ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මියගිය හෝ තුවාල ලැබූ සෑම පුද්ගලයකුටම සමාන වන්දි මුදලක් ගෙවීම නිර්දේශ කරන බව හානිපූරණය සඳහා වූ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ, එස්.එම්. බදියුදීන් මහතා පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පෙරේදා යෝජනා කළේය.
එම ක්‍රියාවන් වෙනුවෙන් හානි වූ රාජ්‍ය මෙන්ම අනෙකුත් දේපළවලටද සමාන ලෙස වන්දි ගෙවිය යුතු බව ඒ මහතා කොමිසම හමුවේ කියා සිටියේය.
එමෙන්ම දිගන සහ බේරුවල ප්‍රදේශවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය නිසා මියගිය සහ තුවාල ලැබූවන් සඳහා සහ දේපළ හානි වෙනුවෙන් ගෙවනු ලැබූ වන්දි මුදල්වලට සාපේක්ෂ්ව පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් දිවි අහිමි වූ සහ තුවාල ලැබූ පුද්ගලයන් සඳහා දී ඇත්තේ ඉතා සුළු වන්දි මුදලක් බව පෙරේදා (16) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අනාවරණය විය.
විවිධ සිදුවීම්වලදී විපතට පත් වූවන්ට වන්දි මුදල් ගෙවීමේදී විවිධ දේශපාලන මැදිහත් වීම් ද සිදු වී තිබෙන බවත් දිගන සිදුවීම්වලට අදාළ වන්දි මුදල් ගෙවීමේදී හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් සහ ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු යහපාලන ආණ්ඩුවේ සිටි දේශපාලනඥයන් පිරිසක් විවිධ අතපෙවීම් සිදු කර ඇති බවත් අනාවරණය විය. පාස්කු ඉරිදා දින කතෝලික දේවස්ථාන සහ හෝටල් කිහිපයක් ඉලක්ක කරගෙන එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හේතුවෙන් මිය ගිය සහ තුවාල ලැබූ පුද්ගලයන් වෙනුවෙන් වන්දි මුදල් ගෙවීමේ කටයුතු සම්බන්ධයෙන් කොමිෂන් සභාව සාක්ෂිකරුගෙන් විමසුවේය.
පාස්කු ඉරිදා දින කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් සිද්ධස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය 108 දෙනකුටත්, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් 50 දෙනකුට සහ මඩකලපුව සියෝන් දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය 30 දෙනකුට සඳහා එක් අයකුට රුපියල් ලක්ෂ දහය බැගින් වන්දි මුදලක් දී තිබෙන බව ඒ මහතා සාක්ෂි දෙමින් කියා සිටියේය.
ඊට අමතරව කොළඹ ශැංග්‍රිලා හෝටලයේ පුපුරා ගිය බෝම්බවලින් මියගිය ශ්‍රී ලාංකිකයන් දස දෙනකුටත්, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අට දෙනකුටත්, කිංග්ස්බරි හෝටලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය එක් අයකුට සහ දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේ පුපුරා ගිය බෝම්බයෙන් මිය ගිය දෙදෙනකුට ද රුපියල් ලක්ෂ දහය බැගින් වන්දි මුදල් දුන් බව සාක්ෂිකරු සඳහන් කළේය.
එමෙන්ම දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවසේ බෝම්බ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වූ තිදෙනකුට ද රුපියල් ලක්ෂ දහය බැගින් වන්දි මුදල් දී තිබෙන බව සාක්ෂිකරු සඳහන් කළ අතර ඒ අනුව අදාළ වන්දි මුදල් ගෙවනු ලැබුවේ එම නිවසේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පොලිස් නිළධාරීන් තිදෙනා වෙනුවෙන් නම් ඊට අදාළ තොරතුරු කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙස කොමිෂන් සභාව ඔහුට දැනුම් දුන්නේය.
එමෙන්ම විවිධ ස්ථානවල සිදු වූ බෝම්බ ප්රහාරයන් හේතුවෙන් මියගිය විදේශියකයන් නව දෙනකුටද රුපියල් ලක්ෂ දහය බැගින් වන්දි මුදල් ගෙවා තිබෙන බව බදියුදීන් මහතා පැවැසුවේය. තුවාල ලැබූ විදේශිකයන් සඳහා රුපියල් 474,000ක් ගෙවා තිබෙනවා. ඊට අමතරව තවත් විදේශිකයන්ගේ සිරුරු 34ක් පමණ හඳුනාගැනීමට නොහැකි වූ බැවින් ඒ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය දැනුවත් කිරීමට පියවර ගත් බවත් සාක්ෂිකරු පැවැසුවේය.
වැඩිදුරටත් සාක්ෂි දෙමින් ඔහු පැවැසුවේ මරණ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අයදුම්පත් 220ක් සඳහා රුපියල් මිලියන 220ක් සහ තුවාලකරුවන් 506 දෙනකුට රුපියල් මිලියන 81ක පමණ වන්දි මුදල් දී ඇති බවයි. ඊට අමතරව දේපළ හානි සම්බන්ධයෙන් ලැබුණු අයදුම්පත් 75කට ද රුපියල් ලක්ෂ 50ක උපරිමයකට යටත්ව අදාළ වන්දි මුදල් දී තිබෙන බව සාක්ෂිකරු පැවැසීය.
මීට අමතරව පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරයෙන් පසුව කුරුණෑගල, නාත්තන්ඩිය සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් අතරතුර හානි වූ දේපළ සඳහා ද රුපියල් ලක්ෂ 50ක උපරිමයකට යටත්ව වන්දි මුදල් දුන් බව සාක්ෂිකරු පැවැසුවේය. එම ගැටුම්වලදී මිය ගිය එක් පුද්ගලයකුට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදල් ගෙවා තිබෙනවා.
එම ප්‍රදේශවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර හානි වූ දේපළ සම්බන්ධයෙන් පැමිණිලි 536ක් ලැබුණා. ඒ අතරින් 493කට පමණ මේ වන විටත් වන්දි ලබා දීලා ඉවරයි, ඔහු පැවැසුවේය.
මේ අතර 2018 වසරේ දිගන ප්‍රදේශයේ දී සිංහල සහ මුස්ලිම් ජනතාව අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ද කොමිෂන් සභාව ඔහුගෙන් විමසුවා. ඊට පිළිතුරු වශයෙන් සාක්ෂිකරු සඳහන් කළේ එම තත්ත්වය තුළ හානි වූ දේපළ සඳහා කිසිදු සීමාවක් නොමැතිව සම්පූර්ණ හානිය ගණන් බලා අදාළ මුදල වන්දි වශයෙන් දුන් බවයි. එම ගැටුම් හේතුවෙන් මියගිය තිදෙනකු වෙනුවෙනුත් අදාළ වන්දි මුදල් දී තිබෙනවා.
ඊට අමතරව වැලිකඩ බන්ධනාගාරයේ 2012 වසරේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් වෙනුවෙන් 2018 වසරේ දී රුපියල් ලක්ෂ 20 බැගින් වන්දි මුදල් දුන් බවත් ඔහු සඳහන් කළේ ය. එමෙන්ම එම සිදුවීම්වලින් තුවාල ලැබූවන්ට වන්දි ගෙවීමේ දී වෛද්‍ය වාර්තා සැලකිල්ලට නොගත් බවත් ඔහු සඳහන් කළේ ය.
බේරුවල ප්‍රදේශයේ දී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් විපතට පත් වූවන්ට ද වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගැනීමකින් තොරව වන්දි මුදල් ගෙවා තිබෙනවා.
ඒ අනුව දිගන, වැලිකඩ සහ බේරුවල ඇති වූ සිදුවීම්වලදී විපතට පත් වූවන්ට විශාල වන්දි මුදලකුත්, පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයන්ට අඩු වන්දි මුදලකුත් ගෙවා ඇත්තේ කුමන හේතුවක් පදනම් කරගෙනදැයි කොමිෂන් සභාව ඔහුගෙන් විමසා සිටියා.
ඒ පිළිබඳව අදහස් දක්වමින් බදියුදීන් මහතා සඳහන් කළේ දිගන සිදුවීම සිදු වූ අවස්ථාවේ හිටපු අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ, හකීම් සහ කිරිඇල්ල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර කච්චේරියේදී විශේෂ සාකච්ඡාවක් පැවැති බවයි. ඒ අනුව ඔවුන් සාකච්ඡා කොට ගෙවිය යුතු වන්දි මුදල සම්බන්ධයෙන් දේශපාලන තීන්දුවක් ගත්තා විය හැකි යැයි සාක්ෂිකරු පැවැසුවේය.
එමෙන්ම බේරුවල සිදුවීම සිදු වූ අවස්ථාවේ තුවාල වූවන්ගේ වෛද්‍ය වාර්තා වන්දි ගෙවීමේ ක්‍රියාවලියේදී සැලකිල්ලට ගැනීම අවශ්‍ය නොවන බව අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කළ බවත් ඔහු සඳහන් කළේය. කෙසේ නමුත් ඒ ආකාරයෙන් මියගිය අය සහ තුවාල වූවන් වෙනුවෙන් වන්දි මුදල් ගෙවීමේදී එකිනෙකට වෙනස් ක්‍රමවේදයන් අනුගමනය කිරීම සාධාරණ නොවන බවත් සාක්ෂිකරු පැවැසුවේය.
මරණය නම් කාට වුවත් පොදුවේ ඒ පිළිබඳ සැලකිය යුතුයි. සියලුම දෙනාට සමාන වන්දි මුදලක් දිය යුතුයි. ඒ ඒ සිදුවීමට අනුව විවිධ දේශපාලන තීන්දු අනුව කටයුතු නොකර සියලුම දෙනාට එක සමානව වන්දි මුදල් දිය යුතුයි යැයි ඔහු කොමිෂන් සභාව හමුවේ පැවැසීය.
මේ අතර කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා බදියුදීන් මහතාගෙන් හරස් ප්‍රශ්න විමසුවේය.
ජනාධිපති නීතිඥවරයා – පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරයෙන් තුවාල වූවන්ට එක් අයකුට කොපමණ වන්දි මුදලක් දෙන්නද තීරණය කළාද?
සාක්ෂිකරු – එක් අයෙකුට උපරිමය ලක්ෂ පහක් දෙන්න ඇමැති මණ්ඩලය තීරණය කළා. නමුත් වෛද්‍ය වාර්තාවල අඩංගු කරුණු අනුව ලක්ෂ පහට අඩු වන්දි මුදල් දීම් සිදුවුණා.
ජනාධිපති නීතිඥවරයා – නමුත් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදු වූ පිපිරීමෙන් තුවාල වූවන්ගෙන් රුපියල් ලක්ෂ 5ක වන්දියක් දී තියෙන්නේ 32කට පමණක් බව ඔබ ඉදිරිපත් කළ ලේඛනය අනුව පෙනී යනවා.
එම දේවස්ථානයේ සිදු වූ බෝම්බ පිපිරීමෙන් පුද්ගලයින් 280ක් පමණ දරුණු තුවාල ලැබුවා. ඉන් 32කට ලක්ෂ තුනක් ලබා දී තියෙනවා. 22කට රුපියල් 250,000ක් දී තියෙනවා. හය දෙනකුට ලක්ෂ දෙකක් දී තියෙනවා. ඒ වගේම තුවාල ලැබූවන් 147ක් සඳහා දී තිබෙන්නේ රුපියල් 50,000ක් පමණයි, ජනාධිපති නීතිඥ පෙරේරා මහතා සාක්ෂිකරුට පෙන්වා දුන්නා.
එමෙන්ම කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිදු වූ බෝම්බ පිපිරීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් 102ක් අතුරින් රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් දී ඇත්තේ 13කට පමණක් බවත් ඔහු සාක්ෂිකරුට පෙන්වා දුන්නේය. ඉන් තුවාලකරුවන් 40ක් සඳහා දී ඇත්තේ රුපියල් 50,000ක් පමණයි .
ජනාධිපති නීතිඥවරයා – සමහර අයට බරපතල ශල්‍යකර්ම කළා. මේ ලක්ෂ 5 ඇතිද ඒ මිනිස්සුන්ට?
සාක්ෂිකරු- මදි නම් තමයි. ඒත් කැබිනට් මණ්ඩලයනේ තීරණය කළේ. අපි කළේ ඒ තීරණය ක්‍රියාත්මක කිරීම පමණයි.
ජනාධිපති නීතිඥවරයා- ඔබතුමා දන්නවාද මේ ශල්‍යකර්ම සඳහා සම්පූර්ණ වියදම දැරුවේ කතෝලික සභාවෙන් කියලා?
සාක්ෂිකරු – ඒක නම් මම දන්නේ නැහැ.
කොමසාරිස්වරිය – පාස්කු ප්‍රහාරයට පෙර දිගන සහ බේරුවල ප්‍රදේශවල සිද්ධිවලදී එක් මරණයකට රුපියල් ලක්ෂ 20ක් ගෙවා තිබෙනවා. පාස්කු ප්‍රහාරයේදී එක් මරණයකට ගෙවා ඇත්තේ රුපියල් ලක්ෂ 10යි. මොකක්ද මේ වෙනස්කම?
සාක්ෂිකරු- මේවා අප නෙවෙයි තීරණය කළේ. දේශපාලන නායකයන් එකතුවෙලා කැබිනට් පත්‍රිකා හදලා අපිට තීරණය එවනවා. අපෙන් කිසිම අදහසක් විමසුවේ නැහැ. ඔය බේරුවල, දිගන සිද්ධිවෙලාවේ හානිපූර්ණය විෂය භාර වුණේ ඩී. එම්. ස්වාමීනාදන් මහතාට. පාස්කු ප්‍රහාරය වෙලාවෙත් එතුමා. නමුත් ඒ කටයුතු සියල්ල සිදුවුණේ අගමැති කාර්යාලය හරහා.
කොමසාරිස්වරයා- ඔය දිගන වගේ පාස්කු ප්‍රහාරය වෙලාවේ වන්දි මුදල් වැඩිකරගන්න දේශපාලකයන් කටයුතු කළේ නැද්ද?
සාක්ෂිකරු- ඒක තමයි මිනිස්සු අපෙන් අහනවා ඒ අයට වැඩියෙන් ගෙවලා අපිට අඩුවෙන් ගෙව්වේ ඇයි කියලා. අපට ඒවට උත්තර නැහැ. දේශපාලන අධිකාරිය තමයි විවිධාකාර අවස්ථාවල විවිධ ගණන් තීරණය කළේ.
ජනාධිපති නීතිඥවරයා – ඔබතුමා පිළිගන්නවාද පාස්කු ප්‍රහාරයේදි මියගිය හා තුවාල වූ අයට දුන් මුදල ප්‍රමාණවත් නොවන බව?
සාක්ෂිකරු – දිගන සහ බේරුවල සිදුවීම්වලදී ගෙවපු මුදල් එක්ක බලනකොට මේක ප්‍රමාණවත් නැහැ කියල හිතෙනවා.
රජයේ අධිනිතිඥවරයා – පුනරුත්ථාලන අධිකාරිය හානි පූරණය සඳහා වූ කාර්යාලය මගින් විමසා බැලුවද කොයිතරම් අලාභ හානි වී තිබෙනවාද කියලා.
සාක්ෂිකරු – සිද්ධියක් වුණාම දෙපාර්තමේන්තුවෙන් කණ්ඩායමක් යනවා. ප්‍රදේශිය ලේකම් හමුවී පොලිසිය හමු වී වන්දි ගෙවීම සඳහා ඒ අයට සහාය වෙනවා. 87 සිට 2019 දක්වා ගෙවීම් වාර්තා අප සතුව තිබෙනවා. ප්‍රදේශයේ ප්‍රාදේශිය ලේකම්වරයා හරහායි ගෙවීම සිදු කරනු ලබන්නේ. 87 පනත 2018 පනතට වඩා යම් වැඩි සේවයක් කිරිමට හැකි බවයි කිව හැක්කේ. 2018 සංශෝධනය ප්‍රකාරව මීට මාස පහකට පමණ පෙර ප්‍රතිපත්ති සකස් කර භාර දී තිබෙනවා. මේ වනතෙක් එය අනුමත වී නැහැ.
මෙහිදි කාදිනල් හිමියන් වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතාද සාක්ෂිකරුගෙන් ප්‍රශ්න විමසූ අතර එහිදි පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය හා තුවාල ලැබූ පුද්ගලයන්ට ගෙවූ වන්දි මුදල්වලට වඩා දිගන සහ බේරුවල සිද්ධියේදී වැඩි වන්දි මුදල් ගෙවා ඇති බව අනාවරණය වූ අතර එය නිවැරදි නොවන බව සාක්ෂිකරු කොමිසම හමුවේ පිළිගත්තේය.
-දිනමිණ-