අදාල කැබිනට් පත්‍රිකාවේ සඳහන් වන්නේ දිළිඳුකම පිටුදැකීමේ අරමුණින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ රඹකැන් ඔය විශේෂ ආර්ථික බලප්‍රදේශයේ ජනතාවගේ තිරසාර ආර්ථික සෞභාග්‍යය ඇතිකිරීමේ විශේෂ වැඩසටහනක් ලෙස සී/ස බිබිල සීනි සමාගමේ සංවර්ධන ව්‍යාපෘතිය 2017 වසරේ ආරම්භ කොට 2019 වසරේ දෙසැම්බර් මාසයට පෙර වාණිජ්‍ය කටයුතු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්ය.
අති දුෂ්කර ඌව වෙල්ලස් ප්‍රදේශයේ ජනතාවගේ දිළිඳුකම පිටුදැකීම සඳහා ආණ්ඩුවට හදිසි අනුකම්පාවක් ඇති වී තිබේ.
මෙම ව්‍යාපෘතියේ දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ කුප්‍රකට එම්.එස්. හෝල්ඩින්ග් පුද්ගලික සමාගමයි. මෙම සමාගම මීට වසර කිහිපයක පෙර ද ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ ඉඩම් කොල්ලකෑමේ දැඩි උත්සාහයක නිරත විය. ඒ මෙවැනිම උක් වගා ව්‍යාපෘතියක් වෙනුවෙනි. 2006 වසරේදී බ්‍රිතාන්‍ය සමාගමක් වන බුකර්ටේට් සමාගම සමග එක්ව උක් වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට එම්.එස්. හෝල්ඩින්ග් සමාගම උත්සාහ කළ අතර ජනතා විරෝධය හමුවේ එම ව්‍යාපෘතිය හකුළා ගැනීමට ඔවුන්ට සිදුවිය.
වත්මන් ආණ්ඩුව එම පරණ අත්දැකීම් හොඳින් අවබෝධ කරගෙන ඇති අතර මෙවර ඇමරිකානු බහුජාතික සමාගමට ඉඩම් ලබාදීමේදී ඒ සඳහා මානුෂික මුහුණුවරක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කර තිබේ. ඒ අනුව මෙම ඉඩම් අක්කර 62,500 කෙලින්ම අදාල සමාගමට බදුදීමක් සිදු නොවේ. අදාල ප්‍රදේශයේ ගොවි පවුල් 10,000 ක් තෝරාගෙන ඔවුන්ට හෙක්ටයාර දෙක හමාර බැගින් ලබාදීමට සැලසුම් කර තිබේ. ඉඩම් ලබාදීමේ ප්‍රධාන කොන්දේසිය වන්නේ හෙක්ටයාර දෙකක උක් වගාකර එහි අස්වැන්න උක්ත සමාගමට විකිණීමයි.
එක් අතකින් ආණ්ඩුවේ සැළසුම වන්නේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී එල්ල වන ජනතා විරෝධය සමනය කරගැනීමයි. එනම් රටේ ජනතාවට ඉඩම් ලබාදීමට කිසිවෙකුට විරෝධය පළකළ නොහැකිය. ආණ්ඩුව එය හොඳින් අවබෝධ කරගෙන ඇති අතර ඒ හරහා ජනතා විරෝධය සමනය කරගත හැකිය. අනෙක් අතින් ඇමරිකානු සමාගමට ද ඉඩම් සම්බන්ධයෙන් වගකීමක් නැත්තේ සෘජුවම ඔවුන්ට ඉඩම් පැවරීමක් සිදු නොවන බැවිනි.
මෙම ව්‍යාපෘතිය සඳහා වන ඉඩම් මේ වනවිට හඳුනාගෙන ඇති අතර එම බොහෝ ඉඩම් ගල්ඔය වනෝද්‍යානයට හා ඒ ආශ්‍රිත පෝෂණ කලාපයට අයත් ඉඩම් වේ. එමෙන්ම වන අලින්ගේ පෝෂණ කලාප වේ.
ඉතිහාසය පුරා පැල්වත්ත, හිඟුරාන, කන්තලේ යන සීනි නිෂ්පාදන ව්‍යාපෘති හරහා රටට ඉතිරිව ඇත්තේ ගැටලු පමණි. එක් අතකින් වනාන්තර අහිමි වූ අතර ඒ හරහා අලි-මිනිස් ගැටුම් නිර්මාණය විය. අනෙක් අතින් වනාන්තරවල ජීවත් වන සත්ව ප්‍රජාව රටට අහිමි විය.
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක, ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසන්නේ පැල්වත්ත, හිඟුරාන, කන්තලේ උක් වගාබිම් වෙනුවෙන් විනාශ කළ කැලෑ ඉඩම් හේතුවෙන් වසරක අලි ඇතුන් 60 කට අධික ප්‍රමාණයකට ජීවිත අහිමි වන බවයි. එසේම මිනිස් ජීවිත 40 ක් පමණ වාර්ෂිකව රටට අහිමි වන බවත් අදාල ප්‍රදේශවල මිනිසුන් මුහුණ දී ඇති ඉරණම ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ ජනතාවට ද උරුම කරදීමට ආණ්ඩුව උත්සාහ දරන බවයි.
උක් වගාව වෙනුවෙන් අධික ජල ප්‍රමාණයක් අවශ්‍ය වන අතර දැනටමත් ජල හිඟයකට මුහුණ පා ඇති ඌව වෙල්ලස්ස කාන්තාරකරණය වීම මෙහි එක් ප්‍රතිඵලයක් වනු ඇත. රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසන්නේ අක්කර 62,500 ක උක් වගාව වෙනුවෙන් දෛනිකව ජල ලීටර් 29,80,000 ක් (විසිනවලක්ෂ අසූදහසක්) පමණ අවශ්‍ය වන බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රවීන්ද්‍ර කාරියවසම් මහතා,
මෙම ව්‍යාපෘතිය හේතුවෙන් රටට අහිමි වන තවත් සම්පතක් වන්නේ එම කලාපයේ වනාන්තරවල දුර්ලබ ශාක වර්ග හා ජීවත් වන සත්ව ගහනයයි. අතීතයේ ඉතා සශ්‍රීක ප්‍රදේශයෙක් වූ මෙම කලාපයේ විශාල ඖෂධීය ශාක ප්‍රමාණයක් තිබෙන බවත් පහත් බිම්, සැවානා සහ තණබිම් විශාල ප්‍රමාණයක් ද ලංකාවට ආවෙිණික ශාක විශාල ප්‍රමාණයක් ද අහිමි වන බව රවීන්ද්‍ර කාරියවසම් මහතා පෙන්වා දෙයි.
එසේම එම කලාපයේ ශ්‍රී ලංකාවට ආවේනික තිත් මුවන් විශේෂයක් හා මන්ද වලහා, දිවියා ඇතුළ ක්ෂීරපායි විශේෂ 36 කට අධික ප්‍රමාණයක් සහ කුරුලු විශේෂ 150 කට අධික ප්‍රමාණයක් සිය වාසභූමි කරගෙන සිටී. රවින්ද්‍ර කාරියවසම් මහතා පවසන්නේ හඳුනා නොගත් ජීවීන් ද මෙම කලාපයෙහි ජීවත් වන බවයි.
එල්ල වූ විරෝධය හමුවේ හිටපු පාලකයන් නැවතුණු තැනින් යහපාලන ආණ්ඩුව, බහුජාතික සමාගමව්ලට වටිනා වනාන්තර කොල්ලකෑමට ඉඩදීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර ඒ සඳහා මානුෂීය මුහුණුවරක් ලබාදී තිබේ. ආණ්ඩුව ජනතාවට ඉඩම් ලබාදී අත පිසදාගන්නා අතර ඉන් ඉක්බිති සියලු විරෝධයන් එල්ල වන්නේ ඉඩම් ලබාගත් අසරණ ජනතාවටයි. මේ අනුව බහුජාතික සමාගම්වලට ඉඩම් ලබාදීම සඳහා පළිහක් ලෙස අසරණ ජනතාවම භාවිතා කිරීමට ආණ්ඩුව කටුයතු කර තිබේ.
උක් වගාව සඳහා වඩාත් ගැලපෙන්නේ නොඉඳුල් ඉඩම් හෙවත් කිසිදු වගාවකට නොගත් ඉඩම්ය. එසේම උක් වගාව සඳහා භාවිතා කළ පසු එම ඉඩම්වල සාරවත් බව ඉතා ඉක්මනින් හීන වන අතර බහුජාතික සමාගම් විසින් ලොවපුරා සංවර්ධනය වෙමින් පවතින රටවල නොඉඳුල් ඉඩම් කොල්ල කා එහි සාරවත් බව උරා ගනිමින් සිටී. අවසානයේ අපට ඉතිරිවන්නේ සීනි නිෂ්පාදනයෙන් පසු උක්ගසේ රොඩු බොඩු ඉතිරිව වන්නාක් මෙන් නිසරු මහ පොළොව පමණි.
බ්‍රසීලය ඉන්දියාව වැනි රටවල් උක් වගාවෙන් සිදුවන පරිසර හානිය සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වා සිදුකළ වැරදි තේරුම් ගනිමින් උක් වගාවෙන් ඈත්වෙමින් වැරදි නිවැරදි කරගනිමින් බහුජාතික සමාගම් එලවා දැමීමට කටයුතු කරමින් සිටී.
දිළිඳුකම පිටුදකින බව පවසමින් ආණ්ඩුව උත්සාහ කරන්නේ එම බහුජාතික සමාගම් වෙනුවෙන් රටේ වටිනා සාරවත් භූමිය බිල්ලට දීම සඳහාය.
උපුල් නිශාන්ත
අදාල කැබිනට් ප්‍රකාශය පහත දැක්වේ.