Colombo Today Local News

අරන්තලාව භික්ෂු ඝාතනය ගැන විධිමත් විමර්ශනයක්. නීතිපති අධිකරණයට දන්වයි. – කරුණට සහ පිල්ලයාන්ටත් චෝදනා

එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සිදුකළ අරන්තලාව භික්ෂු ඝාතනය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි, නීතිපතිවරයා අද (03) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යේෂ්ඨ අධිනීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය සඳහන් කළේ, එම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා ජීවිතය ගලවා ගත් භික්ෂුන් වහන්සේගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි.

විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරි නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව, රජයේ ජ්‍යේෂ්ඨ අධිනීතිඥවරිය ප්‍රියන්ත ජයවර්ධන , අචල වෙංගප්පුලි සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නා ය.

ඒ, එම ත්‍රස්තවාදි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා ජීවිතය ගලවා ගත් රිදිමාලියද්ද දහම් සෙවන ආරණවාසී ඇඳා උල්පත බුද්ධසාර හිමියන් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (03) කැඳ වූ අවස්ථාවේදී ය.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් විසින් 1987 ජුලි 02 වැනිදා සිදුකළ එම ද්විත්ව ඝාතනයට සම්බන්ධ මේ වන විට ජීවත්ව සිටින ත්‍රස්තවාදින්ට එරෙහිව වහාම නීතිමය පියවර ගන්නා ලෙසට පොලිස්පතිවරයාට නියෝගයක් කරන්නැයි, බුද්ධසාර හිමියන් පෙත්සමෙන් ඉල්ලා තිබේ.

එම අමානුෂික ප්‍රහාරයෙන් භික්ෂුන් වහන්සේ 31 නමක් හා සිවිල් පුරවැසියන් තිදෙනෙකු ඝාතනය වූ බවත් , තමන් වහන්සේ ඇතුළු තවත් භික්ෂුන් වහන්සේලා කිහිප නමක් බරපතළ තුවාල ලැබූ බවත් පෙන්වාදී තිබූ පෙත්සම්කාර හිමියන් තමාට සිදුව හානියට වන්දියක් ලෙස රුපියල් කෝටි 02 ක මුදලක් ගෙවීමට රජයට නියෝගයක් කරන්නැයි ද ඉල්ලා තිබේ.

එම ඝාතනවලට මුල් වූ එල්.ටී.ටී,ඊ. සංවිධානයේ ප්‍රධාන නායකයින් කිහිපදෙනෙකු සටන් ක්‍රියාමාර්ග අත්හැර මේ වන විට දේශපාලනයට පිවිස ඇති බවත් විනයාග මුර්ති මුරලිදරන් හෙවත් කරුණාඅම්මාන් , සිවනෙතතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් ඒ අතරින් කිහිප දෙනෙකු වන බව ද පෙත්සම්කාර හිමියන් ගොනු කළ පෙත්සමේ වැඩිදුරටත් සඳහන් ය.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ , පොලිස්පතිවරයා , ජාතික බුද්ධි සේවා අධ්‍යක්ෂ මේජර් සුරේෂ් සලෙයි හා නීතිපතිවරයායි.

පෙත්සම ලබන ඔත්තොම්බර් 12 වැනිදා යළි කැඳවීමට විනිසුරු මඩුල්ල නියෝග කළේ ය.

Related posts

නායකතුමා ෆොන්සේකව තියන් ඉන්නෙ මහින්දලාට බුරන්න, උසී කිවම බුරනවා – ෆොන්සේකා-තෙවරප්පෙරුම ගැටුම දරුණුවටම ඇවිළෙයි…

colombotoday

ඩයනාගේ රාජ්‍ය තාන්ත්‍රික පාස්පෝට් එක ගැන විමර්ශනයක් ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Admin

නව කොරෝනා පොකුරු තවත් විශාල වීමේ ඉහළ අවදානමක් ඇති නිසා ඉදිරි පැය 24 ඉතාම තීරණාත්මකයි

colombotoday

“රෝ සංවිධානය”ට එල්ලවූ ජනාධිපති ඝාතන චෝදනා පුවත වෙනුවෙන් පෙනී සිටිනවා. “ද හින්දු” පුවත්පතේ සභාපති කියයි

colombotoday

ගෝඨාභය රජයේ වැරදි ආර්ථික කළමනාකරණ තීන්දු ගැන විගණනයක් ඇරඹේ..

colombotoday

ආණ්ඩුවට විරෝධය පා භික්ෂූන් වහන්සේලා 1000 නමක් කොළඹට !

colombotoday