ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව ඇති තෙල් ටැංකි දාහතක් ඉන්දියානු තෙල් සමාගමට පැවරීමට ආණ්‌ඩුව සූදානම් වන බව විපක්‍ෂයේ සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (08 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ස්‌ථාවර නියෝග 23/2 යටතේ දිසානායක මහතා කළ ප්‍රකාශයට අදාළව ආණ්‌ඩුව මීළඟ පාර්ලිමේන්තු සැසියේ පිළිතුරු ලබාදෙන බව සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීවේය.
ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිත පිහිටා ඇති තෙල් ටැංකි තවත් ප්‍රමාණයක් ඉන්දියානු තෙල් සමාගමට පැවරීමට යන බවට වන පුවත් සම්බන්ධයෙන් පැනනැඟී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. ලෝකයේ දෙවැනි ගැඹුරුම ස්‌වාභාවික වරාය ත්‍රිකුණාමලය වරායයි. එහි සුවිශේෂී පිහිටීම හේතුවෙන් ඉතිහාසය පුරා එය විවිධ රටවල අවධානයට පාත්‍ර වුණා. ත්‍රිකුණාමලය වරායේ වැදගත්කම තවත් ඉහළ නංවන්aනේ දෙවැනි ලෝක යුද සමයේ චීන වරාය ආශ්‍රිතව ඉදිකරන ලද තෙල් ටැංකි සංකීර්ණයයි. මෙහි ඝන මීටර් 12,500 ක ධාරිතාවයෙන් යුතු ටැංකි 102 ක් පිහිටා තිබෙනවා. දැනට ටැංකි 100 ක් පාවිච්චියට ගත හැකි තත්ත්වයේ පවතින අතර එය ටැංකි 17 ක් පහළ සංකීර්ණය ලෙස හා 83 ක් ඉහළ සංකීර්ණය ලෙස කොටස් දෙකකින් යුක්‌තයි. ඉහළ සංකීර්ණය තුළ දුම්රිය තෙල් ටැංකි සඳහා තෙල් පිරවීමේ පහසුකම් ද පවතිනවා.
මෙම පහළ සංකීර්ණයේ ටැංකි යම් ප්‍රමාණයක් ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව විසින් භාවිත කරන ලද අතර ඒවා 2003 වසරේදී ඉන්දියානු තෙල් සමාගමට කුලියට දීමට එවකට ආණ්‌ඩුව කටයුතු කළා. ඒ ඛනිජ තෙල් සංස්‌ථාව සහ ඉන්දියානු තෙල් සමාගම සමග අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුමක් මගිනුයි. එහෙත් ඛනිජ තෙල් සංස්‌ථාවට ටැංකි පිහිටා ඇති භූමියේ අයිතියක් නොතිබූ බැවින් එය නිත්‍යනුකූල පැවරීමක් නෙමෙයි. අත්සන් තබන ලද ගිවිසුමේ මාස 06 ක් ඇතුළත නීතිමය ලියවිලි සකස් කරන බව සඳහන් වුවත් මේ දක්‌වා එවැන්නක් සකස්‌වී නොමැති බැවින් නිත්‍යනුකූලව සියලුම සම්පත් රජය සතුව පවතිනවා.
ඉන්දියානු තෙල් සමාගම විසින් පරිහරණය කරනු ලබන්නේ පහළ සංකීර්ණයේ ටැංකි 17 න් යම් ප්‍රමාණයක් පමණයි. රටේ තෙල් ඉල්ලුම ඉහළ යැම සැලකිල්ලට ගත් විට දුම්රිය මගින් බෙදා හැරීමේ පහසුකම් ද සහිත මෙම ප්‍රයෝජනවත් ගබඩා සංකීර්ණය මෙතෙක් පාවිච්චියට නොගැනීම බලවත් අපරාධයක්. අලුතින් තෙල් ගබඩා ඉදිකිරීම විශාල වියදම් දැරිය යුතු කටයුත්තක් බැවින් ලංකා ඛනිජතෙල් සංස්‌ථාවට විශාල අමතර වැය බරකින් තොරව මෙම ටැංකි සංකීර්ණය පාවිච්චියට ගත හැකිව තිබෙනවා. එසේම ගබඩා සංකීර්ණයේ විශාලත්වය හේතුවෙන් රට තුළ සැපයුමට පමණක් නොව ජාත්‍යන්තර තෙල් වෙළෙඳපොළට ප්‍රවේශවීමටද ඛනිජ තෙල් සංස්‌ථාවට මෙමගින් ඉඩකඩ පාදා ගත හැකියි.
විශේෂයෙන් ඛනිජ තෙල් සංස්‌ථාව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව හමුවට කැඳවන ලද අවස්‌ථාවක මෙම තෙල් ටැංකි පාවිච්චි කිරීමේ හැකියාව සොයා බලන ලෙසට නිර්දේශයක්‌ද කරනු ලැබ තිබුණා. සංස්‌ථාවේ වෘත්තීය සමිති විසින් ද මෙම ගබඩා සංකීර්ණය පාවිච්චියට ගැනීමේ අවශ්‍යතාව බලධාරීන්ට පෙන්වාදී තිබුණා. ඒ අනුව සංස්‌ථාවේ නිලධාරීන් විසින් ටැංකි 17 ක් පරීක්‍ෂා කොට බලා ලබා දුන් තාක්‍ෂණික වාර්තාවේ ඒවා එම තත්ත්වයෙන්ම පාවිච්චි කළ හැකි බවත් විනාශ කරනු ලැබ ඇති නළ පද්ධතිය පමණක්a අලුතින් ඉදිකළ යුතුව ඇති බවත් පෙන්වා දී තිබුණා. ඒ සඳහා වන වියදම සංස්‌ථාවට දැරිය හැකි මට්‌ටමේ වන බවද එහි සඳහන්ව තිබුණා.
දැනගන්නට ඇති අන්දමට ටැංකි සංකීර්ණය නවීකරණය කොට සංස්‌ථාවේ පාවිච්චියට ගැනීම වෙනුවෙන් අමාත්‍යවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර එයට අනුමැතියද පළ වී තිබෙනවා. කෙසේ වුවද ඒ අනුව සංස්‌ථාව විසින් නවීකරණ කටයුතු ඇරඹීමට සූදානම් වෙමින් සිටියදී කිසියම් අදිසි හස්‌තයක් විසින් එම කටයුතු නතර කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව මෙම ටැංකි සංකීර්ණයේ ඉතිරි ටැංකි ප්‍රමාණයද ඉන්දියානු තෙල් සමාගමට ලබාදීමට ආණ්‌ඩුව සූදානම් වන බවට ඛනිජතෙල් සංස්‌ථා සේවකයන් අතර ද මේ මහා ජාතික සම්පත පිළිබඳ උනන්දුවන ජනතාව අතර ද මහත් නොසන්සුන්තාවක් වර්ධනය වෙමින් තිබෙනවා.
මේ තත්ත්වය තුළ පැනනඟින පහත ගැටලුවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්‍ෂා කරනවා.
ඛනිජතෙල් සංස්‌ථාවේ ඉංජිනේරුවන් විසින් චීන වරාය ටැංකි 17 ක් පරීක්‍ෂා කොට තාක්‍ෂණික වාර්තාවක් ලබාදී ඇත්ද?
එම වාර්තාවෙන් නිර්දේශ කර ඇත්තේ කුමක්‌ද? එම වාර්තාව මෙම සභාවට ඉදිරිපත් කරනු ලබන්නේද?
ටැංකි සංකීර්ණය නවීකරණය කොට සංස්‌ථාවේ පාවිච්චියට ගැනීම වෙනුවෙන් වූ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලද්දේද?
අදාළ කැබිනට් පත්‍රිකාව සඳහා අනුමැතිය පළ වී ඇත්ද? ඒ කවර දිනයේද?
ඛනිජ තෙල් සංස්‌ථාව මගින් ටැංකි පද්ධතියේ නවීකරණ කටයුතු සිදු කිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවීමට කටයුතු කර තිබේද?
එම ටැංකි සංකීර්ණයේ ඉතිරි ටැංකි පද්ධතියද ඉන්දියානු තෙල් සමාගමට පැවරීමට රජය තීරණයක් ගෙන තිබේද? එසේ නම් ඒ කවර හේතු මතද?
-දිවයින