බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අභියාචනාධිකරණයේදී, හෝමාගම අධිකරණයේ කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාසයක් කර ඇති බවට උන් වහන්සේට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කි ලබා දුන්නා.
ඊයේ(21) මෙසේ සාක්ෂි ලබාදෙමින් උන්වහන්සේ පැවසුවේ හෝමාගම අධිකරණයේ පැවැති එක්නැලිගොඩ නඩුවේ විත්තිකාර හමුදා බුද්ධි අංශ නිලධාරින්ගේ චිත්ත ධෛර්යය නගාසිටුවීම සඳහා තමා එදින අධිකරණයට වැඩි බවයි.
ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම මිස අධිකරණයට බාධා කිරීමේ චේතනාවක් තමන් වහන්සේ තුල නොතිබූ බවද පැවසු ඥානසාර හිමි මහේස්ත්‍රාත්තුමා හෝ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් සම්බන්ධ කිසිදු අප්‍රසාදයක් නොතිබූ බවද සඳහන් කළා.
කිසිදු රජයේ නිලධාරියකු ඉලක්ක කරගෙන “නපුංසකයා” යැයි කීවේ නැතැයිද “නපුංසක ආණ්ඩුව” යනුවෙන් මා කීවා යැයිද උන් වහන්සේ තවදුරටත් පවසා තිබෙනවා.
ඉකුත් ජනවාරි මස 25 දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී ශබ්ද නගා කතා කරමින් කලහකාරී ලෙස හැසිරීමෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කර තිබේ නම් ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙසත් එසේ කර කර දඬුවම් පමුණුවන ලෙසත් ඉල්ලා හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් අභියාචනාධිකරණය වෙත ලිපියක් යොමුකර තිබුනා.
එම පැමිණිල්ල සලකා බැලූ අභියාචනාධිකරණය ඒ සම්බන්ධ චෝදනා පත්‍රයක් සකස් කරන ලෙස නියෝග කළා.
ඒ අනුව චෝදනා 4 කින් යුතු චෝදනා පත්‍රයක් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ගේ පාර්ශවයෙන් ඉදිරිපත් වූ මූලික විරෝධතා සලකා බැලීමෙන් පසු නීතිපතිවරයා සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළා.
නඩු විභාගයේ දී පළමුවැනි සාක්කිකරු ලෙස හෝමාගම හිටපු මහේස්ත්‍රාත් රංග දිසානායක සාක්කි ලබා දුන්නා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සහ නීතිඥ උපුල් කුමාරප්පෙරුමද සාක්කි දුන්නා.
මේ නඩුව කැඳවූ අවස්ථාවේදී විත්ති පාර්ශ්වයන් සාක්කිදීම සඳහා කැඳවා සිටි සෙසු සාක්කිකරුවන්ගෙන් සාක්කි විමසීම පසුව සිදුකිරීමට තීරණය කරමින් ඔවුන් මුදාහැරීමටයි අධිකරණය තීරණය කළේ.
ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත විත්තිකාර ඥානසාර හිමියන් ඊයේ(21)සාක්කි දෙමින් මෙසේ ද සඳහන් කළා.
“දකුණු පළාතේ ගාල්ලේ උපත ලැබූ මා පැවිදිවී 1999 වසරේදී උපසම්පදාව ලැබුවා. සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයට අයත් හිමිනමක් ලෙස කටයුතු කරනවා. ශාස්ත්‍රපති උපාධියක් සහ ප්‍රාචීන පණ්ඩිත උපාධිය ලබාගෙන පරිවේණාධිපති හිමිනමක් ලෙස කටයුතු කළා. 2004 සිට ගුරු වෘත්තියෙන් ඉවත්වුණා.”
“ජාතික කටයුතු වෙනුවෙන් කැපවීම සඳහා ජීවිත කාලය පුරාම අත්දැකීම් අනුව අභ්‍යන්තරික අවුල් වියවුල්, දේශපාලන අවුල් වියවුල්, අවිනිශ්චිත තත්ත්වයක් ඇති බවයි, භික්ෂුන් වහන්සේලා ලෙස අපට ඓතිහාසික රාජකාරියක් පැවරී තිබෙනවා. තුණුරුවන් වෙනුවෙන් කැපවී රට ජාතිය සමය වෙනුවෙන් කැපවී කටයුතු කිරීමයි අභිප්‍රාය වුණේ.”
“පසුගිය කාලයේ රට තුළ විශාල අන්‍යාගමිකරණයක් වෙමින් පැවතුණා. ඒ නිසා ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය හොඳින් දැනුනා. ඒ සමයේ සිදුවූ දේ ගැන විශේෂයෙන් 94 ෆෙඩරල් රට බෙදන ව්‍යවස්ථාවට මා විරුද්ධ වුණා. ස්වයං පාලන අයිතියක් ඉල්ලන ගුරු කුලයට මා විරුද්ධයි. ඒකීය රටකට පමණයි අප එකඟ. සුනාමි සහන මණ්ඩලය පවා ඒකීය රටකට හානියක් බවට පෙනුනා. රටේ ඒකීයභාවයට හානිවන කරුණු ඇතැම් අවස්ථාවල තිබුණා.”
විනිසුරු මඬුල්ල – “සාක්කිදීම පමණක් සිදුකරන්න. කතා පැවැත්වීම අනවශ්‍යයි.”
නීතිඥ – “මට අවශ්‍ය මේ සිද්ධියට හේතුවූ පසුබිම අනාවරණය කිරීම පමණයි.”
විනිසුරු මඬුල්ල – “මෙම ප්‍රකාශ මෙම නඩු නිමිත්තට අදාළ නැහැ. එදින අධිකරණයට පැමිණියේ ඇයිද යන්න ඔහු පැහැදිලි කළ යුතුයි. ඔහු කතා පැවැත්වීම කළ යුතු නැහැ.”
නීතිඥ – “අධිකරණයේ අවවාදය මා පිළිගන්නවා. ඔබ වහන්සේ යුද හමුදා නිලධාරින් සමඟ කටයුතු කළාද?”
සාක්කිකරු – “ඔව්. ආධ්‍යාත්මික සහ භෞතික උපකාර කළා. යුද හමුදාව පසුබැස්ස අවස්ථාවල ඔවුන් මානසිකව බලගැන්වීම කළා. ඉහළ නිලධාරින්ගෙන් ඊට අවසර ලැබුණා. ඔවුන් සමඟ සුහදතාවයක් වර්ධනය වුණා. යුද හමුදාවේ බුද්ධි නිලධාරින් සමඟ විශේෂ සම්බන්ධයක් තිබුණා. ඔවුන්ගේ බුද්ධි කටයුතුවලට අවශ්‍ය පහසුකම් අප ලබාදී තිබෙනවා.”
“බුද්ධි අංශ නිලධාරින් කිහිපදෙනකුට සම්බන්ධ නඩුවක් පැවැති අවස්ථාවක මා හෝමාගම අධිකරණයට වැඩියා. එහි සිටි ශම්මි කුමාර, ප්‍රියන්ත, ප්‍රබෝධ, කුමාරත්න යන අය මා හොඳින් හඳුනනවා. මේ නඩුව සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා හතර පහකදීම මා අධිකරණයට පැමිණියා. ඔවුන් නඩු පැවරීමට පෙර මෙම බුද්ධි අංශ නිලධාරින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියා. ඒ අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් අප පෙනී සිටියා. අධිකරණයට ගියේ එම හමුදා නිලධාරින්ගේ චිත්ත ධෛර්යය වැඩිකිරීමටයි.”
“පවතින නව රජය හමුදා නිලධාරින් අත්අඩංගුවට ගෙන නඩු පැවරීම කරමින් රණවිරුවාට කරන අපරාධ ගැන පැහැදීමක් කළේ නැහැ.එක්නැලිගොඩ නඩු නිමිත්ත දේශපාලන වේදිකාවල කතා වුණා. එක්නැලිගොඩ නම් පුද්ගලයාට ජීවිත හෝ වෙනත් හානියක් කළ බවට හමුදා නිලධාරින්ට චෝදනා එල්ල වුණා. ඔහුගේ බිරිය විසින් හමුදා නිලධාරින්ට එරෙහිව 2010 වසරේදී පැමිණිලි කර තිබුණා.”
විනිසුරු දෙහිදෙනිය මහතා – “දේශන නොපවත්වා සෘජු උත්තරයක් දෙන්න.”
සාක්කිකරු – “අභියාචනාධිකරණයේ ප්‍රථම වරටයි සාක්කි දෙන්නේ. එසේ වුවහොත් ඔව් නෑ බෑ පමණයි කියන්න වෙන්නේ.”
විනිසුරු මඬුල්ල – “අවශ්‍ය නම් පැහැදිලි කිරීම් කළ හැකියි. කෙටි පිළිතුරු දීම ප්‍රමාණවත්.”
සාක්කිකරු – “එක්නැලිගොඩ මහතා අතුරුදන්වීමේ නඩුවට මා ඉතා උනන්දුවෙන් පැමිණියා. එක්නැලිගොඩ නමැති මාධ්‍යවේදියෙක් ගැන මා අසා තිබුණේ නැහැ. ලංකා ඊ නිව්ස් නමැති වෙබ් අඩවියේ එවැනි නමක් තිබුණා. එක්නැලිගොඩ මහත්මිය ජාත්‍යන්තරයට ගොස් රණවිරුවන්ට එරෙහිව ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරනවා. ඇය ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන රැසක කටයුතු කරනවා.”
“ලංකාවේ රණවිරුවන් රසායන අවි භාවිතා කළ බව කියමින් ඇය ජිනීවා ගියා. මෙය දේශපාලන කුමන්ත්‍රණයක්. එවකට සිටි දේශපාලන අධිකාරිය ගැන කාටුන් පොතක් ලිවීම ඇතුළු කරුණු තුනක් මෙම අතුරුදන්වීම ගැන තිබුණා. මේ නඩුවේ පැමිණිලිකාරිය රටට අහිතකර ලෙස කටයුතු කළා. 2010 දී ඇය විසින් පැමිණිල්ලක් කර තිබුණත් නව රජය බලයට පත්වන තෙක් බුද්ධි අංශ නිලධාරින් අත්අඩංගුවට ගත්තේ නැහැ. වර්තමාන රජය බලයට පත්වූ පසුවයි ඔවුන් අත්අඩංගුවට ගත්තේ. වෙනත් නඩු සහ මේ නඩුව අතර විශාල වෙනසක් දකිනවා. ඔවුන්ට කළ විවිධ බලපෑම් ගැන බුද්ධි අංශ නිලධාරින්ගේ ඥාතීන් අපට කිව්වා.”
“මේ රජය බලයට ගෙනා රාජ්‍ය නොවන සංවිධානවල බලපෑම් නිසා මේවා සිදුවන බව අපට හොඳින් හැඟෙනවා. ඒ නිසා ඔවුන් අධිකරණයට ගෙනා දිනයන්වල මා අධිකරණයට වැඩියා. අධිකරණයේ සිදුවන දේ හොඳින් බලාගෙන බලධාරින් දැනුවත් කර හමුදා නිලධාරින් බේරාගැනීම පමණයි අපේ අරමුණ වුණේ. අධිකරණයට බාධා කිරීමේ කිසිදු අරමුණක් තිබුණේ නැහැ. මා සමඟ තවත් ස්වාමින් වහන්සේලා අධිකරණයට පැමිණියා. මේ නඩුව අහන අවස්ථාවේදී සැලකිය යුතු පිරිසක් එහි සිටියා. මේ නඩුව නැරඹීමට ඇතැම් අය ආවා.”
“එදින අලුත් නඩුකාරතුමෙක් ඇවිත් හිටියා. මේ නඩුව සම්බන්ධයෙන් නඩුකාරතුමා මීට පෙර කළ ප්‍රකාශයක් පුවත්පත්වල පළවුණා. ඒ නිසා මේ නඩුව බලන්න යාමට සිත්වුණා. එදිනත් සංවාදාත්මක ස්වරූපයෙන් නඩු විභාගය පැවැත්වුවා. එවැනි තත්ත්වයක් මීට පෙර අධිකරණවල දැක නැහැ. විත්තිකරුවන්ට ඇප ලැබේවි යැයි විශ්වාසයක් තිබුණා. එහෙත් ඔවුන්ට ඇප ලැබුණේ නැහැ. ඔවුන් මාංචු පිටින් මට වැන්දා. ඔවුන්ගේ ඇස්වල කඳුළු මගේ අතට වැටුණා. විශාල සංවේදීකමක් ඇතිවුණා. එවිටම මට හිතුනා “නඩුකාරතුමනි මොවුන්ට ඇප දෙන්න මොකුත්ම ක්‍රමයක් නැද්ද” ලෙස අහන්න.”
“ඒ සමඟම මා නැගී සිටියා. හිතේ සංවේදීකම මිස කිසිවක් දැනුනේ නැහැ. ස්වාමීනී මට කතාකරන්න ඕන යැයි මා කීවා. එවිට මහේස්ත්‍රාත්තුමා අංගචලනයෙන් එය අනුමත කළ බවක් මට හැඟුනා.”
“ඊට විරුද්ධ වන ඉඟියක්වත් තිබුණේ නැහැ. එතුමා මගේ කතාවට සවන්දෙයි යන විශ්වාසය මට තිබුණා. අධිකරණයේ කීර්තියට හෝ උත්තරීතරභාවයට හානියක් වේ යැයි මා සිතුවේ නැහැ. විනිසුරුතුමාට විරුද්ධවීමේ ද්වේශ සහගත සිතිවිල්ලක් තිබුණේ නැහැ.”
“අපිව ඕන නම් තියාගෙන මොවුන්ට ඇප දෙන්න කියා මා ඉල්ලා සිටියා. එවිට මහේස්ත්‍රාත්තුමා ඉතා පැහැදිලි ලෙස මේ නඩුව ගැන විග්‍රහ කළා. එතුමා පැහැදිලි කළා මෙය නීතිය හදන තැනක් නොවෙයි පාර්ලිමේන්තුවෙන් එය කරන්නේ කියා. පාර්ලිමේන්තුවෙන් අප එය හදාගන්නම් කියා මා එතනින් ඉවත් වුණා.”
“මහේස්ත්‍රාත්තුමාට බලපෑම් කිරීමේ අරමුණක් මට තිබුණේ නැහැ. ස්වභාවයෙන්ම මගේ කට හඬ ශබ්දයි. ‘
“අධිකරණයට බාධාවන අන්දමේ වචනයක් හෝ අංගචලනයක්වත් මා කළේ නැහැ. අධිකරණයේ කටයුත්තට මගෙන් බාධාවක් වූ බවට වන චෝදනාව මා පිළිගන්නේ නැහැ. ඥාතීන් ඇවිත් කරන කරදරය නිසා තමයි මා මෙවැනි ඉල්ලීමක් කළේ. තියෙන නීතිය අනුගමනය කරන්න ඕන නෑ, කියා මා කීවේ නෑ. ඊට පාර්ලිමේන්තු යා යුතු බව මගේ අදහස වුණා.’
අභියාචනාධිකරණ සභාපති විනිසුරු එල්. ටී. බී. දෙහිදෙනිය සහ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඉදිරියෙහි මේ පෙත්සම කැඳවනු ලැබුවා.
වැඩිදුර සාක්කි විභාගය ඔක්තෝබර් මස 03 දින තෙක් කල් තැබුණා.