Colombo Today Local News

මේ වසරේ සිට ක්‍රියාත්මක නව හැඳුනුම්පත

id

ඕනෑ ම රටක ජීවත් වන පුද්ගලයකු ගේ අනන්‍යතාව තහවුරු කිරීමට ඇති ප්‍රධාන ලියවිල්ල වනුයේ ජාතික හැඳුනුම්පත ය.

1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතට අනුව, උචිත කාල සීමාවේ දී ශ්‍රී ලංකාවේ පදිංචි ව සිටින පුද්ගලයන් ලියාපදිංචි කර, එම පුද්ගලයන් හඳුනාගැනීම සඳහා හඳුනාගැනීමේ පත්‍රයක්‌ නිකුත් කිරීමේ කාර්යභාරය ඉටු කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව ය.

1972 වසරේ සිට ඉලක්‌කම් 9කින් හා ඉංගී්‍රසි ‘V’හෝ ‘X’ අක්‌ෂරයෙන් යුතුව නිකුත් කළ ජාතික හැඳුනුම්පතෙහි පැනනැගී ඇති ගැටලු කිහිපයක්‌ නිසාවෙන් ඉලක්‌කම් 12කින් යුත් නව ජාතික හැඳුනුම්පතක්‌ නිකුත් කිරීම 2016 ජනවාරි පළමු දින සිට අරඹා ඇත. මේ ඒ පිළිබඳව සැකසෙන ලිපියකි.

පැරැණි හැඳුනුම්පතෙහි පළමු ඉලක්‌කම් 2න්, අදාළ පුද්ගලයා ඉපදුණු වර්ෂයේ අවසන් ඉලක්‌කම් දෙක නිරූපණය වේ. 3,4,5 ඉලක්‌කම්වලින් පිරිමියකු ගේ නම් ජනවාරි පළමුවැනි දා සිට උපන් දිනයට ඇති දින ගණන කියවෙන අතර, කාන්තාවක ගේ නම් ජනවාරි පළමුවැනි දා සිට උපන්දිනයට ඇති දින ගණනට 500ක්‌ එකතු කළ විට ලැබෙන අගය කියෑවේ. 6,7,8 ඉලක්‌කම් තීරණය වන්නේ යම් දිනක දී පුද්ගලයා ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කළ ඉල්ලුම් පත්‍රය පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ලැබී ඇති අනුපිළිවෙළ අනුව ය (එනම් ඉල්ලුම් පත්‍රය අදාළ දිනයේ දී කී වැනියට ලැබුණේ ද යන්න 6,7,8 යන ඉලක්‌කම් 3න් කියවේ. මෙහි දී දිනකට ලැබෙන මුළු ඉල්ලුම් පත්‍ර සංඛ්‍යාව 1000කට අඩු (උපරිමය 999) යෑයි උපකල්පනය කර ඇත. මෙහි 9 ඉලක්‌කම පරීක්‌ෂණ අංකයක්‌ (මෙය පළමු ඉලක්‌කම් 8 ගණිතමය සූත්‍රයකට යොදා ලබාගන්නා අගයකි). වන අතර ඉන්පසු ‘V’හෝ ‘X’ ඉංගී්‍රසි අක්‌ෂරය යොදා ඇත. බොහෝ විට අවසාන ඉංගී්‍රසි අක්‌ෂරය V වන අතර එමඟින් අදාළ පුද්ගලයාට ඡන්ද අයිතිය පවතින බව කියෑවේ. ඇතැම් අවස්‌ථාවල දී අවසාන ඉංගී්‍රසි අක්‌ෂරය ඞ වන අතර එමඟින් අදාළ පුද්ගලයාට ඡන්ද අයිතිය නො පවතින බව කියෑවේ. (ජාතික හැඳුනුම්පතක්‌ සඳහා ඉල්ලුම් කරන අවස්‌ථාවේ දී අදාළ පුද්ගලයා ශ්‍රී ලංකාවේ ස්‌ථිර පදිංචිකරුවකු නො වේ නම් ද මෙලෙස ඞ අක්‌ෂරය ලැබිය හැකි ය.

ජනගහන වර්ධනය හේතුවෙන් දිනකට ඉල්ලුම්පත් 999කට වැඩි ප්‍රමාණයක්‌ ලැබිය හැකි වීම සහ වසර 100ක්‌ ගිය පසු වසරේ අවසන් ඉලක්‌කම් දෙක නැවතත් එක ම අගයක්‌ වීම (උදා 1966න් වසර 100ක්‌ ගත වූ විට එළඹෙන 2066 සලකන්න. මේ වසර දෙකේ ම අවසන් අංක දෙක 66 ය.) පැරැණි හැඳුනුම්පතට අදාළව මතු වන ගැටලු දෙකකි. අංක 12කින් යුත් නව හැඳුනුම්පත මේ ගැටලුවලට විසඳුම් දෙයි. ඒ මෙසේ ය(

නව හැඳුනුම්පතෙහි උපන් වර්ෂය නිරූපනයට පළමු ඉලක්‌කම් 4 ම වෙන් කර ඇති අතර 5,6,7 යන ඉලක්‌කම් පැරැණි හැඳුනුම්පතෙහි 3,4,5 ඉලක්‌කම්වලට අනුරූප වේ.

දිනකට ලැබෙන මුළු ඉල්ලුම් පත්‍ර සංඛ්‍යාව 10000කට අඩු (උපරිමය 9999) යෑයි උපකල්පනය කරමින්, පුද්ගලයා ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කළ ඉල්ලුම් පත්‍රය අදාළ දිනයේ දී පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ලැබී ඇති අනුපිළිවෙළ අනුව 8,9,10,11 ඉලක්‌කම් තීරණය වේ. මෙහි 12 වැනි අංකය පරික්‌ෂණ අංකයක්‌ වන අතර, ඊට පෙර යොදන ලද අංක 11, ගණිතමය සූත්‍රයක්‌ ඇසුරෙන් සකසා මේ අංකය ලබාගනී. (මේ සූත්‍රය රහස්‍ය සූත්‍රයකි). නව හැඳුනුම්පත් අංකයෙහි අගට ඉංග්‍රීසි අකුරක්‌ නොමැත.

මීට පෙර හැඳුනුම්පතක්‌ නිකුත් කර නොමැති අය සඳහා අලුතින් ම හැඳුනුම් පත් නිකුත් කිරීම, පැරැණි හැඳුනුම්පත නැති වීම, එයට යම් හානියක්‌ වීමෙන් භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත් වීම නිසා හැඳුනුම්පතෙහි 2 වැනි පිටපතක්‌ ලබාගැනීමට ඉල්ලුම් කිරීම යන අවස්‌ථාවල දී පමණක්‌ නව ක්‍රමවේදයට අනුව සැකසූ හැඳුනුම්පතක්‌ ලැබේ.

පැරැණි හැඳුනුම්පත් හිමියන්ට නව හැඳුනුම්පතක්‌ ලබා දීමේ දී පැරැණි අංකයෙහි ඉතා සුළු වෙනසක්‌ පමණක්‌ සිදු කෙරේ. එනම් පැරැණි හැඳුනුම්පතෙහි පළමු ඉලක්‌කම් දෙක වෙනුවට, ඉලක්‌කම් 4කින් සම්පූර්ණ උපන් වර්ෂය නිරූපනය වේ. යම් දිනයක්‌ තුළ ලියාපදිංචිය සඳහා යොමු වූ අනුපිළිවෙළ අනුව පැරැණි හැඳුනුම්පත් අංකයෙහි 6,7,8 ස්‌ථානවල යොදා තිබූ සංඛ්‍යාවට ඉදිරියෙන් ‘0’ක්‌ යොදා (උදා( 348 වෙනුවට 0348) එය අංක 4ක්‌ බවට පත් කර නව හැඳුනුම්පත් අංකයෙහි 8,9,10,11 ස්‌ථානයන්හි ස්‌ථානගත කෙරෙයි. තව ද නව පරීක්‌ෂණ අංකය පැරැණි හැඳුනුම්පතෙහි පරීක්‌ෂණ අංකයට ම සමාන වන පරිදි ගණිතමය සූත්‍රය සකසා ඇත.

කෙසේ වුව ද පැරැණි හැඳුනුම්පත් හිමියෙකුට නව ක්‍රමවේදයට අනුව සැකසූ හැඳුනුම්පතක්‌ ලබා දෙන විට, එහි පිටුපස එම තැනැත්තා ගේ පැරැණි හැඳුනුම්පත් අංකය ද සටහන් කෙරෙයි.

විශේෂ ස්‌තූතිය ( පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්‌ ජනරාල් සරත් කුමාර මහතාට

ලවන් අභිෂේක්‌ විජයසූරිය

Related posts

අභියාචනාධිකරණ තීන්දුවට අනුව අමාත්‍ය මණ්ඩලයේ සියලු දීමනා අත්හිටුවයි

colombotoday

ජපානයෙන් ආ පිස්තෝලය රේගුවෙන් පන්නන්න බැරිවෙයි

colombotoday

සමහරුන්ට ඕනේ සිරිකොත අල්ල ගන්න, මට ඕනේ අරලියගහ මන්දිරයට යන්න- රනිල්

colombotoday

“ඔන්න බබෝ අපි ආවෝ.. අත ලකුණෙන් අපි ආවෝ” – ශ්‍රීලනිප සමුළුවේ විස්මිත ගුවන් වීඩියෝව

colombotoday

කැනඩාවෙහි රැකියා ලබා දෙනබවට මුදල් වංචා කළ ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට

colombotoday

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව දෙමළ සන්ධානය සහ මුස්ලිම් කොංග්‍රසය ජනතා සහය පතයි.

colombotoday