Colombo Today Local News

2019 ජනාධිපති අපේක්ෂකයා මගේ සහෝදරයා විය හැකියි – හිටපු ජනපති මහින්ද පවසයි

රජෙව් ගාන්ධි ඝාතකයන් නිදහස් කිරීමට ගත් තීරණය ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවලට අදාළ සිදුවීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඉන්දියාවේ සංචාරයක නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ” ද හින්දු ” පුවත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

එය ශ්‍රී ලංකාවේ සිදු වූවා නම් ගන්නේ වෙනස් තීන්දුවක් බවත් නමුත් මෙය ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවලට අදාල දෙයක් බැවින් ඒ සම්බන්ධයෙන් තමාට කිසිඳු මතයක් නොමැති බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාව සහ ඉදිරි ගමන සම්බන්ධයෙන් දේශනයක් පැවැත්වීම සඳහා ඉන්දියාවට ගොස් තිබේ.

තම පක්ෂය 2019 වසරේදී බලයට ඒම සම්බන්ධයෙන් සියයට සියයක විශ්වාසයක් ඇති බවත් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ගැටළු විසඳීමට හා විශේෂයෙන් ආර්ථික ගැටළු විසඳීමට නව යාන්ත්‍රනයක් ඉදිරිපත් කරන බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මෙම යාන්ත්‍රනය 2008 – 2009 යුද්ධය පැවති කාලවකවානුව තුළ ශ්‍රී ලංකාවේ බලධාරීන් තිදෙනෙකු හා ඉන්දියාවේ බලධාරීන් තිදෙනෙකු එක්ව නිර්මාණය කළ ට්‍රොයිකා නැමති යාන්ත්‍රණයට සමාන බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ට්‍රොයිකා නැමති යාන්ත්‍රණය සැකසීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා, හිටපු ආමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන් හා ඉන්දියාවේ රාජ්‍ය ආරක්ෂක උපදේශක, විදේශ අමාත්‍යවරයා හා ආරක්ෂක ලේකම්වරයා සහභාගී වී තිබේ.

චීන ව්‍යාපාර ලංකාවට ගෙනැවිත් ශ්‍රී ලංකාව ණය උගුලක හිර කිරීම සම්බන්ධයෙන් තමාට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් වත්මන් ආණ්ඩුව විසින් එය අවුල් සහගත තත්ත්වයකට පත් කර ඇති බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

2015 පැවති ජනාධිපතිවරණයට පෙර සහ පසු ඉන්දියාව සහ තමා අතර විවිධ අනවබෝධතා පැවති බවත් ඒවා දුරු කරගනීම මෙම සංචාරයේ එක් අරමුණක් බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

2019 වසරේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සඳහා නායකත්වය ලබා දෙන්නේ තමා බවත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණයට තරඟ කළ හැකි බවත් ඒ සඳහා අධිකරණය හමුවේ කරුණු දැක්වීමට සූදානම් බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

නමුත් එම අවධානම ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නොමැති බවත් සියලු දෙනා පිළිගන්නා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම අනෙක් විකල්පය බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමේ අවම වයස් සීමාව 30 සිට 35 දක්වා වැඩි කිරීම මත තම පුතු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට 2019 ජනාධිපතිවරණ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමේ හැකියාවක් නොමැති බවත් නමුත් තමාගේ සහෝදරයා හට ජනාධිපතිරණය සඳහා ඉදිරිපත්වීමේ අනිවාර්ය හැකියාවක් පවතින බව හිටපු ජනාධිපතිවරයා පැවසීය.

නමුත් පක්ෂය සහ ජනතාවට අවශ්‍ය පුද්ගලයා ජනාධිපති අපේක්ෂකයා වශයෙන් තෝරාගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

පොහොර ආනයන තහනම බල රහිත කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

පාසල් පෙළ පොත් ලබාදීම අද සිට

Admin

ජනතාවට බෙදූ ඉඩමකින් අක්කර 72ක් විශේෂ ගැසට් පත්‍රයකින් අගමැතිගේ ඤාතියෙකුට…

colombotoday

විදුලි බල සහ බලශක්ති ඇමති කටාර් කම්කරු ඇමති හමු වෙයි

colombotoday

විසර්ජන පනත් කෙටුමිපතට මුදල් කාරක සභාවේ අනුමැතිය

colombotoday

“රට බෙදීමට, ෆෙඩරල් යෝජනාවට අපි විරුද්ධයි” අලුත් දෙමළ පෙරමුණේ මතය සංගරි හෙළි කරයි

colombotoday