයෙන් පවත්වා ගැනීමට හා පුද්ගලික විශ්වවිද්‍යාල පද්තිධය නිදහසේ ගලායැමට මෙහෙයවන අදෘශ්‍යමාන බලවේගයක් මේ රටේ තියනවද කියලත් අපට වෙලාවකට හිතෙනවා..?
පිළිතුර – තියෙනවා… තියෙනවා… මම ඒක පසුගිය දිනවල හෙළිදරව් කළා… සබරගමුව විශ්වවිද්‍යාලයේ ළමයි තුන්සීයක් එක් වතාවකට රුපියල් ලක්‌ෂ 3 බැගින් වියදම් කරවලා හත් වතාවක් කොළඹට ගෙනාවා උද්ඝෝෂණය කරවන්න. මුදල් අමාත්‍යාංශයේ කවුන්සිල් එකක මෙම්බර් කෙනෙක් මාරු කරවන්න. මාස 3 ක් ඇතුළත ලක්‌ෂ 21 ක් වියදම් කරලානේ. කවුද මේ සල්ලි දෙන්නේ… ඇත්තටම මේවා පිටිපස්‌සේ පිරිසක් ඉන්නවා… මේ හැම කුමන්ත්‍රණයකට නතු වෙන්නෙ සිංහල බෞද්ධ දරුවෝ. අද රුහුණු විශ්වවිද්‍යාලයේ පීඨ හයක් වහලා දාලා. ප්‍රශ්නය මොකක්‌ද.. රැග් කරපු අයගේ දෙමාපියෝ ගෙන්නපු එකට. මේ අවුරුද්දේ විශ්වවිද්‍යාලයට පැමිණි ගැහැනු ළමුන් කණ්‌ඩායමකට එම අවුරුද්දේම ආපු ගෑනු ළමයි හතර දෙනෙක් රැග් කරලා. පාලනාධිකාරිය දෙමව්පියෝ ගෙන්නුව ඒ ගැන අහන්න… එක ළමයෙකුගේ අම්මා විතරක් ආවා. දලු කඩලා එදාවේල හොයාගෙන ජීවත් වෙන මනුස්‌සයෙක්. විශ්වවිද්‍යාලයට ආවට පස්‌සේ තමන්ගේ ළමයට මොන යකා වැහිලද දන්නෑ කිව්වා.
අද ඔලුවිල්වල සිංහල ළමයි ඔක්‌කොම දින දෙසීයක් පන්ති වර්ජනයේ. දෙමළ මුස්‌ලිම් ළමයි පාඩුවේ කිසිවකට සම්බන්ධ නොවී ඉගෙනගන්නවා. මේකයි තත්ත්වය හැම තැනම ඒ ඒ මට්‌ටමින් මේ අධ්‍යාපනය සඳහා කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවා තමයි. ඒක අපේ ළමයි තේරුම් ගන්න ඕන.
ප්‍රශ්නය – ඔබ හිතන්නේ කවුරු මේ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරනවා කියලද..?
පිළිතුර – වෙන කවුරුවත් නෙවෙයි… මේ අධ්‍යාපන ආයතනවල තැරැව්කාරයෝ… වෛද්‍ය ක්‌ෂේත්‍රයේ වෛද්‍ය විද්‍යාලවල තියන ප්‍රශ්න අවුළුවන්නේ පිටරටවල්වල වෛද්‍ය විද්‍යාලවලට ළමයි යවන ආයතනවල තැරැව්කාරයෝ. ඉන්දියාව බංග්ලාදේශය වගේ රටවල්වල තියන වෛද්‍ය විද්‍යාලවලට ළමයි යෑව්වහම මේ ආයතනයකට එක ළමයෙකු වෙනුවෙන් ලැබෙන කොමිස් මුදල රුපියල් ලක්‌ෂ 5යි. යුරෝපීය රටකට ළමයෙක් යෑව්වාම කොමිෂන් එක ලක්‌ෂ 10 යි. මේගොල්ලෝ මේ විදිහට පුළුවන් තරම් ළමයි පිටරට යවන්න නම් රටේ විශ්වවිද්‍යාල පද්ධතිය අකර්මන්‍ය කරන්න ඕන. විදේශීය මට්‌ටමෙන් සිදුවන මේ අධ්‍යාපන ගනුදෙනුව අපේ රටේ අභ්‍යන්තර මට්‌ටමෙනුත් රට ඇතුලේ සිද්ධ වෙනවා. රාජ්‍ය අංශයේ විශ්වවිද්‍යාලවල අද ළමයි ඉන්නේ 110 000 යි. මේ ටික කාලෙට පුද්ගලික අංශයේ ඉන්නවා දැනට 21000 ක්. එන්න එන්න ම මේක වැඩි කරන්න පුද්ගලික අංශය උපක්‍රම භාවිතා කරයි.
ප්‍රශ්නය – ඔබ අධිකරණ ඇමැතිවරයා වෙලා ඉන්නකොට ඔබට තිබුණ චෝදනාවක් තමයි රජයට අවශ්‍ය අධිකරණ ක්‍ෂේත්‍රයේ කටයුතු රාශියක් ඔබ නිසා කරගන්න බැරි වුණාය කියන එක… ඒ ගැන ඔබ අද මොකද කියන්නේ..?
පිළිතුර – මෙහෙමයි… එදා ආණ්‌ඩුවට වුවමනාවක් තිබුණා හොරකම් සම්බන්ධයෙන් යම් යම් දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා ලබලා තියෙන සමහර පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රමුඛත්වයක් හා වැඩි වැදගත්කමක් දෙන්න. සමහර ඇමැති ඇමැතිවරුන්ට ලොකු උවමනාවක් තිබුණා. හැබැයි නීතිය ගැන දන්න අය දන්නවා ඒ වගේ දේවල් කරන්න ක්‍රමයක් තියෙනවා කියන එක. මම ඇමැති වුණාට නීතියට පිටින් ගිහිල්ලා අර නඩුව ඉස්‌සරහට ගන්න මේ නඩුව ගන්න ඒකට මේ තීන්දු දෙන්න කියලා බලපෑම් කරන්න ඇමැතිට බලයක් නෑ. ඇමැති ඉන්නේ නීති සම්පාදනය කරන්න, අධිකරණ හදන්න, අධිකරණවලට පහසුකම් ලබා දෙන්න වගේ දේවල්වලට මිස නඩුවලට ඇඟිලි ගහන්න නෙවෙයි. මම ඒ කියන දේවල් ඇහුවේ නැහැ. නීතියට පිටින් ගිහින් වැඩ කරන්න මට බෑ.. ඒකයි එදා වුණේ…
ප්‍රශ්නය – ඔබට පසුව පත් කරපු ඇමැතිවරිය හරහා ආණ්‌ඩුවට පුළුවන් වුණා ද එකී අරමුණු ඉටු කරගන්න….
පිළිතුර – ඒක නිරීක්‌ෂණයකින් ඔබතුමාලා ම මැදිහත් වෙලා හොයා බලන්න ඕන. හැබැයි ඉතින් එතුමියත් හොඳට නීතිය දන්නා කෙනෙක්. ඒක නිසා නීති ක්‌ෂේත්‍රයේ වැරදි වැඩකට එතුමිය කිසිලෙසකත් යොමු නොවන බව මම දන්නවා.
එහෙම වුණාම ඉවසිල්ලක් නැති සමහර මැති ඇමැතිවරුන්ගේ චෝදනාවන් වලට එතුමියටත් මුහුණ පාන්නට සිද්ධ වේවි.
ප්‍රශ්නය – ආණ්‌ඩුවේ මුල් අවුරුද්ද දෙක තුළ තිබුණු හොරු ඇල්ලීමේ උවමනාව මේ වෙනකොට ප්‍රබලව දැනෙන්නේ නෑ. වැඩේ දැන් අතඇරල වත්ද..?
පිළිතුර – අතෑරලා නෙවෙයි… ඔය වැඩේ ප්‍රායෝගිකව කරනකොට කතා කරනවා තරම් ලේසි නෑ. පහුගිය කාලේ බලයේ හිටපු ඔය මොන ආණ්‌ඩුවෙත් වංචා දූෂණ අක්‍රමිකතා කියන ඒවා එක එක ප්‍රමාණ වලින් තිබුණා. 2007 අවුරුද්දේ කෝප් කමිටුවේ සභාපතිවරයා හැටියට මමනේ ඔය යහපාලනය කියන වචනය දේශපාලනයට ගෙනාවේ. ඒ කාලේ ඉඳලම අපි මේ සිද්ධවෙන වැරදි දැක්‌කා. යම් වංචාවත් දූෂණයත් අපරාධයක් තියෙන්වා නම් ඒක ඉස්‌සෙල්ලා පොලීසියෙන් අධිකරණයට චෝදනාවක් විදියට ගේන්න ඕන. අධිකරණය එතෙන්දියි යුක්‌තිය පසිඳලීමේ කටයුතුවලදී වැඩකරන්නේ මූලික නීති සිද්ධාන්ත දෙකක් සැලකිල්ලට අරගෙනයි. එකක් තමයි නීතිය ඉදිරියේ සියලු දෙනාම එක හා සමානයි කියන කාරණාව. දෙක තමයි පිළිගත් අධිකරණයකින් පරීක්‌ෂණයක් කර වරදකරු බව තීන්දු කරනතුරු චූදිතයා නිර්දෝෂී අයකු ලෙස සැලකීම. කාට වුණත් නීතියේ මේ තියන සිද්ධාන්තවලින් පිට ගිහිල්ලා වැඩ කරන්න බැහැ. කරපු අය ඉන්නවා. µSලික්‌ස් ඩයස් බණ්‌ඩාරනායක එදා එහෙම කරපු නිසා තමයි සිරිමාවෝ මැතිනියට 77 දී අන්ත පරාජයකට යන්න සිදුවුණේ.
ප්‍රශ්නය – ඔබතුමන්ලාගේ ආණ්‌ඩුවේ සමහර ඇමැතිවරු සමහර පුද්ගලයන් සම්බන්ධයෙන් නඩු අහන්නත් කලින් නිගමන දීලා දඬුවම් දීලා පුවත්පත් සාකච්ඡාවලදී, වගකිව යුතු කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡා ප්‍රකාශ නිකුත් කරලත් ඉවරයි…
පිළිතුර – එහෙම මරි මෝඩ වැඩ කරපු නිසා තමයි සමහර පුද්ගලයෝ අධිකරණයට ඒවා පෙන්නලා දේශපාලනමය වශයෙන් පළිගැනීම් කරන්න සූදානමක් තියනවයි කියලා සමහර පරීක්‌ෂණ සම්බන්ධයෙන් වාරණ නියෝග අරගෙන නීතියේ රැහැනින් මිදිලා ඉන්නේ…
ප්‍රශ්නය – ඔබතුමන්ලාගේ ආණ්‌ඩුවේ මුල් කාලයේදී වංචා දූෂණ හොරකම් ගැන පහුගිය ආණ්‌ඩුවට චෝදනා කර කර මහා සද්දයක් කරපු සමහර දේශපාලනඥයෝ අද හුළං ගියපු බැලුම් බෝල වගේ වෙලා. මේ සමහර අය ඔබ තුමන්ටත් විවිධ චෝදනා කළා අපට මතකයි… සමහර ගනුදෙනුවලට ඔබ සම්බන්ධයි කියලා කිව්වා.
පිළිතුර – නැහැ ගනුදෙනු නෙවෙයි… මට ආපු චෝදනාව තමයි ගෝඨාභය රාජපක්‌ෂ අත්අඩංගුවට ගැනීමට සමහර අයට තිබිච්ච උවමනාව හා තදියම මට නොතිබීම. මම ඒ සම්බන්ධයෙන් තිබුණු නීතිමය තත්ත්වය පැහැදිලි කරලා මගේ මතය කිව්වා. එදා හිටපු නීතිපති අද ඉන්න නිතිපති පවා ඒ අදහස් පිළිඅරන් තියෙනවා. මම දන්නවා මම කලේ හරි දේ කියලා… එච්චරයි.
ප්‍රශ්නය – ඒ තත්ත්වය ගැන හිටපු ජනාධිපතිතුමා කියනවා අපට හොරු කියලා චෝදනා කරපු අයට දැන් ඔන්න දිට්‌ඨධම්මවේදනීය කර්මය පල දීලා තියෙනවා කියලා….?
පිළිතුර – ඔව් ඉතින් එයාලට එහෙම කියන්න පුළුවන්… නමුත් එතන වුණත් පරීක්‌ෂණ ඉවර කරලා වැරදිකාරයෙක් කරන තුරු කාටවත් බැහැ ඇඟිල්ල දිගු කරන්න. මම දන්නෑ ඔය 118 දෙනාගේ කතාව කොහෙන් ආවද කියලා. මමත් ඉතින් ඔය ගොල්ල පත්තරවල වාර්තා කරන විස්‌තර තමයි කියවන්නේ. ඊට වැඩි දෙයක් දන්නෙ නැහැ.
ප්‍රශ්නය – ඔබ පෙන්වා දුන්නා නීතිය ඉදිරියේ අපි කවුරුත් එක හා සමානයි කියලා. මේ වන විට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ සිරගත වී ඉන්නවා. ඒක සමාජය උණුසුම් කරන මාතෘකාවක් මේ දවස්‌වල. ඒ අතරේ වත්මන් රජයේ රාජ්‍ය ඇමතිවරයකු වන රන්ජන් රාමනායක තවමත් මාධ්‍ය ඉදිරියේ කටමැත දොඩවනවා. එතුමා කාලෙක ඔබතුමාටත් අපහාස කළා අපට මතකයි. මේ රාජ්‍ය ඇමැතිවරයා නීතිය ඉදිරියේ සමාන නැද්ද…?
පිළිතුර – අධිකරණයට අපහාස කරපුවාම මහේස්‌ත්‍රාත් අධිකරණයේදී ලැබෙන දඬුවම 6 මසක හිර දඬුවමක්. නමුත් රන්ජන් මැතිතුමා අපහාස කළා යයි කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට. ඒ වරදට ලැබෙන දඬුවමට කාලසීමාවක් නැහැ. අධිකරණය දන්වලා තියෙනවා ඒ නඩුව ඉදිරියට අරගෙන යනවා කියලා… මම කියන්නේ ඉස්‌සර මෙහෙම දේවල් වුණේ නැහැ අමාත්‍යවරුන් සම්බන්ධයෙන්. අද වන විට සාධනීය තත්ත්වයක් තියෙනවා ඇමැතිවරුන්ට පවා නීතිය ඉදිරියේ දී සියල්ලෝම එක හා සමාන බව පිළිගන්න සිද්ධ වෙලා.
ප්‍රශ්නය – පසුගිය දිනවල සමාජ මාධ්‍යවල කියවෙනවා අපි දැක්‌කා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට යම් යම් අභියෝග කරපු පුද්ගලයන් පසුගිය දිනවල හැටියේම යම් යම් හදිසි දේශපාලන අනතුරුවලට මුහුණ පෑවා කියන එක..?
පිළිතුර – කවුද ඒ පුද්ගලයන්…
ප්‍රශ්නය – සුජීව සේනසිංහ, පාලිත රංගේ බණ්‌ඩාර, රන්ජන් රාමනායක, දයාසිරි ජයසේකර වැනි පුද්ගලයින්…
පිළිතුර – හැම දෙයක්‌ම වෙන් වෙන් වශයෙන් සිදුවුන වැරදිනේ. ඒ ඒ අයගේ දෛවය වෙන්න ඇති… මේ කිසිම දේකට අගමැතිතුමාගේ කිසිම සම්බන්ධයක් නෑ… ඔය වගේ චෝදනා සමාජ මාධ්‍යවල යනකොට අපි ටිකක් පරිස්‌සමෙන් බලන්න ඕන.
ප්‍රශ්නය – මේ දිනවල ආණ්‌ඩුව එක්‌සත් ජාතික පක්‌ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් සනසවන වැඩපිළිවෙළකට අත ගහල ඉන්නවා. විවිධ වරදාන වරප්‍රසාද දෙනවා. නියෝජ්‍ය ඇමැතිකම් දෙනවා. රාජ්‍ය ඇමැතිකම් දෙනවා. වාහන ගේන්න සල්ලි දෙනවා… සමාජයේ අද මේ ගැන සැකයෙන් බලන්න පටන් අරන්. ඔබතුමා මොනවද හිතන්නේ…
පිළිතුර – මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමාගේ ආණ්‌ඩුවේ ඇමැතිවරු 107 ක් හිටියා. මේ ආණ්‌ඩුවේ තවම ඉන්නේ 86 යි. පහළොස් වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයෙන් පසුව විකෘති වෙච්ච මැතිවරණ ක්‍රමයට අනුව ආණ්‌ඩු පත්වෙන කොට හැම ආණ්‌ඩුවක්‌ම මේ තත්ත්වයට අනිවාර්යයෙන් මුහුණ දෙනවා. ඇයි ඉතින් තනි කණ්‌ඩායමකට ආණ්‌ඩුවක් හදන්න බැහැනේ. එකතු වෙලා හදන ආණ්‌ඩුවල ඇමැති මණ්‌ඩලය විශාල වැඩියි.
ප්‍රශ්නය – 20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සඳහා පාර කැපෙන්නේ ඒ අනුවද ..?
පිළිතුර – නෑ නෑ… 20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට ආණ්‌ඩුවේ සම්බන්ධයක් නැහැනේ… ඒක ගේන්නේ ජනතා විමුක්‌ති පෙරමුණ. 20 ට පාර කපන්නේ ඒගොල්ලා.
ප්‍රශ්නය – ඊළඟට පත්වන ජනාධිපතිවරයා බෙලහීන නායකයකු බවට පත් කරන්න එක්‌සත් ජාතික පක්‌ෂය ජනතා විමුක්‌ති පෙරමුණ ලවා 20 වැනි සංශෝධනයට පාර කපනවා කියලයි සමාජයේ කතාබහක් ඇතිවෙලා තියෙන්නේ..?
පිළිතුර – ඒකේ කිසිම සත්‍යතාවයක් නැහැ. මොකද ව්‍යවස්‌ථාව වෙනස් කිරීම සම්බන්ධයෙන් අගමැතිතුමාගේ මතය මොකක්‌ද කියල මම දන්නවා. එතුමා කැමති නැහැ පැලැස්‌තර අලවලා හිල් වහලා උත්තර හොයන්න. එතුමා කියන්නේ කරනව නම් මේක ව්‍යවස්‌ථාවේ අඩුපාඩු හොයල බලලා සම්පූර්ණ පරිවර්තනයකට ලක් කරන්න ඕන කියලයි. ඒ සඳහා පාර්ලිමේන්තුවම ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයක් හැටියට එකතු වෙලා ව්‍යවස්‌ථාවක් සකස් කරමින් ඉන්නවා. අපි ගේනවා නම් ගේන්නේ අලුත් ව්‍යවස්‌ථාවක්. මේක මේ ජනතා විමුක්‌ති පෙරමුණ එල්ලෙන්න වැලේ වැල් නැතුව කරපු වැඩක්.
හැමදාම මොකක් හරි කාරණයක හෝ කාගේ හරි ඇඟේ හෝ එල්ලිලා ගොඩ එන එකනෙ එයාලා කරන්නේ. මේ පාර 20 තමයි කාරණය.
ප්‍රශ්නය – මන්ත්‍රීවරු 6 දෙනෙක් පමණක් ඉන්න ජනතා විමුක්‌ති පෙරමුණට මොකද්ද තියෙන අයිතිය ජනාධිපතිවරයා පත් කරන්නට රටේ ජනතාවට තිබෙන පරමාධිපත්‍ය අයිතිය අහෝසි වන විදියට 20 වැනි සංශෝධනය වගේ යෝජනාවක් ගෙන එන්න…?
පිළිතුර – ඡේ. ආර්. එදා ව්‍යවස්‌ථාව වෙනස් කළේ 5/6 බලයක් තියාගෙන. මැතිනිය 2/3 ක බලයකින් ව්‍යවස්‌ථාව වෙනස් කළා. අපි 2015 දී 19 වැනි සංශෝධනය ගෙනාවේ 2/3 බලයකුත් තියාගෙන. ඇත්තටම තර්ක කරන්න පුළුවන් ජනතා විමුක්‌ති පෙරමුණ මන්ත්‍රීවරු 6 ක් තියාගෙන මොකද්ද මේ කරන වැඩේ කියලා. හැබැයි තනි මන්ත්‍රීවරයකුට වුණත් මේ වගේ යෝජනාවක් ගේන්න නීතිමය බාධාවක් නෑ.
ප්‍රශ්නය – 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ආවාම ඔබතුමාලගේ සහයෝගය තියනවද ඊට..?
පිළිතුර – අර මොකටද… මේක ගේන්න බැහැ… මේක ගෙනාවොත් රටම අස්‌ථාවර වෙනවා. රටම අරාජික වෙනවා. විධායක ජනාධිපති ක්‍රමය නිසා අද රටේ ගොඩක් දේවල් රැකිලා තියෙනවා. ජනාධිපති ක්‍රමය විතරයි මේ වෙලාවේ අපේ රට එක්‌සත්ව තබා ගෙන බේරගන්න තිබෙන එකම අවිය. එකම හයිය. ඒක නැති වුණොත් විශාල විනාශයක් වෙනවා. පළාත් සභා ක්‍රමය, පළාත් පාලන ක්‍රමය ආදී මේ ඔක්‌කොම බිඳ වැටෙනවා. මම වැඩි විවේචනවලට යන්නේ නෑ…මොකද මේක කොහොමටත් කෙරෙන වැඩක් නෙවෙයිනේ….
ප්‍රශ්නය – ඒ කියන්නේ 20 වැනි සංශෝධනය ජ. වි. පෙය ගෙනෙන එකක් නෑ..?
පිළිතුර – නෑ නෑ ගෙනේවි… නමුත් කිසිම පක්‌ෂයක් සහයෝගයක් දෙන එකක් නෑ. මෙයාලට වුණේ මේකනේ.. විසිවැනි සංශෝධනය ගැන ජනතා විමුක්‌ති පෙරමුණ අදහසක් ගේන කොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මැතිතුමා කිව්වා අපි අපේ පූර්ණ සහයෝගය මේකට දෙනවා කියලා. එතුමා ඉතින් ඔය වගේ හොඳ ලණු දෙනවනේ… එයා ඒක කිව්වා විතරයි මේගොල්ලන් ඒක කරට ගත්තා. දැන් අරගොල්ල මුකුත් දන්නෑ වගේ බලන් ඉන්නවා.