Colombo Today Local NewsPoliticsTop Stories

කටට රසට කෑම සමග මාලිමා ආණ්ඩුවෙන් තණකොළ – නවලිබරල්වාදය ලෙෆ්ට්!

ගවයන් සඳහා අවශ්‍ය වන තණකොළ සහන මිලට අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් ආරම්භ කොට තිබෙන බවට අද උදෑසන සියළුම ජාතික මාධ්‍ය පාහේ වාර්තා කොට තිබිණි.

ඒ අනුව ගව පාලනයේ නිරත වන ගොවීන්ට කිලෝවක් රුපියල් පහළොවක් බැගින් අලෙවි කිරීමට නියමිත මෙම තණකොල විශේෂය පිළිබඳ සොයා බැලීමේදී වාර්තා වූයේ, මෙසේ අලෙවි කරනු ලබන්නේ සෝගම් (Sorghum) නැමැති තණකොළ විශේෂයක් වන බවයි. ගව පාලනයේ නියුතු ගොවීන් අතර විශාල ඉල්ලුමක් පවතින බවට පැවසෙන මෙම තණකොළ විශේෂය අප‍්‍රිකාව නිජ බිම කර ගත් තෘණ විශේෂයක් වන අතර වියළි හා අර්ධ ශුෂ්ක කලාප වල ඉතා හොඳින් වැවෙන බවත් ආන්තික ඉඩම් සඳහා ද වඩාත් සුදුසු භෝගයක් වන බවත් සඳහන් වේ.

ඉදල් ඉරිඟු ලෙසද හැඳින්වෙන මෙම භෝගය මිනිස් ආහාරයක්, සත්ත්ව ආහාරයක් ලෙස මෙන්ම ජීව ඉන්ධන නිපදවා ගැනීම සඳහා ද වර්තමානයේ බහුලව භාවිතා කරයි. 1930 පමණ මෙරට හේන් ගොවිතැනට හඳුන්වා දුන් ඉදල් ඉරිඟු පාරම්පරික භෝගයකි. ඉදල් ඉරිඟු වල පෝෂණීය වටිනාකම සැලකීමේදී එහි අධිකව ප‍්‍රති ඔක්සිකාරක අඩංගු වන බැවින් පිළිකා වැනි බෝ නොවන රෝග අවදානම අඩුකර ගැනීමට වැදගත් වන බවත් රොටී, පිට්ටු වැනි ආහාර සකසා ගැනීමට හා කැඳ ලෙසද භාවිතා කල හැකි බවත් මේ පිළිබඳ කරුණු සොයා යාමේදී අපට අනාවරණය විය.

මෙම තණ විශේෂය නිෂ්පාදනය කිරීමේදී රුපියල් 11ක පිරිවැයක් වැය වන බව පවසන ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මේවා ඔවුන්ට අයත් ගොවිපළවල් කිහිපයක වගා කෙරෙමින් ඇති බවද කියා සිටී.

වැඩේ හොඳයි! පට්ටයි!!! හැබැයි!!!!

කිරා මැන බැලිය යුතු වැදගත්ම කාරණා වන්නේ රජයේ ආයතන හරහා ක්‍රියාත්මක කරනු ලබන මෙවැනි ව්‍යාපෘතීන් කොතරම් කාලයක් පවතීද? එමගින් අදාල වෙළෙඳපොල අවශ්‍යතාව කොතරම් දුරට සපිරේද? සහ මෙබඳු ක්‍රියාකාරකම් උදෙසා රජය දරන පිරිවැයවත් යටත් පිරිසෙයින් ආවරණය කරගත හැකිවේද යනාදී දෑ බව ලියුම්කරුගේ අදහසයි.

මක්නිසාද යත් අතීත සියලු රජයන් විසින් ආරම්භ කරන ලද මෙවැනි විවිධ සන්දර්ශනාත්මක ව්‍යාපාරයන් අවසානයේ නතර වූයේ සුදු අලින් සහ පුස් වෙඩිලි බවට පරිවර්තනය වීමෙන් පසුව බැවිණි.

අනෙක් අතට, කිරි හා මස් ආශ්‍රිත සත්ත්ව ආහාර නිශ්පාදන කර්මාන්තය මුළුමනින්ම කඩා වැටී ඇති මොහොතක මෙවැනි සිල්ලර ව්‍යාපාරයන් උත්කර්ශයට නැගීමට එහා ගිය සුවිශාල කාර්යභාරයක් රජය විසින් ඉටු කළ යුතු සමයකට අප එළඹ තිබේ. මන්ද යත්, අප රටේ ආහාර සුරක්ෂිතතාව නම් කාරණය මේ වනවිට පවතින්නේ විශාල වශයෙන් තර්ජනයට ලක්වී ඇති ඉතාමත් අනතුරුදායක තත්වයක බැවිණි.

අඩු මිලට හොඳම කෑම බෙදන රජයේ ආපනශාලා

ඉකුත් දිනෙක ජාතික මාධ්‍ය විසින් උත්කර්ශයට නැගුණු තවත් පුවතකි මේ. එම පුවත ප්‍රකාරව ජනතාවට ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාර වේලක් සාධාරණ මිලට ලබාගැනීමේ අවස්ථාව සලසාදීම සඳහා දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම්කර තිබේ. ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය එක්වී දැනට ආපනශාලා පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ගේද සහාය ලබාගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එහි පළමු ආදර්ශ ආපන ශාලාව එළඹෙන අප්‍රේල් 01 වනදා නාරාහේන්පිටදී විවෘත කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙය එක්තරා අතකට සාධනීය වැඩපිළිවෙලක් ලෙස හැඳින්වීමට යම් හැකියාවක් තිබෙන අතර, මාලිමාවට ඡන්දය ලබා දුන් උග්‍ර මාලිමාවාදීන්ගේ ස්යංවින්දනයට සහ “මාලිමාලම්භන ප්‍රීතිය” ට බඳුන් වන ක්‍රියාකාරකමක් ලෙස හඳුන්වා දීම වඩාත් නිවැරදි යැයි සිතමි. එහෙත්, මෙහි එන විසුළු සහගත කොටස වන්නේ මෙසේ අඩුමිලට කෑම ලබා දීමට ආණ්ඩුව හාල් සහ පොල් සපයාගන්නේ කොහෙන්ද යන කාරණයයි.

මෙහි එන “හාල් සහ පොල්” යෙදුම සමස්ත ගැටළුව සාරාංශගත කෙරෙන ව්‍යංගාර්ථයක් බව කරුණාවෙන් සලකන්න.

රටේ ජනතාවට බඩ කට පුරවා ගැනීමට අවශ්‍ය මූලික පාරිභෝගික ද්‍රව්‍ය පවා නිසි ප්‍රමිතියකින්, සාධාරණ මිලක් යටතේ සපයා දීමට වත්මන් ආණ්ඩුව අපොහොසත්ව තිබෙන බව මෙහිලා මතක් කරනු කැමැත්තෙමි. ඉතින්, එකී ප්‍රශ්න විසඳාලීම පසෙකලා සිදුකරන්නට නියමිත මෙබඳු ක්‍රියාකාරකම් සමස්ත සමාජයටම කරනු ලබන විහිළුවක් පමණක් බව අපගේ අදහසයි.

මෙසේ ආහාර අලෙවිය සඳහා අමුද්‍රව්‍ය රජය විසින් සපයා ගන්නේ කෙසේද? හාල්, පොල්, තුනපහ ආදී සියළු දේ රජයේ මැදිහත්වීමෙන් නිපදවනවාද? රජය විසින් සෘජුවම ආනයනය කෙරෙනවාද? යන කරුණ මූලිකව විමසා බැලිය යුතුය. එසේම, සිදුවන්නේ මෙයින් කවරක් වුවත් ඒ ඕනෑම ක්‍රියාවලියකදී රාජ්‍ය අංශය තුළ ඔඩුදුවා තිබෙන දූෂණය නොවැලැක්විය හැකි වනු ඇතැයිද අපි සැක පළ කරමු.

එසේම මෙවැනි ව්‍යාපෘති හරහා ආවරණය කළ හැක්කේ අදාල කර්මාන්තය කෙරෙහි වන රටේ සමස්ත ඉල්ලුමෙන් කොතරම් ප්‍රතිශතයක්ද යන කාරණයද විමසා බැලිය යුතුය. උදාහරණයක් ලෙස සරලව ගතහොත්,

කොටුවේ දුම්රියපොළ තුළ රජයේ ආපනශාලාවක් ආරම්භ කළා යැයි සිතමු. උදෑසන කාලය තුළ රැකියා සඳහා යන ජනතාව කොපමණ සංඛ්‍යාවක් මෙම ස්ථානය හරහා යන්නේද? ඔවුන්ගෙන් කී දෙනෙක් ආහාර පාර්සලයක් ලබාගැනීම සඳහා ආපන ශාලාවට පැමිණෙයිද සහ ඇති විය හැකි විශාල ඉල්ලුමෙන් කොපමණ ප්‍රතිශතයක් මෙම ව්‍යාපෘතිය හරහා සපුරාලිය හැකිද යන කරුණ විමසා බැලිය යුතුමය. එසේ බලන කල පෙනී යන්නේ මෙයද රජය උත්කර්ශයට නගන ආකාරයේ “ජනතාවට ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාරවේලක් සාධාරණ මිලට ලබා දීමේ” මහා ජාතික වැඩපිළිවෙලින් ගැලවී තවත් එක් ක්ෂුද්‍ර ව්‍යාපාරයක් පමණක් බවට හැකිලී යන බව නොවේද?

ජනතාවට ගුණාත්මක ආහාර ලබාදීමට නම් රජයක් විසින් කළ යුතු බොහෝ ප්‍රතිසංස්කරණ තිබේ. ලැයිස්තුගත කළහොත් ගණනින් සුවිශාල අගයක් ගන්නා එම ප්‍රතිසංස්කරණ වලින් කිහිපයකටවත් අත තැබීමටවත් තවමත් මාලිමා රජය සමත් වී නැත.

යම්හෙයකින්, මෙම ව්‍යාපෘතිය සාර්ථක වී රට පුරා දැවැන්ත ලෙස රජයේ ආපනශාලා ජාලයක් ගොඩනැගී දැවැන්ත ඉල්ලුමක් සහ එම ඉල්ලුම සැපයිය හැකි දැවැන්ත සැපයුම් ජාලයක්ද ගොඩනැගුණේ යැයි අපි උපකල්පනය කරමු. එවැනි වාතාවරණයකදී කඩාවැටීමට ඉඩ තිබෙන පුද්ගලික ව්‍යාපාර සහ එමගින් බිඳවැටෙන සමස්ත වෙළෙඳපොල පිළිබඳ වගකීම භාරගන්නේ කවුරුන්ද? (මුදලාලිකරණය වූ පද්ධතියක ඉහළ ව්‍යාපාරික පෙලැන්තියක් මගින් පාලනය වන රටක මෙය කිසිදා සිදු නොවන බවත්, උපකල්පනයක් බවත් කරුණාවෙන් සලකන්න)

අනෙක් අතට, පැරණි ආර්ථික ක්‍රම බිඳ දමමින් ගොඩනැගුණු නව ලිබරල් ආර්ථික ක්‍රමයද අභාවයට යමින් තිබෙන යුගයක පැරණි සෝවියට් පන්නයේ ආර්ථික ක්‍රියාකාරකම් වෙත යොමු වෙමින් රජය කරන්නට සැරසෙන්නේ කුමක්ද යන කාරණය මෙහිලා ප්‍රශ්නගත කරුණක් වෙයි. අයිලයේ සියලු දෙනා එකතු වී ගිනි මැලයක් ගසාගෙන, විශාල බතක් උයා එකට එකතු වී කන ගමන් පැරණි ජනකතා කියූ ඉතිහාසයක සේයාවන් පෙන්වන සමූහාණ්ඩු මොඩලයේ සිඟිති ආතල් එකක් මෙවැනි ක්‍රියාකාරකම් හරහා ඉස්මතු වී පෙනෙයි. වෙළෙඳපොල නිදහස් කිරීම, නිසි නියාමනය සහ නිශ්පාදන කාර්යය සඳහා උපරිම සහයෝගය දැක්වීම යන කරුණු විනා මෙවැනි ගැලරියට ආතල් දෙන සිල්ලර ව්‍යායාම වලින් රටේ සමස්ත අර්බුදය විසඳිය නොහැකි බව එහෙයින් අපි නැවත නැවතද මතක් කොට සිටිමු.

මේ සියළු කාරණා අතරේ උත්සව සමයේ, සහල් මිල ඉහළ යන ලකුණු පළ වී ඇති අතර බිත්තර සහ කුකුළු මස් නිශ්පාදනය සම්බන්ධයෙන්ද තීරණාත්මක ගැටළු කිහිපයක් මතුව තිබේ. ඒ සම්බන්ධයෙන් අපගේ යූටියුබ් නාලිකාවේ පළ වූ වීඩියෝ දෙකක් පහතින් අමුණා ඇත. ඔබේ දැනුම සඳහා ඒවාද පරිශීලනය කරන ලෙස ආරාධනා කොට සිටිමු.

සටහන – Chalana

Related posts

හෙළ උරුමය සර්වාගමික වෙයි.. පුංචි ඡන්දෙට දෙමළ, මුස්ලිම් අපේක්ෂකයන් !

colombotoday

රිෂාඩ් බදියුදීන්ට එරෙහි පැමිණිලි විමර්ෂණය කිරීම ඇරඹේ

colombotoday

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල මේ මාසයේදී…

Admin

වගා හානි වලට දෙන්න පුලුවන් උපරිම ගාන 40000යි

Admin

පානදුර මෝදර විල සුනාමි නිවාස සංකීර්ණය හුදකලා කරයි

colombotoday

ගොවීන් වෙනුවෙන් භුමිතෙල් බවුසර් 87ක් නිකුත් කෙරේ..

Admin