Colombo Today Local News

පළමු බැඳුම්කර නඩුවෙන් අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් චෝදනාවලින් නිදහස්

හිටපු මහ බැංකු අධිපති, අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඇතුළු පළමුවන බැඳුම්කර නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති පොදු දේපොළ පනත යටතේ ගැනෙන චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවට නිගමනය කළ කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල, එම චෝදනාවලින් විත්තිකරුවන් 10 දෙනාව නිදහස් කිරීමට අද(11)දින නියෝග කළේ ය.

ඒ විනිසුරු මඩුල්ල තුනෙන් දෙකක බහුතර තීන්දුවකිනි.

චමත් මොරායස්, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන විනිසුරු මඩුල්ල හමුවේදී අද නඩුව කැඳවිය.

එම නඩුවේ විත්තිකරුවකු ලෙස පර්පෙචුවෙල් ට්‍රේෂරීස් සමාගම ද නම් කර ඇති බවත්, භෞතික පුද්ගලයෙකු නොවන සමාගමකට පොදු දේපොළ පනත යටතේ චෝදනා ගොනු කිරීමේ නීතිමය හැකියාවක් නොමැති බවත්, විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ, ගාමිණි මාරපන මහතා අධිකරණයට මූලික විරෝධතාවයක් ගොනුකර තිබුණි.

එම මූලික විරෝධතාවය අධිකරණය විසින් පිළිගැනීමෙන් අනතුරුව සෙසු විත්තිකරුවන් බහුතරයක් ද, එකී සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන බැවින් ඔවුනට එරෙහිව ද එකී චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තියෙන් විරෝධතා ඉදිරිපත් විය.

ඒ අනුව පොදු දේපොළ පනත යටතේ නැගෙන චෝදනා නොමැතිව, සෙසු චෝදනා සම්බන්ධයෙන් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන දෙසැම්බර් 16 වැනිදා පැවැත්වීමට ද විනිසුරු මඩුල්ල දින නියම කළේ ය.

2015 වසරේ පෙබරවාරි 27 වැනිදා පැවති බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් මිලියන 688 ක පාඩුවක් රජයට සිදුකිරීම ඇතුළු අධිචෝදනා 23 ක් යටතේ එම නඩුව පවරා තිබිණි.

ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන්, පත්තිනිගේ සමරසිරි, පර්පෙචුවෙල් සමාගම, අර්ජුන් ජෝෂප් ඇලෝසියස්, කසුන් පලිසේන, ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස්, පුෂ්ප චන්ද්‍ර ගුණවර්ධන, චිත්ත රන්ජන්, හුලුගල්ලේ මුත්තුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්ධිය පුංචිහේවා එම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබේ.

Related posts

විභාග මධ්‍යස්ථාන තුල සෞඛ්‍යාරක්ෂාව පිලිබඳ ගැටළු 1988 ට කියන්න – අධ්‍යාපන අමාත්‍යාංශය

colombotoday

‘ගිනි අවි සහ ගිනිකෙළි‘ තුළින් පාතාලයේ ඇත්ත රටට හෙලිකළ අනුර හොරේෂස් ඥාණසාර හිමිගැන කියන දේ

colombotoday

සජිත්, රන්ජන් බලන්න හිරේට යයි

colombotoday

ලංකාවේ සුපිරිම ධනවතා මෙරටට ගෙනා ලොව සුපිරිම මෝටර් රථය මෙන්න

colombotoday

අසූර් එයාර් ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත යළි ගුවන් ගමන් අරඹයි

Admin

පස්සේ දොරෙන් ගෙට රිංගා පොලිස් නිලධාරිගේ බිරිඳට අතවර කරලා

colombotoday