ඉතා දුක් මහන්සියෙන් ගෙට ගත් වී ටිකට සාධාරණ මිලක් නොලැබීම සහ පොහොර සහනාධාරයේ හිලව්වට පොරොන්දු වූ මූල්‍ය සහනාධාරය ලබා ගැනීම සඳහා බැංකු වල රස්තියාදු වීමට සිදු වීම නිසා වී ගොවියා රජය සමඟ බරපතල ලෙස විරසක වී ඇත. නමුත් තම සාධාරණ ඉල්ලීම් දිනා ගැනීම සඳහා ස්වේච්ඡුාවෙන් පාරට බසින ගොවියා ඉදිරියට පනින නිළ විපක්ෂයේ යම් දේශපාලකයින් ප‍්‍රශ්ණය නැවත මුලට ගෙන යෑමට උත්සාහ කරති. ඔවුන් දැන් කියන්නේ ගොවියාගේ ඉල්ලීම අනුව පෙර පරිදිම පොහොර සහනාධාරය ලබා දිය යුතු බවයි. එය ඉතා අපූරු සටන් පාඨයකි. ආණ්ඩුව සමග යම් එකඟතාවයකින් ඉදිරිපත් කරනවාදයි සැක හිතෙන තරමටම එය අපූරු ඉල්ලීමකි.
ගොවියා මෙතෙක් කලක් දිනාගෙන සිටි වරප‍්‍රසාදයක් ආණ්ඩුව විසින්ම අහිමි කොට ඊට විකල්ප ලෙස ඉදිරිපත් කල යෝජනාවද අසාර්ථක වන තත්වයක් යටතේ දැන් ඔවුන්ගේ සටන බවට පත් වී ඇත්තේ තිබුන දේ නැවත දිනා ගැනීමයි. එතුල වී මිල පහත වැටීමේ සැබෑ ප‍්‍රශ්ණය යටපත් වේ. ඒ අනුව දැන් නැති කල දේ ආපසු ලබා දුන් විට ප‍්‍රශ්නය විසඳේ. රටේ පැන නඟින සටන අතට ගෙන දියාරු කිරීම පැරණි බාල උපක‍්‍රමයක් වුවත් අදටත් එය වලංගු වන බව පෙනේ. මීට පෙර රාජ්‍ය සේවයේ යම් කප්පාදු වලට විරුද්ධව අයවැයට පසුව රටේ සටන් රැුල්ලක් පැනනැගුනු අවස්ථාවේදීද යම් පිරිස් මැදට පැන ආණ්ඩුව දණ ගස්වන බවට තර්ජනය කොට සටන අතට ගත්තේය. එහෙත් අවසානයේදී සටන දියාරු කොට ඔවුන් දණ ගැසුවේය.
කෙසේ වෙතත් දැන් වී මිල ප‍්‍රශ්ණය යටපත් කරමින් පොහොර ප‍්‍රශ්ණය උඩට මතු වී ඇත. එමගින් පසු ගිය වසර 20ක් තිස්සේ අස්වනු කපන කාලයට පහත වැටෙන මිලට තම වී ටික විකුනා අත පිස දා ගන්නා අසරණ ගොවීන්ගේ සැබෑ ප‍්‍රශ්ණය විසඳෙන්නේ නැත. එම ප‍්‍රශ්ණය විසඳීම සඳහා සෑම වසරක් පාසාම ඉර හඳ යට ඇති සියළු ක‍්‍රියා මාර්ග යෝජනා වී ඇත. එහෙත් ඒ කිසිවකින් ප‍්‍රශ්ණය විසඳී නැත. එවැනි තත්වයක් යටතේ ප‍්‍රශ්ණය විසඳීම සඳහා සක‍්‍රයා ආවත් පාන් පිටි පරිභෝජනය ( ඒක පුද්ගල * කි. ග‍්‍රෑ. 60 සිට 30 දක්වා නැවත අඩු කල යුතුය යන විසඳුම හැර අන් විසඳුම් නැති බව පැහැදිලි වේ. නමුත් ඒ සඳහා පාන් පිටි පරිභෝජනය අධෛර්යමත් කල යුතු වේ. ඊට බහු ජාතික සමාගම් එකඟ වන්නේ නැත. දනටමත් ඔවුනට ලබා දී ඇති රු. මිලියන 13,000ක සහනය නැවත ආපසු රජයට ලබා ගෙන එම අරමුදල් සහනාධාර ලෙස ගොවියාට සහ කුඩා සහල් සහ සහල් පිටි මෝල් හිමියාට ලබා දෙනවාට විරුද්ධ වන්නේ කව්ද. ඊට විරුද්ධ වුවහොත් පාන් පිටි සමාගම් සමඟ ඇති එකඟතාවයන් සහ සබඳතාවයන් බිඳ වැටේ යැයි බිය වන්නේ කව්ද ?. ඒ නිසා සැබෑ ප‍්‍රශ්ණය ගැන කතා නොකර නිර්මාණය කල ප‍්‍රශ්ණය ගැන කතා කිරීම කොතරම් ඇඟට සනීපද ?.
පොහොර සහනාධාරය අහිමි කල ”එකාට” එසේ උදුරා ගත් දේ නැවත ”ආපසු දියන්” යැයි තර්ජනය කල විට ඔහු කියන්නේ හොඳයි ආපසු දෙන්නම් යැයි කියාය. ඒ දෙස මධ්‍යස්ථව බලන අයෙකුට ඒ එකඟතාවය කුමක්දැයි පැහැදිලි වේ. ඒ එකඟතාවයට අනුව පොහොර සහනාධාරය පොහොර හැටියට ආපසු දෙන්නේ නම් පොහොර සමාගම් වල මෙන්ම පාන් පිටි සමාගමේද ආශීර්වාදය නොමඳව ඔවුනට ලැබෙන බවට කිසිදු සැකයක් නැත.
පැන නැඟී එන වී ගොවියාගේ විරෝධතා රැුල්ල පොහොර සහනාධාරය නමැති උදුරා ගත් කැරට් අලය නැවත ආපසු ලබා දීමෙන් දියාරු කල විට වී මිල ප‍්‍රශ්ණයට අදාලව තාවකාලික සහනයක් ආණ්ඩුවට ලැබේ. විශේෂයෙන්ම ගොවියා මැදට පැනීමට ව්‍යාජ විපක්ෂයට ඉඩ දී සැබෑ විපක්ෂය මහජනයාට පිටුපසින් සිටින තත්වයක් තුල ඊට බොහෝ ඉඩ කඩ ඇත. එසේ වුවහොත් එය ආණ්ඩුවේ මෙන්ම පොහොර සහ පාන්පිටි සමාගම් වල ප‍්‍රබල ජයග‍්‍රහණයකි.ආණ්ඩුවේ යම් ඇමතිවරු කියන්නේ පිටරටින් අඩු මිලට සහල් ආනයනය කොට වී ගොවි තැන අත්හැරීම ආර්ථික වශයෙන් ලාභදායී බවය. ඒ නිසා ඔවුන්ගේ උපාය මාර්ගය වන්නේ ක‍්‍රමයෙන් වී ගොවිතැන එපා කරවා ගොවියා විසින්ම වී ගොවි තැන අත්හරින තත්වයට පත් කිරීමය. එවිට කුඹුරු වල සුද්දන්ට අවශ්‍ය කෙසෙල් ගර්කින් සහ දුම්කොල වැනි ”ලාභදායී” දේ වගා කල හැක. එසේම එවිට ඊනියා, සහල් අතිරික්ත ප‍්‍රශ්ණය නිසා වී මිල පහත වැටීම පාන් පිටි නිසා ඇති වන දෙයක් යැයි පාන්පිටි සමාගම දෙසට ඇඟිල්ල දිගු වන්නේද නැත. දැනට වී මිල පහත වැටී තිබියදී සහල් මිල ඉහල තබා ගෙන සිටින මහා පරිමාණ සහල් මෝල් හිමියාට විවේචන එන්නේද නැත. එවිට සහල් ගණන් නම් ලාබෙට පාන් කාපන් යැයි ආණ්ඩුව කියනු ඇත. කුඩා මෝල් හිමියාද වී ගොවියා මෙන්ම වඳ වී යන ජන කොට්ඨාශයක් නිසා ඔවුන්ගෙන් ප‍්‍රශ්ණයක් ඇති වන්නේ ද නැත. එසේම සහල් නිෂ්පාදනය අඩු වන විට දැනට කි. ග‍්‍රෑම් 60 තිබෙන ඒක පුද්ගල පාන් පිටි පරිභෝජනය කි. ග‍්‍රෑම් 90 දක්වා ඉහල දමා පාන් පිටි සමාගම තව දුරටත් සතුටු කල හක. එසේ යම් කලකට පසුව රටේ බෝ නොවන රෝග වර්ධනය වන විට පෞද්ගලික රෝහල්ද (විශේෂයෙන්ම ”එට්කා” ගිවිසුම යටතේ රට තුලට කඩා වදින) බෙහෙවින් සතුටු කල හැක. එවිට ආහාර සුරක්ෂිතතාව නමැති දේශපාලන උපාය මාර්ගික උවමනාව ගැනද කතා නොකර සිටිය හැක.
ඒ සියල්ලටම වඩා අවාසනාවන්ත තත්වය වන්නේ අධික පොහොර භාවිතය නිසා මහජන සෞඛ්‍යයට, පරිසරයට සහ රටේ ආර්ථිකයට සිදු වන අගතීන් පිලිබඳව අවංකව විවේචන එල්ල කරන පිරිස්ද මේ උගුල් වලට හසු වීමය.ඔවුන් පොහොර වෙනුවට සෘජු සහනාධාර ලෙස මුදල් ගෙවන ලෙස ඉල්ලන්නේ ” එපා වාහෙට හොදි බෙදන ” ආකාරයෙන් මුදල් ගෙවීමට නොවේ. නමුත් ආණ්ඩුව කරන්නේ සෘජු සහනාධාර යෝජනාව නයාට අඳු කොල මෙන් එපා කරවීම සඳහා ගොවියාට කරදර කිරීමය. එවිට ගොවියා සැබෑ ප‍්‍රශ්ණය පසෙක තිබියදී ඒ ප‍්‍රශ්ණය වටේ කැරකීමට පටන් ගන්නා බව ආණ්ඩුව මෙන්ම ආණ්ඩුව සමඟ එකඟතාවයෙන් කටයුතු කරන යම් පක්ෂ වල ගොවි නායකයෝද ඉතා හොඳින් දනිති.
අනෙක් පැත්තෙන් ගත් විට සෘජු සහනාධාරය දීර්ඝ කාලීනව ලැබේද යන සැකය මෙන්ම සාධාරණව සහ ප‍්‍රමාණාත්මකව ලැබේද යන සැකය ගොවීන් තුල පවතී. එම සැක සංකා දුරු කල හැක්කේ පොහොර සඳහා රජය වැය කල රු. මිලියන 50,000 ට ආසන්න මුදලින් එක රුපියලක් හෝ අඩු නැතිව ගිවියාට සෘජුව මුදල් ලෙස ලබා දෙන බවට සහතික වීම මගිනි. ඒ සඳහා ගත යුතු ක‍්‍රියා මාර්ග කිහිපයක් ඇත. පලමුවැන්න වංචා ¥ෂණ වැලැක්වීම සඳහා ගොවියාගේ එකඟතාවය සහ සහභාගීත්වය සහිත යාණ්ත‍්‍රණයක් සකස් කිරීමය. දෙවැන්න අරමුදල් වෙන් කිරීම සහ බෙදා හැරීම පිලිබඳව විනිවිද භාවය සහතික කිරීමය. තුන්වන්න අරමුදල් කාර්යක්ෂමව හා ක‍්‍රමවත්ව බෙදා හැරීම සඳහා ගොවියාට ලංවිය හැකි සහ පිලිගත හැකි බැංකු යාණ්ත‍්‍රනයක් සකස් කිරීමය. ඉන්දුනීසියාව වැනි රටවල් සෘජු සහනාධාරය බෙදන ආකාරය පිලිබඳව අත්දැකීම් විමසීමේදී පෙනී යන්නේ අප සතුව ඉතා සුදුසු යාණ්ත‍්‍රණයක් තිබූ බවය. ඒ ගොවිජන බැංකුවයි. එම නිසා ගොවි ජන බංකුවට සහ 50,000 ක් වූ ගොවි සමිති වලට නැවත පණ දීම අත්‍යාවශ්‍ය වේ. එසේ නොමැතිව වෙනත් බොරු කෙටි මාර්ග කතා කිරීම විහිළුවකි. එසේම මුලින්ම අක්කරයකට එක කන්නයකට රු. 10,000 බැගින් ලබා දීම සඳහා වූ එකඟතාව බිඳ දමා වර්ෂයකට එම මුදල ලබා දීමට ගනු ලැබූ තීන්දුව වෙනස් කොට නැවත ඒ එකඟ වූ මුදල ගොවියාට ලබා දිය යුතුය. සහනාධාරය කපා නොදමන බවට ගොවියා තුල විශ්වාසය ඇති වන්නේ ඒ මගිනි. එසේ සෘජු මූල්‍ය සහනාධාරය 50%කින් කපා දැමීමට ගත් උත්සාහය පරාජය කොට ගොවියාට ගොවිජන බැංකුව හරහා එම මුදල ගෙවිය යුතු යැයි ඉල්ලනවා වෙනුවට ඊනියා සටන් කරුවන් පොහොර සහ පාන් පිටි සමාගම් සතුටු කිරීම සඳහා පොහොරම ඉල්ලා සිටීම මගින් ගොවියා තව දුරටත් අමාරුවේ වැටේ.
එනිසා ගොවියාට වී සඳහා සාධාරණ මිලක් ලැබෙන බව සහ ඔහුගේ සෞඛ්‍යයට මෙන්ම රටේ පොදු ජනතාවගේ සෞඛ්‍යයට සහ පරිසරයට හිතවාදී ගොවි තැන් ක‍්‍රම ප‍්‍රචලිත කිරීම සඳහා ගොවිජන සටන් පාඨ නැවත ස්ථානගත කිරීම අවශ්‍ය වේ. පාරට බසින ගොවීන් මැදට පැන මයික‍්‍රෆෝනය අතට ගන්නා ඊනියා ගොවි නායකයින්ගෙන් ගොවියා බේරා ගත හැක්කේද ඒ තුලින් පමණි. ඒ අනුව ගොවියාට උපරිම මිලක් පාරිභෝගිකයාට අවම මිලක් සහ කුඩා මෝල් හිමියාට පැවතිය හැකි ආදායමක් යන මූල ධර්ම තුන යටතේ වී මිල සහ සහල් මිල තීරණය කිරීම සඳහා මිල සූත‍්‍රයක් හඳුන්වා දිය යුතුය. ඊට මහජන සහය ලබා ගැනීම සඳහා පුළුල් මහජන සංවාදයක් අවශ්‍ය වේ.
දෙවන කොන්දේසිය වන්නේ තිරිඟු පිටි අධෛර්යමත් කිරීම සඳහා අවම වශයෙන් මීට පෙර තිබූ මට්ටමට වඩා තවත් රු.10 කින් තිරිඟු පිටිවිශේෂ බද්ද නැවත පැනවීමය. ඒ මගින් රජයට නැවත ලැබෙන රු. මිලියන 25,000 ඉක්මවා යන මුදල වැය කොට ඉහල යන තිරිඟු පිටිමිලෙන් පීඩාවට පත් වන වතුකරයේ ජනතාවට සහ සමෘද්ධි ලාභීන්ට සහන ලබා දිය හැක. (එම බදු ආදායම පාන් පිටි පරිභෝජනය අඩු වූ විට ඊට සාපේක්ෂව අඩු වනු ඇත ). කෙසේ වෙතත් ඒ මගින් තිරිඟු පිටි සහ සහල් පිටි අතර මිල වෙනස රු. 20 ක් පමණ වන ලෙස එම පිටි වර්ග දෙකට උපරිම සිල්ලර මිලක් නියම කල යුතුය.
තුන්වන කොන්දේසිය වන්නේ බෝ නොවන රෝග පිලිබඳව මහත් ඝෝෂාවක් නඟන අතර අහිතකර ආහාර පුරුදු ප‍්‍රචලිත කිරීම සඳහා ආහාර පණත හකුලා දමා බහුජාතික සමාගම් වලට සේවය කරන සෞඛ්‍ය බලධාරීන් සමඟ ප‍්‍රශ්ණය බේරා ගැනීමය. නමුත් පාන් පිටි පරිභෝජනය කිරීම නතර කිරීම කෙසේ වෙත්තත් අඩු කල යුතු යැයි කට ඇර ප‍්‍රසිද්ධියේ කීමට බිය වන දේශපාලඥයින් සමඟ නම් මේ සටන ජය ගත නොහැක. එසේ වුවත් අඳුරු වළාවේ රිදී රේඛාවක් පසු ගිය දා පාර්ලිමේන්තුවේදී දැකිය හැකි විය. ඒ පාර්ලිමේන්තු ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රී වරයකු වන ජයන්ත සමරවීර මහතා විසින් පාන් පිටි සමාගමට බදු සහන දෙමින් ගොවියා නඟා සිටුවිය නොහැකි බවට නිර්භීත ප‍්‍රකාශයක් කිරීම නිසාය.
අවසාන වශයෙන් කිව යුතු යමක්ද ඇත. ඒ විශේෂයෙන්ම අධික ලෙස රසායනික පොහොර භාවිතය නිසා ඇති වන මහජන සෞඛ්‍ය සහ පාරිසරික ගැටළු පිලිබඳව අවංකව අදහස් දක්වන එහෙත් ආණ්ඩුවේ සහනාධාර කප්පාදුවට අනියමින් සහය වන පිරිස් වලටය. පළමුවෙන්ම රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර නමින් යමක් බාහිරින් මිලදීගෙන පසට යෙදිය යුතුය යන මිථ්‍යාවෙන් ගොවියා ගලවා ගත යුතුය. කෘෂිකර්ම නිලධාරීන් විසින්ම රසායනික පොහොර භාවිතය සඳහා පුරුදු කල ගොවියා දැන් එක වරම ඉන් ගලවා ගැනීම පහසු නොවන බව සත්‍යකි. එහෙත් ඒ සඳහා වෙනත් ව්‍යාජ සංකල්ප හඳුන්වා දීම යනු වරදක් නිවැරදි කිරීම සඳහා තවත් වරදක් කිරීමකි.එම නිසා මීට පෙර ලබා දුන් පොහොර ප‍්‍රමාණය මිල දී ගැනීම වැය වන මුදල ගොවියා අතට ලබා දීම මගින් නිවැරදි ගොවි තැන් ක‍්‍රම සඳහා ගොවියා පෙළඹවීම ආරම්භ කල යුතුය. එවිට පස සරු කරන සොභාවික ගොවිතැන් ක‍්‍රම අනුගමනය කරන ප‍්‍රමාණයට සාපේක්ෂව පොහොර සහනාධාර මුදල ගොවියාගේ අත ඉතිරි වේ. එය එම ගොවිතැන් ක‍්‍රම ප‍්‍රචලිත කිරීම සඳහා දිරිගැන්වීමක් බවට පත් වේ. එසේම ඒ තුල ගොම ලබා ගැනීම සඳහා කිරිගව පාලනය දිරිමත් වන අතර ඒ මගින් ගොවියාගේ ආදායම් මට්ටමද ඉහළ නැන්වේ. යම් ගොවීන් පිරිසක් සම්පූර්ණ සහනාධාර මුදල ඉතිරි කර ගනිමින් සොභාවික ගොවිතැන් ක‍්‍රම වලට කඩිනමින් යොමු වනු ඇත. තවත් පිරිසක් ක‍්‍රම ක‍්‍රමයෙන් රසායනික පොහොර අඩුකරමින් සොභාවික ක‍්‍රම දියුනු කරන ප‍්‍රවේශයක් ගනු ඇත. එවිට කාබනික පොහොර යනු ගොවි බිමේම සකස් වන දෙයක් මිස බාහිරින් මිල දී ගත යුතු දෙයක් නොවන බව ගොවියා විසින්ම තේරුම් ගනු ඇත.
අද ලෝකයේ බටහිර රටවල් තම රටවල ගොවීන්ට ලබා දෙන මුළු සහනාධාර ප‍්‍රමාණය ඩොලර් බිලියන 300 ඉක්මවා යයි. ඇමෙරිකාව තම තිරිඟු ගොවීන්ට අස්වැන්නට සාපේක්ෂව 20%ක සහනාධාරයක් සෘජු මුදල් ලෙස ලබා දේ. එසේ කරන්නේ අප වැනි රට වලට අඩු මිලට තිරිඟු පිටි ප‍්‍රතාපනය කිරීම දිරි ගැන්වීම සඳහාය. ඒ නිසා අප රටේදීද්‍රව්‍යමය සහනාධාර වෙනුවට මුදල් වශයෙන් සහනාධාර දීම සාධාරණීකරණය කල නොහැක්කේ පොහොර සමාගම් වල සහ ඔවුන්ගේ තැරැුව්කරුවන්ගේ උවමනාවට නොවේ නම් කාගේ උවමනාවටද? .
එසේම දැන් මෙතෙක් කාලයක් රඟ පෑ පැරණි නාඩගම නැවත කරළියට කැඳවා ඇත. රටේ පාන් පිටි විරෝධයක් පැන නැගුනු සැම අවස්ථාවකම රජය විසින් බදු පැනවීමට පෙර බේකරි හිමියන් ලවා මිල වැඩිවීමේ භීතියක් මැවීය. දැන් පාන් පිටි සමාගම සහ මහා භාන්ඩාගාරය එක්ව පාන් පිටි විරෝධය සමනය කිරීම සඳහා රජය විසින් පාන් පිටි සමාගමට ලබා දුන් කි. ග‍්‍රෑම් 1 කට රු. 10ක් වූ බදු සහනයෙන් සොච්චමක් නැවත පනවා බේකරි හිමියන් ලවා මිල ඉහල යෑමේ තර්ජනය ඉදිරිපත් කොට ඇත. ආණ්ඩුව විසින් නැවත පැනවූ රු. 6 ක බද්දට සමාගම විසින් තවත් රු. 1.50 ක් එකතු කොට සමස්ථ වැඩිවීම රු. 7.50 බවට පත්කොට ඇත. ලෝක වෙළඳපලේ තිරිඟුමිල පහත වැටී ඇති තත්වය යටතේ එසේ සමාගම විසින් මිල වැඩි කිරීමට හේතුවක් නැත. එසේම ඒ සඳහා පාරිභෝගික අධිකාරිය අවසර ලබා දී නැත. මෙම සමාගමේ ඉතා පැරණි උපක‍්‍රමයක් වන්නේ බදු පැනවීමේ කථිකාවත් මතු වූ සෑම විටම සමාගම විසින් මිල වැඩි කිරීමට උත්සාහ කිරීමයි. සමාගම විසින්ම මිල වැඩි කල විට විරෝධය සමනය වූ පසුව මිල අඩු කල හැක. එසේම තොග වෙළඳුන්ට අනියමින් මිල වට්ටම් ලබා දීම දැනටත් සිදුවේ. නමුත් ආණ්ඩුව විසින් බදු පැනවූ විට පසුව රහසේ මිල පහත දැමිය නොහැක.
විපක්ෂයේ ඇතැම් කොටස්, ආණ්ඩුව සහ පාන් පිටි සමාගම එකට එක්ව කරන මේ බොරුව නවතා සැබෑ ක‍්‍රියා මාර්ග ගන්නා ලෙස මහජනයා දැන් ආණ්ඩුවට බල කල යුතුය. දැන් ප‍්‍රශ්ණය මෝරා ඇති ආකාරයේ හැටියට වෙළඳපල තුල ක‍්‍රම ක‍්‍රමයෙන් කරන සුළු වෙනස්කම් වලින් ප‍්‍රශ්ණය විසඳිය නොහැක. එම නිසා පනවන ලද රු. 6 ක බද්ද එසේම තිබියදී ඊට පෙර ලබා දුන් රු. 10 ක බදු සහනය අහෝසි කල යුතුය. එසේම ඒ සමගම සහල් සඳහා වන මිල සූත‍්‍රයද හඳුන්වා දිය යුතුය. ඒ ක‍්‍රියා මාර්ග දෙක එක විට නොගෙන ප‍්‍රශ්ණය කිසිසේත්ම විසඳිය නොහැකි බව තව ටික දිනකින්ම සියළු දෙනාට බලා ගත හැකි වනු ඇත.
වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර.