මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ද්විමාධ්‍ය සඳහා දරුවන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය තුළ සිදුවූ බරපතල අසාධාරණයක් පිළිබඳ Colombo Today අප වෙත වාර්තා විය.
අධ්‍යාපනය යනු රටක අනාගතය තීන්දු කරන වඩාත්ම තීරණාත්මක සාධකය බැව් නිදහස් මාධ්‍යකරුවන් වශයෙන් දැඩිව විශ්වාස කරන නිසාම, මෙම කරුණ පිළිබඳ සොයා බලා රට හමුවේ වාර්තා කිරීම අපගේ වගකීමක් බව අපි සිතුවෙමු.
අපගේ සොයා බැලීම් වලදී අනාවරණය වූ පරිදි, උක්ත පාසලෙහි ද්විමාධ්‍ය පන්ති සඳහා දරුවන් ඇතුළත් කිරීමේ විභාගය 2024 ජනවාරි මාසයේ පවත්වා තිබෙන අතර එහි ප්‍රතිඵල වලට අනුව, ඉකුත් වසරේ පාසලේ 05 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දරුවන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය පන්ති වශයෙන් වෙන්කොට ඇත.
එසේ තිබියදී, සම්මත ක්‍රියාවලිය උල්ලංඝනය කරමින්, 2025 මාර්තු 27 වනදා ශිෂ්‍යත්ව සාමාර්ථය ලබා මෙම පාසලට ඇතුළත් වූ දරුවන් සඳහා නැවත විභාගයක් පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇති බවට දෙමාපියන් පවසන අතර, චක්‍රලේඛයට අනුව එකම වර්ෂයකදී 06 ශ්‍රේණියට ද්විමාධ්‍ය දරුවන් තෝරා ගැනීම සඳහා විභාග දෙකක් පැවැත්විය නොහැකි බව පැවසෙයි. එහෙත්, පාසලේ විදුහල්පතිවරිය මෙම නීති උල්ලංඝනය කරමින්, විභාගයක් පවත්වන බවට ප්‍රකාශ කර ඇත.
මේ සම්බන්ධයෙන් අගතියට පත් වන දරුවන්ගේ දෙමාපියන් විසින් මෙම ගැටළුව කලාප අධ්‍යාපන කාර්යාලයට යොමු කළද, එය විසඳීමට තවමත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර, විභාග ප්‍රශ්න පත්‍ර සූදානම් කරන ගුරුවරුන් විසින් අමතර පන්ති පවත්වා, එම පන්තිවලට සහභාගි වූ සියලුම ශිෂ්‍යාවන් ඉංග්‍රීසි මාධ්‍ය පන්ති සඳහා යොමු කර ගැනීමට කටයුතු කර ඇති බවද වාර්තා වෙයි.
එසේම, පන්ති සඳහා සහභාගි වූ සහ පාසලට අලුතින් ඇතුළත් වීමට නියමිත ශිෂ්‍යාවන්ගෙන් මුදල් අයකර ඇති බවටද රාවයක් පවතී.
උක්ත විවාදිත කරුණ පිටුපස තවත් කුමනාකාර බලපෑම් ඇතිද, කුමනාකාර පුද්ගලයින් සිටීද යන කරුණුද වැඩිදුර සොයාබැලිය යුතු බවට අප අවධාරණය කර සිටිමු.
එසේම, මේ සම්බන්ධයෙන් මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය, මධ්‍යම පළාත් අධ්‍යාපන කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යංශය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය වෙතද ලිඛිතව පැමිණිලි යොමු කර ඇතත්, තවමත් කිසිදු නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට අගතියට පත් දරුවන්ගේ දෙමාපියන් පැමිණිලි කොට සිටී.