Colombo Today Local News

මිනිස්සු ඡන්දේ දීපු අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙන්න

සාර්ව ආර්ථික ස්ථායීකරණය
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති
■ ජාත්‍යන්තර ගනුදෙනු සම්බන්ධයෙන් කටයුතු කිරීමට විශේෂ අංශයක් සහිතව බදු ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා නව ඒකකයක් පිහිටුවීම
■ බදු පරිපාලනය කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ සිදුකිරීම
■ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල පුහුණුව සහ ධාරිතා සංවර්ධනය කිරීම
■ හිඟ බදු කඩිනමින් අය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම
■ බදු අය කිරීමේ කාර්යක්ෂමතාව හා සාධාරණ බව තහවුරු කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව, ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය ඇතුළු අදාළ රාජ්‍ය ආයතනවල මෙහෙයුම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමග ජාලගත කිරීම
■ රාජ්‍ය සේවා ලබාගැනීම හා රජය සමග කටයුතු කිරීමට සෑම පුරවැසියකුටම නිශ්චිත ඩිජිටල් හඳුනා ගැනීමේ කේතයක් (Unique Digital Identification code) ලබාදීම
■ පුද්ගලයින් සඳහා වන වාර්ෂික බදු නිදහස් සීමාව රුපියල් ලක්ෂ 12 සිට ලක්ෂ 24දක්වා වැඩිකිරීමට සහ බදු කාණ්ඩ (Tax Brackets) හා බදු අනුපාත (Tax Rates) සාධාරණ ලෙස සංශෝධනය කිරීම
■ බදු මූලධර්මවලට අනුකූලව බදු පදනම (Tax Base) පුළුල් කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම
■ යන්ත්‍රසූත්‍ර සඳහා ප්‍රාග්ධන වියදම්වලින් සමාගම් ආදායම් බදු සඳහා අඩු කළ හැකි ක්ෂය දීමනාව, 120% දක්වා වැඩි කිරීම මගින් නිෂ්පාදනය දිරිගැන්වීම
■ වැට් බදු එකතු කිරීම විධිමත් සහ කාර්යක්ෂම කිරීම සඳහා පොයින්ට් ඔෆ් සේල්ස් යන්ත්‍ර සහ ඩිජිටල් ඉන්වොයිසින් ක්‍රම හඳුන්වාදීම
■ දේශීයව නිෂ්පාදනය කරන කිරි, බිත්තර ඇතුළු අත්‍යවශ්‍ය ආහාර, ළදරු කිරි, ඖෂධ, පාසල් පොත් හා උපකරණ, සඟරා, පුස්තකාල සේවා, කෘෂි උපකරණ, පොහොර, සූර්ය පැනල සහ උපාංග, පුනර්ජනනීය බලශක්ති ජනන යන්ත්‍ර, ආබාධ සහිත පුද්ගලයන් භාවිතා කරන වාහන උපකරණ පරිපථ, දේශීය නිෂ්පාදන මෘදුකාංග, තොරතුරු තාක්ෂණ සේවා, පර්යේෂණ හා සංවර්ධන සේවා සඳහා වැට් බද්ද 0% අනුපාතයට ගෙන ඒම
■ වැට් බද්දට අදාළ භාණ්ඩ වර්ගීකරණය කොට ඒ ඒ කාණ්ඩය සඳහා වෙනස් බදු අනුපාත හඳුන්වා දීම
■ ආදාන වැට් බද්ද මත වන අපනයන සංවර්ධන බදු අපනයනකරුවන්ට කඩිනමින් ආපසු ලබාදීම
■ දැනට ක්‍රියාත්මක අභිමත බදු විගණනය වෙනුවට අවදානම් පාදක බදු විගණනයට මාරු වීම
■ බදු තක්සේරු කිරීම, බදු වාර්තා ගොනු කිරීම, බදු ගෙවීම, හා අතිරික්ත බදු ආපසු ගෙවීම සඳහා ජංගම දුරකතන මගින් ගෙවීමේ පහසුකම්ද සහිත මාර්ගගත ක්‍රමවේදයක් හඳුන්වා දීම
■ ආනයන හා අපනයන වෙළෙඳ පහසුකම් සැලසීමට අනෙකුත් රාජ්‍ය ආයතන සහ ශ්‍රී ලංකා රේගුව ඒකාබද්ධ කරමින් තනි සේවා කවුළුවක් පිහිටුවීම
■ සාධාරණ ලෙස රේගු බදු ආදායම වැඩිකර ගැනීම සඳහා පවතින සංකීර්ණ තීරුබදු අනුපාත ව්‍යුහය සරල කිරීම
■ අපනයන ඉපැයීම්වලට සාපේක්ෂව විදේශ ප්‍රේෂණ ගෙන්වා ගැනීම හා මෙහෙයුම් කාර්යක්ෂම කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුවට බලය පැවරෙන පරිදි විදේශ විනිමය පනත සංශෝධනය කිරීම
■ ආනයන හා අපනයනකරුවන්ට වඩාත් කාර්යක්ෂම හා අඩු පිරිවැය සේවාවන් ලබාදීම සඳහා ශ්‍රී ලංකා රේගුවේ කටයුතු විමධ්‍ය ගත කිරීම
■ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා අපනයන සැකසුම් සඳහා තාවකාලික ආනයනය ක්‍රමය යටතේ අමුද්‍රව්‍ය සහ යන්ත්‍ර සූත්‍ර ආනයනය සඳහා පහසුකම් සැලසීම
■ ජාත්‍යන්තර ගනුදෙනු සහ හුවමාරු මිල මත සිදුවන බදු කාන්දුවීම්, බදු පැහැර හැරීම්, ඌන ඉන්වොයිසින් හා අධි ඉන්වොයිසින්, වැළැක්වීමට රටවල් අතර ස්වයංක්‍රීය තොරතුරු හුවමාරුව වැනි ක්‍රියාමාර්ග හඳුන්වා දීම
■ ජාත්‍යන්තර ගිවිසුම්වලට අනුකූලව සහ අදාළ මාර්ගෝපදේශ අනුව ජාත්‍යන්තර ගනුදෙනු මත අවම ගෝලීය බද්දක් පැනවීම
■ විද්‍යුත් ප්‍රසම්පාදනය ඇතුළත් ඩිජිටල් පාදක ආණ්ඩුකරණය සහ ශක්තිමත් රාජ්‍ය අධීක්ෂණ යාන්ත්‍රණයක් මගින් රාජ්‍ය මූල්‍ය කාර්යක්ෂමතාව, විනිවිදභාවය, යහපාලනය සහ වගවීම වැඩි දියුණු කිරීම හා අනවශ්‍ය රාජ්‍ය වියදම් කපා හැරීම

මූල්‍ය ප්‍රතිපත්ති
■ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත්කිරීම හා හිඟ ණය සඳහා සහන සැලසීමට නව සහන බැංකුවක් ස්ථාපිත කිරීම
■ ව්‍යවසායකයින් සඳහා දිගුකාලීන මූල්‍යකරණය, නව ව්‍යාපාර ආරම්භ කිරීම සහ ව්‍යාපාර ප්‍රසාරණය කිරීම සඳහා නව ජාතික සංවර්ධන බැංකුවක් ස්ථාපිත කිරීම
■ කුඩා පරිමාණයේ ගොවියන්, නිෂ්පාදකයින්, ව්‍යවසායකයින් සහ ආයෝජකයින් සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට සමුපකාර, සමෘද්ධි හා ප්‍රාදේශීය සංවර්ධන බැංකු කාර්යක්ෂම ලෙස මෙහෙයවීම
■ නීතිමය විධිවිධාන සහ මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ලබාදී ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිබඳ සමාලෝචනය කොට අගතියට පත් පාර්ශ්වයන්ට සහන සැලසීම
■ ක්ෂුද්‍ර මූල්‍ය සේවා සපයන ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි කිරීම දිරිගැන්වීම සහ එම කටයුතු අධීක්ෂණය විධිමත් කිරීම
■ විදේශ විනිමය වෙළෙඳපොළ ඇතුළු මූල්‍ය වෙළඳපොළවල ස්ථාවරත්වය සඳහා ප්‍රතිපත්ති පොලී අනුපාතික ස්ථායී කිරීම
■ බැංකු මුදල් සහ ඉතුරුම් නිෂ්පාදන ආර්ථික ක්‍රියාකාරකම්වල විධිමත්ව ආයෝජනය කිරීමට නව මූල්‍ය යෝජනා ක්‍රම හඳුන්වා දීම
■ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය විධිමත් කිරීම මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය ශක්තිමත් කිරීම
■ ස්ථාවරත්වය සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය බැංකු ප්‍රතිප්‍රාග්ධනීකරණය කිරීම

බාහිර අංශය ස්ථාවර කිරීම
■ විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් සඳහා නව විගමනික බැඳුම්කර ඇතුළු ඉතුරුම් සහ ආයෝජන සැලසුම් හඳුන්වා දීම
■ ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් යෙදවීමට නව සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීම
■ තිරසාර සංවර්ධන ඉලක්ක සහිත සංවර්ධන ව්‍යාපෘති සඳහා ගෝලීය හරිත හා නීල අරමුදල් වෙත ප්‍රවේශවීමට බැඳුම්කර නිකුත් කිරීම
■ තොරතුරු තාක්ෂණ කර්මාන්තය හා සංචාරක කර්මාන්තය දියුණු කිරීම තුළින් විදේශ විනිමය සංචිත වර්ධනය කර ගැනීම
■ ජාතික ප්‍රමුඛතා සහ සංවර්ධන ක්‍රමෝපායන් සමග ගැළපෙන යෝජිත හා දැනට අතර මැද නතරවී ඇති ඍජු විදේශ ආයෝජන කඩිනම් කිරීම
■ අපනයන විවිධාංගීකරණය මඟින් විදේශ වෙළෙඳ පංගුව වැඩිකිරීම සඳහා පවත්නා වෙළෙඳ ගිවිසුම් නැවත සලකා බැලීම සහ නව ගිවිසුම්වලට එළඹීම
■ සංචාරක කර්මාන්තයෙන් හා තොරතුරු තාක්ෂණ කර්මාන්තයෙන් විදේශ විනිමය ඉපයීම් වර්ධනයට කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන
■ දුප්පත් හා අසරණභාවයට පත්කොට ඇති ජනතාව එම තත්ත්වයෙන් මුදාගැනීම සඳහා වඩාත් ශක්තිමත් හා නිවැරදි වැඩපිළිවෙළක අඩංගුව හා එය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නැවත සාකච්ඡා කිරීම
■ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කර ඇති ආදායම් පාදක වියදම් කළමනාකරණ යෝජනා නැවත සමාලෝචනය කිරීම සඳහා කාර්යක්ෂම බදු පරිපාලනය හා ආණ්ඩුවේ වියදම් කළමනාකරණය පිළිබඳ නව යෝජනා ඉදිරිපත් කිරීම
■ ණය තිරසර බව පවත්වා ගැනීම හා දරාගත හැකි මට්ටමක ණය පොලී තබාගැනීම ඉලක්ක කරගනිමින්, අවශ්‍යතාව අනුව ණය සමාලෝචන කටයුතුවලදී භාවිත කිරීම සඳහා විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණයක් පිළියෙල කිරීම
■ රාජ්‍ය මූල්‍ය විනිවිදභාවය සහ ආණ්ඩුවේ වගවීම සහතික කිරීමට හා ණය අවභාවිතය සිදු කළ පුද්ගලයින්ට එරෙහි නීතිමය පියවර ගැනීම සඳහා ආණ්ඩු විසින් ලබාගත් විදේශ ණය පිළිබඳ සවිස්තරාත්මක ණය විගණනයක් කඩිනමින් සිදුකිරීම
■ රටේ සහ බැංකු පද්ධතියේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමාගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය හා මූල්‍ය විනය වැඩිදියුණු කිරීම

නව්‍ය සංචාරක කර්මාන්තයක් – ආකර්ෂණීය ගමනාන්තයක්
සංචාරක කර්මාන්තය යනු ගෝලීය අවශ්‍යතා සපුරන වේදිකාවක් වන අතර, එමගින් සත්කාරක රටවල් වෙත ආර්ථික සමාජ – සංස්කෘතික සහ පාරිසරික ප්‍රතිලාභ ගෙන ඒමට හැකි වේ. සංචාරක කර්මාන්තයේ සම්පත් ප්‍රධාන කොටස් හතරක් ලෙස හඳුනාගත හැක. එනම් ස්වභාවික, සංස්කෘතික, මානව සහ ප්‍රාග්ධන සම්පත් යනුවෙනි. මෙම සම්පත් ඵලදායී ලෙස ඒකාබද්ධ කර සැලසුම් කිරීම මගින් දියුණු සංචාරක කර්මාන්තයක් ගොඩනගා ගත හැකි වේ.
සංචාරක පැමිණීම් මිලියන 2.3ක් ඇ,ඩො, බිලියන 4.3ක් සහ දළ දේශීය නිෂ්පාදිතයේ දායකත්වය 4.9% ක් ලබාගනිමින් ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය 2018 වසරේ මෙතෙක් හොඳම කාර්ය සාධනය ප්‍රදර්ශනය කර ඇත. ඒ අනුව සංචාරක ව්‍යාපාරයේ පදනම් වර්ෂය 2018 ලෙස සලකා ජාතික ජන බලවේගය සිය අනාගත සංචාරක ඉලක්ක හඳුනාගෙන තිබේ. ඒ අනුව සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ තීරණාත්මක ආර්ථික ක්ෂේත්‍රයක් ලෙසත් රටේ ප්‍රධාන විදේශ විනිමය ඉපයීමේ කර්මාන්තයක් ලෙසත් සලකා එය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කෙරේ. ඒ අනුව අපගේ දැක්ම වනුයේ, සංචාරක කර්මාන්තයේ තිරසාර බවත් පාර්ශ්වකරුවන්ගේ උසස් ජීවන තත්ත්වයත්, ආර්ථික වර්ධනයට ඉහළ දායකත්වයක් සහතික කරන අතරම සංචාරකයින්ට ඉහළ තෘප්තිමත් සහ අව්‍යාජ අත්දැකීම් ලබාදීම සඳහා ප්‍රමුඛතා කර්මාන්තයක් ලෙස ගෝලීය සන්දර්භය තුළ ශ්‍රී ලංකාව ඉහළ ඉල්ලු‍මක් ඇති ගමනාන්තයක් බවට පත්කිරීමයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් – ශ්‍රී ලාංකේය ජාතික සාමාග්‍රියක්
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරනු ලබන අතර එය මහජනතාව වෙත ඉදිරිපත් කර, සංවාදයකින් අනතුරුව අවශ්‍ය වෙනස්කම් සිදුකොට ජනමත විචාරණයක්ද සමග සම්මත කරගනු ඇත.

■ සමාජ හා ආර්ථික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අනුකූල අයිතීන් මූලික අයිතිවාසිකම් ලෙස පිළිගනිමින් බලාත්මක කිරීම
■ ළමා, කාන්තා සහ ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් පිළිබඳ ආණ්ඩුක්‍රම නීතිය ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට අනුකූල වන ලෙස පුළුල් කිරීම
■ රැකියා සඳහා රට තුළ සහ රටින් පිටත සංක්‍රමණික පුද්ගලයන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම
■ ජාතිකත්වයන් අතර අසමගිය සහ ආගමික වෛරය ඇති නොකරන, ස්ත්‍රී පුරුෂභාවය හෝ වෙනත් කරුණු මත වෙනස් කොට නොසැලකීම යන කොන්දේසිවලට යටත්ව භාෂණයේ නිදහස තහවුරු කිරීම
■ විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීම හා විධායක බලතල රහිත ජනාධිපතිවරයෙක් පත්කිරීම
■ නව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම
■ ජනාධිපති නිල නිවාස එකකට පමණක් සීමා කිරීම
■ විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හා ඔවුන්ගේ කලත්‍රයන්ට දී ඇති විශ්‍රාම වැටුප්, විශේෂ දීමනා හා වරප්‍රරසාද අහෝසි කිරීම
■ විද්‍යාත්මකව වෙන්කරන ලද අමාත්‍යාංශ 25කට ඇමැතිවරුන් 25ක් සහ අනුරූපී නියෝජ්‍ය ඇමැතිවරු පත්කිරීම සහ රාජ්‍ය ඇමැති ධුර අහෝසි කිරීම
■ සෑම අමාත්‍යාංශයකටම විෂය පිළිබඳ විශේෂඥයන්ගෙන් සමන්විත උපදේශක මණ්ඩල පිහිටුවීම
■ සිය වගකීම ඉටු නොකරන්නේ නම් හා දූෂණයේ යෙදෙන්නේ නම් මහජන නියෝජිතයා ආපසු කැඳවීමේ බලය ඡන්දදායකයාට ලැබෙන විධිවිධාන
■ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පුද්ගලික කාර්යමණ්ඩලය සඳහා පවුලේ ඥාතීන් බඳවා නොගැනීම වැනි දේ අඩංගු ආචාරධාර්මික පද්ධතියක් හඳුන්වා දීම
■ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සැසිවාරයට සහභාගි වීම වෙනුවෙන් ගෙවන දීමනා අහෝසි කිරීම
■ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර 05කින් පසුව ලබාදෙන විශ්‍රාම වැටුප අහෝසි කිරීම
■ මන්ත්‍රීවරුන්ගේ තීරුබදු රහිත වාහන බලපත්‍ර ක්‍රමය ඉවතට
■ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ධුර කාලය තුළදී එක් වාහනයක් පමණක් ලබාදීම

නීතිය මත පාලනයක් සමප්‍රවේශී අධිකරණ පද්ධතියක්
අධිකරණය මගින් ස්වාධීනව හා කාර්යක්ෂමව යුක්තිය පසිඳලීම මෙන්ම මහජනයාට ඒ ක්‍රියාවලිය පිළිබඳ ඇති විශ්වාසයත් නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීමෙහිලා අතිශය වැදගත් වේ. නමුත් අද ලංකාවේ මෙම ක්‍රියාවලිය අධික මිල සහිත, මහජනතාවගෙන් ඈත් වූ සහ ජනතා විශ්වාස පළුදු වූවකි. ස්වාධීන, කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුත් හා මහජනතාවට දැරියහැකි අධිකරණ පද්ධතියක් ඇති කිරීමෙන් ඒ පිළිබඳ බිඳීගිය ජනතා විශ්වාසය නැවත ගොඩනගා ගැනීමට ජාතික ජන බලවේගය අපේක්ෂා කරයි.

ක්‍රියාමාර්ග

අධිකරණය
■ නීති විශේෂඥ කමිටුවක් මගින් පවතින නීති සමලෝචනය කොට අවශ්‍ය නීති යාවත්කාලීන කිරීම
■ අධිකරණ ක්‍රියාවලියට නවීන තාක්ෂණය හඳුන්වාදීමට පියවර ගැනීම සහ විනිශ්චයකාරවරුන්ට හා කාර්ය මණ්ඩලයට ඒ සම්බන්ධ නිසි පුහුණුව ලබාදීම ආදිය තුළින් අධිකරණ ක්‍රියාවලිය වඩා සුමට හා කාර්යක්ෂම කිරීම
■ සුහුරු අධිකරණ ශාලා ඇති කිරීමට අවශ්‍ය පියවර ගැනීම සහ අධිකරණ වාර්තා මෘදු පිටපත් පවත්වාගෙන යාම
■ ඉහළ හා පහළ අධිකරණවල විනිශ්චයකාරවරුන්ට සහාය වීමට පර්යේෂණ නිලධාරීන් පත්කිරීම
■ දකුණු ආසියානු කලාපයේ ජාත්‍යන්තර වාණිජ ගනුදෙනු පදනම් කරගෙන හටගන්නා ගැටලු‍ බේරුම්කරණය සහ සමථකරණය කිරීම සඳහා ජාත්‍යන්තර බේරුම්කරණ සහ සමථකරණ මධ්‍යස්ථානයක්
■ අපරාධමය නීතිය හා බැඳුණු නඩු භාණ්ඩ ආරක්ෂිතව ගබඩා කර තබාගැනීම සඳහා යටිතල පහසුකම් දියුණු කිරීම
■ දීර්ඝ කාලයක් තිස්සේ රඳවා තබගන්නා අපරාධමය නීතිය හා බැඳුණු නඩු භාණ්ඩ ඒවායේ වටිනාකම් ක්ෂයවීමට පෙර සුදුසු බැඳුම්කර මත අදාළ පාර්ශ්ව වෙත මුදාහැරීම හෝ රාජසන්තක කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම
■ ඇප නීතියේ හා ඇප දීමේ ක්‍රියාවලියේ ඇති ගැටලු‍ සොයා බලා ඇප නීතිය යාවත්කාලීන කිරීම
■ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු ශාඛා පළාත්බදව පිහිටුවීම

අල්ලස් හා දූෂණ
■ සොරාගත් වත්කම් නැවත අයකරගැනීමට අදාළව සොරකම් කරන ලද වත්කම් ප්‍රතිෂ්ඨාපනය සහ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබ‍ඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ආදී ජාත්‍යන්තර ආයතනවල තාක්ෂණික සහ උපදේශන සේවාවන් ලබා ගැනීමට රාජ්‍ය වත්කම් ප්‍රතිෂ්ඨාපන ආයතනයක් පිහිටුවීම
■ 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 34 වැනි වගන්තිය අනුව සොරාගත් වත්කම් නැවත අයකර ගැනීම සම්බන්ධීකරණය හා දූෂණය වැළැක්වීම සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාත්මක කිරීමේ බලධරයා වන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වෙත සම්පූර්ණ බලය පැවරීම සහ අවශ්‍ය පහසුකම් ලබාදීම
■ මූල්‍ය අපරාධ, අල්ලස් හා දූෂණ චෝදනා නඩු කාර්යක්ෂම කිරීම සඳහා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කිරීම
■ සෑම දිස්ත්‍රික්කයකම දූෂණ විරෝධී කොමිසමේ කාර්යාලයක් පිහිටුවීම
■ දූෂණ විරෝධී කොමිසම වෙත ලැබෙන පැමිණිලි මාස හයක් ඇතුළත විමර්ශනය කිරීම හෝ එසේ නොකරන ලද පැමිණිලි පිළිබඳ වාර්තාවක් සෑම මාස හයකට වරක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
■ රාජ්‍ය මූල්‍ය දූෂණ චෝදනාවලට ලක්වූවන්ට රැකවරණ ලබාදෙන්නන්ද අදාළ වැරැද්දට සම්බන්ධ අයවලුන් ලෙස සලකා නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා අවශ්‍ය නීති සකස් කිරීම
■ මූල්‍ය අවභාවිතාවන්, අල්ලස්, කොමිස් වැනි දූෂිත ක්‍රියාවන් වැළැක්වීම අරමුණු කරගනිමින් නීතිරීතී සම්පාදනය කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා කටයුතු කිරීම
■ දූෂණ, වංචා, අල්ලස් වැනි දෑ පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීමට හා ඒවාට එරෙහිව මහජනතාව බලගැන්වීමේ ව්‍යාපාරයක් රාජ්‍ය අනුග්‍රහයෙන් ස්ථාපිත කිරීම
■ අල්ලස් කොමිසම හා නීතිපති මගින් ඉල්ලා අස්කර ගන්නා ලද නඩු නැවත සමාලෝචනයකට ලක්කර සුදුසු නඩුකර නැවත පැවරීමට කටයුතු කිරීම

නීතිපති දෙපාර්තුමේන්තුව
■ රජය වෙනුවෙන් නඩු කටයුතු මෙහෙයවීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් පරිබාහිරව පළාත්බද රජයේ ප්‍රධාන අභිචෝදක කාර්යාල පිහිටුවීම
■ නඩු පැවරීමේදී නීතිපති දෙපාර්තුමේන්තුව මගින් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය ලේඛනගත කිරීම
■ විමර්ශන ක්‍රියාවලියෙන් පසු නීතිපති දෙපාර්තතුමේන්තුව විසින් නඩු නොපැවරීමට කටයුතු කරන්නේ නම් ඊට හේතු අතෘප්තියට පත් පාර්ශ්ව වෙත දැනුම්දීම
■ නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳව අගතියට පත්වන පාර්ශ්වයට සිය දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට විශේෂ පාර්ලිමේන්තු ඔම්බුඩ්ස්මන්වරකු පත්කිරීම
■ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු යටතේ නීතිපති දෙපාර්තමේන්තුවේ පළාත්බද කාර්යාල පිහිටුවීම

මහජන ආරක්‍ෂාව සුරකින මිත්‍රශීලී ස්වයක්
රටේ නීතිය සහ සාමය පවත්වා ගෙන යාමේදී මහජනතාවට වඩාත් සමීප ආයතනයක් ලෙස පොලීසිය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරයි. නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වන ආකාරය පිළිබිඹු වන වැදගත් සාධකයක් වන්නේ පොලීසියේ ස්වාධීන හා කාර්යක්ෂම ක්‍රියාකාරිත්වයයි. නමුත් වර්තමානයේ ශ්‍රී ලංකා පොලීසිය පිළිබඳ ඇති පොදු මහජන මතය වන්නේ දේශපාලන හෝ වෙනත් සමාජ සම්බන්ධතාවයක් හෝ මූල්‍ය ප්‍රදානයක් නොමැතිව සේවය ලබාගැනීමට නොහැකි ආයතනයක් ලෙසයි.

අනෙක් අතින් ඇතැම් පොලිස් නිලධාරීන්ද දේශපාලන අතපෙවීම්වලට ගොදුරු වීම් හා නිසි අගැයීමට ලක් නොවීම නිසා නිරතුරු පීඩාවන්ට ගොදුරු වේ. පොලිස් සේවය ස්වාධීන, කාර්යක්ෂම, මිත්‍රශීලී හා මහජනයාට සමීප සේවාවක් බවට පත්කිරීම ජාතික ජන බලවේගයේ අපේක්ෂාවයි.

ක්‍රියාමාර්ග

■ පොලීසිය මහජනතාව සමග සමීප සම්බන්ධතාවක් ඇතිකිරීම සඳහා විධිමත් ‘පොලිස් මහජන සබඳතා කමිටු’
■ සැකකරුවකු පොලිස් අත්අඩංගුවට ගෙන පැය 24ක් තුළ ඒ පිළිබඳ සැකකරුගේ භාරකරුවන්ට හෝ ළඟම ඥාතීන්ට දැනුම් දීම
■ පොලිස් ස්ථානයකින් අපරාධකරුවෙකු යම් කාරණයක් සඳහා පිටතට රැගෙන යන්නේ නම් එම සැකකරුවන්ගේ ජීවිතය ආරක්ෂා වන ආකාරයේ විධිමත් ක්‍රියාපටිපාටියක් අනුගමනය කිරීම හා ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයාට දැනුම් දීම
■ සියලු‍ පැමිණිලි පරිගණක ගත කිරීම සහ පොලිස් වාර්තා විද්‍යුත් තැපෑලෙන් ලබාදීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම්
■ පොලීසියට ලැබෙන සියලු‍ පැමිණිලි ඉක්මනින් විමර්ශනය කර අවසන් කිරීම සහ එසේ කළ නොහැකි ලිපිගොනු පිළිබඳ පොලිස් කොමිසමට වාර්තා කිරීම
■ අපරාධ විමර්ශනය සඳහා විද්‍යාත්මක පුහුණුව, නව තාක්ෂණික මෙවලම් සහ තොරතුරු තාක්ෂණය උපයෝගී කර ගැනීම
■ පොලිස් සේවයේ සියලු‍ පත්වීම්, උසස්වීම්, ස්ථාන මාරු දේශපාලනීකරණයෙන් තොරව සිදුකිරීම සඳහා පොලිස් කොමිසමට බලය ලබාදීම
■ පොලිස් කොස්තාපල් ධුරයේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක දක්වා කරනු ලබන උසස් කිරීම් සම්බන්ධයෙන් වන විධිමත් උසස් කිරීම් කාර්ය පටිපාටියක් ක්‍රියාත්මක කිරීම
■ පොලිස් සැරයන් සිට සහකාර පොලිස් අධිකාරී දක්වා කෙරෙන උසස් කිරීම් නිර්දේශපාලනිකව, කුසලතා හා කාර්ය සාධනය මත පමණක් සිදුකිරීම
■ පොලිස් සේවාව වෘත්තීමය පොලිස් සේවාවක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය දැනුම හා පුහුණුව ලබාදීම, අපරාධ විද්‍යාව සහ අපරාධ යුක්තිය, පොලිස් මහජන සම්බන්ධතාවයන්, උපදේශනය, මනෝ විද්‍යාව වැනි ක්ෂේත්‍ර පිළිබඳ උපාධි පුහුණු පාඨමාලා හැදෑරීමට අවස්ථා සැලසීම
■ දක්ෂ පොලිස් නිලධාරීන් ඇගයීමට ලක්කොට ත්‍යාග හා සහතිකපත් ලබාදීම හා ඔවුන්ට විදේශ පුහුණුව ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
■ නිවසක හිමිකමක් නොමැති පොලිස් නිලධාරීන්ට නිවාස ලබාදීමේ වැඩසටහනක්
■ පොලිස් සේවයේ වැටුප් හා දීමනා අනෙකුත් රාජ්‍ය සේවකයන්ට සමානුපාතිකව ඉහළ දැමීම
■ අල්ලස, දූෂණය හා වංචාවෙන් තොර පොලිස් සේවයක් සඳහා විශේෂ විමර්ශන ඒකකය වඩාත් ශක්තිමත් කිරීම

යුක්තිය ඉටු කිරීම
■ 2024.04.17 දින ජාතික ජන බලවේගය විසින් ප්‍රකාශයට පත්කළ ප්‍රතිඥාව අනුව, පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයින් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවරූ නඩු තීන්දුවලින් වරදකරුවන් වූ දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවරීම
■ 2019.04.21 වන පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාරය සම්බන්ධව ජනාධිපති කොමිෂන් සභා නිර්දේශවලට අනුව අදාළ දේශපාලනඥයන් සහ නිලධාරීන්ට එරෙහිව කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම
■ කාලයක් තිස්සේ නොවිසඳුණු ජනමාධ්‍යවේදීන්ගේ, ක්‍රීඩකයන්ගේ දේශපාලන ඝාතන සහ පැහැර ගැනීම් විමර්ශන කඩිනමින් අවසන් කොට අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම
■ දේශපාලන බලපෑම් මත තර්ජනයට ලක්ව රට හැරගිය මාධ්‍යවේදීන්, ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු අනෙකුත් පුද්ගලයන්ට යුක්තිය ඉටුකිරීම

මතින් තොර රටක් නිරෝගී පුරවැසි දිවියක්
වර්තමානය වන විට මත්ද්‍රව්‍ය භාවිතය ශීඝ්‍ර ලෙස ඉහළ යෑම හේතුවෙන් එය සමාජ ව්‍යසනයක් බවට පත්වී ඇත. පවුල තුළ මෙන්ම සමාජය තුළද බරපතළ ගැටලු‍ රාශියක් නිර්මාණය කිරීමට මත්ද්‍රව්‍ය භාවිතය හේතු වී ඇත. පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරගැනීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇත.
මත්ද්‍රව්‍ය රට තුළට ගෙන ඒම සහ බෙදාහැරීම පාලනය කිරීමට වත්මන් පාලනය අසමත් වී ඇති අතර මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් බන්ධනාගාරගත කිරීමෙන් පමණක් මෙම උවදුර වළක්වා ගැනීමට හැකියාවක් නැත. වර්තමානය වනවිට මත්ද්‍රව්‍ය භාවිතය සමාජ ඛේදවාචකයක් නිර්මාණය කිරීමට හේතුවී ඇති අතර 2022 වසරේ පුද්ගලයන් 152,979ක් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබ තිබුණි. එහෙත් මේ අතරින් පුනරුත්ථාපන වැඩසටහන් සඳහා යොමුකර තිබුණේ පුද්ගලයින් 1930ක් පමණි. බන්ධනාගාර ගතවන වැරදිකරුවන් අතරින් 60%ක් පමණ පුද්ගලයින් බන්ධනාගාරගත වන්නේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙනි. වර්තමානය වන විට දේශපාලනික හා වෙනත් බලවේගවල ආරක්ෂාව යටතේ ශ්‍රී ලංකාව, කලාපයේ මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත්වී ඇති අතර එය සංවිධානාත්මක අපරාධ වර්ධනය වීමට බලපා ඇත. එබැවින් ජාතික ජන බලවේගය මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ප්‍රමුඛත්වය ලබාදෙනු ලැබේ.

ක්‍රියාමාර්ග

■ රට තුළ මත්ද්‍රව්‍ය හා පාතාලය මැඩපැවත්වීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක්
■ මත්ද්‍රව්‍ය‍ නිවාරණය සඳහා වෙනමම කාර්යාංශයක් ස්ථාපිත කිරීම
■ මත්ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීම සඳහා නාවුක, ගුවන් මාර්ග පරීක්ෂා කිරීම් පහසුකම් වර්ධනය කිරීම, නවීන උපකරණ ලබාදීම හා නිලධාරීන් පුහුණු කිරීම
■ මත්ද්‍රව්‍ය‍වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන් විධිමත් කර මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඔවුන් මුදාගැනීම
■ මත්ද්‍රව්‍ය වැරදිවලට දඬුවම් දැඩි කිරීම, නඩු කඩිනමින් විසඳීම සඳහා පියවර ගැනීම
■ පාසැල් දරුවන් දැනුවත් කිරීම සඳහා අඛණ්ඩ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
■ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ කාර්යයන් පුළුල් කර ජනතාව මත්ද්‍රව්‍ය මර්දනය සඳහා සම්බන්ධ කරගැනීමට නිරීක්ෂණ කමිටු පිහිටුවීම
■ මත්ද්‍රව්‍ය භාවිතයේ අහිතකර ප්‍රතිඵල පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම

උදාර රාජ්‍යතාන්ත්‍රිකත්වයක් ස්වෛරී රාජ්‍යයක්
ඉන්දියානු සාගරයේ සහ බෙංගාල බොක්ක මධ්‍යයේ ශ්‍රී ලංකාවේ මූලෝපායික පිහිටීමේ වැදගත්කම පිළිබඳ ඓතිහාසික සාක්ෂි ගණනාවක් ඇත. ශ්‍රී ලංකාව බෙංගාල බොක්ක හරහා සහ අග්නිදිග ආසියාව සමග ජවසම්පන්න වෙළෙඳ සබඳතා පවත්වා ඇති බව තහවුරු කිරීමට පුරාවිද්‍යාත්මක සාධක ප්‍රමාණවත් තරම් පවතී. ලෝකයේ නැගෙනහිර සහ බටහිර යා කරන ඉන්දියානු සාගරයේ කාර්ය බහුලම මුහුදු මංතීරුවලින් එකක් ආසන්නයේ ශ්‍රී ලංකාවේ භූ
උපායමාර්ගික පිහිටීම ආශිර්වාදයකි.

සංවර්ධනය වෙමින් පවතින ආසියාව ජනගහනය අතින් ලොව විශාලතම කලාපය වේ. ලෝක දළ දේශීය නිෂ්පාදිතයේ මෙම කලාපයේ කොටස 30.5% දක්වා ළඟා වනු ඇති අතර, 2025 වන විට ආසියාව අත්‍යාවශ්‍යයෙන්ම මධ්‍යම ආදායම් ලබන කලාපයක් වනු ඇත. කලාපයේ අනෙකුත් රටවල් සමඟ අනෝන්‍ය සබඳතා වර්ධනයට මෙන්ම ජාතික ආරක්ෂාව සඳහා විදේශ ප්‍රතිපත්තිය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ඕනෑම රාජ්‍යයක විදේශ ප්‍රතිපත්ති තෝරාගැනීමට බලපාන සාධක වන්නේ භූගෝලීය පිහිටීම, ජනගහනය, ඉතිහාසය, ආර්ථික සම්පත්, දෘෂ්ටිවාදය, රජයේ කාර්යක්ෂමතාව, රාජ්‍යතාන්ත්‍රිකත්වයේ ගුණාත්මකභාවය, අර්බුද සහ ක්ෂණික සිදුවීම්, තාක්ෂණික දියුණුව, ජාත්‍යන්තර නීතිය සහ ආයතන යනාදියයි. කෙසේ වෙතත්, මෑත අතීතයේදී ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිවලට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ශ්‍රී ලාංකිකයන්ගේ යහපතට වඩා පාලක පක්ෂවල පැවත්ම සහ බාහිර සාධකවල බලපෑම්ය.

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම මෙන්ම දීර්ඝ කාලයක් අපි ආයෝජනය කර ඇති රාජ්‍යතාන්ත්‍රික හා සංස්කෘතික වත්කම් අපගේ සාර්ථකත්වයේ මුල්ගල බවට පත්වනු ඇත. ශ්‍රී ලංකාව අනෙකුත් දකුණු ආසියාතික රටවලට වඩා අධ්‍යාපන මට්ටම, සෞඛ්‍ය මට්ටම, කාන්තා අධ්‍යාපනය යනාදී මානව සංවර්ධන දර්ශකවලින් සංසන්දනාත්මකව ඉහළ අගයක් පෙන්නුම් කරන අතර ජනතාවගේ සාපේක්ෂ ධනාත්මක සංස්කෘතික වර්ධනය ආර්ථික හා විදේශීය ප්‍රතිපත්ති ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා හිතකර සාධක වනු ඇත.

අතීතයේ සමහර බුද්ධිමත් නිවැරදි ක්‍රියා තුළින් උපයාගත් වැදගත් රාජ්‍යතාන්ත්‍රික පිළිගැනීමක් ශ්‍රී ලංකාව සතුව ඇත. නිදසුනක් වශයෙන්, ශ්‍රී ලංකාව ලෝකයේ පීඩිත සහ යටත්විජිත ජාතීන්ගේ සාම්ප්‍රදායික මිතුරෙකු වී ඇති අතර ශ්‍රී ලංකාව සැමවිටම ඔවුන්ගේ ස්වාධීනත්වයට සහාය දක්වයි.
එම රටවල්වලින් බොහොමයක් දැන් ස්වාධීන පමණක් නොව ප්‍රධාන කලාපීය බලවතුන් බවටද පත්ව ඇත. ඉතිහාසයේ විවිධ අවස්ථාවල ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රශ්නවලදී සාමය, ජාතීන්ගේ ස්වෛරීභාවය ප්‍රවර්ධනය කරමින් නිවැරදි විදේශ ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කර ඇත. ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු කිසිදු ජාත්‍යන්තර යුද්ධයකට සහාය ලබාදී නැත. ශ්‍රී ලංකාව එහි ප්‍රතිපත්තිමය සථාවර සඳහා බොහෝ ජාතීන් අතර හොඳ නමක් ඇත. රටේ නව අභියෝග ජය ගැනීම සඳහා මෙම අගනා රාජ්‍යතාන්ත්‍රික වත්කම් යොදා ගත යුතුය. “ජාත්‍යන්තර සම්මුතිය ගොඩනඟන්නෙකු”‍ ලෙස ශ්‍රී ලංකාවට අතීතයේ වැදගත්කමක් හිමි වී තිබිණි. 1970 ගණන්වල නොබැඳි ව්‍යාපාරයේ භාරකාරත්වය, 1980 ගණන්වල සාගර නීතිය සහ 1995 න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම සම්මුතීන් ඒ පිළිබඳ උදාහරණ වේ. ශ්‍රී ලංකාවේ ගිලිහී ගිය මෙම “ජාත්‍යන්තර සම්මුතිය ගොඩනඟන්නෙකු”‍ ලෙස වූ වටිනාකම නැවත අත්පත් කරගැනීම සඳහා අපගේ විදේශ ප්‍රතිපත්තිය උපයෝගී කරගත යුතුය.

ක්‍රියාමාර්ග

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කාර්යභාරය සහ කාර්යයන්
■ උපායමාර්ගික ප්‍රමුඛතා, ඉලක්ක සහ විදේශයන්හි ශ්‍රී ලංකා නියෝජිතයින්ගේ අපේක්ෂිත හැසිරීම් විස්තර කෙරෙන හා පැහැදිලි මාර්ගෝපදේශ සහිත විස්තීරණ විදේශ ප්‍රතිපත්ති ලේඛනයක් සකස් කිරීම
■ විස්තීර්ණ විශ්ලේෂණයකින් පසු නව විදේශ ප්‍රතිපත්ති හා අරමුණු සපුරාලීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය අභ්‍යන්තර ප්‍රතිව්‍යුහගත කිරීම
■ අවධානය සහ මනා සම්බන්ධීකරණය තුළින් ශ්‍රී ලංකා විදේශ සේවයට මඟපෙන්වීම
■ ශ්‍රී ලංකාව සිය දූත මණ්ඩල විවෘත කළ යුතු ආර්ථික වශයෙන් වර්ධනය වෙමින් පවතින හා නැගී එන රටවල් සහිත කලාප ඇගයීමට ලක්කිරීම

තානාපති සේවය
■ ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල සහ නිවැරදි කාර්ය මණ්ඩල ප්‍රමාණය සමාලෝචනය කිරීම
■ වෙළඳාම වැඩිදියුණු කිරීම, සංචාරක ප්‍රවර්ධනය, වෘත්තීය සහ වෘත්තීය පුහුණුව සහ රැකියා අවස්ථා යනාදිය සමඟ සමපාත වන එක් එක් තානාපති කාර්යාල සඳහා කාර්යසාධන දර්ශක හඳුන්වා දීම
■ විදේශ සේවය සඳහා වෘත්තීය විශිෂ්ටත්වය, සදාචාරාත්මක හැසිරීමේ ඉහළම ප්‍රමිතීන් සහ රාජ්‍යතාන්ත්‍රික විචක්ෂණ බුද්ධිය සහිත සුදුසුකම් ලත් නිලධාරීන් පත්කිරීම
■ වෘත්තීය විශිෂ්ටත්වය, සදාචාරාත්මක හැසිරීමේ ඉහළම ප්‍රමිතීන් සහ කුසලතා පදනම මත සුදුසුකම් ලත් නිලධාරීන් විදේශ සේවය සඳහා පත්කිරීම
■ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් ලෙස ප්‍රත්‍යක්ෂ වාර්තා සහිත වෘත්තීය රාජ්‍යතාන්ත්‍රිකයින් පත්කිරීම ආයතනික ප්‍රතිසංස්කරණ හා මධ්‍යගත අධීක්ෂණය
■ ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ප්‍රතිපත්ති රාමුවට අනුකූලව මූලිකත්වය ගැනීමට තානාපති කාර්යාල බල ගැන්වීම සහ නිරන්තර අධීක්ෂණය තුළින් වගවීම සහතික කිරීම
■ වඩාත් කාර්යක්ෂම කිරීමට සහ පුරවැසියාගේ සහ රාජ්‍යයේ අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීමට රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලින් සරල කිරීම සහ විධිමත් කිරීම
■ මානව සම්පත් සහ භෞතික වත්කම් පිළිබඳ දත්ත පද්ධතියක් ඇති කිරීම
■ රාජ්‍යතාන්ත්‍රික පුහුණු කිරීම් ආයතනය සහ ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා සහ උපායමාර්ගික අධ්‍යයන ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ශක්තිමත් කිරීම
■ ජාතික විදේශ ප්‍රතිපත්ති අරමුණු සමඟ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ ක්‍රියාවන් පෙළගැස්වීම, තක්සේරු කිරීම සඳහා නිරන්තර සමාලෝචන පැවැත්වීම
■ විදේශ අමාත්‍යාංශයට දූත මණ්ඩල ක්‍රියාකාරකම්, අභියෝග සහ ජයග්‍රහණ පිළිබඳ නිතිපතා යාවත්කාලීන කිරීමට අවශ්‍ය වන ප්‍රමිතිගත වාර්තාකරණ ක්‍රියාපටිපාටි ක්‍රියාත්මක කිරීම

රාජ්‍යතාන්ත්‍රික පුහුණුව සහ ධාරිතා වර්ධනය
■ සාකච්ඡා සහ සංසන්ධි කතිකා කුසලතා, සංස්කෘතික රාජ්‍යතාන්ත්‍රිකභාවය, ආර්ථික රාජ්‍යතාන්ත්‍රිකභාවය සහ ජාත්‍යන්තර නීතිය කෙරෙහි අවධානය යොමුකරමින් රාජ්‍යතාන්ත්‍රිකයින් සඳහා පුළුල් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
■ විවිධ කලාපවල දූත මණ්ඩල මුහුණ දෙන විශේෂිත අභියෝගවලට විසඳුම් සෙවීමට පුහුණු සැසි පැවැත්වීම
■ රාජ්‍යතාන්ත්‍රිකයින් සඳහා අඛණ්ඩ ඉගෙනීම සහ වෘත්තීය සංවර්ධනය

රාජ්‍යතාන්ත්‍රික ප්‍රොටෝකෝල සහ ආචාරධර්ම සංශෝධනය කිරීම
■ අවංකභාවය, වෘත්තීයභාවය සහ වගවීම අවධාරණය කරමින් රාජ්‍යතාන්ත්‍රිකයින් සඳහා පැහැදිලි ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදීම
■ ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සේවා කාර්යක්ෂමතාව
■ සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා දූත මණ්ඩල මගින් සපයන ඊ – සේවා වැඩි කිරීම
■ ජනහිතකාමී ආකල්පයකින් ශ්‍රී ලාංකේය ඩයස්පෝරාවට සපයනු ලබන සේවාවන්හි ගුණාත්මක බව ඉහළ නැංවීම
■ ජාතික ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙමින් විදේශිකයන් ශ්‍රී ලංකාවට පැමිණීම දිරිමත් කිරීමට ඔවුන්ට කාර්යක්ෂමව ලෙස සේවා සැපයීම හා ඒ සඳහා ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට අවශ්‍ය අරමුදල්, තාක්ෂණය සහ තාක්ෂණික දැනුම ලබාදීම දේශපාලන රාජ්‍යතාන්ත්‍රිකත්වය
■ G20 රටවල්, BRICS+ රටවල්, ASEAN රටවල්, දකුණු ආසියාතික, මැදපෙරදිග සහ අප්‍රිකානු මහාද්වීපය සමඟ රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික සහ සංස්කෘතික සබඳතා ප්‍රවර්ධනය කිරීම සහ ශක්තිමත් කිරීම සඳහා ප්‍රමුඛත්වය දීම
■ සියලු‍ම රාජ්‍යයන් සඳහා ඔවුන්ගේ ප්‍රමාණය සහ සංවර්ධන තත්ත්වය නොසලකා ගෝලීය තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහභාගී වීමට ඇති අයිතිය පිළිගැනීම
■ දකුණු ආසියාවේ සහ ඒ අවට ආරක්ෂිත සහ සාමකාමී පරිසරයක් පවත්වාගෙන යාම සහතික කිරීම
■ කලාපීය ආර්ථික කොමිෂන් සභා ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි අනුබද්ධ ආයතන හරහා බහුපාර්ශ්විකත්වයට සහාය වීම
■ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ සාධාරණත්වය, මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය සහ දේශගුණික යුක්තිය වැනි සාරධර්ම තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීම

ආර්ථික රාජ්‍යතාන්ත්‍රිකත්වය
■ ජාත්‍යන්තර ආර්ථිකය සමඟ සම්බන්ධ වීම සහ ආර්ථික ධනය සහ ආරක්ෂාව සැපයීම සඳහා දේශීය ආර්ථිකය ස්ථානගත කිරීම
■ ව්‍යාපෘති සහ වැඩසටහන් සඳහා ප්‍රාග්ධනය සහ තාක්ෂණ හුවමාරුව ලබාගැනීමේ අරමුණින් සෘජු විදේශ ආයෝජන (FDI) ලබාගැනීමට විදේශීය හවුල්කරුවන් සමඟ කටයුතු කිරීම
■ ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට වෙළඳ, සංචාරක සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම හා ජාත්‍යන්තර හවුල්කරුවන් සහ මිතුරන් සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීම
■ ජාතික ආර්ථික රාමුව තුළ ධනාත්මක ආර්ථික කළමනාකරණයක් අනුගමනය කරමින් අනෙකුත් රටවල් සමඟ ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීමට දේශීය වෙළෙඳපොළ විවෘත කිරීම
■ විදේශීය සහ දේශීය පෞද්ගලික අංශයේ ව්‍යාපාරික පරිසරය වැඩිදියුණු කිරීම සඳහා ව්‍යාපාරික ක්‍රියා පටිපාටි විධිමත් කිරීම, යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීම, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් සඳහා මූල්‍ය ප්‍රවේශය වැඩි දියුණු කිරීම සහ මානව නිපුණතා වර්ධනය කිරීම ඇතුළත් නවීන සහ විස්තීර්ණ ආයෝජන නීතියක් සම්පාදනය කිරීම
■ අපනයන වැඩි කිරීම අරමුණින් ගෝලීය නිෂ්පාදන ජාලයන් වෙත ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීමට නව වෙළඳ ගිවිසුම් හා අනෙකුත් වෙළෙඳපළ වෙත ප්‍රවේශය වැඩිදියුණු කිරීම
■ තිරසාර බලශක්ති ව්‍යාපෘති සඳහා ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම මගින් ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියේ ප්‍රමුඛයෙක් ලෙස ස්ථානගත කිරීම

ජාතික ආරක්ෂාව
■ එක් එක් සිදුවීම් අනුව ජාත්‍යන්තර ගැටලු‍ සම්බන්ධයෙන් ස්වාධීන ස්ථාවරයක් පවත්වා ගැනීම සහ කිසිදු හමුදා සන්ධානයකට සම්බන්ධ නොවීම හෝ බලපෑමට යටත් නොවීම
■ ශ්‍රී ලංකාව තුළ කිසිදු අභ්‍යන්තර ක්‍රියාකාරකමක් සඳහා විදේශීය හමුදා බළකායකට අවසර නොදීම
■ ත්‍රස්තවාදය, බෙදුම්වාදය, අන්තවාදය, මුහුදු කොල්ලකෑම් සහ වෙනත් සම්ප්‍රදායික නොවන ආරක්ෂක තර්ජනවලට එරෙහිව සටන් කිරීම සඳහා අග්නිදිග ආසියාතික සහ ආසියාන් සංවිධාන සමඟ සම්බන්ධ වීම ශක්තිමත් කිරීම
■ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට සහ ආර්ථික අවශ්‍යතාවලට බාධාවක් නොවන පරිදි විදේශීය ආයෝජන ආකර්ෂණය කර කළමනාකරණය කිරීම
■ ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියට දැඩි ලෙස අනුගත වන අතරම, සයිබර් ආරක්ෂණ යටිතල පහසුකම් සහ උපායමාර්ග වැඩිදියුණු කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගිතාව ලබාගැනීම

සමුද්‍ර රාජ්‍යතාන්ත්‍රිකභාවය
■ ජාත්‍යන්තර නීතිය අනුව සියලු‍ රටවල් මුහුදු සහ ගුවන් ප්‍රවේශ භුක්ති විඳින ලෝකයක් ආරක්ෂා කිරීමට ක්‍රියා කිරීම
■ එක්සත් ජාතීන්ගේ සාගර නීතිය මත පදනම්ව ආරක්ෂිත, ස්ථාවර, ආරක්ෂිත සමුද්‍රීය වසමක්, නිදහස් හා විවෘත මුහුදු මංතීරු සුරක්ෂිත කිරීම
■ මුහුදු කොල්ලකෑම් වළක්වන මුර සංචාර, පරිසර දූෂණය පාලනය, සමුද්‍ර පරිසර පද්ධතිය සහ ජෛව විවිධත්ව සංරක්ෂණය, සමුද්‍ර ගවේෂණය, සමුද්‍රීය ආරක්ෂාව සහ ඔරොත්තු දෙන හා විශ්වාසදායක සැපයුම් දාම පිළිබඳ ආරක්ෂක සැපයුම්කරුවකු සහ ඉන්දියානු සාගරය සමඟ සමුද්‍ර දේශසීමා බෙදා ගන්නා රටවල් සමඟ සමීපව කටයුතු කරන පළමු ප්‍රතිචාරකයා බවට පත්වීම

සංස්කෘතික රාජ්‍යතාන්ත්‍රිකභාවය
■ විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ ශ්‍රී ලංකා සංස්කෘතික සබඳතා පිළිබඳ අධ්‍යක්ෂ කාර්යංශයක් පිහිටුවීම
■ සංස්කෘතික හුවමාරුව වැඩිදියුණු කිරීම, විදේශයන්හි ශ්‍රී ලාංකේය සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම – සංස්කෘතික මධ්‍යස්ථාන පිහිටුවීම, ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලාංකේය කලාකරුවන්ට සහාය වීම සහ ගෝලීය සංස්කෘතික උත්සවවලට සහභාගී වීම මගින් මෘදු බලය ගොඩනැගීම සහ අනෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම
■ අනෙකුත් රටවල් සමඟ ශක්තිමත් සබඳතා ඇති කර ගැනීමට පදනමක් ලෙස ක්‍රීඩා හුවමාරු වැනි ක්‍රීඩා රාජ්‍යතාන්ත්‍රිකභාවය උපයෝගී කරගැනීම
■ විශාල ශ්‍රී ලාංකේය ඩයස්පෝරාවක් සිටින රටවල් සහ අපට සැලකිය යුතු සංචාරකයින් ගලා එන රටවල් සමඟ නිශ්චිත සංස්කෘතික ප්‍රවර්ධන සති/මාස ආරම්භ කිරීම
■ රටේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම මිනිසුන් අතර මිත්‍රත්වය ගොඩනැගීම සඳහා ඒත්තු ගැන්වීම, ආකර්ෂණය සහ සංස්කෘතික හුවමාරුව සඳහා ආගමික රාජ්‍යතාන්ත්‍රිකභාවය ප්‍රවර්ධනය කිරීම

විද්‍යා හා පර්යේෂණ රාජ්‍යතාන්ත්‍රිකභාවය
■ ශ්‍රී ලංකාව තුළ රසායනාගාර, පර්යේෂණ මධ්‍යස්ථාන පිහිටුවීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයින්ගේ සෘජු මැදිහත්වීම ඇතිව ගෝලීය විද්‍යා ප්‍රජාව ආකර්ෂණය කර ගැනීම
■ ශ්‍රී ලංකාව විද්‍යාව හා තාක්ෂණ ක්ෂේත්‍රය වැදගත් කලාපීය මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට විද්‍යාඥයින් සහ විශිෂ්ට පර්යේෂකයින් සඳහා පුරවැසිභාවය ලබාදීමට සලකා බැලීම
■ විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, කලා සහ ගණිතය යන STEAM සංයෝජනය ප්‍රවර්ධනය කිරීම මගින් මානව ප්‍රාග්ධනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට විදේශීය සහාය ලබාගැනීම
■ ආසියාවේ ඩිජිටල් ද්වාරය ලෙස ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ සමාගම් දිරිමත් කිරීම
■ UNESCAP වැනි බහුපාර්ශ්වික නියෝජිතායතන සඳහා වෙන් වූ නියෝජිතයන් පත්කිරීම

පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රිකභාවය
■ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසද, කථානායක ඇතුළු අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ ඒකාබද්ධ වැඩසටහන් සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය සහාය වීම
■ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කලාපීය සහ ගෝලීය පාර්ලිමේන්තු සංසද භාවිත කරමින් රටට උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට අවශ්‍ය සියලු‍ පහසුකම් සැලසීම

මානුෂීය රාජ්‍යතාන්ත්‍රිකභාවය
■ ජාත්‍යන්තර ආධාර වැඩසටහන් සහ ආපදා සහන මෙහෙයුම් සඳහා සහභාගී වීමෙන් ගෝලීය මානුෂීය ප්‍රයත්නයන්හිදී ශ්‍රී ලංකාවේ කාර්යභාරය වැඩිදියුණු කිරීම
■ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මානුෂීය අර්බුදවලට ඉක්මන් ප්‍රතිචාර දැක්වීම සඳහා ශ්‍රී ලංකාව තුළ ධාරිතාව ගොඩනැගීම
■ වෙනත් ජාතීන්ට අයත් මිනිසුන්ගේ සැබෑ දුක්ගැනවිලිවලට සහාය වීම සඳහා ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට එක්සත් ජාතීන්ගේ සාම සාධක හා සාමය බලාත්මක කිරීමේ අවස්ථා ලබාගැනීම

නීති ප්‍රතිසංස්කරණ
■ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ආර්ථික දායකත්වය ලබාගැනීම පහසුවන පරිදි ද්විත්ව පුරවැසි නීති සහ ආගමන නීති ප්‍රතිසංස්කරණය කිරීම
■ සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය යටතේ නඩු පැවරීමට අදාළ නීති හඳුන්වාදීම
■ ද්විපාර්ශ්වික සහ කලාපීය නිදහස් වෙළඳ ගිවිසුම් මගින් විදේශීය වෙළෙඳපොළවල අපගේ වාණිජ අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සඳහා වෙළෙඳ නීති ශක්තිමත් කිරීම
■ කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයන් ද්විපාර්ශ්විකව හෝ බහුපාර්ශ්විකව ස්ථාපිත කිරීම
■ ස්ථාවරත්වය සහ සෞභාග්‍යයට අනුබල දෙන ජාත්‍යන්තර නීති ප්‍රවර්ධනය කිරීම

ඩයස්පෝරා මැදිහත්වීම
■ විදේශ රටවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සුබසාධනය සඳහා දැනට පවතින මානව හා මූල්‍ය සම්පත් වඩා හොඳින් සම්බන්ධීකරණය කරමින් කාර්යක්ෂමව භාවිත කිරීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුයුක්ත කිරීම
■ විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකික පුරවැසියන්ට තමන් පදිංචි රටෙහි සිට ඡන්දය භාවිත කිරීමට පහසුකම් සැලසීම
■ ජාතික සංවර්ධන ව්‍යාපෘති සඳහා ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සම්බන්ධ කරගැනීම සඳහා ව්‍යුහගත වැඩසටහන් හඳුන්වාදීම
■ සැලකිය යුතු ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාවක් සිටින සෑම රටකම ශ්‍රී ලාංකේය ඩයස්පෝරාව සමඟ කටයුතු කිරීමට තානාපති කාර්යාල හා ඒකාබද්ධ වූ උපදේශක මණ්ඩල පිහිටුවීම
■ විදේශයන්හි ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා සොයා බැලීම සඳහා සම්මානිත කොන්සල්වරුන් ලෙස NRSL පත්කිරීම
■ ඒ ඒ රටවල සේවයේ නියුතු ශ්‍රී ලාංකික පුරවැසියන්ට උප්පැන්න සහතික ඇතුළු වෙනත් සහතික සහ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම හා අලු‍ත් කිරීම කාර්යක්ෂම කිරීම
■ විදේශගත ශ්‍රී ලාංකිකයන් ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමට පෙළඹවීම සඳහා ද්විත්ව පුරවැසි ගාස්තු සංශෝධනය කිරීම
■ ශ්‍රී ලංකා ගිණුම් වෙත විදේශ මුදල් ප්‍රේෂණය කිරීමේදී ඇතිවන ඉහළ සේවා ගාස්තු වැනි ගැටලු‍ සම්බන්ධයෙන් විසඳුම් ලබාදීම

වත්මන් විදේශ ප්‍රතිපත්ති ස්ථාවරයන්
■ ඉන්දියාව ඇතුළු කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් හෝ අවදානමක් ඇති කිරීමට ශ්‍රී ලංකාවේ ගොඩබිම, මුහුද සහ ගුවන් අවකාශයන් භාවිත කිරීමට කිසිදු රටකට හෝ ආයතනයකට ඉඩ නොදීම
■ නිදහස් ස්වෛරී පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම සඳහා එක්සත් ජාතීන් විසින් සම්මත කරගත් ද්වි රාජ්‍ය විසඳුමට සහාය දීම
■ ඉන්දියන් සාගරයේ විදේශීය හමුදා කඳවුරු සහ ඒ හා සමාන හමුදා ගිවිසුම් මගින් මිලිටරිකරණ මුලපිරීම්වලට ශ්‍රී ලංකාව ස්ථිර ප්‍රතිපත්තියක් ලෙස විරුද්ධ වීම

උසස් ජාතික ආරක්‍ෂාවක් සුරක්‍ෂිත රාජ්‍යයක්
ජාතික ආරක්ෂාව යනු පුරවැසියාගේ සුරක්ෂිතභාවය, දේශයේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීභාවය සඳහා බාහිර සහ අභ්‍යන්තර වශයෙන්ද ස්වාභාවික සහ මිනිස් ක්‍රියාකාරකම් මගින්ද එල්ල විය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දෙමින් රටෙහි ආරක්ෂක හමුදාවන් විසින් සපයන ආරක්ෂක විධි විධානවල සිට භූ දේශපාලනික සහ භූ උපායමාර්ග මගින් එම අභියෝගයන් කළමනාකරණය කොට ජයග්‍රහණය කිරීමේ යාන්ත්‍රණයයි. ජාතික ආරක්ෂාව සහතික කිරීම සඳහා නොබැඳි හා සමතුලිත රාජ්‍යතාන්ත්‍රිකභාවය, මානව හිමිකම්වලට ගරුකරන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය, විවිධත්වය පිළිගත් සමානාත්මතාවය සහ සහජීවනය මෙන්ම පුරවැසියාගේ සහ රාජ්‍යයේ ආරක්ෂාව සඳහා කැප වූ වෘත්තීමය හමුදාවද අත්‍යාවශ්‍ය සාධක වේ.
රාජ්‍යයේ අභ්‍යන්තර ආරක්ෂාව සහතික කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය, වෙරළාරක්ෂක, සුරාබදු දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ රේගුව වැනි නීතිය ක්‍රියාත්මක කරන ආයතන මෙන්ම බුද්ධි සේවා සහ සිවිල් ආරක්ෂක සේවා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මෙම ආරක්ෂක අංශවල ශක්තිමත්භාවය සහ විනිවිදභාවය පිළිබිඹු වනුයේද, එය රඳාපවතිනුයේද ජාතික අවශ්‍යතා ප්‍රවර්ධනය සහ ජාතික බලය එනම් ජාතික අභිලාෂයන් ඉටුකරලීමට හැකියාව ඇති, ඒ සඳහා කැපවීමෙන් කටයුතු කරන, විනිවිදභාවයෙන් හෙබි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය තුළිනි. ජාතික බලයේ සංරචක ලෙස දේශපාලන නායකත්වය, ආර්ථීක, භූගෝලීය හා පරිසර පැවැත්ම, ජනතා මතවාදය සහ ආරක්ෂක හමුදාව හැඳින්විය හැක. නොබැඳි හා සමබර රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්ති, ගෝලීය හා කලාපීය භූ දේශපාලන සහ ආරක්ෂක සමතුලිතභාවය අවබෝධය මත ගොඩනැගෙන උපායමාර්ගික විදේශ ප්‍රතිපත්ති මෙන්ම ආර්ථික ස්වාධීනත්වයද ගෝලීය හා කලාපීය වශයෙන් ජාතික ආරක්ෂාවට එල්ලවිය හැකි තර්ජනයන් අවම කිරීමට බලපාන සාධක වේ.

ක්‍රියාමාර්ග

■ නීතියේ ආධිපත්‍යය මත ප්‍රජාතන්ත්‍රවාදය, පුරවැසි අයිතිවාසිකම් හා මානව හිමිකම් ආරක්ෂා කරමින් ජාතිකත්වයන් අතර සංහිඳියාව සමගිය සහ සහජීවනය පවත්වාගෙන යාහැකි යහපත් ආණ්ඩුකරණ මූලධර්ම අනුගමනය
■ කලාපයේ සුරක්ෂිතභාවය සහ සාමකාමී සහජීවනය සහතික කිරීම, ආරක්ෂිත ජාත්‍යන්තර සබඳතා තුළින් ජාතික ආරක්ෂාව ශක්තිමත්ව ගොඩනගා ගැනීම
■ රටේ භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය සම්මුතියකින් තොරව සහතික කිරීම
■ ජාතික ආරක්ෂාව සඳහා වගකීම සහ වගවීම සහතික කරමින් ජාතික ආරක්ෂක කවුන්සිලය ශක්තිමත් කිරීම සහ විධිමත් කිරීම
■ ජාතික ආරක්ෂාව පිළිබඳ අදාළ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගෙන් සමන්විත ජාතික ආරක්ෂක උපදේශක මණ්ඩලයක් ස්ථාපිත කිරීම
■ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා ඒවා මෙහෙයවිය හැකි නිසි නායකත්වයන් යටතේ ජාතික ආරක්ෂාවට අදාළ දියුණු හා තාක්ෂණික දැනුම සහ ආරක්ෂක පරිසරයන් පිළිබඳ මනා පුහුණුව සමඟ දැනුම සහ හැකියාවන් සහිත වෘත්තීය හමුදාවන් ලෙස ප්‍රතිෂ්ඨාපනය කිරීම
■ පිළිගත් හමුදාමය ක්‍රමවේදයන්ට අනුකූලව සහ කුසලතා, වෘත්තීමය දක්ෂතාවයන්, නොකිලිටි වෘත්තීමය ඉතිහාසය මත පමණක් පදනම්ව උසස් තනතුරුවලට පත්කිරීම සහ උසස්වීම් ලබාදීම සහ හමුදාවන්වලට අදාළ විශේෂ සහ විදේශ පුහුණුවීම් සඳහා තෝරාගැනීම සඳහා අනුගමනය කරන ක්‍රමවේදයන් විධිමත් කිරීම
■ සංකීර්ණ හා වේගයෙන් වෙනස් වන අභියෝගවලට මුහුණ දීම සඳහා නවීන හා තාක්ෂණික දැනුම සහ සංවර්ධනය සමඟ ආරක්ෂක අංශ කාලානුරූපව යාවත්කාලීන කිරීම සඳහා ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන ව්‍යුහය විධිමත් කිරීම
■ විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන සමග ජාතික ආරක්ෂාව පිළිබඳ දැනුම ඒකාබද්ධ කිරීමෙන් ආරක්ෂක අංශයේ විශිෂ්ටත්වය ඉහළ නැංවීම
■ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ ගෞරවය හා අභිමානය ආරක්ෂා වන පරිදි හා හදිසි ජාතික අවශ්‍යතාවයන්හිදී පිළිගත් ක්‍රමවේදයන්ට අනුකූලව හැර හමුදාවන්ට අදාළ නොවන කිසිම සිවිල් කටයුත්තකට ඔවුන් අනුයුක්ත නොකිරීම
■ ජාතික ආරක්ෂක අරමුණු සහ යහපාලනය සාක්ෂාත් කරගැනීම උදෙසා රටේ අනාගත සමෘද්ධිය, අභිවෘද්ධිය, සමාජ ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව වෙනුවෙන් කාර්යය ඉටුකිරීමේහිලා වගකීම සහ වගවීම සහතික කරන නිසි ක්‍රමවේදයක් සමග විශ්වාසනීය හා කාර්යක්ෂම ඒකාබද්ධ බුද්ධි යාන්ත්‍රණයක් පිහිටුවීම
■ ජාතික තොරතුරු පද්ධතිවල පවතින ආරක්ෂක ප්‍රතිපත්තිය කාර්යක්ෂම හා ඵලදායී ලෙස වැඩිදියුණු කිරීම සහ එම වගකිවයුතු ආයතන සවිබලගැන්වීම – මෙහිදී ඵලදායී ජාතික තොරතුරු පද්ධතියක් සඳහා සයිබර් ආරක්ෂණ තර්ජන හඳුනාගෙන ශක්තිමත්, ජවසම්පන්න, හොඳින් ජාලගත ආරක්ෂිත තොරතුරු ආරක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මක කෙරේ.
■ නීතිය ක්‍රියාත්මක කරන ආයතන (පොලිසිය, රේගුව, බන්ධනාගාර) සම්පූර්ණයෙන් වගවීම සහතික කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ ඵලදායී ඒකාබද්ධතාවයකින් අධීක්ෂණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කර විධිමත් කිරීම
■ ආර්ථික ස්ථාවරත්වය සඳහා උපායමාර්ගික ආරක්ෂක පරිසරයක් සහ ස්ථිර පදනමක් නිර්මාණය කිරීම
■ දූෂණය සහ මූල්‍ය අපරාධ මැඩලීමේ නීති සහ අනෙකුත් ව්‍යුහයන් ශක්තිමත් කිරීම සහ විධිමත් කිරීම
■ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා උපායමාර්ගික සහ ජාතික සම්පත් උපයෝජනය සහ සංරක්ෂණය කිරීමට වගවන හා වගකියන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම
■ ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීමට හැකිවන පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාව හා වෙරළාරක්ෂක බළකාය තාක්ෂණිකව යාවත්කාලීන කර අදාළ නීති මගින් බලගැන්වීම
■ මුහුදේ ස්ථාවර පරිසරයක් ආරක්ෂා කිරීම සහ පෝෂණය කිරීම, ජාත්‍යන්තර අපරාධ, සමුද්‍රීය කර්මාන්තයේ දියුණුව, සංවර්ධනයේ ආරක්ෂාවේ තර්ජනවලට එරෙහිව සමුද්‍රීය නීතිය ක්‍රියාත්මක කිරීමේ සුරක්ෂිත සමුද්‍රීය අධිකරණ බලය සහතික කිරීම
■ එක්සත් ජාතීන්ගේ මුහුදු සම්මුතිය යටතේ ජාත්‍යන්තර සමුද්‍රීය මායිම් ඵලදායී ලෙස පාලනය කිරීම සඳහා කලාපීය සහයෝගීතාවයෙන් යුත් ඒකාබද්ධ කළමනාකරණ යාන්ත්‍රණයක් හඳුන්වාදීම
■ සෞඛ්‍ය සහ ආර්ථික බලපෑම් අවම කිරීම, කාර්මික හා පාරිසරික දූෂණ, ස්වාභාවික විපත්, ගිනි ගැනීම් සහ නියඟ ආදියෙන් සිදුවන බලපෑම් හඳුනාගෙන ප්‍රතිචාර දැක්වීමෙන් පුරවැසියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා ආපදා කළමනාකරණ ව්‍යුහය විධිමත් කිරීම
■ කලාපීය සහයෝගීතාවයෙන් ගුවන්, මුහුද සහ ගොඩබිම් ස්වාධීනත්වය පිළිබඳ නිරපේක්ෂ පාලනයක් ඇතිකර ගනිමින් සමුද්‍රීය වසම් දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් හඳුන්වා දීම
■ සමුද්‍ර බල ප්‍රදේශය තුළ ගුවන් කලාපය ආරක්ෂා‍ කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුළ පියාසර තොරතුරු කලාපය සහ සෙවීම් සහ මුදාගැනීමේ කලාපය ඒකාබද්ධ කර විධිමත් කිරීම
■ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගුවන් හමුදාවේ තාක්ෂණික දියුණුව සහ නාවික හා ගුවන් සේවා සමඟ විචක්ෂණශීලීව ඒකාබද්ධ කිරීම සහ කලාපීය ආරක්ෂාව තහවුරු කිරීමට සහාය වීම
■ තම මාතෘ භුමිය වෙනුවෙන් විවිධ කැප කිරීම් කරන ලද විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, මියගිය, අතුරුදහන්, ආබාධිත සහ සේවය කරන රණවිරුවන් ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව ජීවිතයක් ගත කිරීම සහතික කිරීම
■ ත්‍රිවිධ හමුදා සේවය හැරගිය සෙබළු‍න්ගේ සාධාරණ සහ මානුෂීය කරුණු ගැන සලකා බලා නිදහස් කොට ගෞරවනීය හා වැඩදායී පුරවැසියන් ලෙස ජීවත්වීමට ඔවුන් සවිබලගැන්වීම
■ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා හා පොලිස් සාමාජිකයින්ගෙන් බහුතරයක් පුද්ගලික ආරක්ෂක ක්ෂේත්‍රයේ සේවය කරන බැවින් පුද්ගලික ආරක්ෂක සේවාවන් වඩා වෘත්තීය බව සහ රැකියා සුරක්ෂිතභාවය සහතික කිරීම සඳහා කර්මාන්තය නියාමනය කිරීම

Related posts

සිරසට සහ මරික්කාර්ට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ?

colombotoday

සීනි ටොන් 3500 ආපසු යවයි – ගොඩ බෑමට රජය අවසර නොදෙයි

colombotoday

දිගන ගිනිගත් නිවසකින් මළ සිරුරක් හමුවෙයි..

colombotoday

උපදින දරුවන් ප්‍රමාණයටම නූපන් දරුවන් මරා දමන රටක් මේ… දිනකට ගබ්සා 700 – 800ක් !

colombotoday

ශ්‍රී ලංකාවේ ණයවර ලිපි ජාත්‍යන්තරය පිළිනොගනී

Admin

කැකිරාවේ කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී මරා දාලා

Admin