Colombo Today Local News

කටුනායකට ගොඩබෑ රුසියානු ගුවන් යානයකට පිටවීම තහනම්…. මගීන් 200ක් හිරවෙයි

කටුනායක ගුවන්තොටුපොළෙන් ආපසු රුසියාව බලා පිටත්ව යාම අත්හිටුවමින් කොළඹ වාණිජ මහාධිකරණය නියෝගයක් ලබා දීම නිසා රුසියානු ජාතික ගුවන් සේවයට අයත් එයරෝෆ්ලොට් ගුවන් සේවයේ ගුවන් යානයක් ඊයේ (2දින) දහවල් සිට කටුනායක ගුවන්තොටුපොළෙහි නවතා දමා තිබේ.

රුසියානු එයරෝෆ්ලොට් ගුවන් සේවයේ එස්.යූ.- 288 දරන ගුවන් යානය ඊයේ උදෑසන 10.10ට රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ දහවල් 12.50ට යළි ත් රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යෑමට නියමිතව තිබුණු අවස්ථාවේ ලැබුණු තහනම් නියෝගය නිසා මෙසේ ගමන අවලංගු කර ඇත.

මෙම ගුවන් ගමන සඳහා මගීහු 200කට වැඩි පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

ඒ අතර, කොළඹ වාණිජ මහාධිකරණය විසින් කටුනායක ගුවන්තොටුපොළ ගුවන් සංතරණ අංශයේ ප්‍රධානි වෙත මෙම ගුවන් යානයට කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව යාම තහනම් කරමින් නියෝගයක් ලැබී තිබේ.

ඒ අනුව, මෙම ගුවන් ගමන අත්හිටුවා ඇති අතර මෙම ගුවන් ගමන සඳහා පැමිණි ගුවන් මගීන් කටුනායක ගුවන්තොටුපොළ අවට සංචාරක හෝටල් වෙත යොමු කර තිබේ.

ගුවන් යානා බදු දෙන යුරෝපීය සමාගම් කිහිපයක් විසින් රුසියානු ජාතික ගුවන් සේවයට බදු දුන් ගුවන් යානා නැවත ලබාගැනීම සම්බන්ධයෙන් අනුගමනය කර ඇති අධිකරණමය ක්‍රියාමාර්ගයක් මත පදනම්ව මෙම නියෝගය ලැබී ඇති බවට ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා පළ වී තිබේ.

මේ වනවිට මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම පිළිබඳව කටුනායක ගුවන්තොටුපොළ ගුවන් සංතරණ අංශයේ ප්‍රධානි ඇතුළු උසස් නිලධාරීන්, එරොෆ්ලොට් ගුවන් සේවයේ නිලධාරීන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පිරිසක් ද සාකච්ඡා පවත්වමින් සිටින බව කටුනායක ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේය.

රුසියානු ජාතික ගුවන් සේවය වන එරොෆ්ලොට් ලන්ඩන් සහ ඩුබායි ඇතුළු ඇතැම් ගුවන් ගමන් නතර කිරීමට මොස්කව් පාලනාධිකාරිය පසුගිය මාර්තුවේදී තීරණය කළ අතර රටවල් රැසක් ම එම ගුවන් සේවයට සිය රටවලට පිවිසීමට තහනමක් පනවා ඇත.

Related posts

’’මාව සෞඛ්‍ය ඇමැති කළේ නැත්තටම නැති කරන්න’’ – හිටපු ජනපති මෛත්‍රිපාල කියයි

Admin

ධීවරයින් පිරිසක් විසුරුවා හරින්න අහසට වෙඩි

Admin

මන්ත්‍රී චමින්ද අධිකරණයට භාර වෙයි…

colombotoday

[Video] මෛත්‍රීගේ ‘පුලතිසි ප්‍රශස්තිය’ උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද මහින්ද නමින් ගැයෙයි

colombotoday

කාලගුණයෙන් රතු නිවේදන

colombotoday

වහබ්වාදී උලමා සභාවේ බලහත්කාරය නවත්වන ක්‍රමය ඥානසාර හිමි කියති

colombotoday