Colombo Today Local News

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් බල ගැන්වීමට රජය සූදානම් – ජනපති

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට නවීන තාක්ෂණය භාවිතයෙන් විශිෂ්ටයන් බවට පත්විය හැකි පරිසරයක් නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

රටට විදේශ විනිමය උපයා ගැනීමේ ප්‍රධාන කොටස්කරුවන් ලෙස කර්මාන්තකරුවන් බල ගැන්වීමට රජය සූදානම් බව ද ජනාධිපතිවරයා කීය.

වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ, ඊයේ (20) පස්වරුවේ කොළඹ ගලධාරී හෝටලයේ පැවති ‘2022 ජාතික විශිෂ්ටතා සම්මාන උළෙල’ අමතමිනි.

ලංකා කර්මාන්ත මණ්ඩලය විසින් 21 වන වරටත් මෙය සංවිධානය කර තිබූ අතර හොඳ ම කර්මාන්තකරුවන් ඇගයීම මෙමගින් සිදු කෙරේ.

බිඳ වැටුණු ආර්ථිකය දෙස බලා පසුතැවෙනවා වෙනුවට වඩා සමෘද්ධිමත් අනාගතයක් උදා කර ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා දෙවන ලෝක යුද්ධයෙන් බිඳ වැටුණු ජපානය සහ ජර්මනිය යළි ගොඩනැගුණු අයුරු අපට ආදර්ශයක් සපයන බව ද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

“අපේ රටේ බිද වැටුණු ආර්ථිකය යළි ගොඩනැගීමේදී කර්මාන්තකරුවන්ට විශාල වගකීමක් පැවරෙනවා. කර්මාන්තකරුවන් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන පිරිසක්. රටක් ලෙස අපට මෙම තත්ත්වයෙන් ගොඩ ආ හැකි බව මම කියන්න කැමතියි. මේ අවස්ථාවේ කර්මාන්තකරුවන්ට බදු සහන ලබා දීමට හැකියාවක් නැහැ. නමුත් ‍අපේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත තවදුරටත් දියුණු කළ හැකියි. ඒ සඳහා නවීන තාක්ෂණය භාවිතයට ගත හැකියි. ලෝකයේ වෙනත් රටවල කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දියුණු වූ ආකාරය දෙස බලා ඔවුන් භාවිත කර ඇති එම නවීන තාක්ෂණය අපගේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල දියුණුවට යොදා ගැනීමට අප කටයුතු කළ යුතුයි. ඒ සඳහා රජයක් ලෙස ලබාදිය හැකි සියලු සහය ලබා දීමට අපි සූදානම්.

පැරණි ක්‍රමවේද අනුගමනය කරමින් සිටිනවා ද, එසේ නොමැති නම් අලුත් විදියට සිතා නව වැඩපිළිවෙළක් ඔස්සේ රටේ ආර්ථිකය ශක්තිමත් කර ගනිමින්, රට ජාත්‍යන්තරයේ ඉහළට ඔසවා තබනවා ද යන්න ඔබ තීරණය කළ යුතුයි. මේ සඳහා ඔබට හොඳ අවස්ථාවක් තිබෙනවා.

ඒ වගේ ම, බිඳ වැටුණු ආර්ථිකය දෙස බලමින් පසු තැවෙනවා ද, සමෘද්ධිමත් අනාගතයක් උදාකර ගැනීමට සියලු දෙනා එක්ව කටයුතු කරනවා ද යන්න අප සිතිය යුතුයි. දෙවන ලෝක යුද්ධය නිසා බිඳ වැටුණු ජපානය සහ ජර්මනිය ආර්ථික වශයෙන් නැවත ශක්තිමත් වෙලා ජාත්‍යන්තරය ජය ගත් හැටි ඔබ සිතා බලන්න. එසේ නම් අපටත් මේ රටේ ආර්ථිකය නැවත ගොඩනැගිය හැකියි. ඒ සඳහා අප ආකල්පමය වෙනසක් ඇතිකර ගත යුතුයි.

අද අපේ රටට විදේශ විනිමය අවශ්‍ය වෙනවා. විදේශ විනිමය ඉහළ නංවා ගැනීමත් සමග අපගේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. එවිට අපිට පුළුවන් අධ්‍යාපන සහ සෞඛ්‍ය අංශවලට වැඩි මුදලක් වෙන් කරන්න.

එමගින් අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලුවලට විසඳුම් ලබා දීමට අපිට හැකියාව ලැබෙනවා.”

Related posts

ඉෂාලිනිගේ මරණය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට දේශපාලන බලපැම් – නිතිඥ අනුෂ්කා දර්ශනි තිලකරත්න

colombotoday

අගමැතිකම මට ලොකු නැහැ – මහින්ද රාජපක්ෂ

colombotoday

ඥානසාර හිමි ගංවතුරට යටවේ

colombotoday

අපි ගැන ඇහැක් ඇර බලන්නෑ.. සාලාවේ වැසියෝ අදත් පාරට බහී.. පාර වසා විරෝධය පායි

colombotoday

දුමින්ද නිසා මහින්ද, ඩිලාන් ඇරගනී… ගුටි කෙළියක් අනූනමයෙන් වළකී… ඇමතිකමේ දිවුරුම් දීම අවිනිශ්චිතයි..

colombotoday

සැකකරුවන්ට උපරිම දඩුවම් ඉල්ලා ඩයගම වතු කම්කරුවෝ අදත් උද්ඝෝෂනයක.

colombotoday