Colombo Today Local News

20 සංශෝධනයේ පෙනෙන නොපෙනෙන අරමුණු

20 වැනි ව්‍යවස්ථා සංශෝධන ‘බෝම්බය’ පාර්ලිමේන්තුව තුළට ප්‍රවාහනය කර දීමට ජනතා විමුක්ති පෙරමුණ විසින් භාර ගෙන ඇති කොන්ත්‍රාත්තුව ඉටු කිරීමෙන් අපේක්‍ෂිත ප්‍රතිඵල ලබාගත නොහැකි බව දැන් පැහැදිලි වෙමින් ඇත. පාර්ලිමේන්තුවේ කාරක සභා විවාදයේදී බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධන ඇතුළු කරමින් එම බෝම්බය සක්‍රිය කිරීමට බෙදුම්වාදී බලවේග ඉදිරිපත් වන්නේ ඊට මන්ත්‍රිවරුන්ගෙන් තුනෙන් දෙකක් සහාය දෙන්නේ නම් පමණි. එම සංශෝධන සම්මත කළ නොහැකි තත්ත්වයක් යටතේ ඒවා ඉදිරිපත් කළහොත් ‘බෝම්බ සෙල්ලම’ එළිදරව් වී සියල්ල අවුල් වනු ඇත. එසේ වුවහොත් නැවත වටයකින් ව්‍යවස්ථා බෝම්බයක් ඇටවීමට තිබෙන අවස්ථාව අහිමි වී යනු ඇත. එවිට යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීමේ මූලික අරමුණු ඉටු කර ගැනීමට දෙස් – විදෙස් බෙදුම්වාදී බලවේග අසමත් වනු ඇත. එවිට ඊළඟ ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ඉදිරිපත් වන පොදු අපේක්‍ෂකයා තේරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් අත්පත් කර ගැනීමට අපේක්‍ෂිත සදාචාර බලයද ඔවුනට අහිමි වනු ඇත.

ඒ නිසා දැන් ජ.වි.පෙ. නායකයන් වියරු වැටී විකාර දෙඩවීමට පටන් ගෙන ඇත. ඔවුහු දැන් ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියේ යටි අරමුණ හෙවත්, අප්‍රකාශිත අරමුණ හෙවත් ව්‍යවස්ථා බෝම්බයේ සැබෑ හැඩරුව පිළිබඳව මහජනයාට ඔත්තු දෙන ජාතික බලවේග ‘ත්‍රාඩයන්’ ලෙස හඳුන්වමින් ඔවුන්ට තර්ජනය කරති. එසේම ඔවුහු තමාගේ ප්‍රකාශිත අරමුණු හෙවත් ව්‍යවස්ථා බෝම්බයේ ලේබලය හෙවත් කවරය පිළිබඳව විවේචනය කරන පිරිස්වලටද බැන අඬගසති. ඒ අතර ඒ ඊනියා ප්‍රකාශිත අරමුණු හෙවත් ව්‍යවස්ථා කෙටුම්පත නම් වූ කොළවල අඩංගු දේ පිළිබඳව කතා නොකරන බවට මහා සංඝරත්නයට විශේෂයෙන් ‍ෙදාස් පවරති. මහා සංඝරත්නය විසින් ඓතිහාසික මහ සංඝ නියෝජිත සමුළුවක් පවත්වා හේතු 16ක් මත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිටුදැකිය යුතු බවට සංඝ ආඥාවක් නිකුත් කරන්නේ. ආණ්ඩුව විසින් ආරම්භ කළ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියේ අවසන් අරමුණ පිළිබඳ ඉතා පැහැදිලි අවබෝධයකින් යුතුවය. ඒ නිසා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය නම් වූ දුප්පත් ලියැවිල්ලේ මතුපිට අරමුණ ගැන කතා කරන්නේ කුමකටද? පසුගිය දිනවල ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියේ ප්‍රධාන උපදේශකයා වූ නීතිඥ ලාල් විජේනායක මහතා ප්‍රකාශ කළේ ව්‍යවස්ථා සම්පත් ප්‍රතිපාදන මණ්ඩලය විසින් ආරම්භ කළ ක්‍රියාවලිය නැවැතී ඇති බැවින් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය දෙස බැලිය යුතු බවයි. ඒ නිසා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය යනු ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය විසින් ආරම්භ කළ ක්‍රියාවලියේම දිගුවක් බවට කිසිදු සැකයක් නැත. ඒ නිසා මහ සංඝරත්නයට ඔවුන්ගේ ව්‍යාජ ප්‍රායෝගික අරමුණ පිළිබඳව විශේෂයෙන් කීමට යමක් ඇතිද?

කෙසේ වෙතත් ව්‍යවස්ථා සංශෝධනයක් ඉල්ලා සිටින දේශීය සහ විදේශීය බෙදුම්වාදී බලවේගවලට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හෝ ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට සැබෑ වුවමනාවක් නැත. එම ප්‍රතිපාදන දෙක බෙදුම්වාදීන්ගේ කේවල් කිරීමේ බලය රැක දීම සඳහා ඉතිහාසය පුරා සුවිශේෂී මෙහෙවරක් ඉටු කර ඇත. දැන් ඔවුන් පැමිණ සිටින තැන අනුව ඒවා වෙනස් වුවද, නොවුවද ඔවුන්ට ගැටලුවක් නැත. දැන් බෙදුම්වාදී බලවේගවලට අවශ්‍ය වන්නේ එක් දෙයක් පමණි. ඒ ඔවුන් ඉතිහාසය පුරාම ඉල්ලා සිටි ආකාරයට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම පමණි. ඉන්දියානු නිලධාරීන් විසින් සකස් කළ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ මූලික රාමුව අනුව ඒ මඟින් ඉන්දියාවටත් වඩා බරපතළ ෆෙඩරල් රාජ්‍යයක් බිහි වේ. විධායක ජනාධිපති ක්‍රමය එහි ක්‍රියාකාරීත්වයට බාධාවක් නොවේ. ඉන්දියානු නිලධාරීන් විසින් එම සංශෝධනය සකස් කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය එසේම තිබියදී රට ෆෙඩරල් කිරීමටය.

එම බරපතළ ෆෙඩරල් බලතල ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන්නේ ඊට එරෙහිව යම් ව්‍යවස්ථාමය බාධක ප්‍රමාණයක් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ඇතුළු කිරීම නිසාය. එවැනි බාධක 5ක් පමණ මූලික වශයෙන් හඳුනාගත හැකි අතර ඒවා ඉවත් කිරීම සඳහා අවශ්‍ය සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ විවාදයේදී සුළු සංශෝධන ලෙස ඇතුළු කිරීමේ හැකියාව ඇත. මන්ත්‍රිවරුන්ගේ එම අයිතියට බාධක පැනවිය හැක්කේ ආණ්ඩුවට පමණි. නමුත් බෙදුම්වාදී බලවේග විසින් එවැනි උත්සාහයක් ගන්නා විට ආණ්ඩුව ඊට යටත් වනු ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ආකාරයට ටී.එන්.ඒ. පක්‍ෂය ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ඉදිරිපිට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ 2015 ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුවේදී සම්මත කළ 30/1 යෝජනාව පිළිබඳ එකඟතාවකට පැමිණ ඇත. ඔවුන් එසේ එකඟ වූ 30/1 යෝජනාවේ 16 වැනි වගන්තිය අනුව ටී.එන්.ඒ. පක්‍ෂයට අවශ්‍ය වන්නේ දහතුන් වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම පමණි. එහිදී ඔහු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හෝ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට හෝ පවතින ව්‍යවස්ථාවේ තිබෙන ඒකීය වචනය හෝ බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය ඉවත් කිරීමට ඉල්ලා සිටින්නේ නැත. ඉහත සඳහන් කළ ආකාරයට බෙදුම්වාදීන්ගේ ඉල්ලීම ඉටු කිරීම සඳහා අවශ්‍ය වන්නේ ඊනියා සුළු සංශෝධන කිහිපයක් ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළු කිරීමය. නමුත් එම සංශෝධන පමණක් සෘජුව පනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කළහොත් එල්ල වන මහජන විරෝධය හමුවේ එය පරාජය වීමේ වැඩි ඉඩක් ඇත. බෙදුම්වාදී බලවේග විසින් ඉතා විවෘතව ප්‍රකාශ කරනු ලබන ආකාරයට ඔවුන් විසින් යහපාලන ආණ්ඩුව බලයට ගෙන එනු ලබන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහාය. ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පරාජය වුවහොත් ඔවුන්ගේ සියලු අපේක්‍ෂා බිඳ වැටෙනු ඇත. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය සුළු සංශෝධන ප්‍රමාණය සම්මත කර ගැනීම සඳහා යම්කිසි ආවරණයක් අවශ්‍ය වේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හෝ මනාප ඡන්ද ක්‍රමය වෙනස් කිරීම වැනි ලේබල් අවශ්‍ය වන්නේ ඉහත සඳහන් කළ ආකාරයට එම සංශෝධන ප්‍රමාණය කාරක සභා අවස්ථාවේදී ඇතුළු කිරීම සඳහා අවශ්‍ය වන මූලික සැකිල්ලක් ලෙස, සැලකිය හැකි යම් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුව තුළට ගෙන යෑම සඳහාය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නමැති ලේබලය යටතේ ඉදිරිපත් කරන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට බෙදුම්වාදී සංශෝධන ඇතුළත් කළ සැණින් එම ව්‍යවස්ථා බෝම්බය පුපුරා යන්නේ නැත. එය කාල බෝම්බයක් වන අතර පුපුරා යෑමට හෙවත් බෙදුම්වාදී ගැටුම් ඇවිළවීමට යම් කාලයක් ගතවනු ඇත. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉටු කරනු ලබන කොන්ත්‍රාත්තුවේ භයානකකම සමාජයට දැනෙන්න පටන් ගන්නේ බෙදුම්වාදී බලවේග එම ව්‍යවස්ථා සංශෝධනය යොදා ගනිමින් ගැටුම්කාරී ලෙස බෙදුම්වාදී මාර්ග සිතියම ඔස්සේ ඉදිරියට ගමන් කරන විටදීය. ආර්. සම්පන්දන් මහතා 2012 මැයි 25 වැනි දින මඩකළපුවේදී පැවැත්වූ ටී.එන්.ඒ. පක්‍ෂ මහා සමුළුවේදී ප්‍රකාශ කළ ආකාරයට ඔවුන් ඊළාම් අරමුණු අත්හැර නැත. නමුත් ඒ කරා ළඟා වන උපායමාර්ගය වෙනස් කරනු ඇත. එනම් යුද්ධය වෙනුවට අවිහිංසාවාදී ගාන්ධිවාදී මහජන වීදි සටන් යොදා ගනු ඇත.

ඉන් කියැවෙන්නේ ආයුධ සන්නද්ධ ක්‍රියාමාර්ග වෙනුවට නිරායුධ මහජනයා වීදි බැස්සවීමේ උපක්‍රමය ඔවුන් විසින් යොදා ගන්නා බවය. නිරායුධ ජනයා ආණ්ඩුවේ හමුදා සමඟ ගැටෙන විට හෙවත් එම ජනතාව මරා දමන විට මැදිහත් වන ලෙස එම සමුළුවේදී සම්පන්දන් මහතා විසින් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටින ලදී.

ආයුධ සන්නද්ධ බෙදුම්වාදී ගැටුමකදී එය මැඬපැවැත්වීම සඳහා රජයට නීත්‍යනුකූලව බලයක් ඇත. එහෙත් නිරායුධ ජනයා මරා දමන බවට ව්‍යාජ මතයක් පතුරුවා ජාත්‍යන්තර මැදිහත්වීමකට ඉඩකඩ ද පාදා ගත හැකිය. කොසෝවෝ රාජ්‍ය බෙදා වෙන් කිරීමේදී අහිංසක සිවිල් ජනතාව මරා දමන බවට චෝදනා එල්ල කොට සර්බියාවට පහරදීම සඳහා නේටෝ හමුදා යොදා ගැනිණි. ඉන්පසුව නේටෝ – සර්බියා ගැටුම් සමනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් විය. එම දෙවැනි මැදිහත් වීම අවසන් වන්නේ කොසෝවෝ බෙදා වෙන් කිරීමෙනි. ඒ සියලු විනාශයන්ට පසුව හෙළිදරව් වූයේ ඊනියා සිවිල් ජන සංහාරයට වගකිව යුත්තේ කොසෝවෝ බෙදුම්වාදී ගරිල්ලන් බවයි.

කොසෝවෝ බෙදුම්වාදී මාර්ග සිතියමේ නිල් පිටපත ශ්‍රී ලංකාව සඳහා යොදා ගන්නා බව සම්පන්දන් මහතාගේ මඩකළපු දේශනයෙන් පැහැදිලි වේ. ඊට අනුව එදා වර්ධරාජා පෙරුමාල් මහ ඇමැතිවරයා සිදු කළ ආකාරයට දෙමළ ඊළාම් රාජ්‍ය ප්‍රකාශයට පත් කරන්නේ නැත. එසේ කළහොත් විධායක ජනාධිපති බලතල යොදා ගනිමින් පළාත් සභාව පවරා ගෙන එම ක්‍රියාවලිය මැඬපැවැත්වීමේ නීත්‍යනුකූල බලය ශ්‍රී ලංකා රජයට ඇත. නමුත් එසේ වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් නොකර මධ්‍යම ආණ්ඩුව සමඟ ඇති කර ගන්නා ගැටුම් තුළින් ජාත්‍යන්තර මැදිහත් වීමකට පාර කැපීමේදී විධායක ජනාධිපතිට කළ හැකි දෙයක් නැත. ඒ අනුව ඒ නව ඊළාම් මාර්ග සිතියම තුළ විධායක ජනාධිපති ක්‍රමයට විශේෂ භූමිකාවක් නැත. ඒ නිසා එය එසේම තිබීම හෝ අහෝසි කිරීම යන දෙකෙන් කුමක් සිදු වුවද බෙදුම්වාදීන්ට ගැටලුවක් නැත.

එහිදී ගැටලුවක් පැනනඟින්නේ ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් අවශ්‍ය බලතල ලබා ගැනීමට පෙර ගැටුම් ඇති කර ගතහොත් පමණි. ඒ නිසා ඔවුහු එතෙක් වාචික ගැටුම් පමණක් ඇති කර ගනිමින් තම බලවේගවල උදේ‍යාගය පවත්වාගෙන යති. නැඟෙනහිර ටිමෝරය බෙදා වෙන් කිරීමේදී පෘතුගාලය විසින් ඕස්ට්‍රේලියාවට එරෙහිව ජාත්‍යන්තර අධිකරණය හමුවේ පැවැරූ නඩු තීන්දුව අනුව බෙදුම්වාදී ගැටුමක නියැළී සිටින ජනතාවකට ‘වෙන් වී යෑම සඳහා’ කොන්දේසි තුනකින් එකක් හෝ තුනම සම්පූර්ණ විය යුතුය.

එහිදී එම නඩු තීන්දු අනුව අභ්‍යන්තර ස්වයං පාලනය ලබාදී ඇති යම් ජනතාවකට හෙවත් ජන කොටසකට මධ්‍යම ආණ්ඩුව විසින් එසේ ලබාදී ඇති බලතල ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන්නේ නම් එම ජනතාවට වෙන්ව යෑමේ අයිතිය නීත්‍යනුකූලව ලැබේ. ඊට අමතරව මධ්‍යම රජය විසින් එම ජනතාවට පීඩාකාරී සහ අවමන් සහගත ලෙස සලකන්නේ නම් හෝ එම ජනතාව ජන සමූල ඝාතනයකට ලක්ව සිටී නම් ඔවුනට වෙන්ව යෑමේ අයිතිය ඇත.

ඒ අනුව බෙදුම්වාදීන් විසින් තිම්පු සංකල්පය ලෙස ‘දෙමළ ජනතාව වෙනම ජන කොටසක්’ බව සහ ඔවුන්ට අනන්‍ය වූ භාෂාවක් මෙන්ම සංස්කෘතියක් තිබෙන බව සහ උතුර – නැඟෙනහිර ප්‍රදේශය ඔවුන්ගේ නිජභූමිය ලෙස පිළිගත යුතු බවට ඉල්ලා සිටියේ කුමක් නිසාද යන්න පැහැදිලි වේ. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් එම පිළිගැනීම යථාර්ථයක් කිරීම සඳහා අවශ්‍ය මූලික අඩිතාලම දමා ඇත. දැන් අවශ්‍ය වන්නේ ස්වයංපාලනය හෙවත් මධ්‍යම රජය සහ පළාත් සභාව අතර පරමාධිපත්‍ය බලය නිශ්චිතව බෙදී වෙන්වී ඇති බව තහවුරු කිරීමය. ජේ.ආර්. ජයවර්ධන මහතා දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක වීම වැළැක්වීම සඳහා පැනවූ ව්‍යවස්ථාමය බාධක ඉවත් කිරීම අවශ්‍ය වන්නේ එසේ පරමාධිපත්‍ය බලය බෙදී ඇති බව ජාත්‍යන්තර නීතිය හමුවේ ඔප්පු කිරීම සඳහාය. ඒ ආකාරයට එසේ ලබාදෙන බලතල ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බවට ගැටුමක් නිර්මාණය කළ හැක්කේ ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් ඒ පූර්ව කොන්දේසිය ඉටු කර ගැනීමෙන් පසුවය. ඊට අමතරව විග්නේශ්වරන් මහ ඇමැතිවරයා විසින් දිගින් දිගටම සමූල ඝාතන චෝදනා එල්ල කරන්නේ කුමක් නිසාද යන්න ඉහත සඳහන් කළ නඩු තීන්දුවෙන් පැහැදිලි වේ.

දැන් 20 වැනි සංශෝධනය ඉදිරිපත් කිරීම මඟින් ජනතා විමුක්ති පෙරමුණ විසින් දායක වන්නේ ඒ බෙදුම්වාදී මාර්ග සිතියම දිගහැරීමටය. නමුත් තම පාවාදීම සාධාරණීයකරණය කරන්නේ ලංකාවේදී එසේ නොවන බවට තර්ක කරමිනි. ඔවුන්ට අනුව ඉන්දියාව විසින් බලය බෙදීම සඳහා ශ්‍රී ලංකාවේ රජයට බලපෑම් කළත් රට බෙදීමට ඉන්දියාව ඉඩ දෙන්නේ නැත. නමුත් ඉන්දියාව විසින් බෙදුම්වාදය පෝෂණය කරන්නේ අවසානයේදී බෙදී වෙන් වූ රට සිකීමය මෙන් අර්ධ කොලනියක් ලෙස අෑ¼දා ගැනීමට බව ඔප්පු කිරීම සඳහා ප්‍රබල සාක්‍ෂි ඇත. එසේ වුවත් එම ක්‍රියාවලිය අවසන් වීම සඳහා යම් කාලයක් ගත වනු ඇත. එම කාලය තුළ ජනතාව රැවටීම සඳහා ජනතා විමුක්ති පෙරමුණට යම් අවකාශයක් ලැබේ. ඒ අවකාශය යොදා ගනිමින් ඔවුන් ප්‍රධාන වශයෙන් දේශපාලන වාසි 4ක් අත්පත් කර ගැනීමට අපේක්‍ෂා කරන බව පෙනෙයි. පළමුවැන්න සුළු ජාතික පදනම වැඩි කර ගැනීමය. එවැන්නකට ඉඩ තිබෙන බවට සුමන්තිරන් මහතා විසින් ජනතා විමුක්ති පෙරමුණට සහතිකයක් ලබා දුන්නේ යාපනයේදී පැවැත් වූ ඔවුන්ගේ මැයි රැලියට දෙමළ ජනතාව සමඟ සහභාගි වීමෙනි. දෙවැන්න 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ විශේෂ බහුතරයකින් සම්මත වුවහොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා අවශ්‍ය වන ජනමත විචාරණ සටන තම අතට ගැනීමය. බෙදුම්වාදී සංශෝධන සඳහා අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය පමණි. එම නිසා ජනමත විචාරණයක් බෙදුම්වාදීන්ට වැදගත් වන්නේ නැත. එය පැවැත් වුවත්, නැතත් ජයග්‍රහණය කළත්, පරාජය වුවත් ඔවුන්ගේ ජයග්‍රහණය තහවුරු වේ. නමුත් ජනමත විචාරණයක් පවත්වා ජයග්‍රහණය කළහොත් ජනතා විමුක්ති පෙරමුණට සහ එක්සත් ජාතික පක්‍ෂයට ප්‍රබල දේශපාලන වාසියක් ලැබේ.

තුන් වැන්න ජනමත විචාරණයක් පැවැත්වීමට දේශපාලන ශක්‍යතාවක් නොමැති නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨය ඉදිරි ජනාධිපතිවරණය දක්වා රැගෙන යෑමය. එවිට ඉදිරි ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන පොදු අපේක්‍ෂකයා තේරීමේ සදාචාර බලය ජනතා විමුක්ති පෙරමුණට ලැබේ. හතර වැනිව ඒ සියලු සදාචාර බලයන් දේශපාලන බලයක් බවට පෙරළා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී මන්ත්‍රිවරු 20ක් දිනාගත හැකි යැයි ඔවුන් විසින් තක්සේරු කරන බව පෙනෙයි. ඒ සඳහා අවශ්‍ය මූලික මූල්‍ය පහසුකම්ද ඔවුන් විසින් ඉටු කරන අමාරු කාර්යය සඳහා වන තුටුපඬුරු ලෙස ඔවුන්ට ලැබෙනු ඇත.

කෙසේ වෙතත් ඉහත සඳහන් කළ ආකාරයට ජනතා විමුක්ති පෙරමුණ විසින් භාරගෙන ඇත්තේ ජයග්‍රහණය කළ නොහැකි අභියෝගයක් බව තව නොබෝ දිනකින් ඔවුන් විසින්ම තේරුම් ගනු ඇත. ඒ පාවාදීමේ අපවාදයෙන් ඔවුන්ට යම් පමණකට හෝ ගැලවිය හැක්කේ විසිවැනි සංශෝධනය ඉල්ලා අස්කර ගැනීම මඟින් පමණි. නමුත් ඊට සූදානම් වීම මහ පාපයකි. ඒ පව් සෝදා ගැනීම සඳහා 1989දී බෙදුම්වාදයට විරුද්ධව ජීවිත පරිත්‍යාග කළ දරුවන්ගේ මවුපියන්ගෙන් ඔවුන් සමාව ගත යුතුය.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

Related posts

ජෙරම්ගේ පෙත්සම කැඳවීමට දින දෙයි

Admin

පොම්පියෝ නෙමෙයි ඊට වඩා ලොක්කෙක් ආවත් දැන් රට පාවා දෙන්නේ නෑ

colombotoday

වැලි, ගල්, බොරළු සහ මැටි ප්‍රවාහනයේදී අක්‍රමිකතා නවතන්න නව බලපත්‍ර ක්‍රමවේදයක්…

Admin

වගාව රැක ගන්න ගිය තිදරු පියාට අත් වූ ඉරනම

Admin

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකූ ඉංජිනේරුවා යළි රිමාන්ඩ්

colombotoday

LTTE සංඥා අංශයේ සාමාජිකයකු ජීව අත් බෝම්බයක් සමග කොටු

colombotoday