Colombo Today Local News

සම්මානිත මහාචාර්ය විමල් ජී. බලගල්ලේ මහතා අභාවප්‍රාප්ත වෙයි

මෙරට ජ්‍යෙෂ්ඨ භාෂා විශාරදයෙකු වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය විමල් ජී. බලගල්ලේ මහතා අභාවප්‍රාප්ත විය.

කෙටි කලක් රෝගාතුරව පසුවූ බලගල්ලේ මහතා මියයන විට 97 වන වියෙහි පසුවිය.

1924 වසරේ ගම්පහ බලගොල්ලේදී උපත ලද ඔහු සිය මූලික අධ්‍යාපනය ගම්පහ වික්‍රමශීලා පිරිවෙනෙන් සහ මාළිඟාකන්ද විද්‍යෝදය පිරිවෙනෙන් අධ්‍යාපනය හදාරා ප්‍රාචීණ පණ්ඩිත උපාධිය සමත් වූ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිංහල ගෞරව උපාධිය හිමි කර ගත්තේ ය.

1958 වසරේ විද්‍යෝදය විශ්වවිද්‍යාලය ආරම්භයත් සමග එහි සිංහල අංශයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවයට බැඳුණු විමල් ජී. බලගල්ලේ මහතා කෙටි කලකින් සිංහල අධ්‍යයනාංශාධිපති තනතුරට සහ මහාචාර්ය පදවියට පත්විය.

විමල් ජී. බලගල්ලේ මහතා මෙරට වාග් විද්‍යාව සහ සිංහල භාෂා ව්‍යවහාරය පිළිබඳව ප්‍රාමාණික උගතෙකි.

ඔහු විසින් සිංහල භාෂාව සම්බන්ධයෙන් සහ වාග් විද්‍යාව සම්බන්ධයෙන් පර්යේෂණ රැසක් සිදුකළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සිංහල භාෂාවේ සම්භවය සහ පරිණාමය, සිංහල භාෂාවේ ප්‍රභවය සහ ප්‍රවර්ධනය වැනි විශිෂ්ට පර්යේෂණ කෘති රැසක් පළ කළේ ය.

ඒ වෙනුවෙන් ඔහුට රාජ්‍ය සාහිත්‍ය සම්මානය, යුනෙස්කෝ සම්මානය, රාජකීය ආසියාතික සංගමයේ ස්වර්ණ මුද්‍රිකාව මෙන්ම මෙරට හා විදේශීය විශ්වවිද්‍යාලවලින් ද සම්මාන හිමිවිය.

බලගල්ලේ මහතා සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘ ලෙස 1994 වසරේ සිට 2002 වසර දක්වා කටයුතු කළ අතර සිංහල මහා වංශ සම්පාදක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේ ය.

දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන විමල් ජී. බලගල්ලේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහු පැවසූහ.

Related posts

16 කණ්ඩායමේ 8ක් සංවිධායක ධූරවලින් ඉවතට

colombotoday

ගිලන් රථයක් ත්‍රිරෝද රථ තුනක් හප්පා තුන්දෙනකු යට කරයි

colombotoday

ලංකාවේ අංක එකේ ධනවතා රටටම දැනෙන්න කියන කතාව.

colombotoday

හමුදා සාමාජිකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ හිටපු යුද හමුදා සාමාජිකයෙකුට මරණ දඬුවම

Admin

(Live – Video) විග්නේෂ්වරන්ගේ ජාතිවාදී වියරුවට එරෙහිව විරෝධතාවය ඇරඹෙයි

colombotoday

වගා ළිදකට වැටී 18හැවිරිදි සිසුවෙක් ජිවිතක්ෂයට

colombotoday