Colombo Today Local NewsColombo Today Sports News

ඉස්සරහට යන්න නම් කරන්නම ඕන වෙනසක් ගැන මහේල කියයි…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනසක් සිදුවිය යුතු බව කාලයක සිටම පවසන පුද්ගලයෙකු වන අතර ඔහු මුලික වශයෙන්ම පවසන්නේ ශ්‍රී ලංකා පළමුපෙළ ක්‍රිකට් ව්‍යුහය ශ්‍රී ලංකාවට ගුණාත්මක ක්‍රීඩකයන් පැමිණෙන තැනක් බවට තවමත් පත්වී නැති බවය.

“අපේ අය ගොඩක් වෙලාවට හිතන්නේ ප්‍රමාණාත්මක සාධක ගැන විතරයි,අනිවාර්යයෙන්ම ගුණාත්මක තත්වය ගැනත් හිතන්න ඕන,අන්තර් සමාජ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ප්‍රමාණය වැඩි වුනාට වැඩක් නෑ අපි ඒ ක්‍රීඩකයන්ගේ හැකියාවන් වර්ධනය කරලා වඩාත් තරඟකාරී ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට එන විදියක් ගැන තමයි වැඩිපුර හිතන්න ඕන.”

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සමාජ ක්‍රීඩකයන් තවමත් අර්ධ වෘත්තීයමය මට්ටමකින් සිටීම ජාත්‍යන්තර තලයට හොඳ ක්‍රීඩකයන් බිහි වීමට භාදාවක් බවද මහේල පවසා ඇත.

“ඇත්තටම තාම අපේ ක්‍රිකට් වෘත්තීය මට්ටමට ඇවිල්ල නෑ,අපි ඉන්නේ තාම අර්ධ වෘත්තීයමය තත්වයක දවසේ රැකියාව කරලා,හවස ඇවිල්ල ,පැයක් එකහමාරක් ක්‍රිකට් පුහුණුවෙලා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෝ හදන්න අමාරුයි.”

මෙම තත්වයට මේ කාලයේ පිළිතුරු නොසොයන්නේ නම් ක්‍රිකට් වලින් අපි ඇෆ්ගනිස්ථානය අයර්ලන්තය වැනි රටවල් වලටද පරාජය වන තත්වයකට පත්විය හැකි බව මහේල පවසා ඇත.

“අපි මේ විදියට පුර්ණකාලීනව ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ හදනකම් අපිට හොඳ ක්‍රීඩකයෝ නිරන්තර හැදෙයි කියල හිතන්න බෑ.දක්ෂ ක්‍රීඩකයෙක් දැක්ක ගමන් එයා කණ්ඩායමට ගන්න තත්වයක් තමයි තියෙන්නේ,එහෙම නැතුව දක්ෂයෝ බිහි කරන තැනකට අපි යන්න ඕන,ඒ තත්වයකට පහුගිය අවරුදු 10-15 ගියානම් අපිට හොඳ ක්‍රීඩකයෝ අඩු වෙන්නේ නෑ,මේ තත්වය දැන්වත් කරන්න ඕන.ක්‍රිකට් ක්‍රීඩාවට ආධුනික වුනත් ඇෆ්ගනිස්ථානය ,අයර්ලන්තය මේ දෙය පහුගිය කාලේ කළා,ඒ කරපු දේවල් වල ප්‍රතිපල මේ වෙද්දීත් අපිට පේන්න තියනවා,අපි ඒ තැනට නොගියොත් අපි ඔවුන්ට පස්සට යන කාලය වැඩි ඈතක නෑ මම හිතන්නේ.”

මහේල පවසන අන්දමේ ගුණාත්මක ක්‍රිකට් වෙනසක් සඳහා ක්‍රීඩා සමාජ ප්‍රමාණය අඩු කිරීම කල යුතුම දෙයක් වන අතර දැනට ක්‍රීඩා සමාජ 24ක් තිබෙන නිසා මෙම ක්‍රීඩා සමාජ සියල්ලේම ක්‍රීඩකයන් පුර්ණකාලීන ක්‍රිකට් ක්‍රීඩකයන් කිරීම ලේසි පහසු කටයුත්තක් වන්නේ නැත.

“අපේ ක්‍රීඩා සමාජ 24ක් තියනවා,අපේ ජනගහනයම ඉන්න ඕස්ට්‍රේලියාවේ තියෙන්නේ පහයි,ජනගහනය බිලියන 1.3ක් ඉන්න ඉන්දියාවේ ක්‍රීඩා සමාජ 30 යි.අපේ මිලියන 20 ට ක්‍රීඩා සමාජ 24 ක් තියනවා,මුලින්ම මේ නොගැලපීම අපි හදාගන්න ඕන.”

ශ්‍රී ලංකා කණ්ඩායම අතීතයේ ලබා තිබෙන සාර්ථකත්වය නිසා මේ ක්‍රමය මත එල්ලී සිටිය යුතු නැති බවද මහේල පවසා ඇත.”කෙනෙක්ට කියන්න පුළුවන් අපි ලෝක කුසලාන දෙකක් දිනුවේ,ලෝක කුසලාන 5ක අවසාන මහා තරඟයට ආවේ මේ ක්‍රමයෙන් නේද කියල.ඔව් ඒ කතා ඇත්ත,හැබැයි එහෙම කියල අපිට ඒ තැනම ඉන්න බෑ,අනිත් කණ්ඩායම් අලුත් ක්‍රම සොයා ගනිද්දී අපි එක තැන ඉන්න එක හරියන්නේ නෑ.එහෙම උනොත් අපි මෙතනම ඉඳියි,අනිත් කණ්ඩායම් අපි පහුකරගෙන ඉස්සරහට යයි.”

Related posts

මානව හිමිකම් කොමිෂමෙන් රජයට වගකීමක් මතක් කරයි

colombotoday

“තමුසෙගෙ තරු ගලවනවා” කමිසයෙන් ඇද OICට තග දැමූ ජවිපෙ මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

මහජන සේවය ඉටු නොකිරීම ගැන ජනපති හේතු එපා කියයි

Admin

විවාහ මංගල උත්සවවලට 300ක් සහභාගිවෙන්න අවසර දෙයි

colombotoday

දුම්රියේ අමතක වුණ ලක්ෂ 50ක රත්තරන් මල්ල ආපසු දෙයි

Admin

ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අඩු ආදායම් ලාභීන්ට සහන සැලසීමට රජය සැරසේ

colombotoday