20 මගින් ව්‍යවස්ථාදායක සභාව වෙනුවට පාර්ලිමේන්තු සභාවක් පත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කර තිබෙනවා. 19 ට අනුව ව්‍යවස්ථාදායක සභාවෙන් තමා කොමිෂන් සභා අගවිනිසුරු නීතිපතිවරයාගේ සිට පොලිස්පතිවරයා දක්වා පත්කරන්නේ. ජනාධිපතිට බලයක් නැහැ. ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් 09 ගෙන් 07 ක්ම ඉන්නේ අගමැති සහ විපක්ෂනායක අතේ. ජනාධිපති පත්වෙන්නේ ලංකාවෙම සමස්ත ජනතාවගේ බහුතරයෙන්. අගමැති සහ විපක්ෂනායක කියන්නේ දිස්ත‍්‍රික් දෙකක් නියෝජනය කරන දෙන්නෙක්. ඒ කියන්නේ සමස්ත ජනතාවගේ පරමාධිපත්‍ය බලය මන්ත‍්‍රීවරු දෙන්නෙක්ට ලබාදී තියෙනවා. ඒක මොනතරම් අසාධාරණද? ගෝඨාභය රාජපක්ෂ ඡන්ද 69 ලක්ෂයක් අරන් ජනාධිපති වෙලා මාස 11 ක් ගත වෙලත් ඔහුට තාම පොලිස්පතිවරයෙක් පත් කරගන්න බැරිවෙලා තියෙන්නේ ඒකයි. 20 න් ඔහුට ඒ බලය ලබාදී තිබෙනවා. පාර්ලිමේන්තු සභාවේ නිර්දේශ පමණයි ඔහු ගත යුත්තේ. පාර්ලිමේන්තු සභාව පාර්ලිමේන්තුවේ 2/3 න් සම්මත වන තෙක් එවන් වැදගත් තනතුරුවලට පත් කළ අය තවමත් ඉන්නවා. ඔවුන් පත් කර ඇත්තේ එදා අගමැති වෙලා සිටි රනිල් සහ විපක්ෂ නායක වෙලා සිටි සම්බන්ධන්. ඔවුන් පත් කළ මැතිවරණ කොමිසන් සභාවේ සාමාජිකයෙක් වන හූල් මොනවගේ පුද්ගලයෙක් ද කියා රටේ ජනතාව දන්නවා නේද?
අපේ වගේ බෙදුම්වාදය පවතින සහ තවමත් තම උත්සාහය අතහැර නොමැති බෙදුම්වාදීන් ඉන්නා රටක, මුස්ලිම් අන්තවාදය පවා තිබෙන තත්ත්වයක් මත විධායක ජනාධිපතිවරයෙක් පූර්ණ විධායක බලය සහිතව සිටිය යුතුය යන මතයේ මා දැඩිව සිටිනවා. 30 වසරක ත‍්‍රස්තවාදී යුද්ධයක් අපට පරාජය කළ හැකි වූයේ එවන් බලයක් තිබෙන විධායක ජනාධිපති කෙනෙක් සිටිය නිසා. ජනතාව තවමත් ඔහුට ගරු කරන්නේ ඒකයි. රටේ ආරක්ෂාව පිළිබඳව 19 න් විධායක ජනාධිපතිගේ බලය හැකිතාක් දියාරු කර ඒ බලය අගමැති පොලිස් කොමිෂන් සභාවට පැවරුවා. පාස්කු ප‍්‍රහාරය නවත්වා ගන්න පුළුවන් වුණාද? අහිංසකයින් 300 කට වඩා ඝාතනය වුණේ ඒ නිසා.
19 න් කැබිනට් 30 යි, නියෝජ්‍ය ඇමැති 40 යි කියා තිබුණත් ජාතික ආණ්ඩුවක් කියන ප්‍රෝඩාවක් පෙන්නලා ඇමති මණ්ඩලය 92 ක් දක්වා වැඩි කළා, යහපාලන ආණ්ඩුවෙන්. මෙතෙක් තිබූ වැඩිම ඇමති සංඛ්‍යාව ජනතාව වැඩි ඡන්දයෙන් ජනාධිපති කෙනෙක් පත්කර ගත්තා නම් ඔහු ජනතාවට සෘජුව වගකියන්න ඕන. ඒ වගකීම ඔහුට දිය යුතුයි. ඔහු එය අවභාවිත කරනවා නම් ඔහුට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒමට ඕනෑ තරම් ප‍්‍රතිපාදන තියෙනවා.
ඒ වගේම 19 න් ජනාධිපතිවරයාට අවුරුදු හතරහමාරක් යනකල් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් නැති කළා. නමුත් 20 න් එය අවුරුදු 2 1/2 ක් යනකල් අඩු කරලා තියෙනවා. දහනවයට පළමු, වසරකින් පසුව ඒ බලය ජනාධිපතිවරයාට තිබුණා. ඒ බලය පාවිච්චි කරලා තමයි චන්ද්‍රිකා ජනාධිපතිවරිය රනිල්ගේ ආණ්ඩුව වසරකට පසු කාලයක දී විසුරුවා හැරියේ. එහෙම කළේ ඊනියා කොටි ගිවිසුම අත්සන් කරලා රටේ ජාතික ආරක්ෂාව බින්දුවට දැමීම නිසා. ඒ තීරණය නිවැරදි වන්නේ ඊට පසුව තිබෙන මහ මැතිවරණයෙන් ජනතාව රනිල් පරාජය කළ නිසා.
යහපාලන රජය කාලේ රණවිරුවන් යුද අපරාධකරුවන් කියලා ජාත්‍යන්තරයේ හංවඩු ගසන විට, බුද්ධ පුත‍්‍රයන්වහන්සේ නිකරුණේ හිරේ දානකොට, ජාතික සම්පත් කුණුකොල්ලෙට විකුණනකොට, ජාතික ආරක්ෂාව අවදානමට ලක් කරලා බුද්ධි අංශය නැති කරලා දාන කොට, සමස්තයක් වශයෙන් රට සාමාජික, ආර්ථික පරිහානියට ලක් කරනකොටත් ජනාධිපතිට වසර 4 1/2 ක් යනකල් උඩ බලාගෙන ඉන්න සිද්ධ වුණා. දැන් එය 2 1/2 ක් යනකල් අඩු කරල තියෙනවා. මම නම් තාම හිතන්නේ වසරක් වුණා නම් හොඳයි කියා. මොකද එතකොට ජනතාවට අහිතකර දේශද්‍රෝහී වැඩපිළිවෙළකට යන්න පළමු රජයට දෙවරක් හිතන්න වෙනවා.
යහපාලන රජය යටතේ රට අරාජික වුණු ප‍්‍රධානම හේතුව 19 ය බව ජනතාව දන්නවා. දහනවය ගෙනාව රනිල්ට ඉතිහාසයේ ප‍්‍රථම වතාවට පාර්ලිමේන්තුවේ ආසනයක් පවා අහිමි වුණා. අවුරුදු 44 ක් කොළඹින් පිට සිටිය මට කොළඹට ඇවිත් මාස හයක් පමණ කෙටි කාලයකදී ඡන්ද 328,000 ක් ගන්න පුළුවන් වුණු ප‍්‍රධාන හේතුවක් වුණේ මා තනියෙන් 19 ට විරුද්ධ වෙච්ච නිසා. ඉතින් 20 න් 19 අහෝසි කරනවනම් ඒක ජනතා කැමැත්ත හැටියට මා දකිනවා. හැබැයි 20 න් 19 ට පෙර තිබූ කිසිවක් අන්තර්ගත නොවිය යුතුය. 19 ට ප‍්‍රථම තිබූ සියලූ දෙයක්ම විස්සෙන් නැවත දෙනවනම් ඒකට මා එකඟයි. 1978 සිට 2015 දක්වා සිටි සෑම ජනාධිපතිවරයෙක්ට ම තිබූ විධායක බලය ගෝඨාභය රාජපක්ෂටත් දිය යුතුයි. ජනතාව ඔහුට හැට නම ලක්ෂයකින් ජයග‍්‍රහණය කරවා තුනෙන් දෙකක බලය දුන්නෙ රට හදන්න, සංවර්ධනය කරන්න. ජනතාව ආරක්ෂා කරන්න. 19 න් ඔහුගේ අතපය බැඳලා නම් 19 ට පෙර ජනාධිපතිවරුන් ට දී ඇති බලය ඔහුට දිය යුතුයි. ඒක අපේ වගකීමකි.
පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය – රියර් අද්මිරාල් (විශ‍්‍රාමික) සරත් වීරසේකර