Colombo Today Local News

රනිල්, හකීම්, කිරිඇල්ල බලපෑමෙන් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට අඩු වන්දි දී දිගන හානි වුවන්ට සීමා නැතුව බෙදලා

ත්‍රස්ත­වාදී ක්‍රියා හේතු­වෙන් මිය­ගිය හෝ තුවාල ලැබූ සෑම පුද්ග­ල­ය­කු­ටම සමාන වන්දි මුද­ලක් ගෙවීම නිර්දේශ කරන බව හානි­පූ­රණය සඳහා වූ කාර්‍යා­ලයේ වැඩ­බ­ලන අධ්‍යක්ෂ, එස්.එම්. බදි­යු­දීන් මහතා පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහා­රය පිළි­බඳ විම­ර්ශ­නය කරන ජනා­ධි­පති පරී­ක්ෂණ කොමි­ෂන් සභා­වට පෙරේදා යෝජනා කළේය.

එම ක්‍රියා­වන් වෙනු­වෙන් හානි වූ රාජ්‍ය මෙන්ම අනෙ­කුත් දේප­ළ­ව­ල­ටද සමාන ලෙස වන්දි ගෙවිය යුතු බව ඒ මහතා කොමි­සම හමුවේ කියා සිටි­යේය.

එමෙන්ම දිගන සහ බේරු­වල ප්‍රදේ­ශ­වල ඇති වූ නොස­න්සු­න්කාරී තත්ත්වය නිසා මිය­ගිය සහ තුවාල ලැබූ­වන් සඳහා සහ දේපළ හානි වෙනු­වෙන් ගෙවනු ලැබූ වන්දි මුද­ල්ව­ලට සාපේක්ෂ්ව පාස්කු ඉරු­දින බෝම්බ ප්‍රහා­ර­යෙන් දිවි අහිමි වූ සහ තුවාල ලැබූ පුද්ග­ල­යන් සඳහා දී ඇත්තේ ඉතා සුළු වන්දි මුද­ලක් බව පෙරේදා (16) පාස්කු ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් සොයා බලන ජනා­ධි­පති පරී­ක්ෂණ කොමි­සම හමුවේ අනා­ව­ර­ණය විය.

විවිධ සිදු­වී­ම්ව­ලදී විප­තට පත් වූවන්ට වන්දි මුදල් ගෙවී­මේදී විවිධ දේශ­පා­ලන මැදි­හත් වීම් ද සිදු වී තිබෙන බවත් දිගන සිදු­වී­ම්ව­ලට අදාළ වන්දි මුදල් ගෙවී­මේදී හිටපු අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍ර­සයේ නායක රාවුෆ් හකීම් සහ ලක්ෂ්මන් කිරි­ඇල්ල ඇතුළු යහ­පා­ලන ආණ්ඩුවේ සිටි ‍දේශපා­ල­න­ඥ­යන් පිරි­සක් විවිධ අත­පෙ­වීම් සිදු කර ඇති බවත් අනා­ව­ර­ණය විය. පාස්කු ඉරිදා දින කතෝ­ලික දේව­ස්ථාන සහ හෝටල් කිහි­ප­යක් ඉලක්ක කර­ගෙන එල්ල වූ මරා­ගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හේතු­වෙන් මිය ගිය සහ තුවාල ලැබූ පුද්ග­ල­යන් වෙනු­වෙන් වන්දි මුදල් ගෙවීමේ කට­යුතු සම්බ­න්ධ­යෙන් කොමි­ෂන් සභාව සාක්ෂි­ක­රු­ගෙන් විම­සු­වේය.

පාස්කු ඉරිදා දින කටු­වා­පි­ටිය ශාන්ත සෙබ­ස්ති­යන් සිද්ධ­ස්ථා­න­යට එල්ල වූ බෝම්බ ප්‍රහා­ර­යෙන් මිය ගිය 108 දෙන­කු­ටත්, කොච්චි­කඩේ ශාන්ත අන්තෝනි සිද්ධ­ස්ථා­න­යට එල්ල වූ බෝම්බ ප්‍රහා­ර­යෙන් මිය­ගිය පුද්ග­ල­යන් 50 දෙන­කුට සහ මඩ­ක­ල­පුව සියෝන් දේව­ස්ථා­න­යට එල්ල වූ බෝම්බ ප්‍රහා­ර­යෙන් මිය ගිය 30 දෙන­කුට සඳහා එක් අය­කුට ‍රුපියල් ලක්ෂ දහය බැගින් වන්දි මුද­ලක් දී තිබෙන බව ඒ මහතා සාක්ෂි දෙමින් කියා සිටි­යේය.

ඊට අම­ත­රව කොළඹ ශැංග්‍රිලා හෝට­ලයේ පුපුරා ගිය බෝම්බ­ව­ලින් මිය­ගිය ශ්‍රී ලාංකි­ක­යන් දස දෙන­කු­ටත්, සින­මන් ග්‍රෑන්ඩ් හෝට­ල­යට එල්ල වූ බෝම්බ ප්‍රහා­ර­යෙන් මිය­ගිය අට දෙන­කු­ටත්, කිංග්ස්බරි හෝට­ල­යට එල්ල වූ බෝම්බ ප්‍රහා­ර­යෙන් මිය ගිය එක් අය­කුට සහ දෙහි­වල ට්‍රොපි­කල් ඉන් ලැගු­ම්හලේ පුපුරා ගිය බෝම්බ­යෙන් මිය ගිය දෙදෙ­න­කුට ද රුපි­යල් ලක්ෂ දහය බැගින් වන්දි මුදල් දුන් බව සාක්ෂි­කරු සඳ­හන් කළේය.

එමෙන්ම දෙම­ට­ගොඩ මහ­විල උද්‍යා­නයේ නිවසේ බෝම්බ පිපි­රී­මෙන් ජීවි­ත­ක්ෂ­යට පත්වූ තිදෙ­න­කුට ද රුපි­යල් ලක්ෂ දහය බැගින් වන්දි මුදල් දී තිබෙන බව සාක්ෂි­කරු සඳ­හන් කළ අතර ඒ අනුව අදාළ වන්දි මුදල් ගෙවනු ලැබුවේ එම නිවසේ සිදු වූ බෝම්බ ප්‍රහා­ර­යෙන් මිය ගිය පොලිස් නිළ­ධා­රීන් තිදෙනා වෙනු­වෙන් නම් ඊට අදාළ තොර­තුරු කොමි­ෂන් සභාව වෙත ඉදි­රි­පත් කරන ලෙස කොමි­ෂන් සභාව ඔහුට දැනුම් දුන්නේය.

එමෙන්ම විවිධ ස්ථාන­වල සිදු වූ බෝම්බ ප්‍රහා­ර­යන් හේතු­වෙන් මිය­ගිය විදේ­ශි­ය­ක­යන් නව දෙන­කු­ටද රුපි­යල් ලක්ෂ දහය බැගින් වන්දි මුදල් ගෙවා තිබෙන බව බදි­යු­දීන් මහතා පැවැ­සු­වේය. තුවාල ලැබූ විදේ­ශි­ක­යන් සඳහා රුපි­යල් 474,000ක් ගෙවා තිබෙ­නවා. ඊට අම­ත­රව තවත් විදේ­ශි­ක­යන්ගේ සිරුරු 34ක් පමණ හඳු­නා­ගැ­නී­මට නොහැකි වූ බැවින් ඒ සම්බ­න්ධ­යෙන් විදේශ කට­යුතු අමා­ත්‍යං­ශය දැනු­වත් කිරී­මට පිය­වර ගත් බවත් සාක්ෂි­කරු පැවැ­සු­වේය.

වැඩි­දු­ර­ටත් සාක්ෂි දෙමින් ඔහු පැවැ­සුවේ මරණ සම්බ­න්ධ­යෙන් ඉදි­රි­පත් වූ අය­දු­ම්පත් 220ක් සඳහා රුපි­යල් මිලි­යන 220ක් සහ තුවා­ල­ක­රු­වන් 506 දෙන­කුට රුපි­යල් මිලි­යන 81ක පමණ වන්දි මුදල් දී ඇති බවයි. ඊට අම­ත­රව දේපළ හානි සම්බ­න්ධ­යෙන් ලැබුණු අය­දු­ම්පත් 75කට ද රුපි­යල් ලක්ෂ 50ක උප­රි­ම­ය­කට යටත්ව අදාළ වන්දි මුදල් දී තිබෙන බව සාක්ෂි­කරු පැවැ­සීය.

මීට අම­ත­රව පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහා­ර­යෙන් පසුව කුරු­ණෑ­ගල, නාත්ත­න්ඩිය සහ මිනු­ව­න්ගොඩ යන ප්‍රදේ­ශ­වල ඇති වූ නොස­න්සු­න්කාරී තත්ත්ව­යන් අත­ර­තුර හානි වූ දේපළ සඳහා ද රුපි­යල් ලක්ෂ 50ක උප­රි­ම­ය­කට යටත්ව වන්දි මුදල් දුන් බව සාක්ෂි­කරු පැවැ­සු­වේය. එම ගැටු­ම්ව­ලදී මිය ගිය එක් පුද්ග­ල­ය­කුට රුපි­යල් ලක්ෂ 10ක වන්දි මුදල් ගෙවා තිබෙ­නවා.

එම ප්‍රදේ­ශ­වල ඇති වූ නොස­න්සු­න්කාරී තත්ත්වය අත­ර­තුර හානි වූ දේපළ සම්බ­න්ධ­යෙන් පැමි­ණිලි 536ක් ලැබුණා. ඒ අත­රින් 493කට පමණ මේ වන විටත් වන්දි ලබා දීලා ඉව­රයි, ඔහු පැවැ­සු­වේය.

මේ අතර 2018 වසරේ දිගන ප්‍රදේ­ශයේ දී සිංහල සහ මුස්ලිම් ජන­තාව අතර ඇති වූ ගැටු­ම්කාරී තත්ත්වය සම්බ­න්ධ­යෙන් ද කොමි­ෂන් සභාව ඔහු­ගෙන් විම­සුවා. ඊට පිළි­තුරු වශ­යෙන් සාක්ෂි­කරු සඳ­හන් කළේ එම තත්ත්වය තුළ හානි වූ දේපළ සඳහා කිසිදු සීමා­වක් නොමැ­තිව සම්පූර්ණ හානිය ගණන් බලා අදාළ මුදල වන්දි වශ­යෙන් දුන් බවයි. එම ගැටුම් හේතු­වෙන් මිය­ගිය තිදෙ­නකු වෙනු­වෙ­නුත් අදාළ වන්දි මුදල් දී තිබෙ­නවා.

ඊට අම­ත­රව වැලි­කඩ බන්ධ­නා­ගා­රයේ 2012 වසරේ ඇති වූ නොස­න්සු­න්කාරී තත්ත්වය හේතු­වෙන් මිය ගිය පුද්ග­ල­යින් වෙනු­වෙන් 2018 වසරේ දී රුපි­යල් ලක්ෂ 20 බැගින් වන්දි මුදල් දුන් බවත් ඔහු සඳ­හන් කළේ ය. එමෙන්ම එම සිදු­වී­ම්ව­ලින් තුවාල ලැබූ­වන්ට වන්දි ගෙවීමේ දී වෛද්‍ය වාර්තා සැල­කි­ල්ලට නොගත් බවත් ඔහු සඳ­හන් කළේ ය.

බේරු­වල ප්‍රදේ­ශයේ දී ඇති වූ නොස­න්සු­න්කාරී තත්ත්වය හේතු­වෙන් විප­තට පත් වූවන්ට ද වෛද්‍ය වාර්තා සැල­කි­ල්ලට ගැනී­ම­කින් තොරව වන්දි මුදල් ගෙවා තිබෙ­නවා.

ඒ අනුව දිගන, වැලි­කඩ සහ බේරු­වල ඇති වූ සිදු­වී­ම්ව­ලදී විප­තට පත් වූවන්ට විශාල වන්දි මුද­ල­කුත්, පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහා­ර­යෙන් මිය­ගිය සහ තුවාල ලැබූ පුද්ග­ල­යන්ට අඩු වන්දි මුද­ල­කුත් ගෙවා ඇත්තේ කුමන හේතු­වක් පද­නම් කර­ගෙ­න­දැයි කොමි­ෂන් සභාව ඔහු­ගෙන් විමසා සිටියා.

ඒ පිළි­බ­ඳව අද­හස් දක්ව­මින් බදි­යු­දීන් මහතා සඳ­හන් කළේ දිගන සිදු­වීම සිදු වූ අව­ස්ථාවේ හිටපු අග්‍රා­මාත්‍ය වික්‍ර­ම­සිංහ, හකීම් සහ කිරි­ඇල්ල යන මහ­ත්ව­රුන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් මහ­නු­වර කච්චේ­රි­යේදී විශේෂ සාක­ච්ඡා­වක් පැවැති බවයි. ඒ අනුව ඔවුන් සාකච්ඡා කොට ගෙවිය යුතු වන්දි මුදල සම්බ­න්ධ­යෙන් දේශ­පා­ලන තීන්දු­වක් ගත්තා විය හැකි යැයි සාක්ෂි­කරු පැවැ­සු­වේය.

එමෙන්ම බේරු­වල සිදු­වීම සිදු වූ අව­ස්ථාවේ තුවාල වූවන්ගේ වෛද්‍ය වාර්තා වන්දි ගෙවීමේ ක්‍රියා­ව­ලි­යේදී සැල­කි­ල්ලට ගැනීම අවශ්‍ය නොවන බව අමාත්‍ය මණ්ඩ­ලය විසින් තීර­ණය කළ බවත් ඔහු සඳ­හන් කළේය. කෙසේ නමුත් ඒ ආකා­ර­යෙන් මිය­ගිය අය සහ තුවාල වූවන් වෙනු­වෙන් වන්දි මුදල් ගෙවී­මේදී එකි­නෙ­කට වෙනස් ක්‍රම­වේ­ද­යන් අනු­ග­ම­නය කිරීම සාධා­රණ නොවන බවත් සාක්ෂි­කරු පැවැ­සු­වේය.

මර­ණය නම් කාට වුවත් පොදුවේ ඒ පිළි­බඳ සැල­කිය යුතුයි. සිය­ලුම දෙනාට සමාන වන්දි මුද­ලක් දිය යුතුයි. ඒ ඒ සිදු­වී­මට අනුව විවිධ දේශ­පා­ලන තීන්දු අනුව කට­යුතු නොකර සිය­ලුම දෙනාට එක සමා­නව වන්දි මුදල් දිය යුතුයි යැයි ඔහු කොමි­ෂන් සභාව හමුවේ පැවැ­සීය.

මේ අතර කොළඹ අග­ර­ද­ගුරු අති උතුම් මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පා­ණන් වෙනු­වෙන් පෙනී­සි­ටින ජනා­ධි­පති නීතිඥ ශමිල් පෙරේරා මහතා බදි­යු­දීන් මහ­තා­ගෙන් හරස් ප්‍රශ්න විම­සු­වේය.

ජනා­ධි­පති නීති­ඥ­ව­රයා – පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහා­ර­යෙන් තුවාල වූවන්ට එක් අය­කුට කොප­මණ වන්දි මුද­ලක් දෙන්නද තීර­ණය කළාද?

සාක්ෂි­කරු – එක් අයෙ­කුට උප­රි­මය ලක්ෂ පහක් දෙන්න ඇමැති මණ්ඩ­ලය තීර­ණය කළා. නමුත් වෛද්‍ය වාර්තා­වල අඩංගු කරුණු අනුව ලක්ෂ පහට අඩු වන්දි මුදල් දීම් සිදු­වුණා.

ජනා­ධි­පති නීති­ඥ­ව­රයා – නමුත් කටු­වා­පි­ටිය ශාන්ත සෙබ­ස්ති­යන් දේව­ස්ථා­නයේ සිදු වූ පිපි­රී­මෙන් තුවාල වූව­න්ගෙන් රුපි­යල් ලක්ෂ 5ක වන්දි­යක් දී තියෙන්නේ 32කට පම­ණක් බව ඔබ ඉදි­රි­පත් කළ ලේඛ­නය අනුව පෙනී යනවා.

එම දේව­ස්ථා­නයේ සිදු වූ බෝම්බ පිපි­රී­මෙන් පුද්ග­ල­යින් 280ක් පමණ දරුණු තුවාල ලැබුවා. ඉන් 32කට ලක්ෂ තුනක් ලබා දී තියෙ­නවා. 22කට රුපි­යල් 250,000ක් දී තියෙ­නවා. හය දෙන­කුට ලක්ෂ දෙකක් දී තියෙ­නවා. ඒ වගේම තුවාල ලැබූ­වන් 147ක් සඳහා දී තිබෙන්නේ රුපි­යල් 50,000ක් පම­ණයි, ජනා­ධි­පති නීතිඥ පෙරේරා මහතා සාක්ෂි­ක­රුට පෙන්වා දුන්නා.

එමෙන්ම කොච්චි­කඩේ ශාන්ත අන්තෝනි දේව­ස්ථා­නයේ සිදු වූ බෝම්බ පිපි­රී­මෙන් තුවාල ලැබූ පුද්ග­ල­යන් 102ක් අතු­රින් රුපි­යල් ලක්ෂ පහක වන්දි මුද­ලක් දී ඇත්තේ 13කට පම­ණක් බවත් ඔහු සාක්ෂි­ක­රුට පෙන්වා දුන්නේය. ඉන් තුවා­ල­ක­රු­වන් 40ක් සඳහා දී ඇත්තේ රුපි­යල් 50,000ක් පම­ණයි .

ජනා­ධි­පති නීති­ඥ­ව­රයා – සම­හර අයට බර­ප­තල ශල්‍ය­කර්ම කළා. මේ ලක්ෂ 5 ඇතිද ඒ මිනි­ස්සුන්ට?

සාක්ෂි­කරු- මදි නම් තමයි. ඒත් කැබි­නට් මණ්ඩ­ල­යනේ තීර­ණය කළේ. අපි කළේ ඒ තීර­ණය ක්‍රියා­ත්මක කිරීම පම­ණයි.

ජනා­ධි­පති නීති­ඥ­ව­රයා- ඔබ­තුමා දන්න­වාද මේ ශල්‍ය­කර්ම සඳහා සම්පූර්ණ විය­දම දැරුවේ කතෝ­ලික සභා­වෙන් කියලා?

සාක්ෂි­කරු – ඒක නම් මම දන්නේ නැහැ.

කොම­සා­රි­ස්ව­රිය – පාස්කු ප්‍රහා­ර­යට පෙර දිගන සහ බේරු­වල ප්‍රදේ­ශ­වල සිද්ධි­ව­ලදී එක් මර­ණ­ය­කට රුපි­යල් ලක්ෂ 20ක් ගෙවා තිබෙ­නවා. පාස්කු ප්‍රහා­ර­යේදී එක් මර­ණ­ය­කට ගෙවා ඇත්තේ රුපි­යල් ලක්ෂ 10යි. මොකක්ද මේ වෙන­ස්කම?

සාක්ෂි­කරු- මේවා අප නෙවෙයි තීර­ණය කළේ. දේශ­පා­ලන නාය­ක­යන් එක­තු­වෙලා කැබි­නට් පත්‍රිකා හදලා අපිට තීර­ණය එව­නවා. අපෙන් කිසිම අද­හ­සක් විම­සුවේ නැහැ. ඔය බේරු­වල, දිගන සිද්ධි­වෙ­ලාවේ හානි­පූ­ර්ණය විෂය භාර වුණේ ඩී. එම්. ස්වාමී­නා­දන් මහ­තාට. පාස්කු ප්‍රහා­රය වෙලා­වෙත් එතුමා. නමුත් ඒ කට­යුතු සියල්ල සිදු­වුණේ අග­මැති කාර්‍යා­ලය හරහා.

කොම­සා­රි­ස්ව­රයා- ඔය දිගන වගේ පාස්කු ප්‍රහා­රය වෙලාවේ වන්දි මුදල් වැඩි­ක­ර­ගන්න දේශ­පා­ල­ක­යන් කට­යුතු කළේ නැද්ද?

සාක්ෂි­කරු- ඒක තමයි මිනිස්සු අපෙන් අහ­නවා ඒ අයට වැඩි­යෙන් ගෙවලා අපිට අඩු­වෙන් ගෙව්වේ ඇයි කියලා. අපට ඒවට උත්තර නැහැ. දේශ­පා­ලන අධි­කා­රිය තමයි විවි­ධා­කාර අව­ස්ථා­වල විවිධ ගණන් තීර­ණය කළේ.

ජනා­ධි­පති නීති­ඥ­ව­රයා – ඔබ­තුමා පිළි­ග­න්න­වාද පාස්කු ප්‍රහා­ර­යේදි මිය­ගිය හා තුවාල වූ අයට දුන් මුදල ප්‍රමා­ණ­වත් නොවන බව?

සාක්ෂි­කරු – දිගන සහ බේරු­වල සිදු­වී­ම්ව­ලදී ගෙවපු මුදල් එක්ක බල­න­කොට මේක ප්‍රමා­ණ­වත් නැහැ කියල හිතෙ­නවා.

රජයේ අධි­නි­ති­ඥ­ව­රයා – පුන­රු­ත්ථා­ලන අධි­කා­රිය හානි පූර­ණය සඳහා වූ කාර්යා­ලය මගින් විමසා බැලු­වද කොයි­ත­රම් අලාභ හානි වී තිබෙ­න­වාද කියලා.

සාක්ෂි­කරු – සිද්ධි­යක් වුණාම දෙපා­ර්ත­මේ­න්තු­වෙන් කණ්ඩා­ය­මක් යනවා. ප්‍රදේ­ශිය ලේකම් හමුවී පොලි­සිය හමු වී වන්දි ගෙවීම සඳහා ඒ අයට සහාය වෙනවා. 87 සිට 2019 දක්වා ගෙවීම් වාර්තා අප සතුව තිබෙ­නවා. ප්‍රදේ­ශයේ ප්‍රාදේ­ශිය ලේක­ම්ව­රයා හර­හායි ගෙවීම සිදු කරනු ලබන්නේ. 87 පනත 2018 පන­තට වඩා යම් වැඩි සේව­යක් කිරි­මට හැකි බවයි කිව හැක්කේ. 2018 සංශෝ­ධ­නය ප්‍රකා­රව මීට මාස පහ­කට පමණ පෙර ප්‍රති­පත්ති සකස් කර භාර දී තිබෙ­නවා. මේ වන­තෙක් එය අනු­මත වී නැහැ.

මෙහිදි කාදි­නල් හිමියන් වෙනු­වෙන් පෙනි සිටි ජනා­ධි­පති නීතිඥ ශමිල් පෙරේරා මහ­තාද සාක්ෂි­ක­රු­ගෙන් ප්‍රශ්න විමසූ අතර එහිදි පාස්කු ප්‍රහා­ර­යෙන් මිය ගිය හා තුවාල ලැබූ පුද්ග­ල­යන්ට ගෙවූ වන්දි මුද­ල්ව­ලට වඩා දිගන සහ බේරු­වල සිද්ධි­යේදී වැඩි වන්දි මුදල් ගෙවා ඇති බව අනා­ව­ර­ණය වූ අතර එය නිවැ­රදි නොවන බව සාක්ෂි­කරු කොමි­සම හමුවේ පිළි­ග­ත්තේය.

-දිනමිණ-

Related posts

“සංඝානුභාවේන – සංගායනාවට කාලයයි” ජාතියේ මහා චීවර පුජාව මහා විහාරයේ ආශිර්වාදයෙන් ජුනි 30 සෙනසුරාදා

colombotoday

ත්‍රීමලේ තෝපූර් පුරාවිද්‍යා බිම මුස්ලිම් උරුමයක්ලු.. මායිම් කණු ගලවා විසිකර, නිලධාරීන්ට තර්ජණය කර පන්නා දමයි

colombotoday

දැන් ඇති හොඳම විකල්පය බැසිල් පාර්ශවය ශක්තිමත් කිරීමයි – නිර්මාල්

colombotoday

පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය කුගදාසන් ට

Admin

මැකො. සභාපති ඉවත් වෙයි… අස්වීමේ ලිපිය ජනපතිට යවයි !

colombotoday

කෙරවලපිටිය LNG බලාගාරයේ ඉදිකිරීම් ලබන සතියේ

colombotoday