ශ්‍රී ලංකා පොලිසියට පොලිස් කොස්තාපල්වරු බඳවා ගැනීමේදී අවම අධ්‍යාපන සුදුසුකම වන්නේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත්වීමය. උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පොලිස් සේවයට එක්වීමට නම් උසස් පෙළ සමත්වීම අවම සුදුසුකමකි. සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස සෘජුව පොලිස් සේවයට එක්වීමට නම් අවම වශයෙන් පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් හිමිකරගෙන තිබිය යුතුය. එහෙත් අපේ රටේ පොලිසියට එක් වන ඇතැම් තරුණයින් අවම අධ්‍යාපන සුදුසුකමට වඩා ඉහළ අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇති අය වීම විශේෂිය. ඒ අය අතර උපාධිධාරී කොස්තාපල්වරු පවා නැතුවාම නොවේ.
එසේ උපාධිධාරී කොස්තාපල්වරු පවා සිටින පොලිස් සේවයක කොස්තාපල්වරයෙක් වීමටවත් අවම සුදුසුකම් සපුරා නැති නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ද සිටින බව සඳහන් කළහොත් ඔබ පුදුම වනු ඇත. සැබෑව වන්නේ එයය. තවත් වසර කිහිපයකින් පොලිස්පතිවරයෙක් වීමේ ඉහළ බලාපොරොත්තුවකින් සිටින එම නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් සේවයට එක්ව ඇත්තේ ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙක් ලෙසිනි. සාමාන්‍ය පෙළවත් සමත් නැති ඔහු උපාධියක අවම අධ්‍යාපන සුදුසුකමක් ඇති තනතුරක් වන සහකාර පොලිස් අධිකාරිවරයෙක් ලෙස පොලිස් සේවයට එක්වීම පිටුපස ඇත්තේ රාජකීය පොලිස් ගේමකි. එකී ගේම පිටුපස හිටපු පොලිස්පතිවරයෙක් මෙන්ම මෙකී නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පොලිස් පියාද සිටි බව කියැවෙයි.
රාජකීය පහසුකම් ඇති පාසලක අධ්‍යාපනය ලබා ඇති මෙකී නියෝජ්‍ය පොලිස්පතිවරයා සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය මෙන්ම සිංහල භාෂාවද අසමත් බව කියති. ගණිතය සහ භාෂාව අසමත්යැයි කියැවෙන්නේ විභාගයම අසමත් යැයි කියාය. එසේ විභාගය අසමත් ඔහු උපාධිධාරියෙක් ලෙස සහකාර පොලිස් අධිකාරිවරයෙක් ලෙස පොලිස් සේවයට බැඳෙන්නේ ඉන්දියානු විශ්වවිද්‍යාලයක උපාධියක් අතැතිවය. එකී උපාධිය මෙන්ම පොලිස් සේවයට බැඳීමට ඔහු ඉදිරිපත් කර ඇති සහතික මුළුමනින්ම ව්‍යාජ බවට පැමිණිල්ලක් පවා පොලිස් කොමිසමට ලැබි තිබිමද විශේෂිතය. එකී පැමිණිල්ල පොලිස් කොමිසමට ඉදිරිපත් කරන්නේද පොලිස් සේවයේම නිලධාරියෙකි. ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයේ මේ වන විට සේවයේ නිරතව සිටින අපරාධ විමර්ශනයේ නමක් දිනා ඇති සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස්ය.
එකී පැමිණිල්ල ජාතික පොලිස් කොමිසමට සහකාර පොලිස් අධිකාරිවරයා ඉදිරිපත් කරන්නේ 2016 වසරේදීය. නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව විමර්ශනයක් පවත්වන්නේ නම් තමා ඉදිරිපත් කරන කාරණා සනාථ කිරීමට ලියැවිලි ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බවද සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස් ජාතික පොලිස් කොමිසමට දැනුම් දී තිබිමද විශේෂිතය. එහෙත් දැන් ඒ පැමිණිල්ල කර වසර දෙකක පමණ කාලයක් ගතවී ඇතත් තවමත් මේ ඒ ගැන නිසි විමර්ශනයක් නම් ජාතික පොලිස් කොමිසමෙන් සිදුවී ඇති බවක් නම් පෙනෙන්නට නැත.
ඇත්තටම අධ්‍යාපන සුදුසුකම් නිසි ලෙස සපුරා නැතිව ව්‍යාජ සහතික වලින් යම් පුද්ගලයෙක් පොලිස් සේවයට ඇවිත් තියෙනවා නම් ඒක බරපතළ කාරණාවක්. ඔහුගේ ලිපි ගොනුවක් අපි ගාව නැහැ. ඔහුව බඳවා ගන්නා කාලේ ක්‍රියාත්මක වුණේ රාජ්‍ය සේවා කොමිසමයි. ඒ නිසයි අපි එම නිලධරියාගේ පුද්ගලික ලිපි ගොනුව පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියේ. එහි ඇති ලේඛන නිසි පරීක්ෂාවක් කරන්න. වසර එකහමාරක් තිස්සේ තවමත් පොලිස්පතිවරයා අපි ඒ ඉල්ලපු ගොනුව ලබාදුන්නේ නැහැ. කිහිප විටක්ම ඒ ගැන සිහිකැඳවීම් කිහිපයක්ම ඉදිරිපත් කළා. ඒත් අද වනතුරුත් එම ගොනුව අපට ඉදිරිපත් කරන්න පොලිස්පති අසමත් වෙලා තියෙනවා ජාතික පොලිස් කොමිසමේ උසස් නිලධාරියෙක් සිය නම හෙළි නොකරන්නයි ඉල්ලමින් හොර සහතික පැමිණිල්ල ගැන කීවේ එවන් කතාවකි.
පොලිසිය පැත්තෙන් දැනගන්නට ඇති ආකාරයට පොලිස්පතිවරයා සහ චෝදනාවට ලක්ව සිටින නිලධාරියා අතර ඇත්තේ ගජ මිතුරු සම්බන්ධයකි. මේ දෙන්නා දැන් සිටින්නේ ගසට පොත්ත මෙනි. ජනමාධ්‍යවේදීන්ගේත් දේශපාලනඥයන්ගේත් පසුගිය වකවානුවේ දුරකථන වාර්තා හොර රහසේ පරීක්ෂා කළේ යැයි කියන්නේත් මේ නියෝජ්‍ය පොලිස්පතිවරයාය. පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මාධ්‍යවල විවිධ අදහස් පළ වන විට පොලිස්පතිවරයාටත් කලින් ඉක්මන් වෙමින් මාධ්‍යවේදීන්ගේ දුරකථන දත්තයන් පරීක්ෂා කරන්නේ යැයි කියැවෙන්නේද එකී නියෝජ්‍ය පොලිස්පතිවරයාය.
එකී නියෝජ්‍ය පොලිස්පතිවරයා සමග ආධුනික සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස පොලිස් සේවයට තවත් උපාධිධාරීන් කිහිප දෙනෙක්ම එක්ව සිටියහ. ඒ අයද අද සිටින්නේ නියෝජ්‍ය පොලිස්පති ධුරයන්ට උසස්වීම් ලබාය. ඒ අයද අනාගතයේ යම් දවසක පොලිස්පතිවරුන් ලෙස පත්වීමට සුදුසුකම් ලබා සිටින්නන්ය. අනාගත පොලිස්පති සිහිනය ඉටුකර ගැනීමට යාමේදී මෙකී නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඇති අභියෝගයන් වන්නේ තමන් සමග එකට පොලිස් සේවයට එක්වුණු ඒ සහෝදර නිලධාරීන්ය. එකී නිලධාරීන්ට එරෙහිව මඩ ගැසීමේ ව්‍යාපාරයක්ද සමාජ ජාල ඇතුළු විවිධ මාධ්‍ය යොදා ගනිමින් පසුගිය කාලයේ දියත් විය. ඒ පිටුපස සිටින්නේ යැයි කියැවෙන්නේ මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයාය. ඔහුට එරෙහිව හොර අධ්‍යාපන සහතික කතාව එළියට එන්නේ ඒත් එක්කමය.
පොලිස්පතිවරයාගේ සහාය නොමැතිකමින් පොලිස් කොමිසමට නිල වශයෙන් තවමත් ඒ ගැන වැඩි යමක් සොයා ගැනීමට නොහැකි වූවත් බොහෝ තොරතුරු කොමිසමේ ඇතැම් වගකිව යුත්තෝ නම් දනිති. ඊට අනුව ඔහුගේ උපාධි සහතිකයද ව්‍යාජය. එම උපාධි සහතිකය විදෙස් විශ්වවිද්‍යාලයකින් ලබාගත්තකි. එය ආසියාතික රටක විශ්වවිද්‍යාලයක් බව සඳහන්ය. මේ වන විට එම විශ්වවිද්‍යාලය වැසී ගොස් ඇති අතර ඔහුගේ උපාධි සහතිකය එම විශ්වවිද්‍යාලයෙන් නිකුත් කර ඇති සහතිකයට වඩා හාත්පසින්ම වෙනස් එකක් බවද තතු දත්තෝ සඳහන් කරති. උපාධියට අධ්‍යාපනය ලැබුවේ යැයි සඳහන් කාලවකවානුව දෙස බැලීමේදී ඔහු මෙරටින් පිටව ගොස් එකී රටේ රැඳී සිට ඇත්තේද මාස තුනක් වැනි කෙටි කාලයක් පමණි. තතු දත්තෝ පවසන්නේ මාස තුනකින් පිළිගත් උපාධියක් ලබාදෙන්නේ කුමන විශ්වවිද්‍යාලයකින්දැයි කියාය.
මේ ආකාරයට විදෙස් විශ්වවිද්‍යාලවලින් හිමිකරගත් බව සඳහන් උපාධි සහතිකවලින් පොලිස් සේවයට ආධුනික සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස බැඳී මේ වන විට ඉහළ නිලතල හොබවන නිලධාරීන් රැසක්ම සිටිති. පිහිනුම් උපාධි, ගෘහ අලංකරණ උපාධි, මෝස්තර නිර්මාණ ශිල්පී උපාධි ආදී උපාධි සහතිකවලින් සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස එක්වූවන්ද ඒ අය අතර නැතුවාම නොවේ. මෙකී නිලධාරියාගේ උපාධියත් එවැනිම උපාධියක් මිස අපරාධ විද්‍යාව හෝ ඒ හා සමාන බරක් ඇති උපාධියක් නොවීමද විශේෂිතය.
සිය හොරකම එළියට ඒමත් සමග දැන් ඔහු දැඩි මානසික වියවුල් තත්ත්වයකට පත්ව තමන් යටතේ සේවයේ නිරතව සිටින නිලධාරීන්ට මානසික අඩන්තේට්ටම් කරමින් සිටින බවද සඳහන්ය. කාන්තා නිලධාරීනියන්ට පවා පරුෂ වචනයෙන් බැණ වදින බව කියති. තමන් දැඩි මානසික වියවුලකින් පෙළෙන බව ඔහුද දන්නා බැවින් සිය රාජකීය මිතුරු වෛද්‍යවරයකුගෙන් මානසික ප්‍රතිකාර ගන්නා බවද සඳහන්ය. ඒ අතර ඔහු රාජකාරි කටයුතුවලට යැයි සඳහන් කරමින් රාජකීය මිතුරන් සහ තරුණ ගැටිස්සියන් සමග මසකට වරක් දෙවරක් නුවරඑළිය පැත්තේ පොලිසියේ මුදලින් කරක් ගසමින් විනෝද වන බව පොලිසියේ ප්‍රසිද්ධ රහසකි.
හොර ලේඛන දී පොලිසියට බැඳීමට තමා කළ වංචාව කරළියට ඒමත් සමග ඔහු පවුල් පිටින් ඇමෙරිකාවට පැන ගන්නටද වරක් උත්සාහ කළේය. ඒ සඳහා ඔහු ඇමෙරිකාවේ පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයකුගෙන් සහායද ඉල්ලා තිබුණේය. ඒ ගමන වැළකී යන්නේ ඔහුව රැක ගන්නා බවට ඉහළ පොලිස් නිලධාරියෙක් කර තිබුණු පොරොන්දුවකට අනුවය. මේ නිලධාරියා ඒ වෙනුවට එකී උසස් නිලධාරියාගේ සුවච කීකරු ගෝල බාලයෙක් බවට පත්ව සිටින්නේ ඔහු සතුව ඇති තාක්ෂණික මෙවලම් මගින් දේශපාලනඥයන්ගේත් පොලිසියේ නිලධාරීන්ගේත් මාධ්‍යවේදීන්ගේත් දුරකථන ටැප් කරමින් තොරතුරු පොලිස් ලොක්කාට ලබා දෙමිනි.
ඉහළ පොලිස් නිලධාරියාගේ ආනුභාවයෙන් මේ වන විට සිය තනතුර රැකගෙන හිරේ විලංගුවේ නොවැටී සිටින මෙකී නිලධාරියා බේරාගැනීමට දේශපාලනඥයන් කිහිප දෙනෙක්ද වලිකමින් සිටින බව සඳහන්ය. ඒ අයගේ සැලසුම වී ඇත්තේ තවත් වසරක් දෙකක් මෙකී නිලධාරියාට එරෙහිව ඇති පැමිණිල්ල විභාග නොකර තබා ගැනීමය. ඒ වෙන කිසිවක් නිසා නොව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 456 වගන්තියට මුවා වී මෙම හොර වංචාවෙන් ගැලවෙන්නටය.
මිනීමැරුම් සහ රාජ්‍ය ද්‍රෝහි වරදවල් හැර වෙනත් වරදක් කළ දිනයේ සිට විසි වසරක් ගෙවී ගිය තැන නඩු පැවරීමට නොහැකි බව එකී වගන්තියේ දැක්වේ. එකී නීති රැකවරණයට මුවාවෙමින් සිය වංචාව යටපත් කරගෙන පොලිස්පතිවරයා දක්වා වූ ගමන යාම දැන් ඔහුගේ සූදානම වී තිබේ.
Rivira