ඌරුවරිගේ මල් කහවල රත්නායකට හෙන්නානිගල මහවැලි ඉඩම් ලැබුණේ කලකට පෙරය. අලුතින් ලද ඉඩමට කැමැති වුණත් නැතත් මල් කහවල රත්නායකට එහි පදිංචි වීමට සිදුවූයේ ඔහු එතරම් කල් දිවිගෙවූ දඹාන, කන්දේගම ගම්මානය මහවැලිය නිසා බිහිවූ මාදුරු ඔය වනෝද්‍යානයට ඇතුල්වීම නිසාය. අලුතින් ලද ඉඩමට සිය බිරිඳ තලාවරිගේ කරුණාවතී සහ දරු පිරිස සමග රත්නායක ඇත්තෝ පදිංචියට එනකොට තලාවරිගේ පුංචි බණ්ඩා දෑ අවුරුදු කෙන්චි පැංචෙකි. තම අත්තා මුත්තලා දිවි ගෙවූ දඹාන අවට මහ වනය එහි විසූ කුරුලු සකළයන්, සතා සීපාවා, රුක්මුදුන්හි මෙන්ම ගිරි කුළුහි බැඳි බඹර වද ඈ කී නොකී දහසක් දේ පුංචි බණ්ඩාට මතක සිටියේ යාන්තමිනි. හෙන්නානිගල මහවැලි ඉඩම්වල අලුත් පරම්පරාව සමග පුංචි බණ්ඩා දවසට දෙකට හැදී වැඩුණේය.
එහෙත් පුංචි බණ්ඩාගේ ඇඟේ දීවේ ආදි වාසී රුධිරයය. ඒ ආදිවාසී රුධිර උරුමය විටෙන් විට උණුසුම් කළේ අම්මිලා ඇත්තෝ සහ අප්පිලා ඇත්තන්ය. උඹ මෙහේ හිටියාට අමතක කරන්න එපා අපි වැද්දෝ කියලා ඔවුහු නිබඳව පුංචි බණ්ඩාට සිහි කළෝය. නිවසින් පිටවූ සැණින් පුංචි බණ්ඩාගේ ආදි වාසි උරුමය මතු විය. කැලේ කොලේ දිව පැන සෙල්ලම් කිරීමට ඔහු තුළ වූයේ ලොකු වුවමනාවකි. ඔහු සිය ළමා කාලය සිහිකරනුයේ මෙසේය.
ආදි වාසීන්ගේ පෙළපත ගොඩක් වෙලාවට ගොඩ නැගෙන්නේ අම්මාගේ පාර්ශ්වය මුල්කරගෙන. මම තලාවරිගේ වුණේ ඒකයි. අපි මහවැලියට ආවට නෑයෝ තවමත් ඉන්නවා දඹාන ගමේ. දැන් අපේ නායක ඌරුවරිගේ වන්නියලෑ ඇත්තෝ මට නෑකමට බාප්පා වෙනවා.හිටපු නායක තිසා හාමිලා ඇත්තෝ මගේ සීයා වෙනවා. අපි නෑ යක්කු අදහන මිනිස්සු කියලා මගේ අම්මා නිතර කියනවා පුංචි බණ්ඩා පවසන්නේය.
තලාවරිගේ පුංචි බණ්ඩා ගැන දැන් මුළු රටම කතා කරන්නේය. ඒ ඔහු ආදිවාසීයෙකු වූ නිසා නොවේ. හද්දා පිටිසර දඹානේ ජන්ම ලාභය ලබා, හෙන්නානිගල හැදී වැඩී උස්මහත්වූ ඔහු ඔලිම්පික් උළෙල තුන් ප්‍රයාමයෙන් නියෝජනය කිරීමට සූදානම් වන්නේය. තුන් ප්‍රයාමය යනු පිහිණීම පාපැදි ධාවනය සහ මැරතන් දිවීම යන අතිශය වෙහෙසකර ක්‍රීඩාවන් තුනෙන් සැදි ක්‍රීඩාවකි. තමුන් එකී ක්‍රීඩාවට යොමු වූ අයුරු පුංචි බණ්ඩා පවසනුයේ මෙසේය.
මම ගියේ හෙන්නානිගල ඉස්කෝලෙට. මම අවුරුදු 18ක් මැරතන් දිව්වා. ඒත් ජාතික තලයේ ක්‍රීඩකයෙකු වෙන්න හිතුවේ නෑ. ආර්.එල්. ස්පිට්ල් සිය මැකී ගිය දඩමං කෘතියේ ආදි වාසීන් සමග වන මං ඔස්සේ කළ චාරිකාවක තොරතුරු කියන්නේය. එහිදී ගමා නමැති වැදි නායකයා ගැන සටහනක් තබන ස්පිට්ල් ගමා මෙන්ම බොහෝ වැද්දෝ වතුරට බිය බව පවසන්නේය. එහෙත් තලාවරිගේ පුංචි බණ්ඩා තුන්ප්‍රයාමය ක්‍රීඩකයෙකු ලෙස වැව්, පිහිණුම් තටාක මතු නොව මහා සාගරයද පිහිනා ජය ගැනීමට සූදානම්ය. තමා වතුරට හුරුවූ අයුරු ඔහුගේම වදනින් මෙසේය.
මහවැලියට ආවාට පස්සේ අපිට දඩයම් කරන්න, මී කඩන්න ලැබුණේ නෑ. අපේ පැරණි ගම්මාන මාදුරු ඔය අභය භූමියට ගියා. ඒත් අලුත් ගමේදී ධීවර කටයුතු කරන්න අපිට ඔරු ලැබුණා. මම වතුරට හුරු වුණේ ඒ ඔරු පැදිල්ලෙන්.
පසු කාලීනව තම රැකියාවද වූ ධීවර කර්මාන්තයට යොදා ගත් ඔරුව පැටිවිය ගෙවමින් සිටි හීන් බණ්ඩාට ගෙන ආවේ විනෝදයකි. ඔරුවටත්, වතුරටත්, මාළු ඇල්ලීමටත් ඉක්මනින් හුරුවූ ඔහු හෙන්නානිගල ජලාශයේ එගොඩ මෙගොඩ පිහිනීමට ඉතා කෙටි කලකින්ම හුරු විය.
මම ඒ සන්දියේ පිහිනුවේ කලාවකට නොවේ. වතුරට පැනලා ජබු ජබු ගාලා නොගිලී ඉන්න තමයි පුරුදු වුණේ මෙසේ හිතේ හයියෙන් පිහිනමින් සිටි පුංචි බණ්ඩා දෙහිඅත්තකණ්ඩියේ ක්‍රීඩා නිලධාරී ජානක බණ්ඩාර නම් පුහුණුකරුට මුණගැසෙන්නේය. පුංචි බණ්ඩාගේ ක්‍රීඩා කුසලතා හඳුනාගන්නා ඔහු මැරතන් ක්‍රීඩාව දියුණු කරගන්න පුංචි බණ්ඩාට උදව් කරන්නේය. අතිශය දුෂ්කර ප්‍රදේශයක් වූ හෙන්නානිගල සිට පුහුණුව ලබනා මේ මැරතන් ක්‍රීඩකයා පිළිබඳ ටිකෙන් ටික රටුන් කතාකරන්නට පටන්ගත්තේය. ඔය අතරතුරේ හෙන්නානිගල පුංචි බණ්ඩා රූපවාහිනී වැඩසටහනකට කොළඹ එන්නේය. කොළඹ ඇත්තෝ පුංචි බණ්ඩා හරියටම දැන හඳුනා ගන්නේ ඉන් පසුවය.
පුංචි බණ්ඩාගේ ක්‍රීඩා කුසලතා රූපවාහිනියෙන් දකිනා ප්‍රකට පිහිණුම් ශූර ජූලියන් බෝලින් හෙන්නානිගල ගොස් ඔහු හමුවූයේය. එය මේ දිරිමත් තරුණයාගේ ජීවිතයේ සැබෑම හැරවුම් ලක්ෂ්‍යයක් වූයේය.
ජූලියන් බෝලින් සර් මට පිහිනීම කියලා දුන්නා. අපි දැන උන්නේ එක විදිහයි. ඒත් පීනන්න ක්‍රම හතරක් තියෙනවා. ඒවා මට කියා දුන්නේ බෝලින් සර්. හෙන්නානිගල වැවේ පිහිණූූ මට කොළඹ පූල් හුරුකළේ බෝලිං සර්. ඔහු පවසන්නේ සිය පුහුණකරු ගැන උපන් බලවත් ගෞරවයෙනි.
ජූලියන් බෝලින් පුංචි බණ්ඩාට හුරුකළේ පිහිණුම් තටාකය පමණක් නොවේ. මහ සාගරයේ පිහිනීමටද හුරු කළේය. ඒත් හා පුරා කියා මුහුදේ පිහිනන්නට ගිය දිනයේ පුංචි බණ්ඩාට හීන් දාඩිය දැම්මේය. ඒ නැගෙන බිඳෙන දැවැන්ත රළගෙඩි තමා සාගර තුළට ඇද ගනිතෙයි බියෙනි.
මං හා පුරා කියා මුහුදේ පීනන්න ගිය දවසේ මගේ නෝනයි දරුවයි ආවා. මට හිතුණා මං මේ මුහුදේ ගිලුනාම මේ දෙදෙන්නාට මොකද වෙන්නේ කියලා. ඉතිං මං පීනන එක පැත්තක තියලා ආපසු යන්න හැරුණා. ඒ වෙලාවේ මගේ නෝනා තමයි මට ධෛර්ය දුන්නේ අපි නෑ යක්කු අදහන මිනිස්සු, ඔයාට පීනන්න පුළුවන් කියලා දූත් ඒකම කීවා. බෝලින් සර් කීවා පොඩ්ඩක්වත් බය වෙන්න එපා කියලා. අන්තිමට කිලෝමීටර් දෙක විනාඩි 57න් පීනන්න මට පුළුවන් වුණා. දවෛනි දවසේ ඊට අඩුවෙන් පීනුවා පුංචි බණ්ඩා අද පවසනුයේ සිනා සෙමිනි.
එලෙස මුහුදු පිහිණුම හුරුවූ පුංචි බණ්ඩාගේ ඉසව්ව තුන් ප්‍රයාමයයි. පසුගියදා ගාලු මුවදොර දී පැවැති අයන් මෑන් තුන් ප්‍රයාමය තරගයට සහභාගි වන්නට ඔහුට වාසනාව ලැබුණි. එහිදී කිලෝමීටර් 2ක මුහුදු පිහිනීමකින් පසු කිලෝමීටර් 90ක පාපැදි ධාවනයකින් පසු කිලෝමීටර් 21 මැරතන් ධාවනයක යෙදිය යුතුය. මේ දුෂ්කර තරගය ජයගන්නට උපරිම දරා ගැනීමක් තිබිය යුතුය. පුංචි බණ්ඩාගේ ආදිවාසී ජාන ඒ ශක්තිය ඔහුට ලබා දුන් බව ඔහු අදටත් විශ්වාස කරයි.
රටවල් 68ක තරගකරුවෝ 6000කට වඩා මේ තරගෙට සහභාගි වුණා. මම 55 වැනියාට තරගය නිමාකළා. ඇත්තටම ඒක ලොකු ජයක්. පුංචි බණ්ඩා පැවැසුවේ නිහතමානී ලෙස සිනාසෙමිනි.
පුංචි බණ්ඩාගේ අරමුණ තුන් ප්‍රයාමය තරගයෙන් ඔලිම්පික් යන්නටය. එසේ ගොස් ලෝකය හමුවේ තම මවුරටට කීර්තියක් ගෙන එන්නටය. මේ වනවිට පුංචි බණ්ඩා 35 වැනි වියේ පසුවෙයි.
මීට කලින් ක්‍රීඩාවට ආවනං හොඳ නැද්දැයි මම ඔහුගෙන් විමසා සිටියෙමි.
එහෙම හිතලා දැන් වැඩක් නෑනේ. මම සතුටු වෙනවා වයස තිස්පහේදී හරි ක්‍රීඩාවට එන්න ලැබුණට. තව අවුරුදු 10ක් විතර ක්‍රීඩා කරන්නත් පුළුවන් බව මට විශ්වාසයි. යමක් කරනවා නං අවුරුදු 10ක් හොඳටම ඇති. පුංචි බණ්ඩා සිනා සෙමින් පවසන්නේය.
ලක්බිම