Colombo Today Local News

රාජිතගේ ඇප නියෝගයට එරෙහි ප්‍රතිශෝධන පෙත්සම් විභාගය කල් යයි

පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් කොළඹ, නාරාහේන්පිට ලංකා රෝහලේ දී අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් දුන් ඇප නියෝගය අවලංගු කරන මෙන් ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම පිළිබඳ විභාගය ලබන 10 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (05) නියෝග කළේය.

මෙම පෙත්සම අද විභාගයට ගැනීමට නියමිතව තිබුණි. එහෙත් තමා අසනීප තත්ත්වයෙන් පසුවන හෙයින් මෙම නඩුවේ විභාගය සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙම ප්‍රතිශෝධන පෙත්සම පිළිබඳ විභාගය ලබන 10 වනදා තෙක් කල් තැබීමට නියෝග කළේය.

නීතිපතිවරයා සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් සඳහන් කර සිටින්නේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදීමේ දී අධිකරණය විසින් පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ කරුණු කිසිවක් සැලකිල්ලට භාජනය නොකළ බවයි.

අත්අඩංගුට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව දින කිහිපයක් අධිකරණය මගහැර සැඟවී සිට පසුව කොළඹ, නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලක ඇතුළත් වීමෙන් පසුව රහස් පොලිසිය විසින් සැකකාර රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගත් බවත් මෙලෙස අධිකරණය මගහැර සැඟව සිටි වරෙන්තුකරුවෙකුට ඇප ප්‍රදානය කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ගත් තීරණය ඇප පනතේ විධිවිධානයන්ට පටහැනි බව ද එම ප්‍රතිශෝධන පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

මෙම සැකකරුට ඇප ප්‍රදානය කිරීමට පෙර මහේස්ත්‍රාත්වරිය විසින් ඔහු රැඳී සිටින රෝහලෙන් කිසිදු වෛද්‍ය වාර්තාවක් කැඳවා විමර්ශනයක් නොකළ බවත් සැකකරුගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මාර්ගයෙන් විමර්ශනයක් පවත්වා වාර්තාවක් කැඳවන ලෙස පැමිණිල්ල විසින් කළ ඉල්ලීමද මහේස්ත්‍රාත්වරිය විසින් බැහැර කළ බවක් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම තුළින් චෝදනා කර තිබේ.

ඒ අනුව අධිකරණය මඟහැර සැඟව සිට රෝහල්ගත වීමෙන් පසුව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ප්‍රදානය කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ගත් තීරණය නීතියට පටහැනි යැයි පෙන්වා දෙන නීතිපතිවරයා එබැවින් එම අධිකරණය හමුවේ පවතින නඩු ගොනුව කැඳවා පූර්ණ විමර්ශනයක් පවත්වන ලෙස ද කොළඹ මහාධිකරණය වෙතින් ඉල්ලා ඇත.

එසේම ඉකුත් 30 වනදා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රකාශ කිරීමට යෙදුණු ඇප නියෝගය බල රහිත කිරීමේ තීන්දුවක් නිකුත් කරන ලෙස ද නීතිපතිවරයා සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Related posts

කොවිඩ් පරාජයට මීටරයක දුර මදි – සෞඛ්‍ය අංශ

colombotoday

කථානායක හරීන්ගේ වෙලාව රොෂාන්ට දෙයි

Admin

ලංකාවේ ප්‍රථම දාගැබ ගැන සඳහන් සෙල්ලිපිය මතින් කොන්ක්‍රිට් බැම්මක් ඉදිකරයි !

colombotoday

එක්සත් ජනතා නිදහස් සංධානයේ පළාත් සභා මන්ත්‍රීන් පොහොට්ටුව ලකුණින් පළාත් සභා මැතිවරණයට

colombotoday

මද්‍රසා පාසලක ගෙල වැලලාගෙන සිටි දරුවා එල්ලිලා මැරුණාද ? මරලා එල්ලුවාද ?

Admin

මහින්ද රාජපක්ෂ නැති ශ්‍රීලනිපය හිස නැති මළකදක්.. රටටම හඬන්න වෙන දිනය ඉතා ළඟයි

colombotoday