Colombo Today Local News

සහරාන් හෂීම් සමග ආගමික අන්තවාදීන් අත්අඩංගුවට ගන්නැයි, බුද්ධි තොරතුරු අනුව වාර්තා 340 ක් ඉදිරිපත් කරමින් ඉල්ලීම් කළා… – හිටපු බුද්ධි ප්‍රධානියා කියයි

සහරාන් හෂීම් ප්‍රමුඛ ආගමික අන්තවාදීන් වහාම අත්අඩංගුවට ගන්නැයි, 2015 සිට 2019 දක්වා වාර්තා 340 ක් පමණ ඉදිරිපත් කරමින් ඉල්ලීම් කළ බව හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා අද ප්‍රකාශ කළේ ය.

ඒ පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම ඇතුළු චෝදනා මත හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහි නඩුවට අදාළව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමිනි.

කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන් වන නාමල් බලල්ලේ, අදාත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්සදීන් යන විනිසුරු මඩුල්ල හමුවේ සාක්ෂි විමසීම අද(23)දින ආරම්භ විය.

එහිදී හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේ සහරාන් හෂීම් පිළිබඳව වාර්තා 340 ක් පමණ එවක ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ලිඛිතව සහරාන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නැයි, ඉල්ලීම් කළ බවයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ලවන තෙක් ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගෙන නැතැයි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසී ය.

ඔහු කියා සිටියේ, වනාතවිල්ලුව ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම හා මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීම යන සිදුවීම් සම්බන්ධයෙන් රැස්කළ බුද්ධි තොරතුරු අනුව සහරාන් හෂීම් සමග ආගමික අන්තවාදීන්ගේ නම් ගම් හා ලිපින සමග එම තොරතුරු ලබාදුන් බවයි.

එවක ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක කවුන්සිල රැස්වීම්වලදීත් විවිධ අවස්ථාවලදී පොලීසිය භාර ඇමතිවරුන්ටත් මේ පිළිබඳව දැනුම්දුන් බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ ය.

නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය හෙටත් සිදුවේ.

මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අත්ඩඅංගවට ගත් නව්ෆර් මව්ලවි, රාජිත් මව්ලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුව ලබන ජනවාරි 12 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළේ ය.

එම නඩුව විභාග වන්නේ දමිත් තොටවත්ත, අමල් රණරාජා හා නවරත්න මාරසිංහ යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.

දැඩි ආරක්ෂාවක් යටතේ විත්තිකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

තමන්ට එරෙහි අධිචෝදනා පත්‍ර දෙමළ භාෂාවෙන් ලබා දෙන ලෙස විත්තිකරුවන් එහිදී අධිකරණයෙන් ඉල්ලා ඇති අතර ඒවා සකස් කිරීමට කල් ලබා දෙමින් නඩු විභාගය කල් තබා තිබේ.

ඒ අනුව දෙමළ භාෂාව දන්නා නීතීඥවරුන් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයාට සිහිකැඳවීමක් යැවීමට ද අධිකරණයට නියෝග කළේ ය.

අද නඩුව කැඳවෙූ අවස්ථාවේදී විත්තිකරුවන් 10 දෙනෙකුට නිතීඥවරුන් ඉදිරිපත් නොවී ය.

Related posts

”කාර් එකේ කිසි ම සීරීමක් නැහැ. පහරදීමට ආ සිසුන් අයිස් භාවිත කළාදැයි සැකයි” – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න

Admin

නිවැරදි දේ කිරීමට නොහැකි රාජ්‍ය නිලධාරියා රටට බරකි.මගේ ක‍්‍රමයට වැඩ කරන්න බැරිනම් ඉල්ලා අස්වෙන්න..- ජනපති

colombotoday

අරිසිමලේ ආරණ්‍ය සේනාසනයට එරෙහිව කොටින්ගෙන් ජිනීවා වෙත පැමිණිල්ලක්

colombotoday

මරණ දඩුවම ලැබූ 60 දෙනෙකුට ජනපති සමාව !!

colombotoday

බොර තෙල් මිල පහළ යයි

Admin

ජනාධිපතිවරණය මෙම වසේරේ පැවැත්වෙනවාදැයි ස්ථිර නෑ

colombotoday