Colombo Today Local News

සෙයිද් රාද් හුසෙන් දිගු දුර විහිදුම් බලකායේ රහස් තොරතුරු ඉල්ලයි.

ct defense 2

ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් පෙබරවාරි මස මැද භාගයේදි මෙරටට පැමිණීමට නියමිතය. අබිරහස්‌ සාක්‍ෂිකරුවන් 3366 ක්‌ විද්යුත් ලිපි හා තැපැල් මගින් යොමු කළ සාක්‍ෂි විශ්වාස කරමින් ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා විමර්ශනය සඳහා වූ පරීක්‍ෂණයකට ඉඩ දුන්නේද මොහුයි. මානව හිමිකම් කොමසාරිස්‌වරයා මෙරටට පැමිණෙන්නේ ශ්‍රී ලංකාව දැක බලා ගැනීමට නොව ජිනීවා යෝජනාව ප්‍රකාර ශ්‍රී ලංකා රජය යුද අපරාධ චෝදනා විමර්ශනය සඳහා විශේෂ අධිකරණය ස්‌ථාපිත කිරීම, ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කිරීම, උතුරින් හමුදාව ඉවත් කිරීම සහ රැඳවුම් භාරයේ සිටින හිටපු කොටි ත්‍රස්‌තයන් මුදා හැරියේ ද යන්න ගැන සොයා බැලීමටය.

එසේම විශේෂ අධිකරණය ජාත්‍යන්තර ක්‍රමවේදය මත කෙටුම්පත් වී තිබේද යන්න ගැන විමර්ශනය කිරීම ඔහුගේ අරමුණ වී ඇත. සෙයිද් රාද් හුසේන් මෙරටට පැමිණෙනතුරු උතුරු මහ ඇමැති විග්නේශ්වරන් සහ ද්‍රවිඩ සන්ධානයද විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් ද නොඉව සිල්ලෙන් බලා සිටී.

මානව හිමිකම් කොමසාරිස්‌වරයා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර බ්‍රිතාන්‍ය විදේශ ඇමැති හියුගෝ ස්‌විරේ ප්‍රකාශයක්‌ කරමින් තමා ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා පිළිබඳ ශ්‍රී ලාංකික යාන්ත්‍රණය ගැන සෙයිද්රාද් හුසේන් සමග සාකච්ඡා කළ බවත් කියා සිටියේය.

මෙම පසුබිම මැද මානව හිමිකම් කොමසාරිස්‌ පත් කළ ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩල වාර්තාවේ සඳහන් වී ඇත්තේ 2005 දෙසැම්බර් 24 දා නත්තල් දින දේව මෙහෙය පැවැති අවස්‌ථාවේ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය වීම ගැන පොලිසිය නිසි ලෙස පරීක්‍ෂණ පවත්වා නැති බවයි.

මෙම ඝාතනය කරුණා කණ්‌ඩායම සිදු කළ බවට විශ්වාස කළ හැකි බවත් යුද හමුදාවට සම්බන්ධ දෙදෙනෙක්‌ අත්අඩංගුවට ගත් අතර සාක්‍ෂි නැති නිසා ඔවුන්ව මුදාහැරි බවත් එකී වාර්තාවේ සඳහන් කර ඇත. එම වාර්තාවේ තවත් බරපතළ කරුණක්‌ දක්‌වා තිබේ. ඒ ජෝසප් පරරාජසිංහම් ඝාතනයට අදාළ රහසිගත රහස්‌ පොලිස්‌ වාර්තා ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලය දුටු බවයි.

ජිනීවා පරීක්‍ෂක මණ්‌ඩලයේ 55 වැනි පිටුවේ මේ අතිශයින් බරපතළ සිද්ධිය අනාවරණය කර ඇත.

එහෙත් රහසිගත රහස්‌ පොලිස්‌ වාර්තා ජිනීවා වෙත යෑවුණේ කෙසේද? සහ ඊට සම්බන්ධ වූවෝ කවුරුන්ද යන්න ගැන රජය මෙතෙක්‌ පරීක්‍ෂණයක්‌ පවත්වා නැත.

මේ ක්‍රියාදාමය රාජ්‍ය රහස්‌ පනත මුළුමනින්ම උල්ලංඝනය කිරීමකි. මෙරට රහස්‌ පොලිසියට හා හමුදා බුද්ධි අංශවලට සම්බන්ධ රහස්‌ හෙළි වූ මුල් වතාව මෙය නොවේ. 2002 ජනවාරි මස අතුරුගිරියේ මිලේනියම් සිටි ආරක්‍ෂිත නිවස්‌නය වටලා එහි සිටි හමුදා කණ්‌ඩායම අත්අඩංගුවට ගත් සහකාර පොලිස්‌ අධිකාරී කුලසිරි උඩුගම්පොල කොළඹ මුත්තයියා පාරේ පිහිටි හමුදා බුද්ධි අංශය මුළුමනින්ම කණපිට පෙරළීය.

පොලිස්‌ බලය හා දේශපාලන බලය පෙන්නුම් කළ ඔහු එම බුද්ධි අංශයේ චර පුරුෂයන් හා සියලුම තොරතුරු ලබාගැනීමේ ප්‍රතිඵලය වූයේ කොටි සංවිධානයට ද්‍රවිඩ ඔත්තුකරුවන්ගේ රහසිගත අනන්‍යතාවය හෙළි වීමයි.

ඉන් ද්‍රවිඩ ඔත්තුකරුවන් රැසක්‌ ඝාතනය විය. වසර කීපයකට පසු උඩුගම්පලට රාජ්‍ය රහස්‌ පනත උල්ලංඝනය කිරීමේ චෝදනාව එල්ල විය. අතුරුගිරියේ මිලේනියම් සිටි හමුදා ආරක්‍ෂක නිවස වැටලීමේ සිද්ධියෙන් පසු ආරක්‍ෂක බලධාරීන් අතර සාකච්ඡාවට ලක්‌වූයේ හමුදා බුද්ධි අංශ රහස්‌ ශ්‍රී ලංකා පොලිසියට ලබාගත හැකිද යන්නයි.

දැන් එවැනිම තත්ත්වයක්‌ උදාවී ඇත. අතිශයින් රහසිගත වන්නි මෙහෙයුමට අදාළ බුද්ධි තොරතුරු හෙළිවනු ඇති බවට වාර්තා වී ඇත. සෙයිද් රාද් හුසේන් පත් කළ ජිනීවා පරීක්‍ෂණ මණ්‌aඩලය වන්නි මෙහෙයුමට අදාළ තොරතුරු ලබාදෙන ලෙස පසුගිය රජයෙන් ඉල්ලා තිබූ අතර එම ඉල්ලීම් ප්‍රතික්‍ෂේප විය.

මේ පසුබිම මැද රහසිගත රහස්‌ පොලිස්‌ වාර්තා පිට වූවා නම් වන්නි මෙහෙයුමට අදාළ බුද්ධි අංශ වාර්තා පිට නොවනු ඇතැයි ආරක්‍ෂක බලධාරීන්ට සහතික විය හැකිද?

එසේම සෙයිද් රාද් හුසේන් ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීමට මූලාශ්‍ර ලබාගෙන ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් පත් කළ දරුස්‌මාන් කමිටුවෙනි. මේ කමිටුව සම්බන්ධව බෑන් කී මූන් ප්‍රකාශයක්‌ කරමින් දරුස්‌මාන් කමිටුව පත් කළේ තමන්ට මඟ පෙන්වීමට මිස වෙනත් දෙයකට නොවෙයි යනුවෙනි.

එසේ වුවත් මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් පත් කළ ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලය මෙලෙස කියා සිටී. “දරුස්‌මාන් වාර්තාවේ ඇති ලේඛන විමර්ශනයට ලක්‌ කිරීම සඳහා මානව හිමිකම් කොමසාරිස්‌ නිල වශයෙන් අනුමැතිය දුන්නා. මෙම ලේඛනවලින් සිදුවූ සිද්ධිය තහවුරු කිරීමට මඟ පෙන්වනු ලැබුවා. පරීක්‍ෂණ මණ්‌ඩලය විසින් දරුස්‌මාන් කමිටුවේ සාමාජිකයන් වූ යස්‌මින් සුකා , ස්‌ටීවන් රැට්‌ගර් සහ මර්සුකි දරුස්‌මාන් හමුවී සාකච්ඡා කළා.

මේ අතර මානව හිමිකම් කොමසාරිස්‌වරයා වන්නි මෙහෙයුමට අදාළ බුද්ධි තොරතුරු දැන ගැනිමටද උත්සාහ කර ඇත. 2014 දෙසැම්බර් 10 වැනිදා ඔහු ශ්‍රී ලංකා රජයට ලිපියක්‌ එවමින් 2006 ජුලි සිට 2008 මැයි මස දක්‌වා වූ කාලය තුළ වන්නි මෙහෙයුමට අදාළ බුද්ධි විමර්ශන වාර්තා ද නියමුවන් රහිත ෙඩ්‍රාaන් යානාවලින් ලබාගත් ඡායාරූප ද හුවමාරු වූ පණිවුඩ පිළිබඳ තොරතුරු ද තමන් වෙත ලබාදෙන ලෙස මානව හිමිකම් කොමසාරිස්‌ දන්වා තිබිණි.

ලොව කිසිම රටක්‌ හමුදා මෙහෙයුම්වලට අදාළ රහසිගත තොරතුරු විදේශිකයන්ට සපයන්නේ නැත. මෙයට අමතරව ශ්‍රී ලංකා හමුදාවේ මුළු ව්‍යqහයට අදාළ තොරතුරු සපයන ලෙසද හෙතෙම ශ්‍රී ලංකාවට දැනුම් දුන්නත් එකී තොරතුරු සැපයීමට එවකට සිටි රජය ක්‍රියා කළේ නැත.

මානව හිමිකම් කොමසාරිස්‌ ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකාය මෙන්ම දිගු දුර විහිදුම් බලකාය ගැන ද තොරතුරු ලබා ගැනීමට උත්සාහ කළත් එය ද අසාර්ථක විය.

සෙයිද් රාද් හුසේන්ට මෙරට රහස්‌ පොලිසිය හා ත්‍රස්‌ත මර්දන ඒකකයේ ක්‍රියාකාරකම් දැන ගැනීමට අවශ්‍ය විය. මෙලෙස රාජ්‍ය රහස්‌ දැන ගැනීමට උත්සාහ කළ සෙයිද් රාද් මෙරටට එන්නේ ජිනීවා පරීක්‍ෂක මණ්‌ඩලයට අදාළ 2 වැනි අදියරේ කටයුතු ඉටුකර ලීම සඳහායි.

මේ අතර උතුරේ සිදුවන ක්‍රියාදාමයන් ගැන මෙරට ජනතාවට වසන් වී ඇත.

උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් මෙරට ස්‌විස්‌ තානාපතිවරයා වෙතින් ඉල්ලීමක්‌ කරමින් ස්‌විට්‌සර්ලන්තයේ පෙඩරල් ක්‍රමයට සම්බන්ධ ප්‍රිබුqග්a විශ්වවිද්‍යාලයේ විද්වතුන්ට යාපනයට එන ලෙස දන්වන ලෙස කියා සිටියේය.

විග්නේශ්වරන්ගේ ඉල්ලීම ස්‌විස්‌ තානාපති වෙත සෘජුව යොමු විය. ඔහු ඒ බව ශ්‍රී ලංකා රජයට දැනුම් දුන්නේ නැත. මෙම ඉල්ලීම මත කොළඹ ස්‌විස්‌ තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු බාර නිලධාරී ඩැවිඩේ විග්නැට්‌ ප්‍රිබුග් විශ්වවිද්‍යාලයේ අධ්‍යක්‍ෂිකා ඊවා මරියා අමතා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස දැනුම් දී ඇත. දකුණු අප්‍රිකාවේ කේaප්ටවුන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිතෝ ස්‌වෙල්ටර් සහ මොරියානෝ මැංගට්‌ටද ඊවා මරියා සමග එක්‌වී යාපනයට පැමිණ තිබේ.

යාපනයේ මහජන පුස්‌තකාලයේදී මෙම විදේශිකයන් සමග සම්මන්ත්‍රණයක්‌ පැවැත්වූ විග්නේශ්වරන් යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ඇතුළත් කළ යුතු කරුණු හෙළි කළේය.

මේ එම කරුණුයි.

1. ද්‍රවිඩයන්ට ස්‌වයංපාලනයට හිමිකම ඇත.

2. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර සම ස්‌වෛරීභාවය ලබාදිය යුතුයි.

3. ද්‍රවිඩ ජනතාවට ස්‌වෛරීභාවය හිමිකරන යෝජනා නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ඇතුළත් කළ යුතුයි.

4. පෙඩරල් පාලන ක්‍රමයක්‌ මත බලය බෙදාහැරිය යුතුයි.

5. මූල්‍ය සම්පත් වූ නීතිය හා සාමය ඉඩම් යන කරුණු මත බලය ලබාදීමට ක්‍රියා කළ යුතුයි.

විග්නේශ්වරන් මෙම සම්මන්ත්‍රණ අමතමින් තවදුරටත් පවසා ඇත්තේ ස්‌විට්‌සර්ලන්තයේ ප්‍රාන්තවලට බලය බෙදාදී ඇති අයුරින් ශ්‍රී ලංකාවේ ද බලය බෙදාහැරීමේ ක්‍රමවේදයක්‌ ඇති කළ යුතු බවත් ඒ සඳහා ස්‌විස්‌ තානාපතිගේ සහය පතන බවත් ය.

කොටි නායක ප්‍රභාකරන් ද සම ස්‌වෛරීභාවය ලබා දිය යුතු යෑයි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක්‌ කළේය. 2002 දී ප්‍රභාකරන් කළ එම ඉල්ලීම 2016 දී විග්නේශ්වරන් ඉල්ලා සිටී.

විග්නේශ්වරන් තවදුරටත් පැවසුවේ එක්‌සත් ශ්‍රී ලංකාවක්‌ තුළ ස්‌වයංපාලනයක්‌ සඳහා ඇති අයිතිය පිළිගත යුතු බවයි.

යාපනයේ පැවැති මෙම පෙඩරල් ක්‍රමයට අදාළ සම්මන්ත්‍රණය සම්බන්ධ ප්‍රශ්න කීපයක්‌ මතුවී ඇත.

ශ්‍රී ලංකාවේ ස්‌විට්‌සර්ලන්ත තානාපතිවරයාට රජයේ අවසරයකින් තොරව ස්‌විස්‌ පෙඩරල් ක්‍රමවේදයේ විශේෂඥයන් මෙරටට කැඳවීමට ඉඩ ලැබුණේ කෙසේද හා විග්නේශ්වරන්ට රජයට නොදන්වා යමින් තානාපතිට සන්දේශ ඉදිරිපත් කළ හැකිද යන්නයි. ඉන්දියාවේ ජනවර්ග රැසක්‌ ඇතත් ඒ කිසිදු ජනවර්ගයකට සම ස්‌වෛරීභාවය ලබාදීමට නවදිල්ලි පාලනය කටයුතු කර නැත.

උතුරු මහ ඇමැති සම ස්‌වෛරීභාවය ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට නොවේද? එසේම උතුරු නැගෙනහිර ද්‍රවිඩයන්ගේ පාරම්පරික නිජබිම ලෙස පිළිගන්නා ලෙසද ඔහු කියා සිටී.

ස්‌විස්‌ ප්‍රිබුග් විශ්වවිද්‍යාලයේ පෙඩරල් විශේෂඥයන් මෙරටට කැඳවා විග්නේශ්වරන් සිදු කිරීමට සැලසුම් කර ඇත්තේ භයානක දේශපාලන ක්‍රීඩාවකි.

එසේම යාපනයට ගෙන්වූ ස්‌විස්‌ ප්‍රිබුග් විශ්වවිද්‍යාලයේ අධ්‍යක්‍ෂිකා ඊවා මාරියා සහ මොරිසියෝ මාගෙට්‌ටිගේ පසුබිම කුමක්‌ද?

2002 සටන්විරාම ගිවිසුමින් පසු හමුදාව නිරායුධ කිරීමටත් කොටි ඊළම් පොලිස්‌ කණ්‌ඩායම් විදේශ රටවල පුහුණුවට යෑවීමට ක්‍රියා කළේ ජර්මානු බර්ග්හොප් සංවිධානයයි.

මොරිසියෝ මැගෙට්‌ටි එදා බර්ග්හොප් සංවිධානය යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියා කළේය.

කොටින්ගේ ව්‍යාජ සාමය ප්‍රචාරය කිරීමට මුල් වූයේ මෙම බර්ග්හොප් සංවිධානය බව සිහිපත් කළ යුතුය. එදා බර්ග්හොප් වෙස්‌ මුහුණ පැළඳ සිටි මොරියෝ මාහෙට්‌ටි මෙවර ශ්‍රී ලංකාවට පැමිණියේ ප්‍රිබුග් විශ්වවිද්‍යාලයේ වෙස්‌ මුහුණ දමාගෙනය.

මෙලෙස ස්‌විස්‌ හා දකුණු අප්‍රිකානු පෙඩරල් මහාචාර්යවරු හමුවේ විග්නේශ්වරන් ශ්‍රී ලංකාවෙන් සියයට පනහක්‌ අවශ්‍ය බව කියා සිටියි.

උතුර කොටි ත්‍රස්‌තවාදයෙන් බේරා ගැනීමට රණවිරුවන් 6000 ක්‌ දිවි පිදුවේ විග්නේශ්වරන්ට සියයට පනහක්‌ දීමටද?

මේ අතර උතුරේ මන්ත්‍රීවරියක්‌ වූ විජයකලා මහේෂ්වරන් පලාලි ගුවන් තොටුපල අසල පිහිටි මයිලඩ්ඩි ධීවර වරාය උතුරේ ධීවරයන් වෙනුවෙන් ලබා ගැනීමට දැරූ උත්සාහය අසාර්ථක විය.

මෙම මයිලයිඩ්ඩි වරාය තවදුරටත් ක්‍රියාත්මක නොවන බවත් එහි ධීවර කටයුතු කිරීමට ඉඩ දෙනු ලැබුවොත් පලාලි ගුවන් කඳවුර දුෂ්කරතාවන්ට මුහුණපාන බවත් හමුදා බලධාරීන් රජයට පෙන්නුම් කර ඇත.

ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ මයිලඩ්ඩි අධි ආරක්‍ෂිත කලාපය තුළ පිහිටා තිබීම නිසා ධීවරයන්ට සිය ධීවර කටයුතු කරගෙන යැමට නොහැකිවී ඇති බවයි.

මයිලඩ්ඩි වරාය ධීවරයන්ට විවෘත කළහොත් පලාලි ගුවන් කඳවුරට අනතුරුදායක තත්ත්වයක්‌ උදා වන බව හමුදා බලධාරීන් පැවසීම නිසා පලාලි අවට ධීවර කටයුතුවල යෙදීම රජය තහනම් කර ඇත.

මේ අතර 2007 සහ 2009 අතර සමයේ කොටින්ට අරමුදල් එකතු කළ ජර්මනියේ යෝගේන්ද්‍රන් නමැත්තාට එරෙහිව හැම්බර්ග් අධිකරණය හමුවේ නඩු පවරා තිබේ. ඩොලර් 88000 ක මුදලක්‌ එකතු කිරීම ගැන මොහුට චෝදනා එල්ල වී ඇත.

මෙවන් තොරතුරු හෙළිවන අවස්‌ථාවේ වවුනියාවේ බෝගස්‌වැව ප්‍රදේශයේ පවුල් 4500 කට බෙදුම්වාදී තර්ජන එල්ලවීම ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමු විය. මෙම සිංහල පවුල් සම්බන්ධයෙන් ආරක්‍ෂාව සලසන ලෙස ජනාධිපතිවරයා විසින් හමුදාපති වෙත උපදෙස්‌ දී ඇතැයි වාර්තා වේ.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

දේවස්ථානයේ බෝම්බයක් තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයාගේ නිවසේ ආයුධ ගබඩාවක්

colombotoday

එජාපෙ අපේක්ෂකයා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තෝරා ගැනිමට චම්පිකගේ විරෝධය

colombotoday

කංජිපානිට පපුවේ අමාරුවක්! – බූස්ස නාවික රෝහලට ගෙනිහින්

colombotoday

සතියක ශෝක කාලයක්.. අමරදේවයන්ට රාජ්‍ය ගෞරව.. අවසන් කටයුතු සෙනසුරාදා

colombotoday

සාමාන්‍ය සම්ප්‍රදාය නොසලකා – අගමැතිගේ වැඩේ ජනපති කරයි

colombotoday

අනර්කලී සොයා FCID ඇමරිකාවට

colombotoday