විල්පත්තුව යනු ලංකාවේ පිහිටා තිබෙන සංඛ්‍යාත්මකව ඉහළ ෙජෙවවිවිධත්වයක් වාර්තා වන විශාලතම ජාතික වනෝද්‍යානයයි. එය වන පද්ධති කිහිපයක එකතුවකි. වනපෙතේ වෙසෙන වැලිකටුස්සන්ගේ සිට ගොඩබිම වෙසෙන දැවැන්තම සත්ත්වයා වන අලි ඇතුන් දක්වා සියලු සතුන් විසිරී සිටින්නේ මෙම වන පද්ධතිය සිය වාසස්ථානය කර ගනිමිනි. මෙහි උතුරු පෙදෙසේ අක්කර 3000කට වැඩි ප්‍රමාණයක් පසුගිය රජය සමයේ ඊනියා අවසර පත්‍රයක් පෙන්වමින් එක්තරා අමාත්‍යවරයකුගේ ගෝලබාලයන් වැනසූ ආකාරය රටට රහසක් නොbaවේ.
යහපාලන රජය පත්වීමෙන් පසු මෙම වන විනාශය නතරවීමක් සිදුවේ යැයි බොහෝ දෙනා සිතූහ. එපමණක්ද නොව අහස පොළොව නුහුලන මේ මහා විනාශය සිදුකළ පාර්ශ්වවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇතැයිද ඇතැම් පරිසරවේදීහු පවා විශ්වාස කළහ. එහෙත් ඒ දෙකම සිදුවූයේ නැත. ඒ වෙනුවට තවදුරටත් අදාළ නොඉඳුල් වනපෙත හායනය වීම සිදුවිය. වනපෙත වැනසූ අඳුරු හස්තයට යහපාලන කැබිනෙට්ටුවේ අසුනක්ද හිමි විය. පෙර රජයේද එම හස්තය අසුන්ගෙන සිටියේ කැබිනෙට්ටුවේය.
යහපාලන රජය පත්වීමෙන් පසුව උද්ගතව තිබෙන තත්ත්වය පිළිබඳව බොහෝ දෙනා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද දැනුවත් කළහ. සිදුවී තිබෙන සමස්ත වන විනාශය පිළිබඳව විද්වත් මණ්ඩලයකින් පිටු 50කින් යුතු සවිස්තර වාර්තාවක් සම්පාදනය කරනු ලැබිය. මෙම ලියුම්කරුද එම මණ්ඩලයේ සිටියේය. එම වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දෙන ලදී. කෙසේ වෙතත් ව්‍යාජ තොරතුරු පෙන්වමින් මරිච්චිකඩ්ඩි කරඩික්කුඩි යන රක්ෂිතය වැනසීම දිගටම සිදුවිය.
මෙම වනාන්තර විනාශය සිදුවෙද්දී ජනතා මුදලින් පඩි ලබන පරිසර අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් හා මධ්‍යම පරිසර අධිකාරියේ ඉහළ නිලධාරීන් මුනිවත රැක්කා මිස නීතිය ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් නොවීම කනගාටුවට කරුණකි. මේ සිදුවන මහා පරිමාණ නීතිවිරෝධී වන විනාශයට ප්‍රදේශයේ ඉහළ රාජ්‍ය සේවකයන්ගේද සහාය සෘජුවම ලැබිණි. විනාශය පහසුවෙන් කර ගැනීමට මේ සියලු දේ ඉවහල් වූ බව කිව යුතුය.
පරිසර සංරක්ෂණවේදීන්ගේ විරෝධතා අභිමුව තරමක් දුරට මෙම වන විනාශය පසුගිය මාස කිහිපයේ යටපත් වී තිබුණද එය ගෙවී ගිය සතිය මැද වනවිට නැවතත් කරළියේ මාතෘකාවක් බවට පත්වූයේය. මේ තක්කඩි දේශපාලන සෙවණැල්ල සහ ඔහුගේ බත්බැලයන් තවත් වනාන්තර ඉඩම් අක්කර 600 ක වනය වැනසීමට කටයුතු ආරම්භ කිරීමත් සමගිනි. මෙම වනාන්තර විනාශයට එරෙහිව කටයුතු කිරීමට ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කටයුතු කළද අදාළ දේශපාලන හස්තයේ මැදිහත්වීම හේතුවෙන් පොලිසියට පසුබැස යාමට සිදුවිය. මෙවර මෙම වන විනාශය සිදුවන්නේ 34 වැනි සැතපුම් කණුව ආසන්න ප්‍රදේශයේය. එම ප්‍රදේශය අලි ඇතුන් කොටි වලසුන් ගහන ප්‍රදේශයකි. ගංගාධාර වනාන්තර, වියළි ශුෂ්ක වනාන්තර, වියළි සදාහරිත වනාන්තර, වියළි තෘණ භූමි, ජල ගැලුම් නිම්න, වගුරු බිම්, සජීවී වැව් පද්ධති, විල්ලු හා ලවණ වගුරු වැනි විවිධ වන පද්ධතීන් මේ වැනසෙන බිම් කඩ තුළ හඳුනාගෙන තිබේ. එලෙසම කුල 118කට අයත් ශාක විශේෂ 605ක් පමණ මෙහි වාර්තා වේ. ඒ අතරින් විශේෂ 33ක් ලංකාවට ආවේණිකය. කළුවර, බුරුත, පළු වීර වැනි වාණිජමය වටිනාකමක් සහිත ශාක සේම ඇටබ, ගල්වීර, හීන් කෙන්ද වැනි ආවේණික ශාකද මේ ප්‍රදේශයේ බහුල ලෙස වාර්තා වේ. කෝවක්කා, හීන් තොලඹු, ගොඩමාන, මස්බැද්ද, මුඩුබිල්නුග වැනි ඖෂධීය වටිනාකමක් ඇති ශාක විශේෂද ඒ අතර කැපී පෙනේ. මාදං, කෝන්, සියඹලා, කිරිකෝං හා මහා එරමිණියා වැනි වනජ පලතුරු විශේෂද මෙහි බහුලව ඇත. දැන් වැනසෙමින් තිබෙන්නේ එවැනි මිල කළ නොහැකි වන භූමියකි. එලෙසම මෙය ජල පෝෂක ප්‍රදේශයකි. ලෝකයක් මවිත කළ විල්ලු පරිසර පද්ධතිවලට සේම මල්වතුඔය, කලාඔය වැනි ගංගා පද්ධතියකටම මෙම පරිසරයෙන් ලැබෙන පිටුවහල සුළුපටු නැත. මිරිදිය මත්ස්‍යයින් විශේෂ 30ක් මෙහි වාර්තා වෙයි. උභය ජීවීන් විශේෂ 17ක් දැනට මෙහි හඳුනාගෙන ඇත. උරගයින් 57ක් මෙහි දැකගත හැකිය. පක්ෂි විශේෂ 149ක් ද ක්ෂීරපායී විශේෂ 41ක්ද සමනල විශේෂ 86ක්ද දැනට මෙම භූමිය තුළ හඳුනාගෙන තිබේ. එවැනි භූමියක් මෙයාකාරයට වැනසීම සේම එයට මුනිවත රැකීමද බරපතළ වරදකි.
මෙම වන විනාශය දැනගත් සැණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භික්ෂු බල මණ්ඩලයේ ලේකම් පාහියන්ගල ආනන්දසාගර හිමි, වනසත්ත්ව හා ස්වභාව ආරක්ෂණ සංගමයේ සභාපති රුක්ෂන් ජයවර්ධන, ප්‍රවීණ නීතිඥ ජගත් ගුණවර්ධන, ඇතුළු පිරිසක් පරිසර අමාත්‍යංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න හා වන සංරක්ෂණ ජනරාල් අනුර සතුරුසිංහ යන මහත්වරුන් හමුවූහ. එම හමුවට මෙම ලියුම්කරුද එක්ව සිටියේය.
එහිදී ලේකම්වරයා ඇතුළු ඉහළ රාජ්‍ය නිලධාරීන්ගෙන් සුහද පිළිගැනීමක් ලැබුණද අදාළ ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රශස්ත මැදිහත්වීමක් ගම්‍ය වූයේ නැත. එය කනගාටුවට කරුණකි. දැනගන්නට තිබෙන ආකාරයට අදාළ දේශපාලකයාගේ බත්බැලයන් පොලිසියට ඉදිරිපත් කර ඇති ව්‍යාජ ලිපිය 2013 වර්ෂයේ වංචනිකව ලබාගත් බල රහිත ලියැවිල්ලකි. එහෙත් ඔහුගේ දේශපාලන බලඅධිකාරිය හමුවේ රටේ පොදු නීතිය වියැකෙමින් තිබෙන බව පෙනෙන්නට ඇත.
ඉහත සාකච්ඡාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශයක් උපුටා දක්වමින් පරිසර අමාත්‍යංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා කරුණු දක්වන්නට විය.
ජනාධිපතිතුමා අපිට කිව්වා එක ගහක් හරි කපනවා නම් එතුමාගේ අවසරය ගන්න ඕනෑ කියලා. එතුමට ඒ වගේ උනන්දුවක් මේ ගැන තියෙනවා. යැයි ලේකම්වරයා පවසද්දී එම සාකච්ඡාවට පැමිණ සිටි බොහෝ පරිසර සංරක්ෂණවේදීන්ට සිනහව පාලනය කරගත නොහැකි විය.
ජනාධිපතිතුමා එක ගහක් කපන එක ගැන එහෙම කියනවා. නමුත් අක්කර 600 ක කැලේ කපනකොට කවුරුත් නිශ්ශබ්දයි. මොකක්ද මේ හතර බිරි කතාව. එම සාකච්ඡාවට පැමිණ සිටි පරිසර සංරක්ෂණවේදීහු පෙන්වා දුන්හ. එහිදී පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයාද නිරුත්තරව සිටින ආකාරයක් දිස්විය.
මෙහිදී මෙම තක්කඩි දේශපාලකයින් නැවත පදිංචිකිරීම් යන ලේබලයට මුවා වී වනසමින් තිබෙන වනපෙත කීප ආකාරයකින්ම වැදගත් වේ. එහි වාර්තාවන පෘථුල ෙජෙව විවිධත්වයන් දැකුම්කලු අගනා ස්වභාවික පරිසර පද්ධතිත් මේ ආකාරයට වැනසීම ජාතික අපරාධයකි. ලංකාව ලෝකයේම ආශ්චර්යවත් භූමියක් බවට පත්වූයේ මේ විසල් දැකුම්කලු වන සම්පත හේතුවෙනි. ලංකාවට විශාල විදේශ විනිමයක් උපයා දෙන්නේ මෙවැනි පරිසර සම්පත් හරහා සිදුවෙන සංචාරක කර්මාන්තයෙනි. ඒ හරහා වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත සෘජුව උල්ලංඝනය වීමකට ලක්වී ඇත. අනෙක් අතට මේ තක්කඩි දේශපාලන මුග්ධයන් වනසමින් තිබෙන භූමිය මෙරට මල්වතුඔයේ දෙපස ඇති වූ පළමු ශිෂ්ටාචාරයේ මුල් භූමිය වේ. එය වැනසීම හරහා අපේ මානව වංශකතාවේ එක් ස්වර්ණමය පරිච්ජේදයක් වළලා දැමීම සිදුවේ. එය පුරාවිද්‍යා ආඥාපනත ද අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. අනෙක් අතට මන්නාරමට පහළින් පිහිටා තිබෙන මෙම කලාපය රටේ ජාතික ආරක්ෂාවට ඉතා වටිනා රැකගත යුතු බිම්කඩකි. එවැනි බිම්කඩක රටේ පොදු නීතියට යටත් නොවන වෙනත් ජාතියක කොලනියක් බිහිවීම ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයකි. එලෙසම පසුගිය දශක කිහිපයක් තිස්සේ ලංකාවට මත්කුඩු ගෙනා එක් ප්‍රධාන මුහුදු මාර්ගයක් වැටී තිබුණේ මෙම ඉසව්ව ආසන්නයෙනි. එම ඉසව්වේ නාවික බලය හා සෙසු ආරක්ෂක අංශවල බලය පසුගිය කාලය තුළ අඩපණ කරන තත්ත්වයක් පැහැදිලිව දක්නට ලැබිණි. එලෙස ආරක්ෂක අංශවල බලය අඩපණ කිරීමෙන් පසුව මෙවැනි ජන කොලනියක් අනවසරයෙන් ඇති කිරීමෙන් පැහැදිලිවම මත්ද්‍රව්‍ය ජාවාරමට ඉතාම හොඳ තෝතැන්නක් සැකසෙන බව රහසක් නොවේ.
කොටි ත්‍රස්තවාදීන්ට අවි බලයෙන් දිනාගත නොහැකි වූ වෙනම රටක සිහිනය කරා මෙම ජන කොට්ඨාසය ක්‍රමිකව ගමන් කරන බව එම ප්‍රදේශවල අප කළ සංචාරවලදී මනාවට පසක් විය. එහෙත් පසුගිය රජය සේම මේ රජයද නිද්‍රාශීලී පිළිවෙතක් මේ තත්ත්වය සම්බන්ධයෙන් දැරීම කනගාටුවට කරුණකි. මෙරට පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. මේ මහා වන විනාශය නතර කිරීමේ වගකීම හා බලය ඇත්තේද ඒ අනුව ඒ මහතාටය. ඒ මහතාගේම කැබිනට් මණ්ඩලයේ අසුන්ගෙන සිටින මේ තක්කඩි කළු සෙවණැල්ලට එරෙහිව ඒ මහතාගේ අවංක දෑත එසවෙන්නේද නැද්ද පිළිබඳව මේ රටේ කෝටි දෙකකට ආසන්න ජනතාව බලා සිටින බව කිව යුතුය. මේ වන විනාශයට එරෙහිවීම මත රටේත් මේ රජයේත් හෙට දවස තීරණය වන බව නම් පැහැදිලිය.
නයනක රන්වැල්ල