ArticlesColombo Today Local News

ව්‍යවස්ථා සංශෝධන මගඩියේ කූටප්‍රාප්තිය

dfdfg23

ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලිය ගැන නිල වශයෙන් මේ රටේ ජනතාව දැනුම්වත් වන්නේ මේ වසර මුලදී “ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා ප්‍රතිසංස්‌කරණ පිළිබඳ මහජන අදහස්‌ විමසීමේ කමිටුව” විසින් ජාතික පුවත්පත්වල පළ කළ පුවත්පත් දැන්වීම ප්‍රකාරවය. එතැන් සිට මාස ගණනාවක්‌ රට පුරා මේ ‘කොමිසම’ ඇවිද්දේ ‘මහජන අදහස්‌ ලබා ගැනීමට’ය. එහිදී මේ ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලියේ ‘යෝජකයන්’ වන දෙමළ බෙදුම්වාදයේ නිල නියෝජිතයන් වන දෙමළ ජාතික සංධානයේත්, එහි ආනුෂංගික සිවිල් සංවිධාන යෑයි කියන්නාවූ සමිති සමාගම් වලත් අදහස්‌ උදහස්‌ මහ ඉහළින් පිළිගන්නටද, ඒ යෝජනා නොපමාව ජනමාධ්‍ය ඔස්‌සේ ප්‍රචාරය කරන්නටත් කටයුතු සම්පාදනය වී තිබුණ බව රහසක්‌ නොවේ. එහෙත් රටේ සෑම දිස්‌ත්‍රික්‌කයකම ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් සාක්‌ෂි ලබාදුන් බොහෝ මැදහත් පිරිස්‌ද, සිංහල හා සිංහල බෞද්ධ සංවිධාන හා සිංහල සමාජ ක්‍රියාකාරීන්ට ලැබුණේ කුඩම්මාගේ සැළකිලි බවද අසන්නට ලැබුණි. ලාල් විඡේනායක කමිටුව කන්දක්‌ විලිවැද වැදූ වාර්තාව දැන් නිකුත්වී ඇත. අපි එහි සියලු දෑ සාකච්ඡා කරන්නට නොවෙහෙසෙමු. එහෙත් මේ රටේ පොදු මහජනතාවගේත්, විශේෂයෙන්ම සිංහලයන්ගේ දැනුම්වත්වීම පිණිස කරුණු කිහිපයක්‌ පමණක්‌ සඳහන් කරමු.

කමිටු සාමාජිකයන්ගෙන් 7 දෙනෙකු නව ජාතික ධජයක්‌ සම්පාදනයට යෝජනා කරයි. එසේම 2000 හා 2004 ව්‍යවස්‌ථා කෙටුම්පත්වල ජාතික ගීය සම්බන්ධයෙන් ඇති යෝජනා සැලකිල්ලට ගනිමින් සිංහලෙන් හා දෙමළෙන් ගයන්නටද යෝජනා කරයි. දෙදෙනෙක්‌ හැර සියල්ලන් නාමිකව හෝ බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය පිරිනැමෙන

9වන ව්‍යවස්‌ථාව ඉවත් කිරීමට යෝජනා කර ඇත. සිව් පුද්ගල ඉඩම් කොමිසමක්‌ යෝජනා කරන කමිටුව එහි එක්‌ සිංහල නියෝජිතයකුද, එක්‌ මුස්‌ලිම් නියෝජිතයකුද, එක්‌ දෙමළ නියෝජිතයකුද, කඳුරට දෙමළ ජනතාව වෙනුවෙන් තවත් එක්‌ නියෝජිතයකුද පත්කිරීමට යෝජනා කරයි. එවිට සිවු පුද්ගල කමිටුවේ දෙමළ ජාතිකයින් දෙදෙනෙකි. මුස්‌ලිම් නියෝජිතයාද සමග අසිංහලයින් තිදෙනෙක්‌ ඉඩම් කොමිසමේ වෙති. ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක්‌ ලෙස ප්‍රකාශයට පත්කරන්නට ද යෝජනා කරයි. අනාගමික රාජ්‍යයක්‌ ඉල්ලා මහජනතාව අරගල කරන්නට පටන් ගත්තේ ක්‍රිස්‌තියානි පල්ලියේත් කුරාණයෙත්, ගීතාවේත් ඇතැම් ඉගැන්වීම් ම්ලේච්ඡ ලෙස මනුෂ්‍යයින් පාලනයට වඩා මර්දනයට පාලකයන් විසින් යොදා ගත් බැවිණි. බෞද්ධ රාජ්‍යයක්‌ යනු ඔය කියන ආගමික රාජ්‍යයක්‌ නොවේ. මේ බෙදුම්වාදී කමිටු වාර්තාව උත්සාහ කරන්නේ අනාගමික රාජ්‍ය පදයට මුවාවී ථෙරවාදය අතුගා දැමීමේ බටහිර අවශ්‍යතාව ඉටුකිරීමටය.

උතුර හා නැගෙනහිර පළාත් වල සිංහල ජනයා පදිංචි කිරීමෙන් ජන අසමතුලිතතාවක්‌ ඇතිවූ බව මෙම වාර්තාවේ මහත් අවධාරණයෙන් දක්‌වා ඇත. එහෙත් දහසය වන සියවසෙන් පසුව හා මෑත යුගයන්හිදී යාපනය මඩකලපුව ආදී ප්‍රදේශවලින් එළවාදැමූ දස දහස්‌ ගණන් සිංහල පවුල් ගැන වදනකුදු නොකීමට කමිටුව ‘ප්‍රවේසම්’ වී ඇත. කමිටුව විසින් නව ව්‍යවස්‌ථාවට සමලිංගිකත්වය ගැන බරපතළ ලෙස සිතන්නට නිර්දේශ කරන්නේ මෙසේය. “වයස සම්පූර්ණ වී ඇති සියලු පුද්ගලයින්ට ජනවර්ගය, ජාතිය, ආගම, ලිංගික අනන්‍යතාව, ලිංගික නැඹුරුව ආදීයේ සීමාවකින් (සම ලිංගික, ද්වී ලිංගික, පාර ලිංගික, හා අන්තර් ලිංගික, නාරි මෛථුන්‍යය) තොරව විවාහ වීමට හා පවුලක්‌ සෑදීමට අයිතිය තිබේ. ඔවුනට සමාන අයිතිවාසිකම් ලැබිය යුතුය”

අනාගමික රාජ්‍ය කතාවේදී කමිටුව පවසන එක්‌ හාස්‍ය ජනක, එහෙත් වැදගත් කරුණක්‌ තිබේ. එය එක්‌ අතකින් කමිටුව නිරුවත් කරන්නේ ය, අනෙත් අතින් මේ සටකපට දේශපාලන අඩව්වේ සැබෑ බරපතලකම හෙළිදරව් කරන්නේය. “අප පෞද්ගලිකව අනාගමික රාජ්‍යයකට කැමති නමුත් මහජනතාව ඉදිරිපත් කළ විවිධ අදහස්‌ අනුව අපට පෙනී ගියේ වත්මන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ මෙම වගන්ති වෙනස්‌ කිරීම අනවශ්‍ය ගැටුමකට හේතුවක්‌ විය හැකි බවත් එය ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලියට බලපෑ හැකි බවත්ය” මෙහිදී මෙම කොමිසම (හෝ ඔවුන්ගේ ස්‌වාමීන්) වඩාත් බිය වී ඇත්තේ මහා සංඝයා වහන්සේ පෙරටු කරගත් සිංහල බෞද්ධයින් මෙම ව්‍යවස්‌ථාවට විරුද්ධ වීමෙන් බෙදුම්වාදය ශක්‌තිමත් කරන සෙසු යෝජනාද කුණු කූඩයට යැමට ඉඩ ඇති නිසාය. නමුත් ජාතික කොඩිය වෙනස්‌ කිරීම මෙන්ම ජනාධිපති ක්‍රමය වෙනස්‌ කිරීම යන කාරණා වලදී කමිටුව නොබියව අදහස්‌ ඉදිරිපත් කොට ඇති බව පෙනේ. වෙස්‌ට්‌මිනිස්‌ටර් අගමැති ප්‍රධාන පාලන තන්ත්‍රයක්‌ ඇති කිරීම, දෙමළ හා මුස්‌ලිම් ජන වර්ග නියෝජනය කරන උප ජනාධිපති ධූරයක්‌ ඇති කිරීම, යන කාරණාවලට විශේෂ තැනක්‌ දෙමින් එම යෝජනා පැහැදිලි කරමින් මෙම කමිටුව ප්‍රබල ලෙස සිය යෝජනා ඉදිරිපත් කර ඇත.

එහෙත් ‘විධායක අගමැති’ තත්ත්වය ඉක්‌මවා ගිය ක්‍රමවේදයකින් රටේ විධායක නායකයා තෝරාගත යුතුය, එනම් සිය විධායකය තෝරාගැනීමේ අවස්‌ථාව රටේ සියලු පුරවැසියන්ට හිමිවිය යුතුය යන සංකල්පය බිහිවන්නේ බොහෝ ‘ප්‍රජාතන්ත්‍රවාදී’ රටවල් පවා අද වන විට විධායක අගමැති ක්‍රමය ප්‍රතික්‌ෂේප කර ඇති තත්ත්වයක්‌ තුළය. ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධූරය ස්‌ථාපනය වන්නේ රටකට ස්‌ථාවර විධායකයක අවශ්‍යතාව අවධාරණය කරමිනි. එහිදී ප්‍රතික්‌ෂේප වූයේ විවිධ උපාය උපක්‍රම මගින් පාර්ලිමේන්තුවේ (විශේෂයෙන්ම සුළුජාතික අන්තවාදීන්ගේ) ප්‍රාණ ඇපකරුවකු බවට පත්වන්නට ඉඩ ඇති අග්‍රාමාත්‍ය ධුරය තීරණාත්මක අවස්‌ථාවලදී කෙතරම් අවදානම්ද යන තත්ත්වයයි. ඇත්ත වශයෙන්ම විධායක අගමැති ධූරයක මුවාවෙන් පැමිණෙන දේශපාලන ප්‍රතිසංස්‌කරණයක්‌ යනු මේ රටේ බෙදුම්වාදී බලවේග වල ඓතිහාසික ජයග්‍රහණයකි. 1978 වන විට විධායක අගමැති ක්‍රමය න්‍යායාත්මකව හා දේශපාලනිකව ප්‍රතික්‌ෂේප කර නව දේශපාලන සම්ප්‍රදායක්‌ ඉදිරිපත් කළ එක්‌සත් ජාතික පක්‌ෂ ආණ්‌ඩුව අද වන විට යළිත් ඒ යල්පිනූ විධායක අගමැති ක්‍රමය ඉල්ලා සිටින්නේ ඇයි? ඒ සඳහා ඔවුනට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්‌ද?

මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ සිංහලයාගේ අභිමානය බිඳිය යුතුය යන ඒකායන අරමුණ පෙරදැරි කරගෙන බව තවදුරටත් පැහැදිලි කළ යුතුද? එහෙයින් ව්‍යවස්‌ථා සංශෝධන මගඩිය සමාජගත කෙරුණු මේ වකවානුව අපි ගැඹුරින් හඳුනාගත යුතුය.

ජාතික පුවත්පත් වල පිටු පුරා පළකරමින් විග්නේශ්වරන් මහ ඇමතිවරයා ඉදිරිපත් කළ ෙඩරල් යෝජනාවලියේ ‘ඇඟ කිළිපොලා යන’ මූලික ලක්‌ෂණ සළකා බැලීම වැදගත්ය. භාෂාව පදනම් කරගත් දෙමළ රාජ්‍යයක්‌ උතුරේ හා නැගෙනහිරද, සිංහල පදනම් කරගත් සිංහල රාජ්‍යයක්‌ දකුණේද ඇති කිරීම මත පදනම්වී ඇති මේ යෝජනා වලිය, උතුරු හා නැගෙනහිර පළාත්වල මුස්‌ලිම් ජනතාව සඳහා වෙනම ස්‌වාධීන පරිපාලන ඒකක ලබාදීමට යෝජනා කරයි. ඒකාබද්ධ කරනු ලබන ප්‍රාන්තයට උතුරු නැගෙනහිර වෙනම පාර්ලිමේන්තුවක්‌ දෙමළ බෙදුම්වාදය ඉල්ලා සිටී. ස්‌වාධීන පරිපාලන ඒකක හා ප්‍රාන්ත රාජ්‍යයට ස්‌වයං නිර්ණ අයිතිය ලබාදීමද, ප්‍රාන්ත රාජ්‍යයේ කටයුතු සඳහා මධ්‍යම රජයේ මැදිහත්වීමද ප්‍රතික්‌ෂේප කිරීමද, ජාතික ධජයෙන් ‘වාර්ගික නිරූපයන්’ ඉවත් කිරීමද පූර්ණ පොලිස්‌ හා ඉඩම් බලතල ලබාදීමද, හමුදා ඉවත් කිරීමද, දේශපාලනික කරුණු සඳහා වෙනම ජනමත විචාරණ පැවැත්වීමේ බලයද ඒ යෝජනා වලිය ඉල්ලා සිටී. අපට අසන්නට ඇත්තේ සරල පැනයකි. මෙය නව ව්‍යවස්‌ථාවක්‌ සඳහා වන යෝජනා මාලාවක්‌ද, නැතහොත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ න්‍යාය පත්‍රයද?

අතිශය ප්‍රජාතන්ත්‍රවාදී ‘මහජන අදහස්‌ විමසීමකින්’ ව්‍යවස්‌ථා කෙටුම්පතක්‌ ජනගත කරන්නට තතනන වෛවර්ණ ආණ්‌ඩුව කෙබඳු ව්‍යqහයක්‌ද? මහජනතාව විසින් ප්‍රතික්‌ෂේප කර දැමූ පරාජිත දේශපාලනඥයින් වෙනත් හොර පාරවලින් පාර්ලිමේන්තු ගත කිරීමේ ‘සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයම’ ආණ්‌ඩුවේ ඇති අනෛතිකභාවය ප්‍රකට කරයි. එබඳු වංචනික රජයකින් යුක්‌තියක්‌ බලාපොරොත්තු විය හැකිද? තමා ජනාධිපති මන්දිරයේ වාසය නොකරන්නේ ඒ සඳහා වියදම් වන අධික මුදල නිසායෑයි ප්‍රසිද්ධියේ කියාපාන ජනාධිපතිවරයාගේ නීලපට දර්ශනයෙන්, ඇමති වාහන සඳහා රුපියල් කෝටි 118 ක පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ සම්මත කරන්නට උත්සහ දරන දේශපාලන හෙළුව වසාගත හැකිද? රවටන්නට හදන්නේ කාවද? මේ මගඩි නාටක අස්‌සේ ව්‍යවස්‌ථා සංශෝධනය යන නමින් කළඑළි බසින්නේද මගඩි නාටකයක්‌ම බව අපි වගකීමෙන් කියන්නෙමු.

1970 දශකයේ සිදුවූ ආණ්‌ඩුක්‍රම සම්පාදක මණ්‌ඩල පත්කිරීම් හා වෙනත් බල දෝලනය වීම්වලදී මේ රටේ වගකිවයුතු මහානායක අනුනායක ස්‌වාමීන් වහන්සේලාගේ හැසිරීම හා මැදිහත්වීම උන් වහන්සේලා කෙරෙහි අප තුළ ඇති කරන්නේ මහත් ගෞරවයකි. එකල ආණ්‌ඩුක්‍රම සම්පාදක මණ්‌ඩලය අමතා ‘සිංහල ජාතියේත් සම්බුද්ධ ශාසනයේත් අනාගතය සම්බන්ධ ස්‌ථිර පැහැදිලි පදනමක්‌ මත අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්පාදනය වනු දැකීම සිංහල බෞද්ධ ජනතාවගේ ප්‍රාර්ථනය වී ඇත’යි කීමට එදා මල්වතු අස්‌ගිරි මහ නාහිමියෝ ඒකාබද්ධ සංදේශයකින් කියා සිටියහ. රජයට අනුශාසනා කිරීමට සඟරුවනේ මූලිකත්වයෙන් උත්තරීතර රාජ්‍යානුශාසනා මණ්‌ඩලයක්‌ පිහිටුවන්නැයි රජය අමතා කීමට වයඹ ෙත්‍රෙනිකායික සංඝ සභාවට හැකියාව තිබුණි. ලංකාවේ එකම රාජ්‍ය භාෂාව සිංහල විය යුතු යෑයි කියන්නට රාමඤ්ඤ මහා නිකාය කටයුතු කර තිබුණි. අද මුළුමනින්ම මේ නායක කාරකාදී භික්‌ෂුන් වහන්සේ අකර්මන්‍යයෑයි අපි නොකියමු. එහෙත් අතීතය හා සසඳන කල සමස්‌තයක්‌ ලෙස සංඝ සමාජයේ අප දකින නිෂ්ක්‍රියත්වය හා බින්නතාව අප තුළ ගම්‍ය කරන්නේ වේදනාවකි.

ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයේ කැමැත්තය. අපේ රටේ බහුතරය කවුරුන්ද? ජාතියක්‌ වශයෙන් නම් සිංහලයන්ය. ආගමක්‌ වශයෙන් නම් බෞද්ධයන්ය. එහෙත් 1505 ඇරඹූ සිංහලයන් හා බෞද්ධයින් බහුවිධ ආකාරයෙන් සංහාරය කිරීම අද වන විට මේ රටේ පරම උරුමක්‌කාර ඓතිහාසික ජාතිය කරුමක්‌කාර නිෂ්ක්‍රීය ජාතියක්‌ බවට පත්කර තිබේ. 1948 දක්‌වා ක්‍රමයෙන් සිදුවූ සිංහල බෞද්ධයන් වාර්ගිකව, හා දේශපාලනිකිව සංහාරය කිරීම අයිවර් ජෙනිංග්ස්‌ගේ උපාය අනුව ප්‍රධාන පක්‌ෂ දෙකකට කඩනු ලදුව සාර්ථක ප්‍රතිඵල නෙලා ගත්තේය. ඉදින් සිංහලයාගේ එක්‌වීම කිසිදා සිදු නොවන තරමටම අසම්භව්‍යය. ඒ නයින් පාලන බලය බහුතර සිංහලයා සතුවීම තබා, පාලක පක්‌ෂය හා විපක්‌ෂය තීරණය කිරීමේ බලයවත් සිංහලයා සතු නොවේ. රජුන් තනන්නේ එක්‌කෝ අන්තවාදීන්ය, නැත්නම් බෙදුම්වාදීන්ය, ඒත් නැත්නම් කොමියුනිස්‌ට්‌වාදීන් ය.

“වෙල්ලස්‌ස” යනු 1818 සිංහල නැගිටීමේදී වෙල් (එනම් කුඹුරු) ලක්‌ෂයක්‌ විනාශ කළ ස්‌ථානය යෑයි ජනප්‍රවාද කියයි. වර්තමාන රජය මීට මාස කීපයකට පෙර පාර්ලිමේන්තුවේ සංවාද කළේ අපේ රටේ වී වගාව හෙක්‌ටෙයාර් 100,000 කින් අඩු කිරීමටය. ඒ සඳහා වෙනත් බොහෝ කුමන්ත්‍රණද ක්‍රියාත්මක කර ඇත. එදා වෙල් ලක්‌ෂයත්, අද (ඒකකය කුමක්‌ වුවත්) වෙල් ලක්‌ෂයත් අතර ඇත්තේ දෛවෝපගත සම්බන්ධයක්‌ නොවේද? අප කියන්නේ මේ වකවානුවේ සිංහලයේ පාලන බලය 1818දී පාලනය කළ බ්‍රවුන්රිග්ලාගේ, විල්සන්ලාගේ මුණුබුරු මිණිබිරියන් අත පත්ව ඇති බවකි. උන් සිංහල රූපයයෙන් ඉපිද, බාගදා සිංහල පන්නයට අඳිනවා පළඳිනවාද විය හැක. බ්‍රිතාන්‍යයේ ජීවත් වන ගණනින් ලක්‌ෂ තුනක්‌ පමණ වූ දෙමළ සුළුතරයට බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් හා කම්කරු පක්‌ෂය හිස නමන්නේ ඒ ඡන්ද ලක්‌ෂ දෙක තුන ස්‌වකීය පක්‌ෂය ජයග්‍රහණය කරවීමේදී තීරණාත්මක බැවිණි. ඒ අනුසාරයෙන් දෙමළ ඩයස්‌පෝරාව උපරිම වාසි ලබා ගන්නේය. අපේ රටේද පාලන බලය දිනාගැනීම උදෙසා දෙමළ හා මුස්‌ලිම් සුළුතරයට හිස නමන එක්‌සත් ජාතික පක්‌ෂ හෝ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ හෝ වෙනයම් පක්‌ෂයක ඊනියා නායකයින් යනු සිංහල නම් ඇතිව යළි උපන් වෛරී සුද්දෝම ය.

දෙමළ ජනවර්ගය නියෝජනය සඳහා නායකයින් කීප දෙනෙකු හෝ එක්‌ අයකු සිටිති. මුස්‌ලිම් ජනවර්ගය සම්බන්ධයෙන්ද තත්ත්වය එසේමය. ඒ හේතුවෙන් දේශපාලනිකව බලය සම්බන්ධ ගනුදෙනුවලදී ඒ නායකයින් සතුව කේවල් කිරීමේ හැකියාවක්‌ ඇත. සිංහලයා වෙනුවෙන් කේවල් කරන්නේ කවුද? ජනාධිපති හෝ අගමැති හෝ වෙනත් අයෙක්‌ නාමමාත්‍රිකව සිංහල වූ පමණින් ඒ අය ජාතිය නියෝජනය කරන්නේද? කිසිසේත්ම නැත. අප විග්‍රහය ප්‍රකාරව, ජනාධිපතිවරයා හෝ සෙස්‌සන් ජාතියේ නායකයින් නොවේ. ඔවුන් රාජ්‍ය නායකයින්ය. ඒ සියල්ලන් ජනතාව (වෙසෙසින් සිංහලයින්) රවටන ඊනියා මැතිවරණ ක්‍රමයකින් පත් කළ බටහිර අධිරාජ්‍යවාදයේ නියෝජිතයින්ම පමණකි. ඒ නයින් ගත් කළ ව්‍යවස්‌ථාව යනු ඒ අයගේ රැකියා කාර්ය ලැයිස්‌තුවයි. ව්‍යවස්‌ථාව යනු සිංහලය සූරා කෑමට හෝ තමන්ට අභිමත පරිදි පාලනය කිරීමට ධවල චර්මධාරීන්ගේ බෝල්-පොයින්ට්‌ පෑනකින් කටුගෑ ලියවිල්ලකි.

සියලු අවක්‍රියා ‘ඉවසමින්’ වෛවර්ණ ආණ්‌ඩුවේ විධායකයේ ප්‍රධානියත් ව්‍යවස්‌ථාදායකයේ ප්‍රධානියාත් කරන්නේ මුණිවත රැකීමය. ඇත්ත වශයෙන්ම මෙවැනි ප්‍රශ්නවලදී ස්‌වකීය පාලනය තුළ සිටින කවරකු හෝ වුවද පාලනය කළ යුත්තේ ඔවුන්ය. එහෙත් මුස්‌ලිම් අන්තවාදයේ නියෝජිතයෝද, දෙමළ බෙදුම්වාදයේ නියෝජිතයෝද හිතූ හිතූ දේ කියති, කරති. වගකිවයුත්තන්ගේ මුණිවත නිසා පොදු මහජනයා හෝ විශේෂයෙන්ම සිංහල හා සිංහල බෞද්ධ සිවිල් සමාජ ක්‍රියාකාරීන් (සාමාන්‍යයෙන් මොවුන් හඳුන්වන්නේ ජාතිවාදීන් ලෙසය) ඒ ඒ තත්ත්වයන්ට, ප්‍රකාශයන්ට, ක්‍රියාවන්ට ප්‍රතිචාර දක්‌වන්නට යයි. එය බොහෝ විට තවත් ‘කළු ජූලියකින්’ කෙළවර වන්නට පිළිවන. එසේ නම් ඊනියා ව්‍යවස්‌ථාදායකයත්, විධායකයත් බලා සිටින්නේ තවත් කළු ජූලියක්‌ උදා වන තුරුද?

අවසාන වශයෙන් යමක්‌ විමසන්නට තිබේ. පළමුව සමස්‌තය සලකා බැලීමේදී අප මේ ව්‍යවස්‌ථා සම්පාදන කමිටුවේ වාර්තාව ප්‍රධාන කරුණු දෙකක්‌ මත දෝලනය වන බවක්‌ පෙනෙන්නට තිබේ. පළමුවැන්න මේ ඓතිහාසික දේශයේ සිංහල බෞද්ධ අනන්‍යතාව නසමින් බෙදුම්වාදයට පාර කපන නැඹුරුතාවයය. දෙවැන්න නම්, මේ දේශයේ සංස්‌කෘතිය බරපතළ ලෙස සොලවාලමින් සමලිංගිකත්වය වැනි විෂමාචාරයන් සඳහා නෛතික පදනමක්‌ ලබාදීමට දරා ඇති උත්සාහයයි. මේ ඊනියා ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලියට නායකත්වය දෙන්නේ පවතින ‘යහපාලන’ රජයයි. ඉන් කියෑවෙන්නේ මේ ආණ්‌ඩුවේ රාජ්‍ය පාලන මූලධර්ම වී ඇත්තේ බෙදුම්වාදය හා දුරාචාරී ලිංගික විෂමාචාරයන් බවද?

දෙවනුව, ඇතැම් වගකිවයුතු සිංහල හා සිංහල බෞද්ධ සිවිල් සංවිධාන හා ක්‍රියාකාරීන් විසින් කොළඹදී හා දිවයින පුරා දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් ලබාදුන් යෝජනා මේ වාර්තාවේ ඇතුළත් නොවීමය. ඇතැම් පුද්ගල හා සංවිධාන නාම සඳහන් වුවද ඒ යෝජනාවන්හි සාරය වාර්තාවට ඇතුළත්වී නැත. ඒ පිළිබඳ සාක්‌ෂි අප සතුය. එසේ රට පුරා ලබාදුන් යෝජනා හා අදහස්‌ විශ්ලේෂණය කර රාජ්‍යයේ ස්‌වභාවය, පුරවැසි භාවය, ආගම සහ මූලික අයිතිවාසිකම්, භාෂා අයිතිය, රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම, උත්තරීතර සංඝ මණ්‌ඩලය, විධායකය, බලය බෙදා හැරීම, මැතිවරණ ක්‍රමය, වෙනත් යෝජනා යන ශීර්ෂ දහය ඔස්‌සේ ඒවා අප විසින් සාරංශ ගත කර තිබේ. ඒ කිසිවක්‌ මේ කමිටු වාර්තාවේ අන්තර්ගත වී නැත. එහෙයින් මෙය හුදෙක්‌ බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාව මත, බොරු ප්‍රජාතන්ත්‍රවාදී මහජන මත විමසීමක්‌ සේ මවාපාමින්, සිදුකළ වංචනික ක්‍රියාවක්‌ බව ප්‍රකාශ කරමු.

තෙවනුව, සමස්‌ත ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලිය හා ලාල් විඡේනායක කමිටු වාර්තාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‌ෂයේ ස්‌ථාවරය කුමක්‌ද? ඔවුන් නිහඬ ඇයි? ඒකාබද්ධ විපක්‌ෂය යනු පවතින රජයේ සැබෑ විපක්‌ෂය මෙන්ම, බෙදුම්වාදයේ මිලිටරි පරාජයට මූලික වූ දේශපාලන නායකත්වයේ වර්තමාන ස්‌වරූපයයි. යටත් පිරිසෙයින් ව්‍යවස්‌ථාවේ 9වන වගන්තිය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනා ගැන හෝ යමක්‌ ප්‍රකාශයට පත්කරන්නට ඒකාබද්ධ විපක්‌ෂය අසමත්වීම පිළිබඳව මේ රටේ දේශමාමක ජනතාව පසුවන්නේ කුකුසෙනි.

ආචාර්ය චමිල ලියනගේ
සිංහල සංගේදම බුද්ධි මණ්‌ඩලය

Related posts

හිගුරක්ගොඩ පොලිස් නිලධාරින් 13 දෙනෙකු නිරෝධායනයට

colombotoday

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට

colombotoday

බොදු බලේ දින 14ක් කල් දෙයි ! බොරු අවලාද ගැන කරුණු 24කට පිළිතුරු ඉල්ලා විජයදාසට ලිපියක්

colombotoday

ලෝකෙ ලොකුම නත්තල් ගස ගාලුමුවදොර ඉදිවෙයි.. අතහිත අර්ජුනගෙන්.. වියදම වරායෙන් !

colombotoday

අයියනාර් පුරම් සහ බැරිස්ටර් නෙයින මරික්කාර්ගම ජනතා අයිතියට

colombotoday

කාපු තැන අමතක වූ ඇමති රංගේට ගල්ලෑවේ පුණ්‍යසාර හිමි අතීතය මතක්කර දෙයි

colombotoday