Colombo Today Local News

පිටරටින් සහල් ගෙන්වයි

රටේ සහල් අර්බුදය උත්සන්න වන බැවින් ඊට විසඳුමක් ලෙස කඩිනමින් නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.

සහල් ආනයනකරුවන් සහ සතොස ඉහළ නිලධාරීන් අතර හමුවක් සතොස ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (19 වැනිදා) පැවැති අතර, එහිදී රටේ සහල් අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

මෙහිදී තීරණය කර ඇත්තේ ඉදිරි මහ කන්නයේ වී අස්වැන්න ලබන වසරේ (2025) ජනවාරි මාසයේ ලැබෙන තෙක් රටේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා නාඩු සහල් ඉන්දියාවෙන් ආනයනය කිරීමටය.

ඒ අනුව, දෙසැම්බර් මාසය අවසන්වීමට පෙර මෙම සහල් තොගය ආනයනය කිරීමට කටයුතු සැලසුම් කර තිබේ.

සතොස ආයතනය හරහා සහල් ආනයනයට අදාළ ටෙන්ඩර් කැඳවීම සිදුකිරීමට නියමිත අතර, ආනයනික සහල් තොග ලංකා සතොස හරහා පාලන මිලට පාරිභෝගික ජනතාවට අලෙවි කිරීමට කටයුතු යොදා තිබේ.

සතොස ප්‍රධාන කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී තීරණය වී ඇත්තේ නාඩු සහල් මෙට්‍රික් ටොන් 75,000ක් ආනයනය කිරීමටය. කෙසේ නමුත්, මුදල් තත්ත්වය අනුව සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ආනයනය කිරීමට සැලසුම් කර තිබේ. මුල් වටයේදී ආනයනය කිරීමට නියමිත සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 25,000කි.

වෙළෙඳපොළේ සහල් හිඟය උද්ගතවීමත් සමග නාඩු ඇතුළු සහල් වර්ගවල මිල ගණන් ඉහළ ගිය අතර, එහිදී සහල් තොග වෙළෙඳුන් කියා සිටියේ මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයින් විසින් සහල් සැපයුම සීමාකර තිබෙන බවය.

සහල් ගැටලුව කඩිනමින් විසඳීම සඳහා වී මෝල් සතුව තිබෙන සහල් තොග සම්බන්ධව කඩිනමින් වාර්තාවක් ලබාගන්නා ලෙස ජනාධිපතිවරයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දුන්නේය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ජනාධිපතිවරයාට ලබාදුන් වාර්තාව සඳහා රටේ වී මෝල්වලින් සියයට 60ක තිබෙන වී තොග සම්බන්ධව තොරතුරු ලබාගෙන තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ වී මෝල් සතුව ඉදිරි මාසයක කාලයක් සඳහා වී මෙට්‍රික් ටොන් 330,000ක තොගයක් පවතින බවය.

අදාළ තොගය දෙසැම්බර් මස දෙවන සතිය දක්වා පමණ ප්‍රමාණවත් වන බව වී මෝල් හිමියන් කියා සිටිති.

කෙසේ නමුත්, මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් සහල් තොග ප්‍රමාණවත් පරිදි වෙළෙඳපොළට නිකුත් නොකිරීම හේතුවෙන් සුපිරි වෙළෙඳසල්වල එක් බිල්පතකට නිකුත් කරන සහල් ප්‍රමාණය කිලෝග්‍රෑම් තුනක් දක්වා සීමාකර ඇත.

2024/25 මහ කන්නයේ වී අස්වනු ලබන ජනවාරි 15 වැනිදායින් පසු ලැබීමට නියමිතය. එතෙක් සහල් අර්බුදයක් ඇතිවීම වැළැක්වීම සඳහා සහල් තොග ආනයනය කිරීමට නියමිත අතර, සහල් ආනයනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඊයේ (19 වැනිදා) සවස පැවැත්විණි.

සහල් ආනයනය සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමැති කේ.ඩී. ලාල්කාන්තගෙන් ‘‘අරුණ’’ ඊයේ (19 වැනිදා) සිදුකළ විමසීමකදී කියා සිටියේ සහල් අර්බුදය උත්සන්න වුවහොත් සහල් ආනයනය කිරීමට සිදුවන බවය.

කෙසේ නමුත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහා පරිමාණ සහල් මෝල් හිමියන් සමග පසුගියදා පැවැති සාකච්ඡාවකදී කියා සිටියේ සහල් ඇටයක්වත් පිටරටින් ආනයනය නොකරන බවය.

Related posts

ජිනීවා වාර්තාව තරම් පරණගම වාර්තාව දරුණු නැත. හමුදාවට එරෙහි තවත් විභාග අනවශ්‍ය ය.

colombotoday

රන්ජන්සි සිරගෙදරදී යදිවි නසාගන්න උත්සාහ කර නෑ. පැතිරෙන කතා අසත්‍යයි.

colombotoday

ඉන්ධන මිල සුත්‍රය ගෙන ඒම සුදුසුයි

colombotoday

කොවිඩ් ඇතුළු වූ සුරාබදු දෙපාර්තමේන්තු මෙහෙයුම් මැදිරිය වසයි

colombotoday

ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ සිටින ඉන්දීය පූජකවරයෙක් රනිල්ගෙන් දේශපාලන රැකවරණ ඉල්ලයි

colombotoday

සරලම තැනින් පටන් ගන්න. ෆයිල් එකේ තියෙන සැලසුම් බිමට ගේන්න : ජනපති රාජ්‍ය ඇමතිවරුන්ට කියයි

colombotoday