Colombo Today Local News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමක් ලබා ගැනීම සඳහා නිලධාරි මට්ටමේ එකඟතාවයකට පැමිණීමට රජයට හැකිවූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (1)දින පැවසීය.

අගමැතිවරයා මෙසේ පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවේ (Executive Board) අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව ද්විපාර්ශවික නිල මට්ටමේ (official Bilateral Level Discussion) සාකච්ඡා මීළඟට ආරම්භ කිරීමට නියමිත බවද ගුණවර්ධන මහතා සඳහන් කළේය.

විවිධ දුර්වලතා සහ වැරදි ප්‍රතිපත්ති තීරණ නිසා අවසානයේ සිදුවුණේ ණය පැහැර හැරීමට සිදුවීම හා ගැඹුරු ආර්ථික අර්බුදයකට රට තල්ලු වීම බවත් මෙම අර්බුදයෙන් ගොඩ ඒමට නම් ගැඹුරු හා පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට සිදු වන බවත් අගමැතිවරයා අවධාරණය කළේය.

කුමන පාර්ශවයක් බලයේ සිටියත් මේ ප්‍රතිසංස්කරණ කිරීම අවශ්‍ය වෙන බවද ඔහු සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධ මහතා එම ප්‍රකාශය කරමින් මෙසේද සඳහන් කළේය.

නියෝජ්‍ය කතානායකතුමනි,
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වසර හතරක කාලයක් පුරා ක්‍රියාත්මක වන ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමක් (extended fund ‍facility) ලබා ගැනීම සඳහා නිලධාරි මට්ටමේ එකඟතාවයකට පැමිණීමට අද උදෑසන රජයට හැකිවුණා. ශ්‍රී ලංකාව මුහුණ දෙන ගැඹුරු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට දරන උත්සාහයේදී මෙය ඉතා වැදගත් සන්ධිස්ථානයක් වෙනවා. නිලධාරි මට්ටමේ එකගතාවයකට පසුව ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන් තුළ අපි ණය තිරසාර භාවය(Debt Sustainability) ලබා ගැනීමට උදව් කරන බවට ශ්‍රී ලංකාවට ණය ලබා දෙන්නන්ගේ සහතිකයක් (Adequate Financing Assurance) අවශ්‍ය වෙනවා

ඉන්පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවේ (Executive Board) අනුමැතිය ලබා ගැනීම අවශ්‍යයි. ද්විපාර්ශවික නිල මට්ටමේ (official Bilateral Level Discussion) සාකච්ඡා මීළඟට ආරම්භ කිරීමට නියමිතයි.ඒ සමගම අපට විශේෂයෙන් ද්විපාර්ශික හා බහු පාර්ශවික සංවර්ධන හවුල්කරුවන්ගෙන් (development partners) ණය මුදල් ලබා ගන්නට අවකාශ සැලසෙනවා. ඒ තුළින් අපට අත්‍යවශ්‍ය කටයුතු සඳහා අරමුදල් ලැබෙන අතර, ආර්ථිකය හා ජන ජීවිතය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කරන්න කටයුතු කළ හැකි වෙනවා. අද ඇති කරගත් එකඟතාව අපේ උත්සාහයන්ගේ විශාල ප්‍රගතියක් පෙන්වන කරුණක් වුවද, අප මතක තබා ගත යුතු කරුණක් වන්නේ මෙය තවමත් ආරම්භයක් පමණක් බවත්, තව දීර්ඝ ගමනක් අපට යා යුතුව තිබෙන බවත්ය.

ඉදිරියේ දී මෙම ආර්ථික අර්බුදයට හේතු වූ කරුණු වලට විසඳුම් සෙවීම සඳහා විශාල කැපකිරීමක් කරන්නට අපිට සිදුවෙනවා. දශක ගණනාවක් තිස්සේ අපේ ඉතුරුම්වලට වඩා විශාල ප්‍රමාණයක් පරිභෝජනය කර තිබෙනවා. ඒ තුළින් අපේ ණය ප්‍රමාණය ඉතා විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. රටේ ආදායම .විවිධ හේතු නිසා ඉතාම අඩු මට්ටමකට අඩු වෙලා තියෙනවා. මේ නිසා සෞඛ්‍යය, අධ්‍යාපනය, පොදු ප්‍රවාහනය වගේ වැදගත් අංශ වලට වැඩි ආයෝජන ප්‍රමාණයක් යොමු කරන්නට අපට නොහැකි වී තිබෙනවා. ඛණිජතෙල්, විදුලිය වැනි උපයෝගීතාවයන් අපි කාලයක් තිස්සේ අඩුමිලට රට තුළ පරිභෝජනය කර තිබෙනවා. ඒ නිසා ඒ තුළින් විශාල වෙළඳ හිගයක් ඇති වෙලා විනිමය අනුපාත දුර්වල වුණා.රාජ්‍ය විවසායකයන් දශක ගණනාවක් පුරා නිසි ලෙස කළමනාකරණය කොට නැහැ. ඒ නිසා ඒ ආයතන විශාල ලෙස අලාභ ලැබුවා. එයද මහජනතාවට විශාල බදු බරක් ඇති කළා.

විවිධ දුර්වලතාවයන් වැරදි ප්‍රතිපත්ති තීරණ නිසා අවසානයේ සිදුවුණේ ණය පැහැර හැරීමට සිදු වීම හා ගැඹුරු ආර්ථික අර්බුදයකට රට තල්ලු වීමයි. මෙම අර්බුදයෙන් ගොඩ ඒමට නම් එවැනිම ගැඹුරු හා පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට සිදු වෙනවා. කවුරුත් බලයේ සිටියත් මේ ප්‍රතිසංස්කරණ සිදුකිරීම අවශ්‍ය වෙනවා. තිරසාර හා පුළුල් ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට හැකිවන්නේ එවිටයි.

පසුගිය මාස පහක පමණ කාලය තුළ රජයේ මේ ප්‍රතිසංස්කරණ ඇතුලත් වැඩසටහන් පිළියෙළ කරා. එම වැඩසටහන් වලට නිලධාරි මට්ටමේ එකගතාවය දැන් ලැබී තිබෙනවා. වඩාත් අභියෝගාත්මක කරුණ වන්නේ, මෙම අසීරු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමයි. මහජනතාව ආර්ථික වශයෙන් පීඩාවට පත්වී සිටින තත්ත්වයක මෙම ප්‍රතිසංස්කරණ සිදු කිරීම ඉතා අපහසු බව දරජය දන්නවා. එම නිසා අත්‍යවශ්‍ය කාරණය වන්නේ, මැදි හා දිගුකාලීන ව රට බේරා ගැනීම සහ අවසානයේ ඉහළ සංවර්ධනයක් අත්කර ගැනීමට මෙම ප්‍රතිසංස්කරණ අවශ්‍ය ඇයි දැයි යන්න තේරුම් ගැනීමයි. බංකොලොත් වූ රට නැවත සංවර්ධනය මාවතට යොමු කර, අපේ අනාගත දරු පරපුරට යහපත් අනාගතයක් උරුම කර දෙන්නට ජනාධිපතිතුමාත් අපේ රජයත් කැපවී සිටින වගත් මතක් කරන්නට කැමතියි.

අවසාන වශයෙන් මම කියන්නට කැමතියි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවට පැමිණීමෙන් පසුව ඒ පිළිබඳවත් අපි තවදුරටත් විස්තර මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. ස්තුතියි.

Related posts

බන්ධානාගාරයට ආ උපදේශකවරයාගේ පාවහන් යුගලයේ දුම්කොළ

colombotoday

සා. පෙළ විභාග කල් දැමීමේ කිසිදු තීරණයක් නැහැ..

colombotoday

ජාතික ලුණු සමාගමට නව සභාපතිවරයෙක්

Admin

පානම දළ පූට්‌ටුවාත් මාස 10 ක්‌ තිස්‌සේ අතුරුදන් !

colombotoday

සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතියක් කෙරෙන නව ගැසට් නිවේදනය අනිද්දා නිකුත් කෙරේ

colombotoday

මුස්ලිම් දරුවන් අන්තවාදී ත‍්‍රස්තවාදීන් කරන මද්රසා පාසල් 1169ක් රට පුරා..

colombotoday