25 C
Colombo
16 March 2025
Colombo Today Sports News

ජයසූරියගෙන් ක්‍රීඩා ඇමතිට පැමිණිල්ලක්…

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය මහතා එම කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇතැම් නිලධාරීන්ගෙන් එල්ල වී ඇති බලපෑම් පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ පැමිණිළි කළේය. එහිදී සනත් ජයසූරිය මහතා ක්‍රීඩා අමාත්‍යවරයාට ලිඛිත පැමිණිල්ලක් ද බාර දුන් බව වාර්තා වේ.  

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවැසුවේ සනත් ජයසූරිය පැමිණිලි කීපයක් ඉදිරිපත් කළ බවත් ඒ පිළිබඳව ඉදිරියේදී අවධානය යොමු කරන බවයි.“සනත් මාව හමුවෙලා කරුණු කීපයක් ඉදිරිපත් කළා. මම ඔහුට කීව්වා ඉදිරියේදී මොකද වෙන්නේ කියලා බලමු කියලා” යැයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.සනත් ජයසූරිය මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී ඔහු පැවසුවේ තේරීම් කමිටු සභාපති ධූරයෙන් ඉවත් වීමට මේ දක්වා තීරණය කර නොමැති බවයි.තේරීම් කමිටුව පසුගිය සතිය වන විට දැඩි තීරණයක් ගැනීමේ සූදානමකින් පසු වූ බව වාර්තා වේ.

තේරීම් කමිටුවේ ඇතැම් සාමාජිකයෝ ඉල්ලා අස්වීමට තීරණය කර තිබූ බව පසුගිය සතියේ වාර්තා විය.තේරීම් කමිටුවේ කටයුතුවලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන නිලධාරියකුගේ සහ උපදේශකවරයකුගේ ඇඟිලි ගැසීම් පිළිබඳව තේරීම් කමිටුව දැඩි කළකිරීමට පත්ව සිටීම මෙයට ප්‍රධාන හේතුව බව දැනගන්නට තිබේ.දකුණු අප්‍රිකානු සංචාරයට තේරීම් කමිටුවේ සාමාජිකයකු සහභාගි නොකිරීමෙන් මෙම තත්ත්වය උත්සන්න වී තිබුණි. ජාතික කණ්ඩායමේ ඉදිරි සංචාරවලට තේරීම් කමිටු සාමාජිකයකු සහභාගි නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය තීරණය කර ඇති බව ද වාර්තා වේ. තේරීම් කමිටුව ලබාදෙන කණ්ඩායම් ප්‍රකාශ කිරීම ප්‍රමාද කරමින් හිතවතුන් සංචිතයට ඇතුළත් කිරීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කරන බවටද මෙහිදී චෝදනා එල්ල වී තිබේ.සංචිතය තෝරා යොමු කළ පසු ක්‍රිකට් ප්‍රධානියකු සහ හිටපු නම ගිය ක්‍රීඩකයකු තේරීම් කමිටුවෙන් ඇතැම් ක්‍රීඩකයන් නොමැතිවීම පිළිබඳව ප්‍රශ්න කරන බවත් ඇතැම් ක්‍රීඩකයන් සංචිතයට රිංගවීමට උත්සහ කරන බවත් ක්‍රිකට් ආයතනය පැත්තෙන් දැනගන්නට තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියකුගේ ඉතාම සමීප සගයකුගේ පුත්‍රයකු පසුගිය ඕස්ටේ්‍රලියානු සංචාරයේදී කණ්ඩායමට පැමිණීම පිළිබඳව බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබුණි.සංචාරය සඳහා නම් කරන සංචිත මාධ්‍යයට ලැබීමේ ප්‍රමාදයක් වර්තමාන පරිපාලනය තුළ නිරන්තරයෙන් දැකගත හැකිව තිබේ.

දැන් පැවැත්වෙන දකුණු අප්‍රිකානු සංචාරය සඳහා නම් කළ කණ්ඩායමද අවසන් මොහොතේ ලැබීම පිළිබඳව ප්‍රශ්නකාරී තත්ත්වයක් පැන නැගී තිබුණි.ශ්‍රී ලංකාවේදී පසුගියදා අවසන් වූ ආසියානු කුලසලාන වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මේ දක්වා මාධ්‍ය නිකුත් කර නොමැත. කනිෂ්ඨ තේරීම් කමිටුව එම සංචිතය තරගාවලියට සති තුනකට පමණ පෙර යොමු කළ ද එය ක්‍රිකට් ආයතනය සඟවා තබාගත් බවට චෝදනා එල්ල විය.  සනත් ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස රොමේෂ් කළුවිතාරණ, රංජිත් මදුරුසිංහ සහ එරික් උපශාන්ත යන මහත්වරු කටයුතු කරති.සනත් ජයසූරිය මහතා සභාපති ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් තවත් සාමාජිකයෝ දෙදෙනෙක්ද තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වීමට සූදානමින් සිටිති.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීහූ පසුගිය සතියේ තේරීම් කමිටුව සමඟ මෙම තත්ත්වය පිළබඳව සාකච්ඡා කළ බව ද දැනගන්නට තිබුණි. එම සාකච්ඡාවෙන් පසුව තේරීම් කමිටුවේ සාමාජිකයකු ඉල්ලා අස්වීමේ තීරණය හකුලාගත් බවද දැනගන්නට තිබේ.

Related posts

ක්‍රිකට් තහනම සාධාරණ නෑ. ICC පරික්ෂයට එරෙහිව නීතිය ඉදිරියට යනවා. නුවන් සොයිසා මාධ්‍යයට කියයි. Video

colombotoday

ඔස්ට්‍රේලියාව – දකුණු අප්‍රිකාව අතර තීරණාත්මක තරගයට වර්ෂාවෙන් බාධා

Admin

අවසන් T20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 23ක පරාජයක්

colombotoday

ශුබ්මන් ගිල් පිටියෙන් ඉවත්ව යයි

Admin

ඇෆ්ගනිස්තානය ලකුණු 198කට සීමා වේ

Admin

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකාර තනතුරු වලට අයදුම්පත් කැඳවයි

Admin