ArticlesColombo Today Local News

බුදුන් වහන්සේගේ සැබෑ පාත්‍රය ඇත්තේ ඇෆ්ගනිස්ථානයේද? ලංකාවේද?

ලෝකයේ බෞද්ධ උරුමයන්ගෙන් බොහොමයක්‌ ඉස්‌ලාමීය ආක්‍රමණ නිසා වැනසිණ. කුරානයේ සඳහන් උපදෙස්‌ අනුව ඉස්‌ලාමික ආක්‍රමණිකයන් ලෝකය පුරා අන්‍යාගමික උරුමයන් වනසද්දී ලෝක බෞද්ධයන්ගේ උරුමයක්‌ කුරාන පාඨයක්‌ නිසා ආරක්‌ෂා වුණු අවස්‌ථාවක්‌ වේ නම් එය අති දුර්ලභය. ඒ බුදු හිමියන් දන් වැළඳුවා යෑයි කියන පාත්තරයයි. ඒ පාත්‍රය පිළිබඳ වර්තමාන කතාව කියන්නට පෙර එය අතීතයේදී ගමන් කළ මග පිළිබඳව සටහනක්‌ තැබිය යුතු යෑයි මට සිතෙයි.

එය බුදුරජාණන් වහන්සේ දඹදිව වැඩ විසූ සමයෙහි දන් වළඳන්නටත්, පිඬුසිඟා වඩින්නටත් භාවිතා කළ පාත්‍රයයි. උන්වහන්සේ පිරිනිවන් පාන්නට කුසිනාරා නුවරට වැඩම කරන අතරමගදී නිරන්තරව තමාට ඇප උපස්‌ථාන කළ වෛශාලි නුවර මිනිසුන්ට තම පාත්‍රය සිහිවටනයක්‌ සේ දී ඇත. මේ පිළිබඳ විස්‌තර මේජර් ජෙනරල් ඇලෙක්‌සැන්ඩර් කනින්ග්හැම් 1880 – 1881 කාලයේ උතුරු හා දකුණු බිහාරයේ කළ සංචාරයකට පසුව ලියූ වාර්තාවල සටහන් වෙයි.

ඒ පාත්‍රය වෛශාලියෙහි බෞද්ධ විහාරස්‌ථානයක තැන්පත් කොට තැබුණු බවත්, වෛශාලියේ ගොවි ජනතාව තම අස්‌වැන්නෙහි අග්‍ර කොටස මෙම පාත්‍රයට පූජා කිරීම චාරිත්‍රයක්‌ කොට ගත් බවත්, ෆාහියන් භික්‌ෂුව සහ හියුන්සාන් විසින් සටහන් කොට ඇත. චීන සංචාරක බෞද්ධ උගතුන් වූ ෆාහියන් භික්‌ෂුවත් හියුන් සාන් භික්‌ෂුවත් මේ යෝධ බුද්ධ පාත්‍රය පිළිබඳවත්, එහි සම්භවය පිළිබඳවත් විවිධ කරුණු සටහන් තබා ඇත. මෙම බුද්ධ පාත්‍රය ශතවර්ශ පහක පමණ කාලයක්‌ පුරාවට වෛශාලියේ බෞද්ධ විහාරස්‌ථානයේ තිබී ඇත.

දහසය වැනි සියවසේදී තිබ්බත බෞද්ධ භික්‌ෂුවක්‌ හා පඬිවරයකු වූ තාරානාත් විසින් සටහන් කරන අන්දමට පළමුවන සියවසේදී කුශානයේ කණිෂ්ක රජු විසින් පාඨලීපුත්‍රයට ප්‍රහාර එල්ල කර ඇත. මෙම සටනින් කණිෂ්ක රජු ජයග්‍රහණය කළ නමුත් ඔහු පාඨලී පුත්‍රය නැවතත් පාඨලී පුත්‍ර රජුටම භාරදී ආපසු යන්නට එකඟ වී ඇත. ඔහු එසේ එකඟ වී ඇත්තේ ප්‍රකට බෞද්ධ පඬිවරයකු වූ අශ්වගෝෂ හිමියන් හා මේ බුද්ධ පාත්‍රය කණිෂ්ක රජුට ලබා දෙන්නට පාඨලීපුත්‍ර රජු එකඟ වූ බැවිනි. කණිෂ්ක රජු මේ වස්‌තුන් ද්වය තම රාජධානියේ අගනුවර වූ පුරුෂ්පුර් (වර්තමානයේදී පාකිස්‌ථානයට අයත් පේෂාවර් නගරය) වෙත ගෙන ගියේය. ඔහු මේ පූජනීය පාත්‍රය එහි වූ විහාරස්‌ථානයක තැන්පත් කර අශ්වගෝෂ හිමියන් තම ප්‍රධාන උපදේශකවරයා බවට පත් කරගත්තේය.

කාබුල් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති ගෞතම බුදුන් වහන්සේගේ පාත්‍රය යැයි සැළකෙන ශෛලමය පාත්‍රය

චීන සංචාරකයින් තුන්වන සියවසේදී සහ නව වන සියවසේදී පුරුෂ්පුර් වල තිබුණු මේ බුද්ධ පාත්‍රය වන්දනා කරන්නට පැමිණි බවට වාර්තා ඇත.

කාලයත් සමඟ එම රාජ්‍යයේ බුදු දහමට තිබුණු තැන ඉස්‌ලාම් ආගම විසින් අත්පත් කරගත් අතර යම් කිසිවකු විසින් මේ යෝධ බුද්ධ පාත්‍රයේ කුරාන පාඨයන් කිහිපයක්‌ කැටයම් කොට ඇත. බොහෝ දුරට මෙය 11 වන ශතවර්ශයේ මහ්මුද් ගස්‌නිගේ කාල සීමාව තුළ සිදු කළ දෙයකැයි සිතන්නට හැකිය. ඉස්‌ලාම් දහම රාජ්‍යය පුරා කෙමෙන් පැතිර යද්දී රාජ්‍යයේ තිබුණු බෞද්ධ සිද්ධස්‌ථාන හා පුරාවස්‌තු ඉස්‌ලාමිකයන් විසින් විනාශ කොට දමන ලදී. ඒ ක්‍රමයෙන් මෙම ප්‍රදේශය බෞද්ධ රටක්‌ව තිබුණු බවට තිබුණ සියලු සාධක විනාශ කොට දමා ඉස්‌ලාමික රටක පරිසරය එහි නිර්මාණය කළද බුද්ධ පාත්‍රය එහි නොනැසී ඉතිරි විය. බුද්ධ පාත්‍රයේ සටහන් කොට තිබුණු කුරාන පාඨ කිහිපය හේතුවෙන් එය මුස්‌ලිම් ආක්‍රමණිකයන් විසින් විනාශ කොට දැමුණේ නැත. මේ ප්‍රදේශ වල පසුකාලීනව ඇතිවුණු ආගමික යුද්ධ කිහිපයකදීම බුද්ධ පාත්‍රය විනාශ වීමෙන් වැළකුණේ මේ කුරාණ පාඨ නිසාවෙන් විය හැකිය. එනිසා මුස්‌ලිම් ආක්‍රමණිකයෝ පවා මේ පූජනීය වස්‌තුවට ගෞරව කළහ.

දශක කීපයකට පෙර යුගය වන තෙක්‌ම එය කන්දහාර්හි ජමියා මුස්‌ලිම් දේවස්‌ථානයක සුරැකිව පැවතිණ. 1980 දශකය අග භාගයේදී ඇෆ්ගනිස්‌ථාන සිවිල් යුද්ධය අතරතුරදී ජනපති නජිබුල්ලාහ් විසින් මෙම බුද්ධ පාත්‍රය ලබාගෙන එය කාබුල් ජාතික කෞතුකාගාරයේ තැන්පත් කරන්නට කටයුතු කළේය.

ඉන්පසු තලේබාන් සංවිධානය එහි බලයට පැමිණි විට මුලු රටේම ඇති සියලුම ඉස්‌ලාමික නොවන ආගමික සංකේත හා සැමරුම් විනාශ කරන්නට තලේබාන් ආණ්‌ඩුවේ සංස්‌කෘතික ඇමති විසින් නියෝග කරන ලදී. එහෙත් බුද්ධ පාත්‍රයේ සටහන් කොට තිබුණු කුරාණ පාඨ හේතුවෙන් එය තලේබාන් විනාශයෙන්ද බේරුණි. මේ වන විට මේ යෝධ බුද්ධ පාත්‍රය කාබුල් ජාතික කෞතුකාගාරයේ පිවිසුම අසලම ප්‍රදර්ශනයට තබා ඇත.

මෙම බුද්ධ පාත්‍රය නිමවී ඇත්තේ ශක්‌තිමත් පාෂාණයෙනි. පැහැයෙන් දීප්තිමත් කොළ කලු වර්ණයකින් හෙබිය. එහි විෂ්කම්භය අඩි 5.7 කි. පාත්‍රයේ ඝණකම සෙන්ටිමීටර් 18 ක්‌ වෙයි. පාත්‍රයේ මැද කොටස හා අඩිය ඊටත් වඩා ඝණකමින් යුක්‌තය. එහි ඔප දැමුණු පෘෂ්ඨයේ මෞර්ය ගල් කැටයම් ශිල්පයේ හුරුව ඇති නෙලුම් පෙති කැටයමකි. පාත්‍රයේ බෞද්ධ ලක්‌ෂණය පෙන්වන්නේ මේ නෙලුම් කැටයම විසිනි. නෙලුම් කැටයමට ඉහළින් තීරු හයක කුරාණ පාඨ කැටයම් කොට ඇත. මේ බුද්ධ පාත්‍රයේ කතාව බොහෝ ගාන්ධාර කැටයම් වල සටහන් කොට ඇත.

විශ්කම්භයෙන් මීටර් දෙකකට ආසන්න මේ බුද්ධ පාත්‍රය බරින් කිලෝග්‍රෑම් 350 කට වැඩිය. බුදු හිමියන් අඩි දහඅටක්‌ උසැති මනුෂ්‍යයකැයි අතීත බෞද්ධයන් අතර තිබුණු විශ්වාසය සමග නම් මෙම ගල් පාත්‍රය හොඳින් ගැලපෙයි. මන්ද යත් එවැනි විශාල පුද්ගලයකුට මිස මෙවන් පාත්‍රයක්‌ එසවීමට සාමාන්‍ය කෙනකුට නම් නොහැකි බැවිනි. එනිසා මේ පාෂාණ බුද්ධ පාත්‍රය සැබෑ බුද්ධ පාත්‍රයෙහි විශාලනය කළ අනුරුවක්‌ බව විශ්වාස කළ හැකිය.

එසේ නම් බුදුරදුන්ගේ සැබෑ පාත්‍රය ඇත්තේ කොහිද.?

බුදු හිමියන්ගේ පාත්‍රා ධාතුව ලංකාවේ ඇති බවට සාක්‌ෂි ලංකාවේ ඉතිහාස ග්‍රන්ථ වල සඳහන් වෙයි. දේවානම් පියතිස්‌ස රජ සමයේ බුදු හිමියන්ගේ පාත්‍රා ධාතුව සුමන සාමනේර හිමියන් විසින් ලංකාවට වැඩම කළ බව කියවෙයි. අනුරාධපුර මැද අවධියේ සිට දළදා මැඳුරේ දන්ත ධාතුන් වහන්සේ සමඟම පාත්‍රා ධාතුව ද තැන්පත් කර වැඳුම් පිදුම් කර ඇත. ලක්‌දිව රජකමට උරුමකම් කියන්නට නම් දන්ත ධාතුන් වහන්සේත් පාත්‍රා ධාතුන් වහන්සේත් තිබීම අනිවාර්ය විය. මේ නිසා විවිධ සතුරු ආක්‍රමණ වලදී දළදා හිමි සමග පාත්‍රා ධාතුවද රහසිගත තැන් වල නිධන් කිරීම ඉතිහාසයේ වරින් වර සිදුවී ඇත. එහෙත් බොහෝ විට දන්ත ධාතුන් වහන්සේ හා පාත්‍රා ධාතුන් වහන්සේ එකම තැන්හි නිධන් කර තිබී නැති බව -සිංහල දළදා වංශය, නම් ග්‍රන්ථයේ දළදා වහන්සේ පිළිබද සටහන් නිරීක්‌ෂණය කරද්දී පෙනී යයි. සිංහල දළදා වංශයට අනුව දිගු කලක්‌ තිස්‌සේ දෙල්ගමු විහාරයේ සඟවා තිබුණු දන්ත ධාතුන් වහන්සේ සෙංකඩගල නුවරට වැඩමවන විට ඒ සමග පාත්‍රා ධාතුව වැඩම වූ බවට සාධක නැත. කෝට්‌ටේ දළදා මැඳුරේ තිබී සතුරු උවදුරු හේතුවෙන් ඉන් ඉවත් කෙරුණු පාත්‍රා ධාතුව උඩරට වීරවික්‍රම රජුට ලැබුණු බව චූල වංශයේ කියවෙයි. ඉන්පසු පාත්‍රා ධාතුව නිධන් කෙරුණු ස්‌ථානයක්‌ ගැන නිශ්චිතවම සටහන් නොවෙතත් සෙංකඩගල රජ මාලිගය අසල දාගැබක නිධන් කොට ඇති බවත්, බොහෝ විට එය මහනුවර පත්තිනි දේවාලයේ වැල්බෝධිය අසල පිහිටි නාථ දේවාල දාගැබ විය හැකි බවත් විශ්වාස කෙරේ.

දැනට ඇෆ්ගනිස්‌ථානයේ කාබුල් නුවර කාබුල් ජාතික කෞතුකාගාරයේ තැන්පත් කොට ඇති ශෛලමය බුද්ධ පාත්‍ර අනුරුව පිළිබද කථා බහ යළි ඉස්‌මතු වූයේ ඉන්දියානු පාර්ලිමේන්තු මන්ත්‍රී රාස්‌ත්‍රීය ජනතාදාල් පක්‌ෂයේ නායක, ආචාර්ය රගුවන්ශ් ප්‍රසාද් සිංග් විසින්, මෙම බුද්ධ පාත්‍රයේ අයිතිය වෛශාලි වැසියන්ගේ උරුමයක්‌ බවත්, එය නැවතත් ඉන්දියාවට ලබා ගැනීමට ඉන්දීය රජය ක්‍රියා කළ යුතු බවත් ඉන්දීය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටීමත් සමඟය. ඔහුගේ මෙම ඉල්ලීමට ජාත්‍යන්තර බෞද්ධ සංවිධාන ගණනාවක්‌ ද සහය දක්‌වයි.

මේ පිළිබඳව ඉන්දීය රජය ඇෆ්ගන් රජයෙන් ඉල්ලීමක්‌ කළ නමුත්, දැනට මෙම පාත්‍රයේ සටහන්ව ඇති කුරාණ පාඨ නිසාවෙන්ම එය නැවතත් ඉන්දියාව වෙත ලබා ගැනීමේ දුෂ්කරතාවක්‌ ද මතුව ඇත. කාබුල් කෞතුකාගාරයේ ඇති මෙම බුද්ධ පාත්‍රය කණිෂ්ක අධිරාජ්‍යයා විසින් පුරුෂ්පුරයට රැගෙන ගිය බුද්ධ පාත්‍රයමදැයි තහවුරු කරන්නට පුළුල් කරුණු දැක්‌වීමක්‌ කරන්නට ඉන්දීය රජයට සිදුව ඇත. කෙසේ වෙතත් කුරාණ පාඨ නිසාම මුස්‌ලිම් ආක්‍රමණයේ විනාශයෙන් බේරුණු බෞද්ධ උරුමය ඒ කුරාණ පාඨයන් නිසාම ලෝක බෞද්ධයන්ගේ අයිතියෙන් ගිලිහී යාමේ අවදානමක්‌ ද මතුව ඇත.

නිම්මි මුදිතා හේරත්
දිවයින

Related posts

කීරි සම්බා වෙනුවට අලුතින් සහල් වර්ගය මෙට්‍රික්ටොන් 50,000ක් එයි

Admin

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළට

colombotoday

ලොකු ලොක්කන්ගේ අවසරයෙන් මඩකලපුව එරාවූර් බෝධීන් වහන්සේ කපා දමයි…

colombotoday

වැඩබලන ජනමාධ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර

Admin

ගිම්හාන සෘතුවේදී සංචාරයට සුදුසුම රට ලංකාව

Admin

ඩයනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසියි

Admin