ArticlesfeaturedTop Stories

සුවහසක් සරසවි සිසුන් වෙනුවෙන් #SayNoToRag

සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ චරිත් දිල්ශාන්ගේ දිවිනසාගැනීම මේ මොහොතේ සමාජයේ වඩාත් කතාබහට ලක්වන මාතෘකාව බවට පත්ව තිබෙනවා.

ජීවිත රැසක් බිලිගත්, තවත් ගිනිය නොහැකි තරම් සංඛ්‍යාවකගේ අධ්‍යාපනය කඩාකප්පල් කළ අමානුෂික නවක වධය පිළිබඳ තව වරක් සිතා බැලිය යුතු තැනකට මෙම නව යෞවනයාගේ මරණය විසින් සමාජය තල්ලු කොට දමා තිබෙනවා.

ඉතින්, මේ සටහන ඒ අකාලයේ මිලින වූ සොයුරා වෙනුවෙන්!

සෑම වසරකදීම අතිශය තරඟකාරී උසස් පෙළ විභාගයකින් පසුව ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියට තේරී පත්වෙන සිසුන් ගණන දළ වශයෙන් 25.39% ක්.

එයින් අදහස් වන්නේ වාර්ෂිකව විභාගය සඳහා පෙනීසිටින දසදහසක් සිසුන් අතරින් ඉතා හොඳ ‘බුද්ධි මට්ටමක්’ සහිත පිරිසක් රටේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් වරම් ලබන බව.

එලෙස විශ්ව විද්‍යාල වරම් ලබන්නන්ගෙන් 50% කට ආසන්න ප්‍රමාණයක් නවක වධය නිසා පීඩාවට ලක්වෙන බව යුනිසෙෆ් වාර්තා වලින් පවා සනාථ වී තිබෙනවා.

මේ කියන නවක වධ අතර වාචික පීඩා (51% ට වැඩි), මානසික පීඩා (34.3%), විවිධ ශාරීරික පීඩා (23.8%) මෙන්ම ලිංගික හිංසා (16.6%) ද වනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩ ක්‍රියා තහනම් කිරීමේ පනතට අනුව දැඩි සිර දඬුවම් ලැබිය හැකි සාපරාධි වරදක් ලෙස නවක වධය හඳුන්වා දී තිබුනද, අදත්, මේ මොහොතේදීත් නවක වධයට මුහුණ දෙන අහිංසක තරුණ ජීවිත තියෙනවා.

කැම්පස් යනු කිසිවිටෙකත් මල් මාවතක ගමන් කිරීමක් නොව;
වසර 4 කට නොඅඩු කාලයක් පුරාවට විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින්, ඉගැන්නූ මවුපියන්ට සාධාරණයක් ඉටුකරනු වස් කන කට්ටකි.

එය එදාත් අදත් එසේමය.

එවන් වාතාවරණයක සිදුකෙරෙන මේ නොමිනිස්, විකෘති සහගත රැග් කිරීම් නතර වන්නේ කවදාද.

කොට කලිසමක් ඇඳගෙන නාන කාමරයට යෑම හිංසාවට ලක්විය යුතු වරදක් ලෙස දකින උපාධි අපේක්ෂක ජ්‍යේෂ්ඨයින් ඔහුව නිරුවත් කිරීම වරදක් ලෙස නොදැකීම කුමන ආකාරයේ මානසික ව්‍යාධි තත්ත්වයක්ද යන්න සිතාගත නොහැක.

සබරගමු විශ්ව විද්‍යාලයේ දෙවන වසර ඉගෙනුම ලැබූ තාක්ෂණ පීඨ සොයුරාගේ සියදිවි නසාගැනීම මේ මොහොත වනවිට රටේ අංක එකේ ප්‍රවෘත්තිය වී ඇත.

එම විශ්ව විද්‍යාලයෙන් නවක වධය නිසා ඇසුන පළමු මරණයද මෙය නොවන බව සිහිපත් කළ යුතුමය.

එම විශ්ව විද්‍යාලය පමණක් නොව ලංකාවේ බහුතරයක් විශ්ව විද්‍යාල ලොකු අකුරින් “No Ragging” , “Ragging Free” බෝඩ් ගසාගෙන මෙවැනි මරණ Depression වචනය පිටුපස සඟවන අවස්ථා අනන්තය.

වසර ගණනාවක් පුරාවට මාතෘකාවට ලක්වන මේ නවක වධය හීන ගොඩක් සමගින් උසස් අධ්‍යාපනයට පිවිසුන කීදෙනකුට ජීවිත අහිමි කර තිබේද.

තවත් චරිත් ලා, අමාලි ලා අමාරුවෙන් සැබෑ කරගත් සරසවි සිහිනය අතරමග හැරදා යා යුතුද, එසේම උපාධි ලෝගු පළඳගත් විකෘති මානසිකත්වයන් මේ රටේ අනාගතය භාර ගැනීමට සුදුසුද.

ජීවිතය අහිමි වූයේ චරිත්ට ය. වසර 23 ක් ඇති දැඩි කළ මවුපියන්ට ය. මහපොළ හදාගෙන නැවත ගෙදර එනකල් බලාසිටි සහෝදරයාට ය.

ඔහුගේ අකල් මරණය ප්‍රවෘත්තියක්ව තව කොපමණ දවසක් තිබේද යන්න අවිනිශ්චිත ය.

එබැවින් තම ආදරණීය දරුවා අහිමි වු ඒ පියාගේ වචන මෙලෙස උපුටා දක්වමි.

“මගේ දරුවට යුක්තිය නෙවෙයි, කැම්පස් යන, අනාගතයේ කැම්පස් යන්න ඉන්න දරුවො වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න”.

සටහන – Lima

Related posts

ඇමරිකාවේ ආදාර ලබන ආගමික කල්ලියක තිත්පොලක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැන් පත්වෙලා

colombotoday

චම්පික ආණ්ඩුවෙන් එලියට ? නැගී එන බෞද්ධ බලය අතට ගැනීමේ සුදානමක් ?

colombotoday

මේ කැබිනට් සංශෝධනය විහිලුවක්.. මිනිස්සු ගල් ගහයිද දන්නෑ – රාජ්‍ය ඇමති වසන්ත කියයි

colombotoday

හර්තාල් කරන ලෙස දන්වමින් කාන්තන්කුඩි නගර සභාවෙන් ජනතාවට ලිපියක්

colombotoday

උලමා සභාව විසින් පැවැත්වූ සාකච්ඡා රැසක හඬපට බොදු බලේට ලැබිලා – රහස් රැසක් එලියට

colombotoday

ෆේස්බුකියෙන් ගොදුරු සොයන ISIS ත්‍රස්තයෝ !

colombotoday