Colombo Today Local News

අලුත් සිපෙට්කෝ සභාපති වැටුප දෙගුණ කරගෙන?

ඛනිජ තෙල් සංස්ථාවේ නව සභාපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා තමන්ට හිමි වැටුප මෙන් දෙගුණයකින් වැටුප් හා දීමනා වැඩි කරගෙන ඇතැයි රජයට පැමිණිලි කර ඇත.

ඛනිජ තෙල් සේවකයන්ට තිබිය යුතු වෛද්‍ය දීමනා කපා දමා තිබියදී වත්මන් සභාපතිවරයා බිරිඳ හා දරුවන්ට සීමාවකින් ​තොරව වෛද්‍ය පහසුකම් සඳහා දීමනා හා අනෙකුත් දීමනා ලබාගැනීමටද අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවකින් අනුමැතිය ලබාගෙන ඇති බවද අනාවරණය විය.

කොළොන්නාව ​තොග ගබඩා පර්යන්ත සමාගමේ (CPSTL) ඔක්තෝබර් 10 වැනිදා පැවැත්වූ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ගෙන ඇති තීරණයෙන් පසු නිකුත් කළ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවට අනුව සංස්ථා සභාපතිවරයාට රුපියල් හයලක්ෂ විසිපන්දාහක සියලු දීමනා සහිත වැටුපකට හිමිකම් පා ඇත.

‘‘රුපියල් තුන්ලක්ෂ ගණනක වැටුපක් ලබමින් මුතුරන්වෙල සේවය කරද්දී ලබාගත් කළමනාකරුවකුගේ වැටුප මෙන් දෙගුණයක් මේ සමගින් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති එස්. රාජකරුණා වෙත ලැබෙන බවත්, එය ඛනිජ තෙල් සංස්ථාවේ (CPC) ලැබෙන වැටුපට අමතර එකක් බවත් සමගි සන්ධාන ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු ආනන්ද පාලිත ‘අරුණ’ ට පැවැසීය.

ඉතිහාසයේම කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ වැටුපට වඩා සභාපතිවරයාගේ වැටුප වැඩිවූ පළමු අවස්ථාව මෙය බවද හෙතෙම පෙන්වා දුන්නේය. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ සමයේ සියලු සංස්ථා සභාපතිවරුන්ට රුපියල් ලක්ෂයක වැටුපකට සීමා කර තිබියදී වැටුප් රහිතව සේවය කරන බව පවසා පත්වූ බලධාරීන් ඉතිහාසයේ වැඩිම වැටුපකට හිමිකම් පා ඇතැයි සේවකයෝ පෙන්වා දෙති.

නව කළමනාකාර අධ්‍යක්ෂ ධුරයට පත්කර ඇත්තේද හොරකම් චෝදනාවකට බංග්ලාදේශයේ ගෑස් සමාගමකින් සේවයෙන් පහ කළ නිලධාරියකු බවත්, ඔහුට තෙල් සංස්ථාවෙන් රුපියල් ලක්ෂ පහක වැටුපට අමතරව කොළොන්නාවේ බෝඩ් පේපර් එකෙන් දෙලක්ෂ පනස්එක් දහසක දීමනාවක් ලැබෙන බවද ආනන්ද පාලිත ‘අරුණ’ ට පෙන්වා දුන්නේය.

මෙයට අමතරව මෙම නිලධාරීන්ට අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා වාඩිවීම වෙනුවෙන් රුපියල් විසිදහස බැගින් ගෙවන බවද අනාවරණය විය.

2024 නොවැම්බර් 8 දාතමින් නිකුත් කළ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවට අනුව (252nd of 11/2024) අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා විශ්‍රාමික නිලධාරියකු රුපියල් හාරලක්ෂ විසිපන්දහසක වැටුපක්, වාහනයක් සහ තෙල් ලීටර් 200 ක මාසික දීමනාවක් සමග බඳවාගෙන ඇත. මෙහෙයුම් කළමනාකරුවකු ලෙස කොන්ත්‍රාත් පදනමට බඳවාගෙන ඇති මෙම නිලධාරියා අධ්‍යක්ෂ මණ්ඩලයට එක්කරගෙන ඇත.

මොහුට දූෂණ චෝදනා තුනක් එල්ල වී විමර්ශන යන අතරේ විශ්‍රාම ගිය අයකු බවත්, යළි සේවයට කැඳවා ඇති බවත් ආනන්ද පාලිත පෙන්වා දුන්නේය.

මෙම අක්‍රමිකතාවන් පිළිබඳ ලියකියවිලි තම වෘත්තීය සමිති කණ්ඩායමක් ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී වෙත භාර දුන් බවත් හෙතෙම සඳහන් කළේය.

මෙම චෝදනාවල සත්‍ය අසත්‍යය දැනගැනීමට අප ඊයේ (17 වැනිදා) පස්වරුවේ පුවත්පත මුද්‍රණයට යාමට පෙර අවස්ථා දෙකකදී ඛනිජ​ තෙල් සංස්ථාවේ සභාපති එස්. රාජකරුණාගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගත්තද එම දුරකථනයෙන් ප්‍රතිචාර නොදැක්වීය.

– Aruna

Related posts

පඩි වැඩිකරන්නැයි තැපැල් සංගමය පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක

Admin

කොළඹ ලෝටස් මාර්ග අවහිර වෙයි

Admin

සංස්කෘතියට පහර ගසන ITN fm රේඩියෝ නාට්‍යයට එරෙහිව පොලිස් පරීක්ෂණ

colombotoday

“කොටින් වෙනුවෙන් පෙනී සිටිමින් රට බෙදන්න කතා කරන බෙදුම්වාදීන්ට නීතිය ක්‍රියාත්මක කරන්න” – බොදු බලෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

colombotoday

කාන්තාවකට වෙඩි තැබිමක්

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොල්ලුපිටියෙන් නිවාස බලයි?

Admin